මුල් පිටුවට
නවතම ප්‍රවෘත්තිSocial

බලපිටියේ ජොරා මරණ කිරි පෝය මඟුල..

ලියුවේ Admin
බලපිටියේ ජොරා මරණ කිරි පෝය මඟුල..

ඇසල පෝයට පෙර දිනයේ බලපිටිය පැත්තේ පදිංචි කරුවකු විසින් අපි හෙට ජොරා මරණවා යැයි යම් සමීපතමයෙකුට පැවසුවහොත්, ඔහු එහි අදහස නොදන්නා කෙනෙකු නම් අතිශය බියට පත් වන බව නම් නිසැකය.

ඇසල පෝය දිනය දකුණු මුහුදු තීරයේ ඇතැම් ගම්මාන වලට අසිරිමත් දිනයකි. මෙම පෝහෝ දින සන්ධ්‍යාවේ කොළඹ ගාල්ල දුම්රිය හෝ මහා මාර්ගයේ ගමන් ගන්නා මගීන්ට නිවෙස් ඉදිරිපිට තැනූ පහන් පැල් දැකගත හැකිය. මෙදින ඒ සෑම නිවසකම දේව දානයකි. එම පෝදින රාත්‍රියේ නිවසට අමුත්තන් පැමිණියේ නම් ඔවුන්ටද සංග්‍රහ පිණිස හිමිවන්නේ  නිවෙසේවල් සකසනු ලබන දේව දානය ය.

අනාදිමත් කාලයක සිට පැවතෙන මෙම සිරිත තරඟකාරී හා සුහුරුකරණය වී ඇති වත්මන් සමාජයේද උද්යෝගයෙන් සැමරීම අපූරුය. ඒ මක්නිසාදයත් ගම්බිම්වලින් බැහැර කොළඹ සහ වෙනත් ප්‍රදේශවල සේවය කරන පිරිස් සේම, ආවාහ විවාහයන්ගෙන් දුර බැහැර සිටින පිරිස්ද මේ වෙනුවෙන්ම ගමරට බලා පැමිණෙන බැවිනි.

කිරිපෝය ප්‍රභවය....

මෙම පෝය උත්සවය  පරම්පරාවෙන් පරම්පරාවට සමාජානුයෝජනයෙන් ලැබුණු ග්‍රාම උළෙලක් බැවින් එහි ප්‍රභවය පිළිබඳ සොයාගැනීමට සිදු වී ඇත්⁣තේ ජන ශ්‍රැතිය මතය. ඒ අනුව ගත් කල මෙය දේවපතිරාජ නම් අමාත්‍යවරයාගේ යුද්ධ ජයග්‍රහණයක් දක්වා දිවෙන බව උපමාන කළ හැකිය.

දඹදෙණි යුගයේ රජකළ දෙවන පරාක්‍රමබාහු රජතුමාගේ සෙන්පතියකුව සිටි  දේවපතිරාජයන් විසින් කේරළයේ සිට පැමිණි කේරළ හමුදාව පරාජය කරමින් ලද ජයග්‍රහණය එම සන්ධිස්ථානයයි. කේරළයේ සිට පැමිණි සේනා මෙරටට ගොඩබසින ලද්දේ වැලිතොටිනි. වත්මනෙහි බලපිටිය ලෙස හඳුන්වන්නේත් එම ප්‍රදේශයයි. බලපිටිය යන වචනයේ නිරුක්තියද බල සේනාවක් සමග සබැඳෙයි.

දේවපතිරාජ අමාත්‍යවරයා සිදුකළ සටන පිළිබඳ සිදත් සඟරාවේ දැක්වෙන්නේ පහත පරිදිය.

සඳවන සිදු කිය කුඹුයෙන් නම සන රා

කිවි සෙවෙන තොද වැලිනි යළ නො ගො රා

අරුණ කිහෙණි ව කේරළන් ලැබූ හූරි රා

පැවිච නොදෙය යුද පතිරජ දිය ඉසු රා

මෙම කවියෙන් කියැවෙන්නේ කේරළයන්ගේ ලේ පහරින් වාලුකා නදිය රතු වූ බවයි. මෙහි දැක්වෙන වැලි නදිය යනු මහවැලි ගඟාව යන්න බහුතර පිළිගැනීම වුවද මහවැලි ගඟ අසබඩ එබඳු කේරළ සංහාරයක් සිදු නොවීය. මහවැලි ගඟබඩ සහ පතිරාජ නම් යුද නායකයකු අතර (පතිරාජවරු කිහිප දෙනෙක්ම ඉතිහාසයේ සඳහන් වෙයි) සම්බන්ධයක් නොමැති බැවින්ද එම මතවාදය බිඳ  වැටෙයි. ඒ සියල්ල ගැලපෙන්නේ මාදූ ගංගාවටත් දඹදෙණි යුගයේ විසූ දේවපතිරාජ අමාත්‍යවරයාටත් බැවින් එම කාව්‍යය එම සන්ධිස්ථානයට ගලපා ගත හැකිය. වැලි නදී යන්න මහවැලියට සේම මාදූ ගඟටද දක්වා ඇති පර්‍යාය නාමයකි.

කිරිපෝය උත්සවය ලෙස මේ වන විට සැමරෙන්නේ එකල දේවපතිරාජ අමාත්‍යවරයා විසින් සිදුකළ ඉහත ජයග්‍රහණයේ සැමරුම බවට සැක සිතිය හැකිය. එදා ඒ ජයග්‍රහණය මෙම ප්‍රදේශවාසී ජනතාව උත්සවශ්‍රීයෙන් සමරන්නට ඇත යන්නත්  විශ්වාස කරන්නට පුළුවන.  එසේම එම අමාත්‍යවරයා හලාගම කුලයේ නායකයකු ලෙස සම්මානයට පාත්‍ර විය. ඇසල පෝය චාරිත්‍රය පැවැත්වෙන්නේ සංස්කෘතිමය වශයෙන් හලාගම කුලයේ ආධිපත්‍ය පැතිරී ඇති ප්‍රදේශ වලය.

මේ අතරම කිරි පෝය උත්සවයේ ආරම්භය පිළිබඳව තව අදහසක් පවතී. සලාගම කුලය දකුණු ඉන්දියාවේ සාල්‍යෙ පුර සිට මෙරටට පැමිණි බ්‍රහ්මණයන් හත් දෙනෙකු ගෙන් පැවත එන බව සඳහන්ය. මේ බ්‍රහ්මණයන් සත් දෙනා මෙරටට පැමිණ ඇත්තේ ⁣පළමුවන විජයබාහු රජුගේ මෞලිමංඟල්‍ය උත්සවයට බවද කියවෙයි. එම බ්‍රහ්මණයන් හත් දෙනා මෙරට කුල කතුන් විවාහ කර ගනිමින් රජු විසින් ලබා දුන් ගම්වර වල පදිංචි වී  ඇති අතර ඔවුන් හත් දෙනා පදිංචි කරන ලද ප්‍රදේශය වැලිතොට ලෙස සඳහන් වේ. වර්තමානයේදී බළපිටිය ලෙස හැඳින්වෙන්නේ ඒ වැලි තොටයි.

දකුණු ඉන්දියානු වාසී බ්‍රහ්මණයන් ඇසල උත්සවය සමරන ලද බව ඵෙතිහාසික පුරාවෘත්ත වල දැක්වෙයි. මෙරටට පැමිණි බ්‍රහ්මණ වංශිකයන්ද ඒ සංස්කෘතිමය සහ සම්බන්ධය දිගටම පවත්වා ගෙන ගොස් ඇති බවට සිතීමද වරදක්  නැත. මේ බ්‍රහ්මණයන් පදිංචි වූ බලපිටිය ප්‍රදේශයේ මේ වන විටත් පෞරාණික දේවාල 40 කට ආසන්න ප්‍රමාණයක් තිබේ. වර්තමානයේදී පවා මේ දේවාල හඳුන්වන්නේ කෝවිල නමින් වීම විශේෂ අවධානයට ගත යුතු කරුණකි. ඇසළ පෝය උත්සවය මේ බ්‍රහ්මණයන් ගෙන් පැවත එන සංස්කෘතිමය පුරුද්දක් විය හැකිය.

 

කිරි පෝය.....

සුද්දෙ පෝය, කිරිපෝය හා දෙල්පෝය යනාදි නම් කිහිපයකින්ම මේ උත්සවය හැඳින්වේ. ව්‍යවහාර වෙයි. සුද්දෙ පෝය යනුවෙන් මෙය ව්‍යවහාර වන්නේ, එය පාරිශුද්ධතා සංකල්පය මත පදනම් වූ එකක් බැවිනි. එසේම මේ පෝය දෙල් පෝය නමින් හැඳින්වේ. පෝය චාරිත්‍රවලින් පසු වේල් තුනක් නිර්මාංශාරික වීම නිසා මේ කාලයට දෙල් හොදි සහ බත් අනුභව කරන නිසා මෙසේ හැදින්වෙන බවද පැවසේ.

දෙල් මෙරටට ගෙන ආවේ බලපිටියේ සිටි බ්‍රහ්මණ වංශික සෙන්පතියකු බව ජන ශ්‍රැතියේ දැක්වේ. මේ සෙන්පතියා හලාවත සිට හම්බන්තොට දක්වා වෙරළ ආරක්ෂක සේනාංකයක් බාරව කටයුතු කෙරුවේය. එසේ රාජකාරි කරමින් සිටින අවස්ථාවක ඒ සෙන්පතියා සිටි නෞකාව සුළඟට හසුව විදේශයකට ගසා ගෙන ගිය බවත්, ඔහු නැවත ලංකාවට පැමිණෙන විට දෙල් පැල ගෙන විත් තිබෙන බවත් කියැවේ.

එලෙස ගෙන ආ දෙල් පැල වලින් පලමු පැලය, ගාල්ල කොටුව තුළ රෝපනය කර ඇත.⁣ මේ සෙන්පතියා මරණින් පසු මුත්තා දෙවියන් නමින්  දේවත්වයට පත් වී ඇති අතර, බලපිටියේ  වැලිතොට මුත්තා දේවාලය පිහිටා තිබේ. ඇතැමි විට මේ සෙන්පතියා දෙල් පැල මෙරටට ගෙන ආවේ ඇසල පෝය දිනයක වන්නටත් බැරි නැත. අතීතයේදී මේ කිරි පෝය දානමය උත්සවයේදී මුත්තා දෙවියන් සිහිපත් කෙරුණ බවද පැරැන්නන් පවසයි.ඒ නිසාම ඇසල පෝය උත්සවය දෙල් පෝය ලෙස හැඳින්වූ බවටද සිතිය හැකිය.

කෙසේ වෙතත් බහුල වශයෙන් මේ පෝය හඳුන්වන්නේ කිරි පෝය ලෙසටය. ඊට හේතුව එම පෝය දිනයේ ප්‍රධාන චාරිත්‍රයක් වන කිරි පිසීම නිසා බව පෙනී යයි. මෙම කිරිපෝය සැමරුම ගමේ කෝවිල කේන්ද්‍ර කරගෙන සිදු කරනු ලබන අතර, එම උළෙලට අදාළ දින වකවානු මෑතක් වන තුරුම නිවේදනය කිරීම වර්තමානයේ සිදු කරනු ලබන්නේ ගම පුරා දැන්වීම් ඇලවීමෙනි.

කිරිපෝය නම් ශාන්තිකර්මය සහසම්බන්ධ චාරිත්‍ර වාරිත්‍ර / අභිචාර සමුහයකි. ඒවා හඳුන්වන විශේෂිත භාෂාත්මක නාමද ඇත. ඇසල පෝය ආසන්නයේ දී තමන් පදිංචිව සිටින නිවස ශුද්ධ පවිත්‍ර කිරීම අලුත් අවුරුද්දට නිවස ශුද්ධ පවිත්‍ර කරන ආකාරයෙන්ම සිදු කෙරේ. මෙම චාරිත්‍රය අනිවාර්ය අංගයකි. අනතුරුව ගම් වැසියෝ තම පවුලේ සියලු දෙනා සමගම දේවාලයට ගොස් පඬුරු දීම සිදු කිරීම කෙරේ.  කෝවිලට යාමට මත්තෙන් ස්නානය කොට නළලෙහි දෙහි ගෑම සිදු කරනු ලැබේ. අනතුරුව බෙලි කොළයක් කඩාගෙන එහි තම නිවසේ සිටින සාමාජිකයන් සංඛ්‍යාවට අනුරූපව කාසි තබනු ලැබේ. කහදියරෙන් සෝදාගත් එම කාසිවල දෙහි යුෂ ආලේපනයද දැකිය හැකිය.

අතීතයේදී මේ හා බැඳුන බොහෝ ආගමික චාරිත්‍රයන් වර්තමානයේදී දකින්නට නොලැබේ.

පෝය දින සවස නිවසේ දොරටුවට මුහුණ පා ගොක් කොළවලින් පැලක් සකස් කිරීම සිදු කෙරෙයි. පැලේ බිම මුහුදු වැලි අතුරාළීම ද දැකිය හැකිය.

පෝදින උදේ සිටම සවස සිදුකරනු ලබන අභිචාරය වෙනුවෙන් නිවැසියෝ පේ වී කටයුතු කරති. ආහාරවලට අවශ්‍ය පිටි ආදිය නිවසේම කොටා ගැනීම සිදු කරයි. සන්ධ්‍යාභාගයේදී කිරිබත් සමග කිරියා හෙවත් කිරි කැකෑරම් පිස ගැනීම සිදු කරයි. සීනි පැණි හකුරු ගින්නෙන් උණු කර ගම්මිරිස් මුද්දරප්පලම් ආදි ද්‍රව්‍ය යොදා හාල්පිටි යොදා ගනිමින් මෙම මිශ්‍රණය තනයි.

හික්කඩුව ප්‍රදේශයේ බත් සමග මුරුංගා හෝ තක්කාලි සම්බෝල පිසිනු ඇතැම් විටෙක දැකිය හැකිය. සකසනු ලබන මෙම දේවදානයේ රස බැලීමක් සිදු නොකරයි. ඇතැම් නිවෙස්වල මෙම චාරිත්‍රය ඉටු කිරීමටම පොල් සපයා ගැනීමට වෙන්වූ පොල්ගසක් අතීතයේ තිබී ඇත.

කිරිබත් සහ කිරි පිසීමෙන් පසු කෙසෙල් කොළ වලින් ආහාර ගොටුවක් සකසා එහි කිරිබත් කිරි සහ කෙසෙල් ගෙඩියක් තැන්පත් කර තනාගත් පහන් පැලේ තබයි. පැදුරක්ද සමග මල් සුවඳදුම් පුදා පහනක් දල්වා සුදුවතින් සැරසුණු පවුලේ සැවොම එක්ව බුදුන් වැඳ දෙවියන්ට කන්නලව්වක්ද සිදු කරයි. සමහර අය පහන වෙනුවට විලක්කුවක් සකසා එය දල්වති. එහිදී කියන දේව කන්නලව්ව මෙසේය.

"උතුම් වූ කතරගම ස්කන්ධකුමාර මහාසේන දිව්‍ය රාජෝත්තමයාණන් වහන්ස, අප වෙසෙන ශ්‍රී ලංකාද්වීපයේ රුහුණ දනව්වට දක්ෂිණ දේශයට බැල්ම හෙළාගෙන තෙද බල පතුරාගෙන වැඩ වාසය කරන ඔබ වහන්සේ සත්‍යයයි. ඔබ වහන්සේට මෙම නිවසේ සිටින අහිංසක අප සියලු දෙනා විසින් ඉතාමත් ශ්‍රද්ධාවෙන් භක්තියෙන් යුතුව නොඉඳුල්ව පිරිසිදුව සකසා පුජා කරන මෙම දේව දානය පුජා කරමි පුජා වේවා. අප වෙත අනුකම්පාවෙන් මේ දේවදානයද අපි අනුමෝදන් කරන සියලු පින් කුසල්ද ඔබ වහන්සේට අනුමෝදන් කරමි අනුමෝදන් වේවා. උතුම් දිව්‍ය රාජෝත්තමයාණන් වහන්ස, අද මේ සුදොං පෝය දවසේ අප පරම්පරා ගාන්ති සමූහයා විසින් ඈත අතීතයේ සිට ඔබ වහන්සේට ගරු සැලකිලි කරනු වස් සිදුකරන මේ උත්තම දේව පූජාව අපිද නොකඩවා පවත්වාගෙන එමෙන් ඔප්පු කරමු. දෙව් මහා රාජණන් වහන්ස ඔබ වහන්සේ මේ සියල්ල පිළිගෙන ඔබ වහන්සේගේ දිව්‍ය ශ්‍රී සම්පත් වර්ධනය වී ප්‍රාර්ථනා කළ බෝධියකින් නිවන් සුව අවබෝධ කර ගන්නා සේක්වා. උතුම් වූ දිව්‍ය රාජයාණනි, ඔබ වහන්සේ විසින් අප පවුලේ සියලු දෙනාත් දූ දරු කිරි සප්පයනුත් ගෙවල් දොරවල් හරකා බානද වෙළෙහෙළඳංකර මාන්නද ඉඩ කඩම් දෙල් පොල් කොස් ආදී පලතුරු ගස්ද විවිධ ලෙඩ රෝග අතුරු ආන්තරාවලින් බේරා ගෙන තව තවත් වැඩ වර්ධනයට අපට ශක්තිය ලබාදෙන සේක්වා. එමෙන්ම අප ගම් කොරටුවද වෙහෙර විහාර පන්සල බෝධියද පැවිදි පිරිසද ගුරුවරුන් හා වැසියන් ඇතුළු රුහුණු දනව්වත් මුළු ශ්‍රී ලංකා ද්වීපයත් දිවැස්හෙළා රක්ෂා කරදෙන සේක්වා. සාදු සාදු සාදු"

 

ආහාර ගොට්ට පිදීමෙන් පසු නිවැසියෝ සියලු දෙනාම සාලයට එක්රැස්ව පැදුරක් එලා ගනිති. එතැනද පහනක් දල්වයි. සැකසූ කිරි ආහාර අනුභව කරන්නේ කෙසෙල් කොළවලය. ගෘහ මූලිකයා විසින් සැකසූ ආහාර පවුලේ සාමාජිකයන්ට බෙදා දීම සිදු කරයි. ඉන්පසු තවත් කෙසෙල් කොළයකට එම ආහාර බෙදා මළගිය ඥාතීන් වෙනුවෙන් වෙන් කරයි. මෙහිදී නිවසේ සාමාජිකයකුට එම ආහාර අනුභවයට සහභාගි වීම⁣ට නොහැකි වුවද ඔහු වෙනුවෙන් කෙසෙල් කොලයක තබා එහි කිරි ආහාර තබනු ලැබේ.

මේ දේව දානය අනුභවයෙන් පසුව ඉතිරිවන කොටස් උස් ස්ථානයක තබයි. ආහාර බෙදීමේදී "ඇති" යනුවෙන් නොකියන අතර ඒ වෙනුවට "කරුණාවයි" යනුවෙන් පැවසීමද සිරිතකි. මේ අවස්ථාව හැඳින්වෙන්නේ "ජොරා මැරීම" යනුවෙනි. එසේම ඇතැම් නිවෙස්වල නැකතට ඉඳුල් කටගා නොමැති දරුවන්ට මුල්ම ආහාරය දෙනු ලබන්නේද මේ අවස්ථාවේදීය.

එදින රාත්‍රියේ ගමේ තරුණ උදවිය ගෙයින් ගෙට ගොස් ගොටු ඉස්සීම සිදු කරයි. ඒ පහන් පැලේ තිබෙන ගොටු සොරකම් කිරීමයි. සොරකම වැරදි ක්‍රියාවක් වුවද මෙදින ඒ  ක්‍රියාව හැංගි මුත්තන් ක්‍රීඩාවක් ලෙස සැළකේ. නිවැසියන්ට නොදැනී දේව පූජාව සොරා ගෙන අනුභව කිරීම සතුටට දනවන්නක් වී තිබේ. පසුදා එම දේව දානය, රැකි රක්ෂා කරන ස්ථානවලට ගෙන යාමද මෙම චාරිත්‍රානුගත බැතිමතුන් සිදුකරන ක්‍රියාවකි.

ඇසල පෝය චාරිත්‍ර ඉටු කිරීමේදී කිලි හසුවීම කෙරෙහි දැඩි අවධානයක් යොමු කිරීමද දැකිය හැකිය. තදාසන්න කාලයේ අවමංගල්‍යයක් සිදුවූ හෝ දෙවියන්ගේ ලෙඩ නමින් හඳුන්වන පැපොල කම්මුල්ගාය සූරම්ප වැනි රෝගීන් සිටින නිවෙස්වල මෙම සිරිත් ඉටු නොකෙරේ.  

මේ අපූර්ව උත්සවය පිළිබඳ විමල් අභයසුන්දර විසින් රචිත කවි පංතියක්ද තිබේ. එයින්ද මෙම සිරිත් විරිත් සමුච්චය රසවත්ව නිරූපිතය. එය මෙසේය.

සිහිපත් කරමින් පෙර සුර - අසුර යුද

ගම්මානයට පායන විට ඇසළ සඳ

වැලි තොට විසු බමුණන්ගේ සිරිත ලෙද

ඇරඹෙයි සුද්දෙ පෝයට කඳ සුරිඳු පුද

ගෙය දොර මිදුල වතුපිට සෑම කල් ඇතිව

මැනවින් සුපිරිසිදු කොට ගෙන දැනුමැති ව

කුල දෙවියන් පුදනු සඳහා හද බැති ව

සැරසෙනු සිරිනි කිසි පසු බැස්මක් නැති ව

කලයක් පුරා කරදිය ගෙන වගුල බිම

ඉසිමින් කහදිය අහුමුලු නොතැබ හැම

පොල්තෙල් පහන් දී අල්ලා සුවඳ දුම

පිළිවෙත් පවත්වති ලෙස කුල සිරිත තම

ගොක්කොළ වලින් මල්පැල අලුතින් සාදා

කිරිබත් ගොටුව වෙසෙසින් තුන්හිත පාදා

දල්වා විලක්කුවා ලෝකය විදා

දෙවියන් පුදති පළමුව සුද්දේ පෝදා

සුද්දේ පෝය ඇසළෙහි පුණු පොහොදා ට

පිළිහඳු නුමුසු කිරිබත සැපයෙයි රට

හකුරුද කිරි කැකුරුම් මුසුවෙයි ඊට

දෙවි පුද මහා උළෙලකි ගැමි ජනයාට

දක්ෂිණ ලියනාරච්චි ✍️

ප්‍රවර්ගය :Social

සියලු ප්‍රවෘත්තිSocial

ඇති යන්තම් වැඩේ ලේසි නැති බව තේරුම් ගත්තා..
නවතම ප්‍රවෘත්තිSocial

ඇති යන්තම් වැඩේ ලේසි නැති බව තේරුම් ගත්තා..

මාධ්‍යවේදීන් , ජනමාධ්‍ය සංවිධාන සහ සිවිල් සමාජය විසින් නැගූ හඬ සහ එල්ල කළ නීතිමය හා තර්කානුකූලබලපෑම හේතුවෙන් ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතියට සහ මාධ්‍ය නිදහසට එල්ල වීමට ගිය බරපතලතර්ජනය වළක්වා ගැනීමට…

රාජ්‍ය යාන්ත්‍රණයේ ඇණ මුරුච්චි තද කරන්නට ජනපතිවරයාම අවශ්‍යද?
නවතම ප්‍රවෘත්තිSocial

රාජ්‍ය යාන්ත්‍රණයේ ඇණ මුරුච්චි තද කරන්නට ජනපතිවරයාම අවශ්‍යද?

ජනපති අනුර කුමාර දිසානායක ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැති ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී සමාජ සේවා අංශය වෙතින් ඉදිරිපත් කරන ලද යෝජනාවකින් පැවසු⁣නේ දෘශ්‍යාබාධිත ළමුන් වෙනුවෙන් වැසිකිලි පද්ධත…

පත්තරකාරයො මෙහෙමයි....
නවතම ප්‍රවෘත්තිSocial

පත්තරකාරයො මෙහෙමයි....

ජනතාව කුලප්පු කිරීමට හෙවත් පෙළඹවීමට පුවත්පත් කලාව යොදා ගැනීම පිළිබඳව පුවත්පත් ඉතිහාසයේ එක්හාස්‍ය ජනක කතාවක් අසන්නට ලැබේ. ජෝෂප් පුලිට්සර් යනු ඇමරිකානු පුවත්පත් කලාවේදියෙකි.ඔහු සේවය කළ පුවත්පත වූයේ "නිව…

වෙරළ සංරක්ෂණයේ දූෂිත නිළධාරීන් සහ මාතර ජාවාරම්කාරයෝ
නවතම ප්‍රවෘත්තිSocial

වෙරළ සංරක්ෂණයේ දූෂිත නිළධාරීන් සහ මාතර ජාවාරම්කාරයෝ

මා විසින් ලියා පළ කරනු ලැබූ " මාතර වෙරළ විකුණන් කන වෙරළ සංරක්ෂණයේ බලපත්‍ර මාෆියාව" යන ලිපිය පසුගිය 18 වැනි දා Mahesh K Somarathne මහතා ඔහුගේ මුහුණු පොතේ පළ කොට තිබුණි. ඒ ගැන පළමුවෙන්ම ඔහුට ස්තූති කරමි…