මුල් පිටුවට
නවතම ප්‍රවෘත්තිPolitical

ඔඩු ගිය තුවාලයට රුපියල් පහේ ප්ලාස්ටර් කෑලි ඇලවීම

ලියුවේ Admin
ඔඩු ගිය තුවාලයට රුපියල් පහේ ප්ලාස්ටර් කෑලි ඇලවීම

බන්ධනාගාර පාලනය සඳහා යුද හමුදා විශ්‍රාමිකයන් බඳවා ගන්නා බවට පසුගියදා වාර්තා විය. ඒ කෙරුවාව මාරම වැඩක් යැයි චියර්ස් කියන්නන් බොහෝ ය. 

එක පැත්තකින් බැලූ විට වැඩේ නරක ද නැත. අවුරුදු තිහක් පැවැති යුද්ධය නිමා කිරීමට ජීවිත පරිත්‍යාගයෙන් සේවය කළ හමුදා සෙබළුන්ට, හිර ගෙදර පාලනය සිම්පල්  යැයි බොහෝ දෙනාට සිතීම ද සාධාරණය. ඒ සිතීම නිර්මාණය වන්නේ එහෙ පුළුවන් වුණා නම් මෙහෙ මොකෝ බැරි යැයි තර්කය මත පිහිටාය.



බන්ධනාගාර ගත වී සිටින්නේ නිරායුද පුරවැසියන්ය. හමුදා විශ්‍රාමිකයන් ⁣ගේ අත් දැකීම් මත පිහිටා මේ රැඳවියන් රඳවා  සිර ගෙවල් පාලනය කරන්නට බැරි කමක්ද නැත. හිර ගෙදර ඇතුලේ කැරැල්ලක් නිර්මාණය වූ විට, ස්නයිපර්ලා යොදා ෂොට් දෙක තුනක් අතාරින්නට හැකියාවක් නැතුවා ද නොවේ. හැත්තෑ එකේ කැරැල්ලෙන් පසුව රජයට බාර වෙන ලද කැරළි කරුවන් පුනුරුත්ථාපනය කිරීම සඳහා ඉඳිකරන ලද කඳවුරුවල පාලනය ද හමුදාව විසින් සිදු කර තිබේ.



මෙවැනි  සිර කඳවුරු තුළ රැඳවියන් ලෙස අත්දැකීම් ඇති උදවිය  මේ වන විටත් ජාජබ ආණ්ඩුවේද සිටී. ලාල් කාන්ත සහෝදරයා, ගලප්පත්ති සහෝදරයා රඳවා සිටියේද බූස්ස කඳවුරේය. ඒ දෙදෙනාට ඒ ගැන බොහෝ අත්දැකීම් තිබෙන්නට පුළුවන.



සිර ගෙවල් පාලනයට හමුදා විශ්‍රාමිකයන්...



මේ වන විට යුද හමුදාවෙන් විශ්‍රාම ගිය ආසන්නතමයන් වන්නේ 2004 වර්ෂයේ හමුදා සේවයට එක් වූවන්ය. මේ සෙබළුන් යුද්ධයේ උච්චතම අවස්ථාවට මුහුණ දුන් සෙබළුන්ය. යුද්ධය අවසන් අදියර වන විට මේ සෙබළුන් කෝප්‍රල් හෝ ලාන්ස් කෝප්‍රල් නිල වල සේවය කරන්නට ඇති බව සිතන්නට පුළුවන. 



මේ සෙබළුන් යුද්ධයේ බියකරු බව අත් දැකීමෙන්ම ලද අයවළුන්ය. දීර්ඝ කාලයක් පුරා ක්‍රියාන්විත රාජකාරියේ යෙදීමෙන් පසුව යළි සමාජයට අනුගත වීමේදී, හමුදා සාමාජිකයන් තුළ යම් යම් දුෂ්කරතා පැන නගින බව වෛද්‍ය රුවන් ජයතුංග සිය "යුද ආතතියේ මනෝ විද්‍යාත්මක බලපෑම" නම් කෘතියේ සඳහන් කර තිබේ.  



විසි වසරක් පුරා ලංකාවේ පැවැති ජන වාර්ගික යුද්ධයට සහභාගි වූ සෙබළුන් යළි සමාජගත වීමේදී කවර ආකාරයේ ගැටලු ඇති විය හැකිද යන්න අධ්‍යයනය කිරීම නොපමාව කළ යුතු බවද ඔහු පවසයි. එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කරන පරිදි, විශේෂයෙන් පශ්චාත් ව්‍යසන ක්ලමථා අක්‍රමතාව වැනි විපරීත තත්වයන් මතු වීම, අනුගත වීමේ ගැටළු නිසා මතුවන විරැකියාව , ආර්ථික දුෂ්කරතා, සමාජ ප්‍රචන්ඩත්වය , අපරාධ වර්ධනය මේ අතර වේ. 



නැති ප්‍රශ්න ඇති කර ගැනීමේ කලාව..



නියෝග දීමටත් නියෝග ලැබීමටත් කාලාන්තරයක් පුරුදු පුහුණුව සිටි පුද්ගලයන් යළි සිවිල් වාතාවරණයකට මුදා හැරීමේදී නොයෙකුත් ආකාරයේ ගැටළු මතු විය හැකි බවද වෛද්‍ය රුවන් ජයතුංග එහිදී පවසයි. මේ සඳහන් කිරීම් නොතකා හරින්ටද නොහැකි ඒවා බව බලධාරීන් වටහා ගත යුතුය. 



මීගමුව බන්ධනාගාරය තුළ ඝාතනය කරන ලද බන්ධ පොලිස් ඒකකයේ නිළධාරීන් අතරේද හමුදා විශ්‍රාමිකයන් සිටි බව වාර්තා විය. මේ විශ්‍රාමික සෙබළුන් තුළ පැවැති වෘත්තිමය අධි නිශ්චය මැදිහත් වීමද, ඔවුන්ගේ ඝාතනයට හේතුවක් වූ බවට සැක කළ හැකිය.  මේ අවධාරණය කිරීම් හා අත්දැකීම් පිළිබඳව අවධානය යොමු කරන්නේ නම් හමුදා විශ්‍රාමිකයන් බන්ධනාගාර සේවයට බඳවා ගැනීම හා ඔවුන් එම වෘත්තීයට පුරුදු පුහුණු කිරීම ඉතා වගකීමෙන් කළ යුතු වේ. එසේ නැති වුව හොත් මේ යෝජනාව නැති ප්‍රශ්න ඇති කරලන්නට හේතු විය හැකිය.



බන්ධනාගාර අර්බුදය විද්‍යාත්මක ඇසින්.,



"සිරකරුවන්ද මනුෂ්‍යයෝය" යන්න වැලිකඩ බන්ධනාගාර තාප්පයේ සඳහන් කර තිබෙන වාක්‍යයකි. බන්ධනාගාර ගතව සිටින ඒ සිරකරුවන් පිළිබඳව කරාපිටිය රෝහලේ මනෝ වෛද්‍ය විශේෂඥ ⁣රුමී රූබන් මෑතකදී Theleader.lk හි විද්‍යත්මක සාකච්ඡාවක් සිදු කොට තිබුණි. ඒ මෙසේය.



"......ස්නායු-ජීව විද්‍යාත්මක (Nerobiological) කෝනයකින් බලන කල , තදබදය, ශබ්දය, අඳුර සහ නින්ද නොමැතිකම වැනි සාධක නිසා සිරකරුවන්ගේ මොළයේ ආතති හෝමෝනයක් වන කෝටිසෝල් (Cortisol) මට්ටම සීඝ්‍රයෙන් ඉහළ යයි. මෙය මොළයේ තර්කානුකූල තීරණ ගන්නා ප්‍රීෆොන්ටල් කෝටෙක්ස් (Prefronyal Cortisol) කොටස අඩපන කර කෝපය සහ රෝෂය පාලනය කරන අමිග්ඩලා (Amygdala) කොටස අධි ක්‍රියාකාරී තත්ත්වයට පත් කරයි."



"මෙයින් පැහැදිලි වන්නේ බන්ධනාගාර අර්බුද යනු නරක මිනිසුන්ගේ නරක හැසිරීමක් පමණක් නොව, අසමාන්‍ය පරිසරයකට මිනිස් මනස සහ ශරීරය දක්වන ස්වභාවික ප්‍රතිචාරයක් බවයි. මෙය අප ඉතා හොඳින් වටහාගත යුතු විද්‍යාත්මක යථාර්ථයකි..."




මේ යථාර්තය ආණ්ඩුවේ බලධරයන්ට වටහා ගන්නට හැකි නම් "ඔන්න බබෝ බිලි එනවා" යැයි බියවද්දමින් සිරකරුවන්  පාලනය කළ නොහැකි බව වටහා ගත යුතුය.



යුක්තියේ මෙහෙයුම් උගුලට හසු වීම...



මෙරට බන්ධනාගාර 33 ක් පිහිටා තිබේ. මේ බන්ධනාගාර තුළ රඳවා සිටිය හැකි ප්‍රමාණය 18000කි. වර්තමානයේදි එම බන්ධනාගාර තුළ 44000ක් සිටින බව පැවසේ. සැබැවින්ම බන්ධනාගාර තුළ රැඳවියන් ⁣ගේ ප්‍රමාණය ඉහළ ගියේ හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් ගෙන ගිය යුක්තියේ මෙහෙයුම නිසාය. 



පොලීසියේ පහල ඇවරියේ නිළධාරීන් සිය බඩ රස්සාව ආරක්ෂා කර ගැනීම සඳහා ඉවක් බවක් නැතුව පුරවැසියන් කුදලා ගෙන ගොස් බන්ධනාගාර ගත කරන්නට විය. මෙහිදී පොලිස් ස්ථානවල ස්ථානාධිපතිවරුන් ලොක්කන් ගෙන් ලකුණු දමා ගැනීමට ⁣පොලිස් පොඩ්ඩන් වෙත කළ බලපෑම්ද විශාලය.



එහිදී මහේස්ත්‍රාත් අධිකරණ විනිසුරුවරුන් ගේ මග හැරීම්ද නොතකා හැරිය නොහැකි කාරණයකි. ලංකාවේ උසාවි වලින් ඇප ලබා දීම හෝ නොදීම කරන්නේ 1997 අංක 30 දරණ ඇප පනත යටතේය. එම පනතේ 2 වගන්තිය මගින් පැහැදිලි කරන්නේ මේ පනතේ විධි විධාන ක්‍රියාත්මක කිරීමේ අනුගමනය කළ යුතු ප්‍රතිපත්තිය විය යුත්තේ ඇප දීම රීතිය වශයෙන් සැළකීම හා ඇප දීම ප්‍රතික්ෂේප කිරීම ව්‍යාතිරේඛයක් ලෙස සැළකීම ය.



මහේස්ත්‍රාත්වරුන් ගේ ක්‍රියා කළාපය..



එහෙත්  අධිකරණයට ඉදිරිපත් කරන සැකකාරයකු සම්බන්ධයෙන් බොහෝ මහේස්ත්‍රාත්වරුන් ගේ ක්‍රියා කළාපය ඇතැම් අවස්ථාවලදී ඉහළ අධිකරණ වලදී විවේචනයට ලක් වී තිබේ. ඒ සම්බන්ධයෙන් හොඳම නඩු තීන්දුවක් ලෙස සැළකෙන්නේ 1999 මැක්සිමස් ඩැනී  එදිරිව සිරිනිමල් සිල්වා හලාවත පොලිස් ස්ථානාධිපති නැමති මූලික අයිතිවාසිකම් නඩුවයි. 



මේ නඩුවේ තීන්දුව ප්‍රකාශ කළ ශිරාණි බණ්ඩාරනායක, ධීරරත්න හා පෙරේරා සදහන් කර ඇත්තේ පොලීසියේ අවශ්‍යතාව මත මහේස්ත්‍රාත්වරුන්ද යාන්ත්‍රිකව සැකකරුවන් රිමාන්ඩ් කිරීමේ නියෝග නිකුත් කරන බවය. එම තත්ත්වය පිළිබඳව කනස්සල්ලට පත් වන බව සඳහන් කර ඇති ශිරාණි බණ්ඩාරනායක විනිසුරුතුමිය මහේස්ත්‍රාත් වරුන් අපරාධ විමර්ශකයෙකුගේ හෝ නඩු පවරන්නෙකු ⁣ගේ උපහාසාත්මක සතුට තෘප්තිමත් කිරීම සඳහා රිමාන්ඩ් ⁣නියෝග නිකුත් නොකළ යුතු යැයි තීන්දුවේ ලියා තිබේ.



"පුද්ගලයකු රිමාන්ඩ් කිරීම අධිකරණ ක්‍රියාවක් වන අතර පුද්ගලයෙකු ගේ නිදහස අහිමි කිරීමට පෙර එම කාරණය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත්වරයකු ලෙස ඔහුගේ, ඇයගේ අධිකරණ මනස යොමු කළ යුතුයි. පොලීසිය හෝ වෙනත් චෝදනා ඉදිරිපත් කරන ආයතන සැකකරු අහවල් වරද කර ඇතැයිද , නැතිනම් අහවල් සිදුවීම් සම්බන්ධයෙන් විමර්ශන තවමත් අවසන් වී නැතැයිද, එසේත් නැතිනම් සැකකරු අහවල් පාර්ශවයට තර්ජනය කර ඇතැයිද ආදී වශයෙන් විවිධ කරුණු දක්වමින් සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ඉල්ලීමට පුළුවන. ඔව්හු නිරන්තරයෙන් එසේ කරති. එහෙත් එවැනි ඉල්ලීම්වලදී එම ඉල්ලීම වහාම අනුමත කරන හුදු රබර් මුද්‍රාවක් බවට මහේස්ත්‍රාත්වරුන් පත් නොවිය යුතුය. මහේස්ත්‍රාත්වරයා⁣ හෝ වරිය ක්‍රියාත්මක කළ යුත්තේ තමාගේ අධිකරණ මනසයි." යනුවෙන්ද ශිරාණි බණ්ඩාරනායක විනිසුරුතුමිය ඒ තීන්දුවේ වැඩිදුරටත් දක්වා ඇත.



ආණ්ඩුවේ හා පුරවැසියන් ගේ චේතනාව...



පසුගිය රජය යටතේ ඇරඹුන යුක්තියේ මෙ⁣හෙයුම ජාජබ ආණ්ඩුවද අඛණ්ඩව  ගෙන යමින් තිබේ. යුක්තියේ මෙහෙයුම දියත් කළ ටිරාන් අලස්, දේශබන්දු තෙන්නකෝන් වැන්නන් ඒ මෙහෙයුම සිදු කරන ලද්දේ දෙබඩි අවශ්‍යතාවක් පදනම් කර ගනිමින් බව සමාජය තුළ තහවුරු විය. ඒ තහවුරුව වඩාත් පැහැදිලිව සමාජගත වූයේ ජාජබ ආණ්ඩුව විසින් සමාජය වෙත මුදා හරින ලද දූෂණ හා මත්ද්‍රව්‍ය විරෝධී කතිකාව නිසාය. 



ආණ්ඩුවේ හා බොහෝ පුරවැසියන් ගේ චේතනාව වී ඇත්තේද මත්ද්‍රව්‍ය වලින් තොර සමාජයකි. බන්ධනාගාර තුළ සැකකරුවන් ගොඩ ගැසෙන්නේ ⁣ආණ්ඩුවේ හා පුරවැසියන්ගේ ඒ චේතනාව නිසාය. අධිකරණය පොලීසිය ඇතුළු රාජ්‍ය ආයතන වලටද පුරවැසියන් ගේ ඒ චේතනාව බරට දැනී තිබේ. එහි හරි වැරැද්ද විනිශ්චය කිරීමක් නැතුවම වැඩේ සිද්ධ වෙමින් පවතී.

බන්ධනාගාර තුළ කැරළි මතුවන්නේද මේ වටපිටාව තුළය. මේ සැබෑ වටපිටාව අධි විනිශ්චය කිරීම හෝ සුළුවෙන් තැකීම තුළ ප්‍රශ්ණය විසඳන්නට යාම අරුත් විරහිතය. බන්ධනාගාර සේවයට හමුදා විශ්‍රාමිකයන් බඳවා ගැනීම ඔඩු ගිය තුවාලයකට රුපියල් පහේ ප්ලාස්ටර් කෑල්ලක් අලවා දැමීමක් වැනිය. 



මේ වන විට මත්ද්‍රව්‍ය වැරදිකරුවන්ට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුවේ අදහසක් ඇතැයි මාධ්‍ය වාර්තා කර තිබුණි.⁣ මෙවැනි හදිසි තීන්දු තීරණ වලට එළඹීමෙන්  ජාත්‍යන්තරයෙන් පවා ආණ්ඩුව බරපතල බලපෑමකට ගොදුරු වීමේ අවදානමක් පවතී.



මූලිකම අවශ්‍යතාවය හඳුනා නොගැනීම...



සැබවින්ම බන්ධනාගාර තුළ පහසුකම් ඇති කිරීම ⁣මේ ප්‍රශ්ණය විසඳාලීම සඳහා වූ මූලිකම අවශ්‍යතාවයි. එය මිල අධික වන්නටද පුළුවන. එහෙත් ආණ්ඩුවට ඒ පිළිබඳව වගකීමක් තිබේ. ඒ, සිරකරුවන්ද මනුෂ්‍යයන් බව සිහිපත් කර ගනිමිනි. මිල්ටෙරි බලය යොද සිරකරුවන් හීලෑ කරන්නට යාම තව තව ආරවුල් වලට හේතු වන්නටද ඉඩ තිබේ.



එපමණක්ද නොවේ. හමුදා පොලිස්  නිළධාරීන්, බුද්ධි නිළධාරින් හා බන්ධනාගාර නිළධාරීන් සමග පමණක් සාකච්ඡා කර මේ ප්‍රශ්ණයට විසඳුම් සෙවීමද පටු සීමාවක් තුළට සිර වීමකි.



සැබැවින්ම මෙය විද්‍යාත්මක පදනමක පිහිටා සාකච්ඡා කළ යුතු බවට ⁣ආණ්ඩුව සිතන්නේ නම් එය ඉතා වැදගත්ය. එහිදී මනෝ වෛද්‍ය විශේෂඥයන්ගෙන් පවා උපදෙස් ලබා ගැනීම අනිවාර්යෙන්ම සිදු  විය යුත්තකි.



දක්ෂිණ ලියනාරච්චි ✍️

සියලු ප්‍රවෘත්තිPolitical

ජාතික ජන බලවේගය රී සෙට් වෙනවාද නැතිනම් කෙලවා ගන්නවාද ?
නවතම ප්‍රවෘත්තිPolitical

ජාතික ජන බලවේගය රී සෙට් වෙනවාද නැතිනම් කෙලවා ගන්නවාද ?

කම්කරු අමාත්‍ය  හා මුදල් නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්තගේ ෆේස් ⁣බුක් පිටුවේ මෙසේ සඳහනක් දකින්නට තිබුණි.  "......ජාතික ජන බලවේගය බලයට පත්වීම  විවිධ බලවේග රාශියක මැදිහත්වීමෙන් වෙහෙස මහන්සිය…

ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් 'කොකා පෙන්නීම
නවතම ප්‍රවෘත්තිPolitical

ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් 'කොකා පෙන්නීම

නඩු ප්‍රමාදය යනු ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතියේ දිගුකාලීන ගැටලුවකි. ඒ බව NPP/JVP ය තමන් 2024 දී ජනතාවට ඉදිරිපත් කළ " පොහොසත් රටක් ලස්සන ජීවිතයක්" නමැති ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන්ම පිළිගෙන තිබේ. "නීතිය මත…

නීතිඥ සංගමයේ රුදාව සනීප ද?  රජීව් හතරගාතෙන් වැටිලා ද?
නවතම ප්‍රවෘත්තිPolitical

නීතිඥ සංගමයේ රුදාව සනීප ද? රජීව් හතරගාතෙන් වැටිලා ද?

ශ්‍රී ලංකාව තුළ මේ වන විට මහත් ආන්දෝලනයට තුඩු දී ඇති 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව, නීතීඥ සංගමය සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර පසුගිය අගෝස්තු 12 වැනි දා ජනාධිපති ලේකම් කාර්යාලයේ දී සාකච්ඡාවක්…

අවදානමක් නොගෙන වෙනසක් කළ නොහැකිය
නවතම ප්‍රවෘත්තිPolitical

අවදානමක් නොගෙන වෙනසක් කළ නොහැකිය

"සතුරා බලාපොරොත්තු වන දෙයම ඔවුන්ට දෙන්න. එවිට ඔවුන් එය හඳුනාගෙන තමන්ගේ සැලසුම් ස්ථිර කරගනී. ඉන්පසු ඔවුන් එම බලාපොරොත්තුව අනුව ක්‍රියා කරන තෙක් බලා සිට, ඔවුන් කිසිසේත් අපේක්ෂා නොකරන ප්‍රහාරයක් එල්ල කරන…