ජාතික ජන බලවේගය රී සෙට් වෙනවාද නැතිනම් කෙලවා ගන්නවාද ?

කම්කරු අමාත්‍ය හා මුදල් නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්තගේ ෆේස් බුක් පිටුවේ මෙසේ සඳහනක් දකින්නට තිබුණි.
"......ජාතික ජන බලවේගය බලයට පත්වීම විවිධ බලවේග රාශියක මැදිහත්වීමෙන් වෙහෙස මහන්සියකින් සිදුවූ එකකි. මේ වන විට ජාතික ජන බලවේගයේ නායකත්වයට පත්වී ඇති බොහෝ දෙනෙක් පසුගිය දශක දෙකක පමණ කාලය ලංකාවේ විශ්වවිද්‍යාලයාල තුළ විද්‍යාර්ථීන් වශයෙන් සිටි අයයි. මේ සුවිශේෂීතාවය නිසාම එම කාලයේ විද්‍යාර්ථීන් වූ ලංකාවේ සියලුම විශ්වවිද්‍යාලවල විශ්වවිද්‍යාල ප්‍රජාව බලවේගයක් ලෙස ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරවීම සඳහා අති විශාල වෙහෙසක් දරන ලදී. බලය ලබා ගැනීම සඳහා වෙහෙස වූ එම ප්‍රජාව දැන් රට ගොඩනැගීම සඳහා බුද්ධිමය දායකත්වය සපයන බලවේගයක් ලෙස නැවත ගොනුවෙමින් සිටි. මෙහි ආරම්භක පියවරක් ලෙස අගෝස්තු 07 වන දින ගම්පහ දිස්ත්‍රික්කයේ පදිංචි, සියලුම විශ්ව විද්‍යාලවල ඉගෙනුම ලැබූ විද්‍යාර්ථින් පිරිසක් ගම්පහ යක්කල ප්‍රදේශයේදී නැවතත් බල මුළුගැන්වුණි. මෙම අවස්ථාවට කම්කරු අමාත්‍ය සහ මුදල් නියෝජ්‍ය අමාත්‍යය අනිල් ඡයන්ත ප්‍රනාන්දු සහෝදරයා ද සහභාගි විය. ඉදිරි කාලයේදී මෙම සමස්ත බල වේගය රට ගොඩනැගීමේ කාර්ය සඳහා දායක වීමේ අරමුණ ඇතිව මාසිකව මුණගැසීමට නියමිතව ඇත..."
මේ ලියවිල්ල කියවද්දී අපට සිහිපත් වූයේ පාන්දරට බෙට්ට කරවී රෙන්න බැරි වන විට රාත්‍රීයේ පෙරේතකමට කෑ ඒවා පවා මතක් වෙන්නට පටන් ගන්නා බවය.
මිතුරු බලවේග පයිසෙකට ගණන් නොගැනීම.....
ජාතික ජන බලවේගය බලයට පත් වීම විවිධ බලවේග රාශියක මැදිහත් වීමක් බව අනිල් ජයන්ත ලියා තිබේ. පහුගිය දවස්වල ජාතික ජන බලවේග ආණ්ඩුවේ කෙරුම්කාරයන් බොහෝ දෙනෙක් වැඩ කෙරුවේ මේ රටේ ආණ්ඩුකරණ බලය ඒ වාහෙලාට දුන්නේ දෙවියන්වහන්සේ බව සිතා ගෙනය. ඒ දවස්වල ඔය දැන් කියන ආණ්ඩුව බලයට පත් කරවන ලද බලවේග පයිසෙකට ගණන් ගත්තේ ද නැත.
එහෙත් දැන් මුඛ පූට්ටු වෙමින් යන වටපිටාවක් නිර්මාණය වෙමින් තිබෙන බව උන්දැලාට දැනී වැටහී තිබේ. ආරක්ෂක නියෝජ්‍ය ඇමති අරුණ ජයසේකරද ජාතික ජන බලවේගයේ හමුදා විශ්‍රාමිකයන් ගේ සමූහය කූද්දන්නට පිටියට බැස තියෙන බවත් පසුගියදා වාර්තා විය.
ජාතික ජන බලවේග ආණ්ඩුව බලයට පත් කිරීම සඳහා විශ්වාසය තැබූ බොහෝ හමුදා විශ්‍රාමිකයන් සිටින්නේ "මුන්ට කෙළෙහි ගුණයක් නැති" යැයි චෝදනා කරමිනි. ආණ්ඩුව බලයට පත් වීමෙන් පසුව හමුදා පොලිස් විශ්‍රාමික සමූහයන් හා කිසිදු සාකච්ඡාවක් නොවීය.
ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයාට හා අමාත්‍යංශ ලේකම්වරයාට යවන ලිපියකට අඩුම තරමේ ලැබුණ බවවත් දන්වා පිළිතුරක් නොලැබුණු බව පවසන හමුදා විශ්‍රාමිකයන් බොහෝය. මිල්ටෙරි මානසිකත්වයෙන් එලියට බැස නියෝජ්‍ය ආරක්ෂක ඇමතිවරයා නැවත හමුදා විශ්‍රාමිකයන් හමුවීම යාම යන්තමින් හෝ වැඩේ ගොඩදා ගැනීමට පුළුවන් විය හැකිය.
ආණ්ඩුවේ ශක්තිය ගැන වරද්දා ගත් තැන..
ඇත්තටම වැඩේ හොඳය. ප්‍රමාද වී හෝ ආණ්ඩුවට මොළය පෑදී ඇති බව පෙනෙන්නට තිබේ. ජාතික ජන බලවේගයට සම්බන්ධ ජවිපෙ නියෝජිතයන් හිතාගෙන හිටියේ ආණ්ඩුවේ ශක්තිය ඇත්තේ මරාගෙන මැරෙන ජවිපෙ කාඩරය තුළ පමණක් බවය.
වරද්දා ගත් තැන එතැනය. ජාතික ජන බලවේගයට ආණ්ඩු බලය අත්පත් කර ගැනීම සඳහා පුරවැසි සමාජය තුළ විවිධ ක්‍රියාකාරකම් මුදා හරිමින් හා මතවාදීව සහයෝගය දැක්වු බොහෝ දෙනෙකු මේ වන ආණ්ඩුව පිළිබඳව කළකිරීමෙන් සිටී.
මේ බොහෝ දෙනෙකු පසුගිය ආණ්ඩුවලට සම්බන්ධ දේශපාලන ක්‍රියාකාරීන් වේ. සැබැවින්ම එම දේශපාලන ක්‍රියාකාරීන් තමන් සම්බන්ධව සිටි දේශපාලන පක්ෂ අත් හැර ජාතික ජන බලවේගය වටා එක් වූයේ බොහෝ අපේක්ෂාවන් ඇතිවය. ඒ අපේක්ෂාවන් පෞද්ගලිකත්වය ඉක්මවා ගිය ප්‍රතිපත්තිමය කාරණා හා බැඳුනු ඒවාය.
එයින් වැඩිදෙනෙකු ජාතික ජන බලවේගයෙන් පෞද්ගලික වාසි බලාපොරොත්තු වූ අයවළුන්ද නොවේ. මවුබිම නැවත ඉහළට එසවීම කළ යුතු බව ඔවුන්ගේ හෘදයාංගම විශ්වාසය විය. එහෙත් ජාතික ජන බලවේගය ආණ්ඩු බලය ලබා ගැනීමත් සමගම ඔවුන් හා ජාතික ජන බලවේගය්ෆ කෙරුම්කාරයන් අතර බැඳී පැවතුන සමීපත්වය ආණ්ඩු පාර්ශවය විසින්ම කෙළෙහි ගුණයක් නැති ආකාරයට නොතකා හරින ලදී.
පට්ට දූෂිතයන් තුරුල්ලට ගැනීම....
ජාතික ජන බලවේග ආණ්ඩුවේ කෙරුම්කාරයන් ගණු දෙනු කරන්නට ගත්තේ රාජ්‍ය යාන්ත්‍රණයේ පට්ට දූෂිතයන් සමගය. රාජ්‍ය යාන්ත්‍රණය තුළ සිටි ජාතික ජන බලවේග පාක්ෂිකයන්ද ඉන් බලවත් කම්පනයකට ලක් වූහ. දූෂිත රාජ්‍ය මාෆියාව වෙනදාටත් වඩා බලවත් වෙන්නට පටන් ගැනීම නිසා පුරවැසියන්ටද සිද්ධ වූයේ බොහෝ දුෂ්කරතාවලට මුහුණ දෙන්නටය.
තමන්ට රාජ්‍ය යාන්ත්‍රණයෙන් සිදුවන කුඩම්මාගේ සැළකිල්ල පිළිබඳව පැමිණිලි කිරීමට ජාතික ජන බලවේගයේ මහජන නියෝජිතයන් හමුවූ විට අසන්නට ලැබුණේ කට පාඩම් කළ ගාථාවකි. ඒ, අනේ අපි රජයේ නිළධාරීන්ට බලපෑම් කරන්නෑ. ප්‍රශ්ණය ඉහළ නිළධාරියාට පැමිණිලි කරන්න යැයි කියවෙන ගාථාවය.
ඒ කියන ඉහළ නිළධාරියා සිය අධිකාරිමය බලයෙන් ඔළුව උදුම්මාගත් හා පුරවැසියන් පඩේකට ගණන් නොගන්නා නිළමේවරයෙක් නම්, ප්‍රශ්ණයට මුහුණ දී සිටින පුරවැසියාට සිද්ධ වූයේ ජාතික ජන බලවේගය බලයට පත් කිරීම සඳහා තමන් ඡන්ද පත්‍රිකාවේ ගැසූ කතිරය ගැන කණගාටුවට පත් වීම පමණය.
ජාතික ජන බලවේගය, රාජ්‍ය යාන්ත්‍රණය හැසිරවීමට තරමේ කොන්දක් නැති නපුංසක ආණ්ඩුවක් බවට මතයක් සමාජය පුරා ගොඩනැගෙමින් පවතින්නේ මෙවැනි වටපිටාවකය.
කෙරුම්කාරයන් නොදන්නා අඩිතාලමේ දෙදරීම....
පුරවැසියන් ජාතික ජන බලවේග ආණ්ඩුවට බලය දුන්නේ වෙනසක් අපේක්ෂාවෙනි. එහෙත් ඒ වෙනස නිසා කෙල වූයේ තමන්ටම බව පුරවැසියන්ට දැන් දැනෙමින් තිබේ. ඒ නිසාම ආණ්ඩුවේ අඩිතාලම යම් කම්පනයකට පත් වී ඇති බව ආණ්ඩුවේ කෙරුම්කාරයන් වටහා ගත යුතුය.
මේ කම්පනයේ වාසිය යන්නේ සුන්බුන් විපක්ෂයටය. ආණ්ඩුවේ පවතින දුර්වලතාවන් සහෝදරාත්මකව විවේචන කරන විට ඒ ගැන ඇහුම්කම් දීම ආණ්ඩුවේ කෙරුම්කාරයන් ගේ වගකීමකි.
වැරැදි පෙන්වා දෙන්නාට පහර දෙන ෆුල් ටයිම් කාඩරය...
සහෝදරාත්මකව ආණ්ඩුවේ වැරැද්දක් පෙන්වා දුන් විට ඒ වැරැද්ද පෙන්වා දෙන පාර්ශවයට අශීලාචාර නින්දිත ආකාරයට අපහාසාත්මක ප්‍රහාර එල්ල කිරීම මේ වන විට ජාතික ජන බලවේගයේ පුල් ටයිම් කාඩරයේ ඇතැම් අයවළුන්ගේ සිරිත වී තිබේ. එහෙත් සිත් රිදවා ගනිමින් වුවද ආණ්ඩුව ආරක්ෂා කර ගත යුතුය යන ස්ථාවරයේ සිටින්නන් පිළිබඳව මේ කාඩරය සතුටු විය යුතුය.
මේ වන විට ආණ්ඩුවට මෙරට පවතින සැබෑ දේශපාලනයට මුහුණ දෙන්නට සිදු වී ඇති බව පැහැදිලිය. මේ අපි දකින්නේ ජාතික ජන බලවේග ආණ්ඩුවේ ජවිපෙ ක්‍රියාකාරිකයන් ගේ අරමුණු හා අපේක්ෂාවන් තුළ රැඳී ඇති අධිකාරීවාදී කිව්ව නාහන යාන්ත්‍රිකත්වයත්, මෙරට පැවැති සම්ප්‍රදායික දේශපාලන සංස්කෘතියත් අතර උස් පහත් වෙමින් තිබූ ගැටුමය.
ආණ්ඩුවේ බල අධිකාරිය තුළ බොහෝ පත්වීම් ලැබුණේ විශ්ව විද්‍යාල යාළු මාළුෑ කම් වලටය. එහිදී පත්වීම් ලැබූ ඇතැමුන් පට්ට දූෂිතයන්ය. එහෙත් ඒ දූෂිතයන්ට කැම්පස් යාළු මිත්‍රකම් නිසාම ජනාධිපති ලේකම්වරයාගේ රැකවරණය හිමි වී තිබෙන බවද අනාවරණය වේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයත් සමග එළියට එන විපක්ෂ කණ්ඩායම්වල ප්‍රතිචාරය හදිසියේ මතු වූවක් නොවේ. ආණ්ඩුව බලයට පත් වූදා සිට ඉතා කුමන්ත්‍රණකාරීව සැළසුම් කරන ලද වැඩ පිළිවෙලක කූඨ ප්‍රපාත්තියයි.
ආණ්ඩුවට විවිධ පැතිවලින් ප්‍රහාර එල්ල කිරීමට විපක්ෂ බල ඇණි ස්ථාන ගත වෙමින් තිබේ. රනිල් හාමු ගේ පාර්ශවය ව්‍යවස්ථා සංශෝධනයට ප්‍රහාර එල්ල කරමින් සිටී. එහිදී භික්ෂූ සමාජය උසි ගැන්වීමද ගජරාමෙට සිද්ධ වේ.
පොදු ජන පෙරමුණ පාර්ශවය මැදිහත් වී ඇත්තේ එල්ටීටියට නැවත හුස්ම දීමේ ක්‍රියාන්විතයකටය. ඒ ක්‍රියාන්විතයට බරක් නැති වුවද 22 වන ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව සිටින කණ්ඩායමට අතුරු ශක්තිය දෙන ප්‍රතිජීවක ඖෂධයක් ලෙස එය සමාජ ගත වේ. පොදු ජන පෙරමුණේ භික්ෂූ කණ්ඩායම තවමත් 22 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව
පෙනී සිට නැති බව දැඩි අවධානයට ගත යුතු කරුණකි. ඒ තක්කඩිකමය. එහෙත් ආණ්ඩුව බිත්තියට හේත්තු කරන දවස
ගැන මේ උන්නාන්සේලා ඇඟිලි ගනිමින් සිටී.
ආණ්ඩුව නැවත රී සෙට් නොවුනහොත් අප්පට සිරි විදියට කෙල වෙන්නට ඉඩ තිබේ. පරණ හිතවත්කම් නැවත අළුත් කර ගත යුතුය. තමන් වරද්දා ගත් හා වැරදුන තැන් පිළිබඳව ආණ්ඩුව නැවත සිහිපත් කළ යුතුය.
එසේ නැති වුව හොත් මේ යන ගමනේ කෙළවර ඉතා බරපතල ඛේදවාචකයක් වන්නට පුළුවන.
දක්ෂිණ ලියනාරච්චි ✍️



