මුල් පිටුවට
නවතම ප්‍රවෘත්තිEconomic

ඩොලර් බිලියනයක ආයෝජන කතාවේ ඇත්ත කොතැනද?

ලියුවේ Admin
ඩොලර් බිලියනයක ආයෝජන කතාවේ ඇත්ත කොතැනද?

ශ්‍රී ලංකාවට විදේශ සෘජු ආයෝජන (FDI) ගෙන ඒම, ආර්ථිකය යළි ගොඩනැගීමේදී අතිශය වැදගත් කරුණකි.


එබැවින් 2025 වසරේදී ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 1,057ක FDI ලැබීම නිසැකවම නොසලකා හැරිය හැකි දෙයක් නොවේ. එය 2024ට සාපේක්ෂව 72%ක වැඩිවීමකි. ආණ්ඩුවට මෙය ආයෝජක විශ්වාසය නැවත ඇතිවීමේ සාධකයක් ලෙස පෙන්වා දීමට සාධාරණ හේතුවක් තිබේ.


නමුත් මෙතැනින් කතාව අවසන් නොවේ.

ප්‍රශ්නය වන්නේ ඩොලර් බිලියනයක් පැමිණියාද යන්න පමණක් නොවෙයි.

ඒ ඩොලර් බිලියනය පැමිණියේ කොහෙන්ද?
නව විදේශ ආයෝජකයන්ගෙන්ද?
නව කර්මාන්තශාලා හා ව්‍යාපෘතිවලින්ද?
නැත්නම් දැනටමත් ශ්‍රී ලංකාවේ සිටින සමාගම්වලින්ද?


සංඛ්‍යා කියන කතාව....


2025දී FDI ලෙස වාර්තා වූ ඩොලර් මිලියන 1,057න් ඩොලර් මිලියන 167ක් පමණක් කොටස් ප්‍රාග්ධනය ( equity capital ) ලෙස පැමිණ තිබේ. තවත් ඩොලර් මිලියන 213ක් නැවත ආයෝජනය කළ ඉපැයීම් ය. (reinvested earnings)


එහෙත් ඩොලර් මිලියන 567ක් සමාගම් අභ්‍යන්තර ණය ගැනීම් ( intra-company borrowings ) වන අතර තවත් ඩොලර් මිලියන 110ක්  විදේශ වාණිජ ණය ගැනීම් (foreign commercial borrowings) ලෙස වාර්තා වී ඇත.


ඒ අනුව ඩොලර් බිලියනයක 'ශීර්ෂ පාඨ රූපය' දෙස බලා “විදේශිකයන් අලුතින් ඩොලර් බිලියනයක් රටට ගෙනාවා” යන අදහස ඇති කරගැනීම නිවැරදි නොවේ.


විශේෂයෙන්ම ණය වැනි මූල්‍යකරණය (debt-like financing) විශාල ප්‍රමාණයක් තිබීමෙන් පෙනෙන්නේ මෙම FDI ප්‍රවාහයේ සැලකිය යුතු කොටසක් අලුත් අවදානම් ප්‍රාග්ධනය (risk capital) නොව, දැනටමත් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක බහුජාතික ව්‍යාපාරවල අභ්‍යන්තර මූල්‍යකරණය බවයි.


අලුත් ආයෝජකයන් කොපමණද?....


මෙය වඩාත්ම වැදගත් ප්‍රශ්නයයි.

2025දී සෘජු විදේශ ආයෝජන (FDI) ලබාදුන් සමාගම් සංඛ්‍යාව 188ක් වුවද, ඒ අතරින් නව ව්‍යාපෘති තිබුණේ 24ක් පමණි.

එම නව ව්‍යාපෘතිවලින් ලැබී තිබුණේ ඩොලර් මිලියන 134ක්, එනම් මුළු FDI වලින් 13%ක් පමණි. ඉතිරි ඩොලර් මිලියන 923ක් පැමිණ ඇත්තේ දැනටමත් රට තුළ තිබූ ව්‍යාපාරවල ප්‍රසාරණය (expansion) සහ නැවත ආයෝජනය කිරීම ( reinvestment) හරහාය.


ඒ නිසා මෙතැනදී ආණ්ඩුවෙන් ඇසිය යුතු ප්‍රශ්නය ඉතා සරලය. එනම් “ඩොලර් බිලියනයක් ආවා” කියන එකට වඩා, අලුතින් ශ්‍රී ලංකාවට ගෙන ආ ආයෝජන ප්‍රමාණය කොපමණද? යන්නය.


ඒ ප්‍රමාණය ඩොලර් මිලියන 134ක් නම්, ඩොලර් බිලියනයේ ජයග්‍රාහී ප්‍රචාරණය පිටුපස ඇති සැබෑ චිත්‍රය එතරම් විශාල නොවන බව පැහැදිලිය.


ආයෝජන ගියේ කොහේටද?....


2025 සෘජු විදේශ ආයෝජන (FDI) වලින්,

46% ක් නිෂ්පාදනය (Manufacturing) සඳහාත්, 26% ක්  වරාය සංවර්ධනය (Port Development) සඳහාත්,11% ක් සංචාරක සහ විවේකය (Tourism & Leisure) සඳහා ත්, 6% ක් විදුලි සංදේශ (Telecommunications) සඳහා සහ

5% ක් දේපළ සංවර්ධනය (Property Development) ලෙස සංකේන්ද්‍රණය වී තිබේ.


නිෂ්පාදනය සහ වරාය සංවර්ධනය පමණක් එකතු කළ විට මුළු FDI වලින් 70%කට වැඩි ප්‍රමාණයක් වේ. මෙය නරක දෙයක් නොවේ. ඇත්ත වශයෙන්ම නිෂ්පාදන ක්ෂේත්‍රයට සහ වරාය ආර්ථිකයට විදේශ ආයෝජන පැමිණීම රටට වැදගත්ය.


නමුත් ආයෝජනයේ ප්‍රමාණයට අමතරව එහි ගුණාත්මකභාවය විමසිය යුතුය.

එයින් කොපමණ රැකියා ඇති වේද?

කොපමණ අපනයන ආදායමක් උපදවයිද?

කොපමණ තාක්ෂණික දැනුම රටට ගෙන එයිද? කොපමණ විදේශ විනිමයක් රට තුළ ඉතිරි වේද? අවසානයේ ලාභය ලෙස කොපමණ මුදලක් නැවත විදේශයට යයිද?


මේ ප්‍රශ්නවලට පිළිතුරු නොමැතිව සෘජු විදේශ ආයෝජන (FDI) ප්‍රමාණය පමණක් පෙන්වා ආර්ථික ජයග්‍රහණයක් ප්‍රකාශ කිරීම ප්‍රමාණවත් නැත.


ආයෝජන අනුමත කිරීම සහ ආයෝජනය රටට පැමිණීම....


2025දී BOI විසින් ව්‍යාපෘති 146ක් අනුමත කර තිබේ. ඒවායේ මුළු වටිනාකම ඩොලර් බිලියන 1.906ක් වන අතර, එයින් විදේශ ප්‍රාග්ධනය ලෙස අපේක්ෂිත ප්‍රමාණය ඩොලර් මිලියන 896ක් පමණි.


මෙයද ජනතාව තේරුම් ගත යුතු වැදගත් කරුණකි. “ඩොලර් බිලියන 1.906ක ආයෝජන අනුමත කළා” යනු “ඩොලර් බිලියන 1.906ක් ශ්‍රී ලංකාවට පැමිණියා” යන්න නොවේ.


අනුමත කළ ව්‍යාපෘති ක්‍රියාත්මක වීමට ඉඩම්, බලපත්‍ර, යටිතල පහසුකම්, මූල්‍යකරණය සහ රාජ්‍ය අනුමැතිය වැනි බාධක ජයගත යුතුය. අනුමත වටිනාකම් සෑම විටම සම්පූර්ණයෙන්ම සැබෑ ගලා ඒම (inflow) බවට පත්වන්නේ නැත.


එසේ නම් NPP ආණ්ඩුව අසාර්ථකද?...


නැත. එසේ කීම සංඛ්‍යාලේඛනවලට සාධාරණයක් ගෙන එන්නේ නැත.


2025 FDI වැඩිවීම ධනාත්මක ප්‍රතිඵලයකි. රටේ ආර්ථික ස්ථාවරත්වය වැඩිවීම, උද්ධමනය පහළ යාම, IMF වැඩසටහන යටතේ ඇති වූ සාර්ව ආර්ථික ස්ථාවරත්වය (macroeconomic stability) සහ ආයෝජන පහසුකම් වැඩිදියුණු වීම ආයෝජක විශ්වාසයට බලපා තිබිය හැකිය.


එහෙත් ඒ නිසාම “NPP ආණ්ඩුව විශාල නව විදේශ ආයෝජන ගලා ඒමක් ඇති කළා” යන නිගමනයට පැනීමත් වැරදිය.

මන්ද, 2025දී ලැබුණු FDI වලින් 13%ක් පමණක් නව ව්‍යාපෘතිවලින් පැමිණ තිබීමත්, විශාල කොටසක් දැනටමත් ශ්‍රී ලංකාවේ සිටින ආයෝජකයන්ගේ පුළුල් කිරීම, නැවත ආයෝජනය කිරීම සහ සමාගම් අභ්‍යන්තර මූල්‍යකරණය වීමත් අප නොසලකා හැරිය නොහැකි බැවිනි.


ඇත්තටම අපට අවශ්‍ය වන්නේ ඩොලර් බිලියනයක් නොවේ....


ශ්‍රී ලංකාවට අවශ්‍ය වන්නේ ගුණාත්මක ආයෝජනයකි. රැකියා ඇති කරන ආයෝජනයකි. අපනයන වැඩි කරන ආයෝජනයකි. නව තාක්ෂණය ගෙන එන ආයෝජනයකි. දේශීය ව්‍යාපාර සමඟ සම්බන්ධ වන ආයෝජනයකි. විදේශ විනිමය උපදවන ආයෝජනයකි. රටේ නිෂ්පාදන ධාරිතාව වැඩි කරන ආයෝජනයකි.


ඒ වෙනුවට, දැනට තිබෙන සමාගමක් තම මව් සමාගමෙන් ණයක් ගෙන ශ්‍රී ලංකාවේ ව්‍යාපාරය පුළුල් කළ පමණින් එය නව විදේශ ආයෝජන විප්ලවයක් ලෙස හඳුන්වන්නේ නම්, අපි සංඛ්‍යාලේඛන සමඟ ජනතාව නොමඟ යවන්නෙමු.


2026 තමයි සැබෑ පරීක්ෂණය....


BOI විසින් 2026 සඳහා ඩොලර් බිලියන 1.5ක FDI ඉලක්කයක් තබා තිබේ.

එබැවින් දැන් ආණ්ඩුවට තිබෙන අභියෝගය 2025 සංඛ්‍යාව ප්‍රචාරය කිරීම නොවෙයි.

2026දී එම ඩොලර් බිලියන 1.5න් කොපමණ ප්‍රමාණයක් සැබෑ නව ව්‍යාපෘතිවලින් පැමිණේද? එයින් කොපමණ රැකියා බිහිවේද? කොපමණ අපනයන ආදායමක් ලැබේද? කොපමණ තාක්ෂණික දැනුම රටට ලැබේද? කොපමණ විදේශ විනිමයක් රට තුළ රඳවාගත හැකිද?

සහ අවසානයේ, ශ්‍රී ලංකාව ආයෝජකයන්ට ආකර්ෂණීය රටක් බවට පත් වූවාද, නැත්නම් පැරණි ආයෝජකයන් පමණක් තම ව්‍යාපාර පවත්වාගෙන යාමට සූදානම් වූවාද? යන මේවා ජයගැනීමයි අභියෝගය.


මෙය NPP ආණ්ඩුවට විරුද්ධ දේශපාලන ප්‍රචාරයක් ලෙස නොව, ආණ්ඩුවෙන් ජනතාව ඇසිය යුතු සාධාරණ ආර්ථික ප්‍රශ්න කිහිපයක් ලෙස සැලකිය යුතුය.

ඩොලර් බිලියනයක් පැමිණීම සතුටට කරුණකි. නමුත් ඩොලර් බිලියනයක් පැමිණියේ කෙසේදැයි නොඅසා, එය ජයග්‍රහණයක් ලෙස පමණක් සැමරීම ආර්ථික විග්‍රහයක් නොවේ.


සැබෑ ජයග්‍රහණය වන්නේ FDI headline එක නොව,
ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය, රැකියා, අපනයන, තාක්ෂණය සහ ජනතාවගේ ආදායම ඉහළ නංවන ආයෝජනයක් බිහි කිරීමයි.


ආයෝජනයේ ප්‍රමාණය පමණක් නොව, එහි ගුණාත්මකභාවයත් ප්‍රශ්න කළ යුතුය.


ජයලත්ගේ සුනිල් ගාමිණී ✍️

සියලු ප්‍රවෘත්ති — Economic

අයවැය අතිරික්තය පිටුපස ඇති මායාවේ තිත්ත ඇත්ත
නවතම ප්‍රවෘත්තිEconomic

අයවැය අතිරික්තය පිටුපස ඇති මායාවේ තිත්ත ඇත්ත

2026 වසරේ මුල් මාස 8 (ජනවාරි සිට අගෝස්තු දක්වා) කාලය තුළ ශ්‍රී ලංකා රජයේ අයවැයෙහි සමස්ත අතිරික්තය (Cumulative Budget Surplus) රුපියල් බිලියන 35.4 ක් ලෙස සටහන් වී තිබේ. මේ පිළිබඳව වැදගත් කරුණු කිහිපයක්…

ජනතාවගේ බදු බර අඩු වෙලාද?
නවතම ප්‍රවෘත්තිEconomic

ජනතාවගේ බදු බර අඩු වෙලාද?

2024 මැතිවරණ සමයේ ජනතාවට ඉදිරිපත් කළ NPP ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තිබූ පැහැදිලි ප්‍රතිපත්තියක් වන්නේ “අත්‍යාවශ්‍ය ආහාර සඳහා 0% VAT”   යන්න ය. දේශීය කිරි හා බිත්තර, ළදරු කිරි, ඖෂධ, පාසල් පොත්, ලිපිද…

හොර අරක්කුවල ස්ටිකර් මගඩිය නැවත කරළියට
නවතම ප්‍රවෘත්තිEconomic

හොර අරක්කුවල ස්ටිකර් මගඩිය නැවත කරළියට

ව්‍යාජ මත්පැන් බෝතලවල ස්ටිකර් අලවා  තිබීම සම්බන්ධයෙන් නැවත කතා බහක් මතු වී තිබේ. ඒ වෙළඳපොළෙහි අලෙවිය සඳහා තිබූ හොර මත්පැන් බෝතල්වල  ආරක්ෂිත ස්ටිකර් අලවා තිබෙන බවට අනාවරණය වී ඇති නිසාය. …

ජනාධිපති අනුර කුමාර ප්‍රංශයේ ව්‍යාපාරික හමුවකට
නවතම ප්‍රවෘත්තිEconomic

ජනාධිපති අනුර කුමාර ප්‍රංශයේ ව්‍යාපාරික හමුවකට

ප්‍රංශයේ  ජාත්‍යන්තර ව්‍යාපාර කවුන්සිලය (MEDEF International) විසින් සංවිධානය කරනු ලබන ව්‍යාපාරික හමුවකට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ජනාධිපති අනුර කුමාර දිසානායක…