ජනතාවගේ බදු බර අඩු වෙලාද?

2024 මැතිවරණ සමයේ ජනතාවට ඉදිරිපත් කළ NPP ප්‍රතිපත්ති ප්රකාශනයේ තිබූ පැහැදිලි ප්‍රතිපත්තියක් වන්නේ “අත්‍යාවශ්‍ය ආහාර සඳහා 0% VAT” යන්න ය.
දේශීය කිරි හා බිත්තර, ළදරු කිරි, ඖෂධ, පාසල් පොත්, ලිපිද්‍රව්‍ය හා උපකරණ ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ සඳහා 0% VAT හඳුන්වාදීම එහි සඳහන් විය.
එහෙත් අද, 2026 සැප්තැම්බර් වන විට ජනතාව ඇසිය යුතු ප්රශ්නය ඉතා සරල ය. එනම්, “එදා පොරොන්දු වූ බදු සහනය අද ජනතාවට කොපමණ ලැබී තිබේද?” යන්න ය.
විශේෂ වෙළඳ භාණ්ඩ බද්දට (SCL) සිදු වූයේ කුමක්ද?. ..
මෙහි ඇති විශේෂම කරුණ වන්නේ ආණ්ඩුවේම නිල ලේඛන දෙකක් අතර ඇති වෙනසයි.
2024 මාර්තු 25 දින කැබිනට් මණ්ඩලය විසින් විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ( Special Commodity Levy Act No.48 of 2007) අහෝසි කිරීමට තීරණය කළේය. එම අවස්ථාවේ SCL බද්ධ භාණ්ඩ 64කට සහ HS Codes 210කට අදාළ වූ බව රජයම සඳහන් කළේය.
නමුත් 2024 දෙසැම්බර් 18 දින එම තීරණය ක්‍රියාත්මක නොකර, 2025 ජනවාරි 1 සිට SCL පවත්වාගෙන යාමට නව කැබිනට් මණ්ඩලය තීරණය කළේය.
ආණ්ඩුව එයට හේතුව ලෙස පැහැදිලි කළේ SCL ඉවත් කළහොත් වෙනත් බදු, විශේෂයෙන් VAT, පැනවීමට සිදුවීමෙන් අත්‍යාවශ්‍ය භාණ්ඩවල වෙළෙඳපොළ මිල ඉහළ යා හැකි බවය.
ජනතාවට බදු සහනයක් දීමට තිබූ පරණ තීරණය පසුව වෙනස් කළේ ඒ අයුරින්ය.
ඊටත් වඩා වැදගත් වන්නේ 2025 දෙසැම්බර් 31 දින නිකුත් කළ නියෝගයකින් SCL යටතේ තිබූ භාණ්ඩ 62කට අදාළ බදු අනුපාත 2026 දෙසැම්බර් 31 දක්වා එම අනුපාතවලින්ම පවත්වාගෙන යාමය.
එසේ නම් අද ජනතාව ගෙවන්නේ කුමක්ද?......
ශ්‍රී ලංකා රේගුවේ 2026 බදු තොරතුරු අනුව SCL තවමත් භාණ්ඩ ගණනාවකට අදාළ වේ.
උදාහරණ කිහිපයක් ගත්තොත්,
අර්තාපල් – කිලෝවකට SCL රු.80 කි.
ලොකු ලූනු – කිලෝවකට SCL රු.50 කි.
සීනි – කිලෝවකට SCL රු.50 කි.
මුං ඇට – කිලෝවකට SCL රු.300 කි.
කව්පි – කිලෝවකට SCL රු.300 කි.
ලුණු – කිලෝවකට SCL රු.40 කි.
මෙවැනි බදු තවමත් පවතී.
මෙහිදී මතක තබාගත යුතු කරුණ වන්නේ ආහාර මිලෙහි ඇති එකම බදු බර SCL පමණක් නොවන බවය. ඒ ඒ භාණ්ඩය අනුව VAT, SSCL සහ අනෙකුත් ආනයන බදුද වෙනස් ආකාරයෙන් ආහාර මිල තුළ ඇත.
සාමාන්‍ය පවුලකට මේ බදු බර කොපමණද?..,.
පුද්ගලයන් හතර දෙනෙකුගෙන් යුත් පවුලක් මාසයකදී සහල්, පරිප්පු, සීනි, අර්තාපල්, ලූනු, පොල්තෙල්, මාළු, මුං ඇට ආදී ප්‍රධාන ආහාර යම් ප්‍රමාණයකින් පරිභෝජනය කරන බව උපකල්පනය කළහොත්, තෝරාගත් භාණ්ඩ කිහිපයක SCL බදු පමණක් මාසයකට රු.5,000කට ආසන්න බරක් බවට පත්විය හැකිය.
නමුත් මෙය පවුලක් ගෙවන සම්පූර්ණ බදු මුදලක් නොවේ. එය පැහැදිලිව කිව යුතුය.
අවසාන පාරිභෝගික මිල තීරණය වන්නේ, ආනයන මිල, SCL, අදාළ නම් VAT/SSCL, ප්‍රවාහන වියදම්, තොග වියදම්, සිල්ලර වියදම් සහ ලාභ ආදී සියල්ල එකතු වූ පසුවය.
ජනතාවගේ කෑම මේසයේ යථාර්ථය....
2026 සැප්තැම්බර් 25 වන විට මහ බැංකුවේ දෛනික මිල වාර්තා මගින් ප්‍රධාන ආහාර ද්‍රව්‍යවල මිල නිරන්තරයෙන් වාර්තා කරමින් ඇත.
ඒ අනුව ආහාර මිල තවමත් සාමාන්‍ය පවුලක මාසික වියදමේ විශාල කොටසකි.
එහෙම නම් ප්රශ්නය වන්නේ, බදු ප්‍රතිපත්තිය ජනතාවගේ ජීවන වියදම අඩු කිරීමට කොපමණ දායක වී තිබේද?
යන්නය.
බදු ඉවත් කිරීමද? බදු වෙනස් කිරීමද?.....
ආණ්ඩුවට සාධාරණයක් ඉටු කරමින් තවත් කරුණක් කිව යුතුය. 'සියලු බදු අඩු කර නැත' යනුවෙන් පමණක් ප්‍රකාශ කිරීමට ද නොහැකිය.
2026දී සෙස් (CESS) බද්දද වසර හතරක් තුළ අදියරෙන් අදියර ඉවත් කිරීමට ආණ්ඩුව තීරණය කර තිබේ. එය 2026 සිට 2029 දක්වා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.
එසේම ඇතැම් ඖෂධ, ළදරු කිරි ආදී භාණ්ඩ සඳහා දැනටමත් බදු සහන/නිදහස් කිරීම් පවතී.
ඒ නිසා “ආණ්ඩුව කිසිම බද්දක් ඉවත් කර නැහැ” යන සරල චෝදනාව නිවැරදි නොවේ.
නමුත් ඒ සමඟම, “අත්‍යාවශ්‍ය ආහාර සඳහා 0% VAT” යන ප්‍රතිපත්ති ප්රකාශනයේ පොරොන්දුව සියලු අත්‍යාවශ්‍ය ආහාර සඳහා පොදු ක්‍රමයක් ලෙස ක්‍රියාත්මක වී නැති බවද පැහැදිලිව කිව යුතුය.
ජනතාව දැන් ඇසිය යුතු ප්රශ්නය....
මැතිවරණ වේදිකාවේ කියූ පොරොන්දු අමතක කර දැමීම පහසුය. නමුත් ඒ පොරොන්දු මත ජනතාව ඡන්දය ලබා දුන් පසු, ඒවායේ ප්‍රතිඵල පිළිබඳව ප්‍රශ්න කිරීම ජනතාවගේ අයිතිය ය.
එබැවින් අද ආණ්ඩුවෙන් ඇසිය යුතු ප්‍රශ්න කිහිපයක් තිබේ.
01. අත්‍යාවශ්‍ය ආහාර සඳහා 0% VAT යන පොරොන්දුවෙන් කොපමණ ප්‍රමාණයක් ක්‍රියාත්මක කළාද?
02. 2024දී අහෝසි කිරීමට තීරණය කළ SCL බදු නැවත පවත්වාගෙන යන්නේ ඇයි?
03. 2026 වන විට SCL බදු යටතේ භාණ්ඩ 62ක් තවමත් පවතින්නේ ඇයි?
04. බදු සහන ලබා දුන් බව කියන්නේ නම්, එහි ප්‍රතිඵලයක් ලෙස සාමාන්‍ය පවුලක මාසික ආහාර වියදම කොපමණ අඩු වී තිබේද?
05. “බදු සහනය” ජනතාවගේ කෑම මේසයට සැබෑවටම ගියේ කොපමණද?
මේ ප්‍රශ්නවලට පිළිතුරු දීම ආණ්ඩුව විවේචනය කිරීමක් පමණක් නොවේ. එය මහජන මුදල් හා මහජන බදු පිළිබඳ වගවීම ඉල්ලා සිටීමකි.
මැතිවරණයකදී ජනතාවගෙන් ඡන්දය ඉල්ලීම පහසුය. නමුත් ජනතාවට දුන් පොරොන්දු ඉටු කළ බව සංඛ්‍යාත්මකව ඔප්පු කිරීමයි සැබෑ වගවීම.
අවසානයේ ජනතාවට අවශ්‍ය වන්නේ තවත් දේශපාලන සටන් පාඨයක් නොවේ. කෑම මේසයේ බර අඩු කරන ප්රතිපත්තියකි.
බදු ලේඛනයේ වෙනසක් පමණක් නොව,
ජනතාවගේ ජීවන වියදමේ සැබෑ වෙනසකි.
පොරොන්දුව කාගේ වුවත් වගවීම ජනතාව ඉදිරියේ තිබිය යුතුය.
(මෙහි ඇති ප්‍රධාන සංඛ්‍යා හා බදු කරුණු NPP ප්‍රතිපත්ති ප්රකාශනය, කැබිනට් තීරණ සහ ශ්‍රී ලංකා රේගුවේ 2026 තීරුබදු ලේඛන මත පදනම් කර ඇත. )
ජයලත්ගේ සුනිල් ගාමිණී ✍️



