අවදානමක් නොගෙන වෙනසක් කළ නොහැකිය

"සතුරා බලාපොරොත්තු වන දෙයම ඔවුන්ට දෙන්න. එවිට ඔවුන් එය හඳුනාගෙන තමන්ගේ සැලසුම් ස්ථිර කරගනී. ඉන්පසු ඔවුන් එම බලාපොරොත්තුව අනුව ක්‍රියා කරන තෙක් බලා සිට, ඔවුන් කිසිසේත් අපේක්ෂා නොකරන ප්‍රහාරයක් එල්ල කරන්න"
මේ ප්‍රකාශය සඳහන්ව ඇත්තේ පුරාණ චීන දාර්ශනිකයකු සහ යුද උපාය මාර්ගිකයකු වූ සන්සු (Sun Tzu ) විසින් රචිත, ද ආට් ඔෆ් වෝ (The Art of War) නම් ග්‍රන්ථයේය.
ස්වකීය හයිරන්කාර බල ආධිපත්‍යය තුළ ජනපති අනුර දිසානායක සහෝදරයා ඔතෑනිව හැසිරෙනු ඇතැයි නීතිඥ සංඟමයේ බලය හසුරවන්නන් සිතා සිටින්නට ඇත. නීතිඥවරුන්ට අපගේ ගරුත්වයක් තිබේ. එහෙත් ඒ මහත්තරුන්ගේ සංඟමයේ මතය රටේ පොදු ජනතාවගේ ඕනෑ එපා
කම නොවන බවද කවුරු කවුරුත් සිතා ගත්තේ නම් හොදය.
පුරවැසි නිදහසට කරන කෙනෙහිලිකම...
මේ ආණ්ඩුව පත් කර ගත්තේ පුරවැසියන්ය. ආණ්ඩුවේ කෙරුවාව හොඳ නැතිනම් පන්නා දමන්නට හෝ පරාජය කළ යුත්තේද පුරවැසියන්ය. එසේ නැතුව එක එක උන්නැහේලා ලවා කප්පම් ලෙටර් ලියවා ආණ්ඩුව බිය වද්දා තම තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍ර ගොඩ දාගන්නට උත්සාහ කිරීම පුරවැසියන්ගේ ප්රජාතන්ත්රීය නිදහසට කරන කෙනෙහිලිකමකි.
අප මෙසේ ලියන්නේ හේතු ඇතුවය. පසුගිය මාස දෙක තුනක සිට නීතිඥ සංගමයට වැළඳුන කිරි පනු ගාය ගැන මේ රටෙි පුරවැසියන් පඩේකට ගණන් ගත්තේ නැත. ඒ ගාය පුරවැසියන්ට දැනුනේනම් මෙලහකටත් මේ රටේ හතර කොන ගිණි ගෙන දැවී හමාරය. එහෙත් එය එසේ නොවූයේය.
ජාජබ ආණ්ඩුව බිය වද්දා වැඩේ ගොඩ දාගන්ට හැකි වෙනු ඇතැයි ඇතමුන්ගේ විශ්වාසය වී තිබුණි. මේ ඇතමුන් අතර වැඩියෙන් සිටින්නේ කළ පව් පල දීමට නියමිතව සිටි හොර ජාවාරම්කාරයන්ය. මේ කල්ලිය, හව් හරණය සඳහා හැංගුනේ නීතිඥ සංඟමය අස්සේ යැයි අපට සිතේ. අපට වඩා ඒ ගැන හොඳට දන්නවා ඇත්තේ නීතිඥ සංගමයේ මහත්තරුන්ය.
විත්ති කූඩුවේ පරාණ වලට වැඩියෙන්ම ලව් කරන්නේ නීතිඥ මහත්තරුන්ය. ඒ ලව් දරා ගන්න බැරි වූ විට අප්පාගේ ඇමතිකම වෙන්දේසියේ දමා පාතාලයන් ගෙන් අල්ලස් ගත් කළු කෝට් මාෆියා කාරයන් ගැනද පසුගිය දින වල වාර්තා විය. නීති තර්ක විතර්ක වලට අනුව ඒ උන්දැලා තවමත් වැරදිකරුවන් වී නැති හන්දා මේ ලිවීම ද්වේශ සහගතයැයි කාට හෝ කියන්නට පුළුවන. ඒත් පඩේ ගඳත් දොරේ සද්දයත් අපට කියන්නට ඕනෑ නැත.
අධිකරණය ගැන සැක සංකා ඇති වූ හැටි..
මේ රටේ අධිකරණය ගැන පුරවැසියන්යට බොහෝ සැක සංකා ඇති වූයේ ඒ ගණු දෙනු නිසාය. බඩ ගින්නට පොල් වල්ලක් කඩා ගත් අහිංසකයෙකු අවුරුදු පහකට වැලිකඩ ගාල් කළ අධිකරණය තුළින්ම සාහසික මනුෂ්‍ය ඝාතන හා මත් ද්‍රව්‍ය ජාවාරම් පිළිබඳව ලියාපදිංචිව සිටින අපරාධකාරයන් නිදොස් කොට නිදහස් කර යැවීමට කෝටි ගණනක සල්ලි මළු වලට හැකි වී තිබුණ බව දැන් අනාවරණය වී තිබේ.
සැබැවින්ම ඒ කෂඩ ගණු දෙනුවට සම්බන්ධ වූ සිය පවුලේ වුන්ට එරෙහිව පෙනී සිටිමින් නීතිඥ සංඟමයට සිය ගෞරවණීය අභිමානය තහවුරු කරන්නට ඕනෑ තරම් අවස්ථාව තිබුණි. එහෙත් ඒ ගැන නෝ කතා නෝ සිනාය. ගෙවී ගිය පසුගිය දවස් ටිකේම නීතිඥ සංඟමය ආණ්ඩුවට එරෙහිව කඩුව අතට අරගෙන තිබුණේය.
ජනපතිවරයා සමග සාකච්ඡාවට මේ උන්නැහේලා ගියේද එළියට අරගෙන තිබුණ කඩුව කොපුවේ දාගන්නේ නැතුවමය. ඒ ගැන හොඳම සාක්ෂිය ලෙස ගත හැක්කේ ජනපතිවරයා සමග සාකච්ඡාවට යාමට පෙර සංඟමය නිකුත් කරන ලද නිවේදනයයි. මේ දෙපාර්ශවය අතර සාකච්ඡාවෙන් පසුව ඒ ගැන ජනපතිවරයා සිහිපත් කෙරුවේය.
ජනපති නීතිඥ සංගමයට කළ සිහිකිරීම්..
"..පළමුකොටම ඇත්තටම මම, ඒ කියන්නේ ඔබතුමාලා මම හිතන්නේ අද උදේ නිවේදනයක් ඉදිරිපත් කරලා තිබුණා. එතකොට අපි අද හවස එකට සාකච්ඡාවක් යොදාගෙන තිබියදී. ඒ නිවේදනයේ දී ඔබතුමාලාගේ ස්ථාවරත්වය ප්‍රකාශ කරලා තිබුණා. ඒ නිසා ඔබතුමාලා යම් ස්ථාවරයක සිට මෙතෙන්ට පැමිණෙන්නේ. මම සැලකිය යුතු ප්‍රමාණයකින් පැමිණෙන්න උත්සාහ කරේ විවෘත මනසකින්. විවෘත මනසකින් තමයි මගේ පැමිණීමේ අභිප්‍රාය බවට පත්වුණේ.
මම හිතනවා කෙසේ වෙතත් අපේ රටේ සාකච්ඡාවෙන් පස්සේ ඕන දෙයක් කියන්න, විවෘතයි. හැබැයි සාකච්ඡාවක් එකට යොදාගෙන තිබියදී උදේ නිවේදනයකින් සාකච්ඡාවේ අඩංගුව, හරය ඉදිරිපත් කරන දේ පැවසීම ඉතාමත් හොඳ දෙයක් කියලා මම පිළිගන්නේ නැහැ. ඒක විවෘත සාකච්ඡාවකට බාධාවක් කරනවා කියන එක තමයි මගේ හැඟීම. ඔබතුමාලට ඒ අයිතිය, පූර්ණ අයිතිය තියෙන ගමන් මම මේ ඉදිරිපත් කරන්නේ..."
ආණ්ඩුවේ පෞරෂය මුදා හැරිය හැටි...
ජනපතිවරයා තමන්ගේ මතයට අවනතව කටයුතු කළ යුතු බවට අදහසක් නීතිඥ සංඟමයේ කෙරුම්කාරයන් තුළ පැවතුන බව පෙනී යයි. තඹුත්තේගම තනි සිග්නල් කණුව යට කොල්ලා අළුත්කඩේ චණ්ඩි කමට පදිරි වෙනු ඇතැයි බොහෝ දෙනා සිතා සිටි බවද පෙනේ. එහෙත් ඒ සියළු දෙනාගේම අපේක්ෂාවන් උඩු යටිකුරු වී ගියේ ජනපතිවරයා කිසිම පැකිලීමකින් තොරව ආණ්ඩුවේ පෞරෂය මුදා හැරි නිසාය.
"......ඊළඟට අපේ සභාපතිතුමා කරුණු ඉදිරිපත් කරනකොට කිව්වා එතුමා, මං කෙසේවත් ඔබතුමා පුද්ගලයෙක් ලෙස සලකන්නේ නැහැ, ඔබතුමා නියෝජනය කරන නීතීඥ ප්‍රජාවේ අදහස ලෙස තමයි මා ඒ අදහස භාරගන්නේ, කිසිසේත්ම ඔබතුමාගේ පුද්ගලික අදහසක් ලෙස පිළිගන්නේ නැහැ. දෙවනුව ඔබතුමාට කියන්න පුළුවන් මේක නීතීඥවරුන්ගේ සමස්තය කියලා, තව කෙනෙකුට කියන්න පුළුවන් සමස්තය නොවේ, තව කෙනෙකුට කියන්න පුළුවන් බහුතරය, තව කෙනෙකුට කියන්න පුළුවන් සුළුතරය. ඒක විවෘතයි. ඒක අපි හැම කෙනාටම විවාද සම්පන්න කාරණයක්.
මේ සමස්තයද, බහුතරයද, සුළුතරයද, ඒක විවාද සම්පන්න කාරණයක්. මම හිතන්නේ ඒක පිළිබඳව අපි හරියටම නිගමනයකට ඇවිත් නැහැ කියලා මම හිතනවා. තුන්වෙනුව මගේ ප්‍රවේශය, ප්‍රවේශය තිබෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ. මම කිසිසේත්ම මාගේ විධායක බලය හෝ අප සතුව තිබෙන බලයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඔබ්බට පාවිච්චි කරන්න උපයෝගී කරගන්නේ නැහැ....."
ජනපතිවරයාට අනතුරු ඇඟවීමක් ද?
සංගමයේ නීතිඥවරයකු සාකච්ඡාව තුළදී ජනපතිවරයාට අනියමාර්ථයෙන් අනතුරු ඇඟවීමක් කර ඇති බවද අපට සිතේ. අපට එසේ සිතෙන්නේ ජනපතිවරයා ඔහුගේ ප්රකාශයේදී ඒ පිළිබඳව ඇඟවීමක් කර ඇති නිසාය.
"...ඊළඟට උපුල් මහත්මයා කියපු අවදානම… ඒ කියන්නේ මේ ව්‍යවස්ථා සංශෝධනය නිසා අනිත් ජනාධිපතිවරයාට යන්න වුනා, ඔබටත් යන්න වෙයි. මම යන්න ලෑස්ති මිනිහෙක්. මම මේවාවල වාඩිවෙන්න බලාගෙන ආපු මිනිහෙක් නෙමෙයි. ඒ වගේම මම, මේ වෙනස කිරීම සඳහා අවදානම ගන්න ලෑස්ති මිනිහෙක්. වෙනසක් මම හිතන්නේ නැහැ සිද්ධ වෙයි කියලා අවදානමකින් තොරව. වෙනසක් හැමවිටම සිද්ධවෙන්නේ අවදානමක් දරාගෙන.
හොඳම උදාහරණය කියන්නම්, පාස්කු පරීක්ෂණය. පාස්කු පරීක්ෂණය දියත් කරලා තිබෙන්නේ බුද්ධි අංශයට. මගේ ආරක්ෂාවටත් වග කියන්නෙත් ඔවුනුයි. හැබැයි මම පරීක්ෂණයේ යනවා. ඒ තුළ ජීවිත අවදානමක් පවතින බව මා දන්නවා. නමුත් අවදානම දරාගන්නේ නැතුව වෙනසක් කරන්න පුළුවන් කියලා මම විශ්වාස කරන්නේ නැහැ. ඒ නිසා මම අවදානම ගන්න සූදානම් මේ රටේ ජනතාව වෙනුවෙන් කියලා මම විශ්වාස කරනවා. ඒ අවදානම හමුවේ මගේ තනතුර අහිමි වෙනවා නම්, ඒවා ඉතා හොඳින් භාරගෙන මට පිටත් වෙලා යන්න ලේසියි. ඒකට මං සූදානම්..."
ලෝයර් උපුල් මහත්තයා සාකච්ඡාව තුළදී ජනපතිවරයාට පෙන්වා දී ඇත්තේ මේ ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනපති ධුරය අහිමි වන්නට ඉඩ ඇති බවය. මේ අහිමි වීම යනු අහිමි කිරීමක් මිස වෙන කෙරුවාවක් නොවේ. ජනපතිවරයා කොන්දේසි විරහිතව තමන්ට යටත් වෙනු ඇතැයි ලෝයර් උපුල් මහත්තයා හිතා ගෙන සිටින්නට ඇත.
ජනපතිවරයා සිය කතාවේදී තව බොහෝ දේ අනාවරණය කර තිබුණි.
වරප්‍රසාද වල සීමාව සොයා ගැනීම...
"......ඊළඟට මතුවුණු කරුණු ගත්තහම, වරප්‍රසාද කියන ප්රශ්නය, ඔබතුමිය මතු කරපු වරප්‍රසාද කියන ප්රශ්නය. වරප්‍රසාදය කියන එකේ සීමාව කොතනද? කොතනද වරප්‍රසාදය කියන සීමාව තිබෙන්නේ? තමන් විසින්ම තෝරාගත්තු කෙනෙක් අනාගතයේ CJ පුටුවේ වාඩිවෙන්න ඕනා කියලා පෙළගැස්වීම වරප්‍රසාදයක් නොවෙන්නේ කෙසේද?
එහෙම කරපු ඉතිහාසයක් තිබුණා. තමන්ම තෝරාගන්නවා කෙනෙක්, එයා කොහොමද මුල් පුටුවට ගේන්නේ? එතකොට ඒවත්, ඒවත් තනි පුද්ගලයෙක් කේන්ද්‍ර කරගත්තු වරප්‍රසාද. තව කෙනෙකුට අර්ථකථනය කරන්න පුළුවන්, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් ප්‍රමාණය 11 ඉඳන් 17 දක්වා වැඩි කරනවා, අභියාචනාධිකරණය 12 ඉඳන් 20 දක්වා වැඩි කරනවා. ඒ නිසා තමන්ම තෝරාගත්තු කණ්ඩායමක් ශ්‍රේෂ්ඨාධිකරණයට ගෙන්වීම සහ අභියාචනාධිකරණයට ගෙන්වීම ඉලක්ක කරගෙන මේක කරාද? ඒ නිසා මා හිතනවා අපි අධිකරණ ක්ෂේත්රයේ ඇතිකරන හැම වෙනසක්ම වරප්‍රසාදයක් හෝ තව කෙනෙකුට කරන අනිසි බලපෑමක් ලෙස අර්ථකථනය කළ හැකියි
එහෙම, එහෙම කිසිවක් නැතිවෙයි කියලා මම විශ්වාස කරනවා. මෑත කාලයේ සිද්ධ වෙච්ච වෙනස්කම් ටික බැලුවොත්, නේද, 11 – 17 දක්වා වැඩිකරනකොට එතන අර්ථකථනය කරන්න පුළුවන්නේ, මේ තමන් තෝරාගත්තු 6 දෙනෙක් ඉන්නවා ඒ හය දෙනා ගේන්න තමා මේක හදලා තියෙන්නේ කියලා. ඒ නිසා ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළේ කරන ඕනෑම වෙනස්කමක්, ඒක වැටුප් වැඩි කිරීමේ සිට නැත්නම් වාහන බලපත්‍රයක් ලබාදීම දක්වාම වරප්‍රසාද ලෙස අර්ථකථනය කරන්න පුළුවන්.
ජනපතිගේ උපරිම උත්සාහය කුමක්ද?
ඉතින් මම උපරිම උත්සාහ කරා මේක තනි පුද්ගලයෙක් කේන්ද්‍ර කරගත්තු වරප්‍රසාදයක් නොවෙන විදිහට කරන්නේ කොහොමද? ඒ නිසා මේක වරප්‍රසාදයක් ලෙස මා සලකන්නේ නෑ. මේක සලකන්නේ අධිකරණයේ මේ තියෙන තත්ත්වය තව තත්ත්වයකට ගෙන යාම, අධිකරණ පද්ධතියම තියෙන තත්ත්වයේ සිට තව තත්ත්වයකට පරිවර්තනය කිරීමක්. ඒක වරප්‍රසාදයක් ලෙස මා සලකන්නේ නෑ කෙනෙකුට ඉලක්ක කරලා.
ඊට පස්සේ එනවා, ඇයි එහෙමනම් තව අය ගියා, ඒ අයට කලින් කරන්න තිබුණා නේද? නෑ, මේක කරන ඕනෑම මොහොතකදී ඊට පෙර දිනෙක කෙනෙකුත් විශ්‍රාම යන්න පුළුවන්. මේක කරාට පසුව තව කෙනෙකුට මේ වාසිය ලැබෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේක කවදාවත් සිද්ධවෙන එකකුත් නෙවෙයි. ඒ නිසා මං, මොකද මේක කොයි වෙලාව හරි කරනවා නම් ඒ වෙනකොට කට්ටියක් විශ්‍රාම ගිහිල්ලා තිබෙනවා, ඒ වෙනකොට කට්ටියක් විශ්‍රාම වයසට ආසන්න වෙලා තිබෙනවා. ඒක මේ අධිකරණ පද්ධතියේ ඕනෑම මොහොතක පවතින එකක්. ඒ නිසා ඒක අර අනිසි වරප්‍රසාදයක් ලෙස මා අර්ථකථනය කරන්නේ නෑ, කණ්ඩායමකට අනිසි බලපෑමක් ලෙස මා අර්ථකථනය කරන්නේ නෑ.."
ජනපතිවරයා එහිදී සිඳු කරන ලද සම්පූර්ණ කතාව මෙහි සඳහන් කරන්නට අපට අවශ්‍ය නැත. ඒත් ජනපතිවරයා ගේ නොසෙලෙන පෞරෂය ගැන අපි සතුටුවෙමු. ඒ සැබෑ නායකයකුගේ ප්‍රතිරූපයයි. මේ රටේ ඕනෑම තරාතිරකම පුරවැසියෙකුට හෝ කණ්ඩායමකට පවතින ආණ්ඩුවට එරෙහිව මතයක් දැරීමට අයිතියක් තිබේ. එහෙත් ඒ අයිතිය යනු බලහත්කාරය හෝ ප්රචන්ඩත්වය නොවෙි.
සිය වෘත්තිමය ආධිපත්‍යය පෙන්වා මහජන ඡන්දයෙන් පත් කරන ලද ජනපතිවරයකු එලවා දමන්නට සිතන්නේ නම් අපට ඒ ගැන ලියන්නට ඇත්තේ පුරවැසියන් දෙකේ කොලයට දමා ඒ කෙරුවාල් වචිචයි කියා පමණය. ඒ සමගම අවදානමක් දරා ගන්නේ නැතුව වෙනසක් කළ නොහැකි බවට ජනපතිවරයා විසින් කළ ප්‍රකාශයද සහතික ඇත්ත බව අපේ කියවීමය.
දක්ෂිණ ලියනාරච්චි ✍️



