රාජ්‍ය යාන්ත්‍රණයේ ඇණ මුරුච්චි තද කරන්නට ජනපතිවරයාම අවශ්‍යද?

ජනපති අනුර කුමාර දිසානායක ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැති ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී සමාජ සේවා අංශය වෙතින් ඉදිරිපත් කරන ලද යෝජනාවකින් පැවසුනේ දෘශ්‍යාබාධිත ළමුන් වෙනුවෙන් වැසිකිලි පද්ධතියක් ඉඳිකිරීමේ ව්‍යාපෘතියක් පිළිබඳවය.
එහිදී ජනපතිවරයා ප්‍රකාශ කෙරුවේ එම දෘශ්‍යාබාධිත දරුවා වාසය කරන නිවසට වඩා අදාල ව්‍යාපෘතිය යටතේ ඉඳි කිරීමට නියමිත වැසිකිලි පද්ධතිය හොඳ විය හැකි බවය. ජනපතිවරයා ඉන් අදහස් කෙරුවේ මෙරට ක්‍රියාත්මක කෙරෙන රාජ්‍ය ව්‍යාපෘතිවල පවතින පසුගාමී බව මිස අන් යමක් නොවන බව පැහැදිලිය.
සුඛෝපභෝගී වැසිකිලි පද්ධතියක් සාදා දෙන නිවස අන්ත දිළිදු බව තුළ ගොඩ නැගුණ හරක් මඩුවක් නම්, ඒ ව්‍යාපෘතිය තුළ පවතින රාජ්‍ය මැදිහත්වීමේ අසාර්ථක බව ජනපතිවරයා වටහා ගෙන තිබේ.
පසුගිය කාලයේ මෙරට පාලනය කරන ජනපතිවරුන් ගණනාවක්ම දිසා සම්බන්ධීකරණ කමිටු වලට සහභාගි වී තිබේ. එහිදී ඒ ජනපතිවරුන් රාජ්‍ය නිළධාරීන් ගිරා පෝතකයන් මෙන් වමාරන ගණන් හිලව් හා කළ කී දෑ ගැන හූමිටි තබමින් අසා සිටියා මිස ඒ කිසිවක් හාරා අවුස්සා බලන්නට ගියේ නම් නැත. දිසා සම්බන්ධීකරණ කමිටු පැවතුණේ නමට පමණය. ඒ ජනපතිවරුන් රැස්වීමේ න්‍යාය පත්‍රයට අනුව රාජ්‍ය නිළධාරීන්ගේ කෙරුවාවන් පැය ගණනක් අසා සිටියේය. සමහර අවස්ථාවල ඇතැම් ජනපතිවරුන් රාජ්‍ය නිළධාරීන්ට තග දැමූ අවස්ථාද නැත්තේ නොවේ. ඒ කෙසේ වෙතත් අවසානයේදී දෙපාර්ශවයම සතුටින් විසිර ගියහ.
ගාල්ල දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර ඇති ජල නල ව්‍යාපෘතියක් පිළිබඳවද මෙහිදී ජනපති අනුර කුමාර දිසානායක ගේ අවධානය යොමු විය. එම ව්‍යාපෘතිය යටතේ ජල ටැංකිය ඉඳි කර අවුරුදු හතරක් ගත වී ඇතත් ගිංතොට පාලම මතින් ජල නල එලීමට මාර්ග සංවර්ධන අධිකාරියය අනුමත නොකරන බවට එහිදී අනාවරණය විය.
එම ජල නල එලීම මෙතරම් කල් ගොස් තිබීම නිසා අදාළ ව්‍යාපෘතියට ඉඳි කරන ලද ජල ටැංකිය නඩත්තුවට ඊළඟට මුල්‍ය ප්‍රතිපාදන වෙන් කිරීමට සිදුවිය හැකි බව ජනපතිවරයා එහිදී ප්‍රකාශ කරන ලද්දේ රාජ්‍ය නිළධාරීන් තුළ පවතින දුර්වලතාව ගැන දොස් නොකියා කියමිනි. රාජ්‍ය ආයතන දෙකක කඹ ඇදීම නිසා මේ රටේ පුරවැසියන්ට අත් විඳින්නට සිඳු වී ඇති අවාසනාවන්ත තත්ත්වය මේ සිද්ධියෙන් හෙළිවේ.
ගිංතොට පාලම උඩින් ජල නලය එළීමට මාර්ග සංවර්ධන අධිකාරිය විරුද්ධ නිසා ජලසම්පාදනයේ නිළධාරීන් තව අවුරුදු ගණනක් ගෙවී යන තුරු ඒ ගැන කල්පනා කරමින් සිටින්නට ඉඩ තිබුණි. එහෙත් ජනපතිවරයා ඒ ගැන අසා එහෙමදැයි පවසා නිහඬ වූයේ නැත. ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළ යුතු ආකාරය ගැන උපදෙස් දුන්නේය. සැබෑවටම ඒ විසඳුම් අමාරු ගණිත ගැටළු නොවේ. සරල විසඳුම්ය. ඒ ප්‍රශ්ණය එම ජල ව්‍යාපෘතිය භාර රාජ්‍ය නිළධාරීන්ටද ඔළුවෙන් සිතා සරලව විසඳාගන්නට හැකිව තිබූ ප්‍රශ්ණයකි. එහෙත් ඔවුන් සිට ඇත්තේ ඒ ගැන ලිපි එහේ මෙහේ යවමින් කඹ ඇදීමේ ක්‍රීඩාව කරමිනි.
දැන් අපට දැන් සතුටු විය හැකිය.
ඒ වංගු ගසා කොකා පෙන්වා ඉහළ නිළමක්කාරයන් ගොනාට අන්දන රාජකාරි කෙරුවාවන් මේ ජනපතිවරයා සමග කරන්නට නොහැකි වීම ගැනය.
එහෙත් අවාසනාවකට නිළමක්කාරයන් 159 ක බල ඇණියක් ළඟ තබා ගෙන සිටියදීත් රාජ්‍ය යාන්ත්‍රණයේ හැම ඇණ මුරිච්චියක් ගැනම ජනපතිවරයාට අවධානය යොමු කරන්නට සිදු වීම නම් කණගාටුදායකය. ගාල්ල දිස්ත්‍රික් කමිටුවේ සභාපතිවරයා නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේය. අවුරුදු හතරක් ගෙවී ගිය ජල නල ව්‍යාපෘතිය ගොඩ දාන්නට නියෝජ්‍ය අමාත්‍යවරයාට නොහැකිවීම ඒ පිළිබඳව වූ හොඳම උදාහරණයයි.
ජනපතිවරයා දිස්ත්‍රික් කමිටුවට පැමිණෙන තුරු එහි න්‍යාය පත්‍රයේ ඇතුළත් කර තිබුණ ජල නල ව්‍යාපෘතිය සම්බන්ධයෙන් වූ ප්‍රශ්ණය මීට පෙර අවධානය යොමු වී නොතිබීම දේශපාලන බල අධිකාරියේ බරපතල දුර්වලතාවකි. ඒ මන්ද යත් ඒ ප්‍රශ්ණය එතරම් බැරෑරුම් සහගත විසඳාගත නොහැකි ප්‍රශ්ණයක් නොවන නිසාය.
දක්ෂිණ ලියනාරච්චි ✍️



