මුල් පිටුවට
නවතම ප්‍රවෘත්තිPolitical

නීතිඥ සංගමයේ රුදාව සනීප ද? රජීව් හතරගාතෙන් වැටිලා ද?

ලියුවේ Admin
නීතිඥ සංගමයේ රුදාව සනීප ද?  රජීව් හතරගාතෙන් වැටිලා ද?

ශ්‍රී ලංකාව තුළ මේ වන විට මහත් ආන්දෝලනයට තුඩු දී ඇති 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව, නීතීඥ සංගමය සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර පසුගිය අගෝස්තු 12 වැනි දා ජනාධිපති ලේකම් කාර්යාලයේ දී සාකච්ඡාවක් පැවැත්විණි.


මේ සාකච්ඡාවෙන් පසුව සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ පළවන අදහස් අතර කැපී පෙනෙන අදහස් වී ඇත්තේ, නීතීඥ සංගමයේ සභාපතිට ' හතරගාතේ වැටෙන්නට ' ජනාධිපතිවරයා හොඳ ප්‍රහාරයක් එල්ල කළ බවය. ඒ අනුව ඒ මතය දරන අය උද්දාමයට පත් වී ඇති බවක් පෙනෙන්නට තිබේ.


මේ ලිපියේ අරමුණ, ඇත්තටම එදා සිදුවුයේ කුමක්ද යන්නත්, හතරගාතේ වැටී හෝ වැටෙන්නට නියමිතව ඇත්තේ කවුද යන්නත් පිලිබදව තේරුම් ගැනීමට අවශ්‍ය ජාතික හා ජාත්‍යන්තර චලනයන් මොනවාද යන්න පැහැදිලි කිරීම ය. 


සාකච්ඡාවෙන් පසු ස්ථාවරයන් වෙනස් වෙලා ද?...


විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට අදාළ ව්‍යවස්ථා සංශෝධනය ගෙන එන්නේ, 

කාර්යක්ෂමතාව, නඩු ගොඩගැසීම අඩු කිරීම, පළපුරුද්ද රඳවා ගැනීම යන අරමුණු උදෙසා බව ආණ්ඩුව පැත්තෙන් ඉදිරිපත් කරන අදහසය. 


නීතිඥ සංවිධානය සහ විරුද්ධ පක්ෂ ඇතුළත් අනෙකුත් පාර්ශ්ව මතු කරන්නේ මෙම  සංශෝධනය, අධිකරණ ස්වාධීනත්වයට බලපෑම් ඇති කරන බවය. 


පසුගිය දා ජනාධිපතිවරයා සමඟ නීතීඥ සංගමය සිදු කළ සාකච්ඡාවේදී හෝ ඉන් පසුව හෝ නීතීඥ සංගමය දැරූ ස්ථාවරය, එනම් විනිසුරුවන් ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට ගන්නා ක්‍රියා පිළිවෙතට එරෙහිව ඔවුන් දැරූ ස්ථාවරය කිසිදු වෙනසක් මේ දක්වා සිදු වී ඇති බවට තොරතුරක් නැත.


එම සාකච්ඡාවේ දී ඔවුන් ඉල්ලා ඇත්තේ, අධිකරණ සංඛ්‍යාව වැඩි කිරීම හෝ විශ්‍රාම වයස වෙනස් කිරීම වැනි තීරණ හදිසියේ නොගෙන, සමස්ත ක්ෂේත්‍රයේම, එනම් නීතීඥවරුන්, විද්වතුන් සහ පර්යේෂකයන් සමඟ පුළුල් කතිකාවක් සහ එකඟතාවයකින් පසුව පමණක් නැවත සලකා බලන ලෙස ලෙස ය.


ජනාධිපතිවරයා ගේ අදහස වූයේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ තීරණය කිසිදු පුද්ගලයෙකු ඉලක්ක කර ගෙන ගත් එකක් නොවන බව සහ එය මහජන යහපත සඳහා ගත් ප්‍රතිපත්තිමය තීරණයක් බවය. මෙය සමස්ත අධිකරණ පද්ධතිය ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙලේ එක කොටසක් පමණක් බව ඔහු ගේ මතය විය.


මේ අනුව පෙනී යන්නේ දෙපාර්ශවයම තම තමන්ගේ මුල් ස්ථාවරයන්හිම තව දුරටත් රැඳී සිටින බවය.


ප්‍රංශයෙන් මතු වූ විරෝධය......


22 වන ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව මේ වන විට ජාතික වශයෙන් මෙන්ම ජාත්‍යන්තර වශයෙන් ද විරෝධතා මතු වී ඇති බව රහසක් නොවේය.


ප්‍රංශයේ ජාතික නීතීඥ මණ්ඩලය (Conseil National des Barreaux- CNB) ශ්‍රී ලංකාවේ විනිසුරුවරුන් ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට අදාළව ඉදිරිපත් වී ඇති යෝජනාව සම්බන්ධයෙන් සිය විරෝධය සහ කණගාටුව ශ්‍රී ලංකාවේ බලධාරීන් වෙත මේ වන විටත් පළ කර හමාර ය. 


ශ්‍රී ලංකාවේ නීතීඥ සංගමය මේ සම්බන්ධයෙන් දැක්වූ විරෝධයට සහ මතයට සම්පූර්ණ සහාය පළ කරමින් ප්‍රංශ නීතීඥ මණ්ඩලය විසින් විශේෂ යෝජනාවක් සම්මත කර ඇත. එම යෝජනාව මගින් ඔවුන් කියා සිටින්නේ, නව සංශෝධනය මගින් අධිකරණයේ ස්වාධීනත්වයට විධායක බලපෑම් එල්ල වන බවට මහජනතාව අතර සැකයක් මතුවිය හැකි බවය. 


එසේම මෙම සංශෝධනය ඉදිරියට ගෙන යෑමෙන් වළකින ලෙසත්, අධිකරණයට අදාළ ඕනෑම වෙනස්කමක් ඊට අදාළ පාර්ශ්වයන් සමග පුළුල් ලෙස සාකච්ඡා කර සිදු කරන ලෙසත් ඔවුන් ශ්‍රී ලංකාවේ බලධාරීන්ගෙන් ඉල්ලා ඇත. ඔවුන්ගේ මෙම යෝජනාව ජාතික නීතීඥ නිල වෙබ් අඩවිය වන cnb.avocat.fr හී ප්‍රකාශයට පත් කර ඇත.


පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල විරෝධය...


මීට අමතරව පොදුරාජ්‍ය මණ්ඩලීය නීතීඥ සංගමය ( Commonwealth Lawyers Association - CLA ) නිවේදනයක් නිකුත් කරමින් මෙම සංශෝධනයට එරෙහිව සිය ස්ථාවරය ප්‍රකාශ කර තිබේ. පොදුරාජ්‍ය මණ්ඩලීය නීතීඥ සංගමය යනු, පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල් 56 ක නීතීඥවරුන් සහ නීති සංගම් නියෝජනය කරන සංවිධානයකි.


ඔවුන් ගේ මතය වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට කොටස් වශයෙන් සංශෝධන එකතු කිරීමෙන් ව්‍යවස්ථාවේ තදබල බව සහ ගෞරවය හීනවන බවය. එසේම, පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල් බැඳී සිටින ලැටිමර් හවුස් මූලධර්ම (Latimer House Principles) වලට අධිකරණයේ ස්වාධීනත්වය සුරැකිය යුතු බවත්, දැනට සේවයේ සිටින විනිසුරුවන්ගේ කාලය හදිසියේ දීර්ඝ කිරීම, අධිකරණය කෙරෙහි මහජනතාව තබා ඇති විශ්වාසයට හානියක් වන බවත් ඔවුන් අවධාරණය කර ඇත.


අනෙක් අතට ජාත්‍යන්තර නීති ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ ජාල සහ මානව හිමිකම් නිරීක්ෂණ කණ්ඩායම් ශ්‍රී ලංකා නීතිඥ සංගමයට සහය පළ කරමින් බොහෝ කරුණු පෙන්වා දී තිබේ.


ඉන්දීය විරෝධයේ ස්වරූපය....


මීට අමතරව ඉන්දියාවේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයන් සහ ජාත්‍යන්තර ආසියානු නීති සංවිධාන හරහා ද අදහස් පළ වී තිබේ. 


ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයේ ප්‍රමුඛ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයෙකු මෙන්ම ආසියා සහ පැසිෆික් කලාපීය නීතීඥ සංගමයේ ( LAWASIA ) හිටපු සභාපතිවරයෙකු වන ශ්‍යාම් දිවාන් මහතා මේ පිළිබඳව සිය බරපතල කණගාටුව සහ නීතිමය නිරීක්ෂණ ඉදිරිපත් කර ඇත.


ශ්‍රී ලංකා රජය විසින් හදිසියේ ගෙන ඒමට උත්සාහ කරන මෙම සංශෝධනය මගින් අධිකරණයේ ස්වාධීනත්වයට සහ නීතියේ ආධිපත්‍යයට දැඩි බලපෑමක් සිදු විය හැකි බවට නීති ක්ෂේත්‍රය තුළ පවතින බිය සහ සැකය සාධාරණ බව ඔහු පෙන්වා දී තිබේ.


විදේශ රාජ්‍යයන් බලපෑම් කරන විදිහ....


සාමාන්‍යයෙන් බොහෝ විදේශ රාජ්‍යයන් සෘජුවම වෙනත් රටක අභ්‍යන්තර නීතිමය සංශෝධන ගැන රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් ප්‍රකාශ නිකුත් නොකරයි. ඒ වෙනුවට ඔවුන් සිදු කරන්නේ තම රටවල නීතීඥ සංගම් සහ ජාත්‍යන්තර සංවිධාන හරහා නීතියේ ආධිපත්‍යය සුරැකීමට මෙවැනි බලපෑම් එල්ල කිරීමයි.


මේ සියල්ල සලකා බලන විට, 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඒ ආකාරයෙන්ම හිස මුදුනින් පිළිගෙන ඒ අනුව උද්දාමයට පත් වී සිටින අය අසන "කෝචෝක් ප්‍රශ්නය" වන නීතිඥ සංගමයේ සභාපතිගේ රුදාව දැන් සනීප ද? යන්නට පැහැදිලි පිළිතුරක් ලැබී ඇත. 


'රුදාව' හිතුවාටත් වඩා සනීප වෙලා ද?..


එනම්, නීතීඥ සංගමයේ සභාපතිගේ  ඉලක්කය ඔහු මේ වන විට සපුරා ගෙන ඇත. නීතිඥ සංගමයේ මතය ජාතික වශයෙන් යම් කොටසකට මෙන්ම ජාත්‍යන්තර වශයෙන්  සම්පූර්ණයෙන්ම පිලිගැනීමට ලක්වන අයුරින් ඔවුන් කටයුතු කර තිබෙන බව අකමැත්තෙන් වුවද පිලිගැනීමට සිදුවනු ඇත. ඒ අනුව ගත් විට ඔහුගේ 'රුදාව' හිතුවාටත් වඩා හොඳින් සනීප වෙමින් පවතින බව පෙනේ.


22 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඒ ආකාරයෙන්ම ඉටු කර ගැනීමට පක්ෂව පෙනී සිටින ආණ්ඩුව සහ ආණ්ඩුවට පක්ෂපාතී පාර්ශවයන් ඉදිරිපත් කරන ප්‍රධාන මතය වන්නේ, මෙමගින් දූෂිත දේශපාලඥයන්ට සහ නිලධාරීන්ට  එරෙහිව දැනට විභාග වන නඩු ඉක්මන් කර දඬුවම් දීම සඳහා අත්දැකීම් ඇති සහ ආණ්ඩුවට පක්ෂපාතී ජ්‍යෙෂ්ඨ විනිසුරුවන් පද්ධතිය තුළ තව දුරටත් තබා ගත යුතුය යන්න ය. මෙය මහජනතාව අතර ද දේශපාලනික වශයෙන් ඉතා ජනප්‍රිය සහ ආකර්ශනීය තර්කයක් බව අවිවාදිත ය.


නමුත්, නීතිමය, ව්‍යවස්ථාපිත සහ ප්‍රජාතන්ත්‍රවාදී සිද්ධාන්තයන් අනුගමනය කරන විට මෙම තර්කයේ ඇති ප්‍රායෝගික හා නීතිමය ගැටලු බොහෝ පවතින බව බැහැර කළ නොහැක.


"දූෂිතයන්ට දඬුවම් දීමේ" ලේබලය....


ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් යනු යම් එක නිශ්චිත විනිසුරුවරයෙකු, පුද්ගලයෙකු හෝ නිශ්චිත නඩු කීපයක් ඉලක්ක කරගෙන වෙනස් කළ යුතු එකක් නොවේ. එසේම යම් අවස්ථාවක " හොඳ වැඩක්" සඳහා ව්‍යවස්ථාවේ නීති ලිහිල් කළහොත්, අනාගතයේ දී පැමිණෙන වෙනත් ආණ්ඩුවකට තමන්ට අවශ්‍ය විනිසුරුවන් තබා ගැනීමට හෝ තමන්ට අභිමත පරිදි නඩු මෙහෙයවීමට එම පූර්වාදර්ශයම ( " දූෂිතයන්ට දඬුවම් දීමට" යන ලේබලයට යටතේ) භාවිතා කිරීමට මග පෑදෙන බව සහතික ය.


නීති ක්ෂේත්‍රයේ පිළිගත් මූලධර්මය වන්නේ " විනිසුරුවන් යනු පද්ධතියේ කොටසක් මිස සමස්ත පද්ධතියම නොවේ " යන්නයි. දූෂණ නඩු විභාග කිරීම සහ දඬුවම් දීම සිදු කරන්නේ ව්‍යවස්ථාපිත නීති මගින් මිස යම් නිශ්චිත විනිසුරුවරයෙකුගේ පෞද්ගලික කැමැත්ත මත නොවේ. යම් විනිසුරුවරයෙකු විශ්‍රාම ගිය ද, එම නඩුව ඉදිරියට ගෙන යාමට සහ සාක්ෂි මත පදනම්ව නිවැරදි තීන්දුව ලබා දීමට ඊළඟට පැමිණෙන විනිසුරුවරයාට සම්පූර්ණ නීතිමය බලය සහ හැකියාව ඇත.


ඉක්මනින් දඬුවම් දීමට අවශ්‍ය නම්....


දූෂණ නඩු ඉක්මන් කර දඬුවම් දීමට අවශ්‍ය නම්, කළ යුත්තේ දූෂණ හා මූල්‍ය අපරාධ නඩු සඳහා දෛනිකව විභාග වන විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ පද්ධති ශක්තිමත් කිරීමය. එසේම පවතින පුරප්පාඩු ඉක්මනින් පිරවීම සහ පහළ අධිකරණ සඳහා අලුතින් විනිසුරුවන් බඳවා ගැනීමය. 


නඩු ප්‍රමාද වීමට ප්‍රධානතම හේතුව වන්නේ පරීක්ෂණ ප්‍රමාදය සහ නඩු පැවරීමේ ප්‍රමාදයයි. එම ආයතන වලට තාක්ෂණික හා මානව සම්පත් ලබා දීමෙන් නඩු ඉක්මන් කළ හැකි ය.


දූෂිතයන්ට දඬුවම් දීම සහ නඩු ඉක්මන් කිරීම සමස්ත සමාජයේම අපේක්ෂාව වුවද, එය කළ යුත්තේ අධිකරණ පද්ධතියේ ව්‍යූහාත්මක ප්‍රතිසංස්කරණ සහ ආයතන ශක්තිමත් කිරීම මගින් මිස, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පවතින විනිසුරුවන්ගේ ධූර කාලයන් වෙනස් කිරීම වැනි විධායකයේ මැදිහත්වීමක් ලෙස අර්ථ දැක්විය හැකි පියවරයන් මගින් නොවේ.


එරෙහිවන්නන් එක මල්ලකට දමා ගැනීම..


මෙම සංශෝධනයට එරෙහිවන්නන් අතර විවිධ අරමුණු තිබේ. මේ සියල්ලෝම එක මල්ලකට දමා විවේචනය කිරීම හෝ පහරදීමට හෝ ආණ්ඩුව සහ ආණ්ඩුවට පක්ෂපාතී පාර්ශවයන් ක්‍රියා කරන්නේ නම්, එයින් පැහැදිලි වන්නේ එක්කෝ ඔවුන්ගේ අපරිණතභාවය ය. නොඑසේ නම් දඩබ්බරකමය.


නීතිඥ සංගමය සහ නීති විශාරදයන් ඇතුළු නීති ක්ෂේත්‍රයේ ප්‍රජාවගේ අරමුණ සහ පරාදීන දූෂිත දේශපාලඥයන්ගේ අරමුණු අතර පවතින පැහැදිලි වෙනස හරි හැටි හඳුනාගෙන කටයුතු කිරීම ආණ්ඩුවේ වගකීමය. නොඑසේ නම් සිදුවන්නේ ගැටලු ලිහා ගැනීමට වඩා ගැටලු තව තවත් සංකිර්ණ වීම පමණය. 


නීතිඥ සංගමය ප්‍රමුඛ නීතීඥ ප්‍රජාවගේ අරමුණ වන්නේ, අධිකරණයේ ස්වාධීනත්වය, නීතියේ ආධිපත්‍යය සහ ව්‍යවස්ථාවේ පවතින ස්ථාවරත්වය ආරක්ෂා කිරීමය. එහිදී, ආණ්ඩුව කවුරුන් වුවද, විධායකය විසින් තමන්ට හිතුමනාපයට විනිසුරුවන්ගේ ධූර කාලයන් වෙනස් කිරීම නරක පූර්වාදර්ශයක් බව ඔවුන්ගේ මතයයි.


විපක්ෂයේ දේශපාලන පක්ෂ විසින් සිදු කරන විරෝධයේ අරමුණු ඊට ඉඳුරාම වෙනස් ය. ඔවුන්ගේ එක් අරමුණක් වන්නේ, මේ සංශෝධනය ආණ්ඩුවේ ඒකාධිපති පියවරක් ලෙස ජනතාව අතර ප්‍රචාරය කිරීම මගින් ආණ්ඩුවට එරෙහිව දේශපාලන වාසි ලබා ගැනීමට කටයුතු කිරීම ය.


එසේම විපක්ෂයේ දේශපාලන පක්ෂවලින් මතු වන විරෝධයේ අනෙක් ප්‍රබල කාරණය වන්නේ, ඔවුන්ට එරෙහිව පවතින නඩු විභාග කරන විනිසුරුවන් විශ්‍රාම යාමට ඉඩ සලසා එම නඩු ප්‍රමාද කරගැනීමට හෝ දඬුවම්වලින් බේරීමේ අරමුණ ය.  


ජනතාව තුළ ද එවැනි හැඟීමක් ඇත. එය සාධාරණය. නමුත් රටක් ලෙස මුහුණ දීමට සිදුවන ප්‍රධානතම ඛේදනීය තත්ත්වය වන්නේ " සාධාරණ අරමුණක් වෙනුවෙන් වැරදි පූර්වාදර්ශයක් භාවිතා කිරීමට සූදානම් වීමය.


සංශෝධනයකින් තොරව ඉදිරියට ගියොත් මොකක් වෙයිද...


කෙසේ වෙතත් ආණ්ඩුව මෙම තීරණය කිසිදු සංශෝධනයකින් තොරව ඒකපාර්ශ්විකව ඉදිරියට ගෙන ගියහොත්, ඉතා බරපතල ජාතික සහ ජාත්‍යන්තර ගැටලු රාශියකට මුහුණ දීමට සිදු වන බව අතිශෝක්තියකට එහා ගිය යථාර්ථයක් වීමට ඇති ඉඩ බැහැර කළ නොහැක.


ජාතික වශයෙන් ගත් විට අධිකරණ පද්ධතිය තුළ අඩපණ වීමක් සිදු වීමට ඉඩ ඇත. නීතිඥ සංගමය ඇතුළු නීති ක්ෂේත්‍රයේ පාර්ශවයන් අධිකරණ කටයුතු වලින් ඉවත් වීම, උද්ඝෝෂණ හෝ සේවා වර්ජන වැනි තීන්දු වෙත යොමු වීමට ඉඩ ඇත. 


නීතිඥවරුන්ගේ වර්ජන හමුවේ නඩු විභාග කල් යාම නිසා දෛනිකව අධිකරණය හමුවට පැමිණෙන සාමාන්‍ය ජනතාව දැඩි අසීරුතාවයට පත්වීමට ඉඩ ඇත.


අනෙක් අතට ජාත්‍යන්තර මට්ටමින් ගත් විට ආර්ථික සහ රාජ්‍ය තාන්ත්‍රික පීඩනයකට ආණ්ඩුවට මුහුණ දීමට සිදුවිය හැක. යුරෝපා සංගමයේ GSP+ බදු සහනය සහ IMF වාරික ලබාගැනීමේදී "අධිකරණයේ ස්වාධීනත්වය සහ සුපාලනය"  යන්න ප්‍රධාන සාධකයකි. ජාත්‍යන්තර නීති සංගම් මගින් එල්ල වන පීඩනය හමුවේ මෙම සහනයන් පිලිබඳ නැවත සමාලෝචනයන් සිදුවිය හැක. 


විධායකය, අධිකරණයට බලපෑම් කරන්නේ යැයි ජාත්‍යන්තරව නැගෙන මතය නිසා ශ්‍රී ලංකාව කෙරෙහි ඇති විදේශ ආයෝජකයන්ගේ විශ්වාසය බිඳවැටීමට ද ඉඩ තිබේ.


තීරණය වෙනස් වීමට ඉඩකඩක් නැති ද?


මෙම සියලු තත්ත්වයන් ගැඹුරින් සලකා බැලූ විට, ආණ්ඩුවේ තීරණය වෙනස් වීමට යම් ඉඩකඩක් නැතැයි කිසිවෙකුට කිව නොහැක. දේශපාලනමය වශයෙන් පක්ෂ පාර්ශවයන් දැඩි ස්ථාවරයක සිටින බව පෙන්නුම් කළද, ප්‍රායෝගික හා රාජ්‍ය තාන්ත්‍රික යථාර්ථයන් හමුවේ රජයන් සිය තීරණ නැවත සලකා බැලූ අවස්ථා ඕනෑ තරම් තිබේ. එවැනි සිදුවීම් අසාමාන්‍ය නොවේ.


එබැවින් මෙම සංශෝධනය දැනට පවතින ස්වරූපයෙන්ම ඒකපාර්ශ්වික සම්මත වීමට ඇති ඉඩකඩට වඩා, යම් සංශෝධනයන් සහිතව වෙනස් වීමට ඇති ඉඩකඩ වැඩිය.

ඒ සඳහා තවමත් කල් තිබෙන බැවින්, නීතීඥ සංගමයේ සභාපතිගේ "රුදාව සනීප ද?" යැයි ඇසීමට හෝ "නීතීඥ සංගමය හතරගාතෙන් වැටුණා " යැයි කීමට ඉක්මන් නොවී සිටීම ප්‍රඥාගෝචර වනු ඇත.



රයිගම් කංකානම්ගේ අංජන ✍️ 

සියලු ප්‍රවෘත්තිPolitical

ජාතික ජන බලවේගය රී සෙට් වෙනවාද නැතිනම් කෙලවා ගන්නවාද ?
නවතම ප්‍රවෘත්තිPolitical

ජාතික ජන බලවේගය රී සෙට් වෙනවාද නැතිනම් කෙලවා ගන්නවාද ?

කම්කරු අමාත්‍ය  හා මුදල් නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්තගේ ෆේස් ⁣බුක් පිටුවේ මෙසේ සඳහනක් දකින්නට තිබුණි.  "......ජාතික ජන බලවේගය බලයට පත්වීම  විවිධ බලවේග රාශියක මැදිහත්වීමෙන් වෙහෙස මහන්සිය…

ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් 'කොකා පෙන්නීම
නවතම ප්‍රවෘත්තිPolitical

ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් 'කොකා පෙන්නීම

නඩු ප්‍රමාදය යනු ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතියේ දිගුකාලීන ගැටලුවකි. ඒ බව NPP/JVP ය තමන් 2024 දී ජනතාවට ඉදිරිපත් කළ " පොහොසත් රටක් ලස්සන ජීවිතයක්" නමැති ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන්ම පිළිගෙන තිබේ. "නීතිය මත…

අවදානමක් නොගෙන වෙනසක් කළ නොහැකිය
නවතම ප්‍රවෘත්තිPolitical

අවදානමක් නොගෙන වෙනසක් කළ නොහැකිය

"සතුරා බලාපොරොත්තු වන දෙයම ඔවුන්ට දෙන්න. එවිට ඔවුන් එය හඳුනාගෙන තමන්ගේ සැලසුම් ස්ථිර කරගනී. ඉන්පසු ඔවුන් එම බලාපොරොත්තුව අනුව ක්‍රියා කරන තෙක් බලා සිට, ඔවුන් කිසිසේත් අපේක්ෂා නොකරන ප්‍රහාරයක් එල්ල කරන…

පොලීසිය බල්ලා මාක් එකට ඇද දැමූ පරණ නිළමක්කාරයෝ
නවතම ප්‍රවෘත්තිPolitical

පොලීසිය බල්ලා මාක් එකට ඇද දැමූ පරණ නිළමක්කාරයෝ

ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයකු ලෙස සේවය කළ ශානි අබේසේකර පසුගියදා නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස් කිරීම පිළිබඳව බොහෝ දෙනා කතා බහ කරන්නට විය. ඒ කතා බහ කළ පිරිස අතරින් ඇතැමුන් ගේ අදහස වූයේ, එම උසස්වීම ජාතික…