





නඩු ප්‍රමාදය යනු ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතියේ දිගුකාලීන ගැටලුවකි. ඒ බව NPP/JVP ය තමන් 2024 දී ජනතාවට ඉදිරිපත් කළ " පොහොසත් රටක් ලස්සන ජීවිතයක්" නමැති ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන්ම පිළිගෙන තිබේ.
"නීතිය මත පාලනයක්, සමප්‍රවේශී අධිකරණ පද්ධතියක්" යන ශීර්ෂ පාඨය යටතේ එම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ( සිංහල ) පිටු අංක 199 සිට 202 දක්වා පිටුවල, ඒ සඳහා පදනම් කර ගන්නා මූලධර්ම සහ ක්‍රියාමාර්ග මොනවාද යන්න ඉතා පැහැදිලිව ලියා තබා තිබේ. (එම පිටුවල ඡායාපිටපත් මේ ලිපිය සමඟ අමුණා ඇත.)
නඩු ප්‍රමාදය 2026දී පමණක් ඇති වූ ප්‍රශ්නයක්ද?
ජාතික ජන බලවේගය 2024 දී ප්‍රතිපත්ති ප්‍රකාශය සකස් කරන විට, ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතියේ දුර්වලතා පිළිබඳව තත්ත්වය සලකා බැලූ බව ඔවුන්ගේම නීති ප්‍රතිසංස්කරණ ලේඛනයෙන් පැහැදිලිව පෙනෙයි. එහිදී නීතිය ක්‍රියාත්මක කිරීමේ අඩුපාඩු, දේශපාලන මැදිහත්වීම් සහ අධිකරණ පද්ධතිය කෙරෙහි ජනතා විශ්වාසය අඩුවීම ගැනද අවධානය යොමු කර තිබේ.
ඔවුන් දැනගෙන සිටි ප්‍රශ්නයක් සඳහා, බලයට පැමිණීමට පෙර ඔවුන් ඉදිරිපත් කළ විසඳුම් මොනවාද? මෙම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් වන්නේ, ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතියේ කාර්යක්ෂමතාව වැඩි කර නඩු ප්‍රමාද වීම වැළැක්වීමට සහ යුක්තිය කඩිනමින් ලබාදීමට ක්‍රියා කළ යුතු බවයි. එසේ නම් නඩු ප්‍රමාදය යන ප්‍රශ්නය ඔවුන්ට 2026දී අලුතින් හමු වූ එකක් නොවේ. NPP ය බලයට එන්නට පෙරත්, ඔවුන් මෙම ගැටළුව හොඳින් දැන සිට තිබේ.
නඩු ප්‍රමාදයට එදා දැකපු විසඳුම්...
2024 ප්‍රතිපත්ති ප්‍රකාශය කියවූ විට පෙනෙන්නේ නඩු ප්‍රමාදය විසඳීමට NPP විසින් ඉදිරියේදී ගන්නා ක්‍රියාමාර්ග නොහොත් ප්‍රතිපත්ති ගණනාවක් යෝජනා කර ඇති බවයි.
එම යෝජනා අතරින් ප්‍රධාන කිහිපයක් සඳහන් කළහොත් මෙසේ ය.
• නීති සමාලෝචනය හා යාවත්කාලීන කිරීම.
එහි අරමුණ යල්පැනගිය නීති ඉවත් කිරීමයි.
• නවීන තාක්ෂණය අධිකරණයට හඳුන්වාදීම. එහි අරමුණ ක්‍රියාවලිය කාර්යක්ෂම කිරීමයි.
• ස්මාර්ට් උසාවි (Smart Courthouses).
එහි අරමුණ අධිකරණ කටයුතු නවීකරණය කිරීමයි.
• අධිකරණ වාර්තා ඩිජිටල් කිරීම. මෙහි අරමුණ, ලේඛන හා ක්‍රියාවලිය වේගවත් කිරීමයි.
• පර්යේෂණ නිලධාරීන් පත් කිරීම. එහි අරමුණ, විනිසුරුවන්ට නීතිමය පර්යේෂණ සහාය ලබා දීමයි.
• සාක්ෂි ආරක්ෂිතව ගබඩා කිරීම. මෙහි අරමුණ වූයේ නඩු ප්‍රමාදය අඩු කිරීමයි.
• ඇප නීතිය/ක්‍රියාවලිය යාවත්කාලීන කිරීම.
එමඟින් අරමුණු කළේ අනවශ්‍ය ප්‍රමාද අඩු කිරීමයි.
• කාන්තාවන් හා ළමුන්ට එරෙහි ලිංගික අපරාධ නඩු කඩිනම් කිරීම. එහි තේරුම
විශේෂ නඩු කඩිනම් කිරීමයි.
• රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවෙහි පළාත් ශාඛා පිහිටුවීම. එහි අරමුණ විද්‍යාත්මක සාක්ෂි ලබාදීම වේගවත් කිරීමයි.
• මූල්‍ය අපරාධ/දූෂණ නඩු සඳහා විශේෂ මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඇති කිරීම. එහි අරමුණ දූෂණ නඩු කඩිනම් කිරීමයි.
මෙයින් පෙනෙන ඉතා වැදගත් කාරණය වන්නේ, 2024දී ඔවුන් හඳුනාගත් විසඳුම වූයේ අධිකරණ ක්‍රියාවලිය ප්‍රතිසංවිධානය කිරීම සහ නඩු කඩිනම් කිරීම සඳහා විශේෂ යාන්ත්‍රණ ඇති කිරීමය.
අධිකරණ ක්‍රියාවලියේ සිදුවන නඩු ප්‍රමාදය වැළැක්වීමට කරන ප්‍රතිසංවිධානයකදී, විනිසුරුවන්ගේ විශ්‍රාම වයස් සීමාව ඉහළ දැමීමක් සිදු කළ යුතු ය යන යෝජනාවක් හෝ ප්‍රතිපත්තියක්, ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ කිසිදු තැනක සඳහන් කර නැත.
එදා නැති අද ඇති සරල තර්කය....
ජාතික ජන බලවේග ආණ්ඩුව අද ඉදිරිපත් කරන සරල තර්කය වන්නේ, "ශ්‍රී ලංකාවේ නඩු විශාල ප්‍රමාණයක් ගොඩගැසී තිබේ. නඩු අවසන් කිරීමට ප්‍රමාණවත් පළපුරුදු විනිසුරුවන් අවශ්‍යය. එබැවින් විනිසුරුවන්ගේ විශ්‍රාම වයස වසර දෙකකින් දීර්ඝ කළ යුතුය." යන්නය.
අධිකරණ ඇමැති හර්ෂණ නානායක්කාර පවසන්නේ දැනට නඩු මිලියන 1.1ක් පමණ ගොඩගැසී ඇති බවත්, විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම පුළුල් අධිකරණ ප්‍රතිසංස්කරණයක එක් කොටසක් බවත්ය.
2026 ජූලි 27 වනදා කැබිනට් අනුමැතිය ලැබුණේ සියලුම අධිකරණවල විනිසුරුවන්ගේ විශ්‍රාම වයස වසර දෙකකින් ඉහළ නැංවීමටය. ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍ය වන අතර අනෙකුත් අධිකරණ සඳහා අදාළ පනත් සංශෝධනය කිරීමට නියමිතය.
එහෙත් මෙතැනින් අවසන් කළ නොහැකි, ඉතා බරපතළ ප්‍රශ්න දෙකක් තිබේ. ඒ නම්
2024දී ජනතාවගෙන් ඡන්දය ඉල්ලන විට අත්‍යවශ්‍ය විසඳුමක් ලෙස විශ්‍රාම වයස දීර්ඝ කිරීම ඔවුන් ප්‍රතිපත්ති ප්‍රකාශනයේ දැඩි ලෙස අවධාරණය නොකළේ ඇයි ද යන්නය.
අනෙක් අතට විශ්‍රාම වයස දීර්ඝ කිරීම, අද හදිසියේම ප්‍රධාන විසඳුමක් වූයේ කෙසේද යන්නය.
තීරණයේ අවශ්‍යතාවය ඔප්පු කරන්න....
විනිසුරුවන් ගේ විශ්‍රාම වයස කිසිම අවස්ථාවක වෙනස් කළ නොහැකි යැයි කිසිසේත්ම තර්ක කිරීමට නොහැක.
අධිකරණ පද්ධතියේ කාර්යක්ෂමතාව වැඩි කිරීම සඳහා අත්දැකීම් සහිත විනිසුරුවන් රඳවා ගැනීම යම් ප්‍රතිපත්තියක් ලෙස සාධාරණ විය හැකිය. නමුත් එය තීරණය කිරීමේ ක්‍රමය සහ එහි අවශ්‍යතාවය ඔප්පු කිරීම ඉතා වැදගත්ය.
ඒ නිසා ඕනෑම පුරවැසියකුට ආණ්ඩුවෙන් අසන්නට සිදුවන ප්‍රශ්න කිහිපයක් ඇත.
1. විශ්‍රාම වයස දීර්ඝ කිරීමෙන් වසරකට කොපමණ අමතර නඩු සංඛ්‍යාවක් අවසන් කළ හැකිද?
2. ඒ සඳහා නිශ්චිත දත්ත තිබේද?
3. දැනට පවතින විනිසුරු පුරප්පාඩු කොපමණද?
4. එම පුරප්පාඩු පිරවීමෙන් නඩු ප්‍රමාදය කොපමණ අඩු කළ හැකිද?
5. නව විනිසුරුවන් පත් කිරීම වෙනුවට දැනට සිටින විනිසුරුවන්ගේ සේවා කාලය දීර්ඝ කිරීම වඩාත් කාර්යක්ෂම බව ඔප්පු කර තිබේද?
6. NPPය 2024 ප්‍රතිපත්ති ප්‍රකාශනයේ මෙම විශ්‍රාම වයස් සංශෝධනය ප්‍රධාන විසඳුමක් ලෙස නොතිබුණේ ඇයි?
මේවාට දේශපාලන පිළිතුරු දෙනවා වෙනුවට, දත්ත සහ ලේඛන සහිත පිළිතුරු ලැබිය යුතුය.
නඩු ප්‍රමාදය ගැන කතා කරන විට විනිසුරුවන්ගේ විශ්‍රාම වයස පමණක් නොව, පවතින විනිසුරු පුරප්පාඩු ගැනද ප්‍රශ්නය අනිවාර්යයෙන්ම ඇසිය යුතුය.
2026 ජූනි මාසයේදී අධිකරණ ඇමැතිවරයා පාර්ලිමේන්තුවේදී කියා සිටියේ, ශ්‍රේෂ්ඨාධිකරණ හා අභියාචනාධිකරණ විනිසුරු පත්කිරීම් සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවත්, එම පත්කිරීම් ජනාධිපතිවරයාගේ බලයට අයත් බවය.
ඒ නිසා ජනතාවට තවත් සරල ප්‍රශ්නයක් තිබේ. එනම් පවතින පුරප්පාඩු සම්පූර්ණයෙන් පුරවා, අධිකරණයේ ධාරිතාව උපරිම කර තිබේද? නැත්නම් විශ්‍රාම වයස දීර්ඝ කිරීම වේගවත් විසඳුමක් ලෙස තෝරාගෙන තිබේද? යන්නය. මෙයට පැහැදිලි සංඛ්‍යාත්මක පිළිතුරක් අවශ්‍යය.
කළ නොහැකි දෙයක් නොවේ.. නමුත්...
NPP බලයට පැමිණීමට පෙර කියා සිටියේ, තම අරමුණ ස්වාධීන, විනිවිද පෙනෙන, වගකීම් සහිත අධිකරණ පද්ධතියක් සහ කාර්යක්ෂම නඩු ක්‍රියාවලියක් ගොඩනැගීම බවය. අද එම ආණ්ඩුවට අධිකරණ පද්ධතියේ කාර්යක්ෂමතාව වැඩි කිරීමේ අවශ්‍යතාවය නිසා විනිසුරුවන්ගේ විශ්‍රාම වයස වෙනස් කිරීමට අවශ්‍ය වී තිබේ.
එය කළ නොහැකි දෙයක් නොවේ. නමුත් ප්‍රශ්නය වන්නේ ජනතාවට එය කලින් නොකියා තිබුණේ ඇයි ද යන්නයි.
දේශපාලන පක්ෂයක් මැතිවරණයකට පෙර තම ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කරන්නේ බලයට පැමිණි පසු රටට කුමක් කිරීමට යන්නේදැයි ජනතාවට කියන්නටය.
එසේ නම් අද ඉදිරිපත් කරන මෙවැනි වැදගත් ව්‍යවස්ථාමය වෙනසක් එදා ප්‍රතිපත්තියක් ලෙස ජනතාව ඉදිරියේ තබා තිබිය යුතු නොවේද?
අද ආණ්ඩුව කියන්නේ,“නඩු ඉක්මනින් අවසන් කිරීමට විනිසුරුවන් අවශ්‍යයි.” යන්නය. ඉතා හොඳය.එසේ නම් අපි මෙසේ අසමු.
2024දීත් නඩු ප්‍රමාදය තිබුණා නේද? එදාත් නඩු ගොඩගැසී තිබුණා නේද? එදාත් විනිසුරුවන්ගේ ධාරිතාව ගැන ප්‍රශ්න තිබුණා නේද? එසේ නම්, විශ්‍රාම වයස දීර්ඝ කිරීම අත්‍යවශ්‍ය විසඳුමක් නම්, ඔබේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ එය කොතැනද?
එය එදා ජනතාවගෙන් වසන් කළේ ඇයි?
මෙය ආණ්ඩුවක් අසරණ කිරීමට අසන ප්‍රශ්නයක් නොවේ. මෙය ජනතාවට දුන් ප්‍රතිපත්ති පොරොන්දුව සහ අද ගන්නා ප්‍රතිපත්ති තීරණය අතර තිබෙන පරතරය පැහැදිලි කරගැනීමට අසන ප්‍රශ්නයකි.
අධිකරණ ප්‍රතිසංස්කරණ අවශ්‍ය නම්, එඉවා කරන්න. නඩු කඩිනම් කළ යුතු නම්, එසේ කරන්න. පුරප්පාඩු පුරවන්න. අධිකරණවල යටිතල පහසුකම් වැඩි කරන්න. ඩිජිටල් ක්‍රමවේද ගෙන එන්න. රජයේ රසායනාගාර, රජයේ විශ්ලේෂක, පොලිස් විමර්ශන සහ නීතිපති ක්‍රියාවලියේ ප්‍රමාද ඉවත් කරන්න.
විශේෂ නඩු මණ්ඩල අවශ්‍ය නම්, ඒවාත් පිහිටුවන්න.
තීරණයේ ආයතනික අවශ්‍යතාවය කුමක්ද?....
නමුත් මේ සියල්ල අතරින් විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම තෝරාගන්නේ නම්, ඒ තීරණයේ ආයතනික අවශ්‍යතාවය දත්ත සහ සාධක සමඟ රටට පැහැදිලි කරන්න.
මන්ද අධිකරණය යනු ආණ්ඩුවකට අවශ්‍ය පරිදි වෙනස් කළ හැකි තවත් රාජ්‍ය ආයතනයක් නොවේ. අධිකරණයේ ස්වාධීනත්වය රැකීම යනු ආණ්ඩුවකට පක්ෂව සිටීමක්වත්, ආණ්ඩුවකට විරුද්ධ වීමක්වත් නොවේ. එය ආණ්ඩුව කුමක් වුවත්, බලයේ සිටින පුද්ගලයා කවුරු වුවත්, නීතිය එකම ආකාරයෙන් ක්‍රියාත්මක වන බවට ජනතාවට ඇති විශ්වාසය රැකීමයි.
එදා ඔබ ජනතාවගෙන් ඉල්ලා සිටියේ “නීතියේ ආධිපත්‍යය නැවත ගොඩනගමු” යන පොරොන්දුව මත ඡන්දයයි. අද ජනතාව ඔබෙන් ඉල්ලන්නේත් එයමයි. “එදා කියපු නීතියේ ආධිපත්‍යය අද ක්‍රියාවෙන් පෙන්වන්න.” එදා ප්‍රතිපත්ති ප්‍රකාශනයේ නොතිබූ විසඳුමක් අද අත්‍යවශ්‍ය විසඳුමක් වී ඇත්නම්, ඒ වෙනස සිදුවූයේ ඇයි කියා ජනතාවට පැහැදිලි කරන්න. එයයි වගකීම.
එයයි විනිවිදභාවය. එයයි යහපාලනය.
රයිගම් කංකානම්ගේ අංජන ✍️






කම්කරු අමාත්‍ය හා මුදල් නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්තගේ ෆේස් බුක් පිටුවේ මෙසේ සඳහනක් දකින්නට තිබුණි. "......ජාතික ජන බලවේගය බලයට පත්වීම විවිධ බලවේග රාශියක මැදිහත්වීමෙන් වෙහෙස මහන්සිය…

ශ්‍රී ලංකාව තුළ මේ වන විට මහත් ආන්දෝලනයට තුඩු දී ඇති 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව, නීතීඥ සංගමය සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර පසුගිය අගෝස්තු 12 වැනි දා ජනාධිපති ලේකම් කාර්යාලයේ දී සාකච්ඡාවක්…

"සතුරා බලාපොරොත්තු වන දෙයම ඔවුන්ට දෙන්න. එවිට ඔවුන් එය හඳුනාගෙන තමන්ගේ සැලසුම් ස්ථිර කරගනී. ඉන්පසු ඔවුන් එම බලාපොරොත්තුව අනුව ක්‍රියා කරන තෙක් බලා සිට, ඔවුන් කිසිසේත් අපේක්ෂා නොකරන ප්‍රහාරයක් එල්ල කරන…

ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයකු ලෙස සේවය කළ ශානි අබේසේකර පසුගියදා නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස් කිරීම පිළිබඳව බොහෝ දෙනා කතා බහ කරන්නට විය. ඒ කතා බහ කළ පිරිස අතරින් ඇතැමුන් ගේ අදහස වූයේ, එම උසස්වීම ජාතික…