වැඩේ මරු -හැබැයි තේරුම් ගන්න කල් යයි

ජනපති අනුර කුමාර දිසානායක සහෝදරයා ඊයෙ රැස්වීමේදී මේ රටේ සෞඛ්‍ය සේවාව තුළ සිද්ධ කරන්න යන වෙනසක් පිළිබඳව කළ ප්‍රකාශය ගැන විපක්ෂයේ බොහෝ දෙනෙකුට රිදිලාය.
යුරෝපීය රටවල පුරවැසියන් ඒ රටවල් වල සෞඛ්‍ය සේවාව හා ගණුදෙනු කරන්නේ කෙසේද කියලා ඉතා හොඳින් දැනුවත් පුද්ගලයන් පවා ජනපතිවරයා මතු කරන ලද ඒ තොරතුරු අපහාසයට ලක් කරමින් සිටිනවාය.
එක්තරා විශේෂඥ වෛද්‍යවරයෙක් පවා සිය මුහුණු පොතේ මේ ගැන අදහසක් පළ කරල තිබ්බේ ඇනුම්පදයක් විදියටය. එයා එහිදී ලියල තිබ්බා "ඔන්න මම එහෙනම් සායනයට යන්නෑ" කියලා. ඇත්තටම ඒ ඇනුම්පදයත් නිවැරිදියි. මොකද ජනපතිවරයා විසින් අනාවරණය කෙරුණ විදියට මේ රටේ ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත සෞඛ්‍ය සේවා සැළසුම රට තුළ ක්‍රියාත්මක වීමේදී විශේෂඥ වෛද්‍යවරුන්ට හිතූ මනාපෙට චැනල් සේවාව කරන්න බැරි වෙනවාය.ඉතින් ඔවුන් ඇනුම්පද නොලියා මොනවා ලියන්නද.
ඒත් දියුණු රටවල සෞඛ්‍ය සේවාව සිද්ධ වෙන හැටි අග මුල හොඳට දන්නා වෛද්‍ය විශේෂඥ වෘත්තිකයන් මෙි විදියට සිතීම ඉතා අවලස්සනය. කැතය. ආණ්ඩුව මේ පහසුකම සළසන්න හදන්නෙ මගේම සහෝදර පුරවැසියන්ට නේද කියලා එයාලගෙ හෘද සාක්ෂියට දැනෙන්න ඕනය.
මෙතැනදි ඔවුන් හරි විදියට කරන්න ඕන ආණ්ඩුව සැළසුම් කරල තියෙන සේවාව තවත් ශක්තිමත් කරන විදියට හැඩ වැඩ කරන එකය. අඩු පාඩු නිවැරිදි කරන එකය. එතැනදි ඔවුන්ගෙ වෘත්තිමය අත් දැකීම් ඒ සඳහා පිටු වහලක් කර ගන්න පුළුවන්ය.
රජෙක් වුණත් ලෙඩෙක් වුණොත් අසරණයෙක් වෙන බව අපට අමතක කරන්නට බැරිය. එහෙත් වර්තමාන සමාජය තුළ ලෙඩෙකු වෙනවා නම් රජකු විය යුතුමය. ඒ රජ ලෙඩාට නම් මවුන්ට් එලිසබත් වගේ රෝහල් තියෙනවාය.
ඒත් රජෙක් නොවුණ රෝගීන් රජයේ රෝහල්වල පෝලිම් වල විඳෝනවාය. සමහර වෙලාවට රෝගීන්ගෙ ඒ විඳවිල්ල අමානුෂික විදියට උකස් කරලා සෞඛ්‍ය වෘත්තිකයන් වැඩ වර්ජනය කරලා පඩිය වැඩි කරගන්නත් කුරුමානම් අල්ලනවාය. අපි ජීවත්වෙන්නෙ එවැනි වටපිටාවකය.
ජනපති අනුර සහෝදරයාගේ මැදිහත්වීම සිද්ධ වෙන්නෙත් ඒ වටපිටාව තුළම බව අප අමතක කරන්නට හොඳ නැතිය. සියලු සත්වයෝ නිදුක් වෙත්වා කියලා අපි කිව්වත් ඇරිස්ටෝටල් කිව්වෙ සියලු සත්වයෝ දේශපාලනිකයි කියලාය.
ඒ රැස්වීමේදි ජනාධිපති අනුර සහෝදරයා විසින් හෙළි කරන ලද සැළසුම මොකක්ද කියලා හැබෑවටම තේරුම් ගත්ත නම් කිසිම පුරවැසියෙක් ඒ ගැන ආඩපාලි කියන එකක් නැතිය. ඔහු ගේ සැළසුම මෙහෙමය.
මේ ජනගහණය මිලියන 22ය. හැබැයි මිලියන 80 ක් පහුගිය අවුරුද්දේ බාහිර රෝගී අංශයෙන් බෙහෙත් අරගෙන තියෙනවාය. තව කොටසක් තමන්ගේ ලෙඩේ තමන්ම විනිශ්චය කරගෙන හිතු හිතූ විශේෂඥ වෛද්‍යවරු මුණ ගැහෙන්න යනවාය. මේක රටේ මුදල් වගේම පුරවැසියන්ගේත් මුදල් සහ කාලය නාස්ති වෙන වැඩක්ය. ඒ නිසා රට පුරා ප්‍රජා වෛද්‍ය සේවය වෙනුවෙන් සුවතා මධ්‍යස්ථාන 1,000 ක් ඉදි කරනවාය. ඊට පස්සේ ජනතාවට තමුන්ට අසනීපයක් නම් තමන්ගේ ප්‍රජා වෛද්‍යවරයා මුණ ගැහෙන්න පුලුවන්ය. ඔහු රෝගය විනිශ්චය කරලා රෝහල් ගත වෙන්න ඕනද නැත්නම් විශේෂඥ උපදෙස් අවශ්‍යද එහෙමත් නැත්නම් ගෙදරට වෙලා විවේකයෙන් ඉන්න ඕනද කියලා ඔහු උපදෙස් ලබා දේවිය.
ලෝකයේ බොහෝ රටවල සෞඛ්‍ය සේවාව ක්‍රියාත්මක වෙන්නෙ මෙහෙමය.
ඕන ඕන හැටියේ විශේෂඥ වෛද්‍යවරු ලග පෝලිමේ ඉන්න ලෙඩ්ඩුන්ට බැරිය. ඒ වගේම වෛද්‍යවරුන්ටත් ප්‍රයිවට් චැනල් වලින් බිස්නස් හදාගන්නත් බැරි ය.
දැන් මේ ව්‍යාපෘතියෙන් අපේ රටේ පුරවැසියන්ට නරකක් වෙනවද හොඳක් වෙනවද කියල තේරුම් ගන්න බැරි ආණ්ඩුව එක්ක ඇරියස් තියෙන උන්දැලට පමණ ය. ඒ ඇරියස් කාරයො කෝමත් ඒම තමාය. ඒත් මේ සෞඛ්‍ය සේවාව ගැන දැනුම් තේරුම් තියෙන වෘත්තිකයො ආණ්ඩුවට එරෙහිව අවලාද නගන්නෙ කුහක කමට මිස වෙන හේතුවක් නිසා නොවේය.
ඒ අතරෙ මේ රටේ රෝගීන් ගෙ ජීවිත අවදානම එහෙමත් නැතිනම් භීතිය ජාවාරමක් කර ගත්තු මුදලාලිලාටත් මේ සේවාවෙන් බඩේ පාර වදිනවාය. ඒ නිසාම මේ කෙරුවාව ආණ්ඩුවටත් ලේසි වැඩක් වෙන එකක් නැතිය. ඒ අතරේ දැනටමත් මේ ගැන හිරු දෙරණ වගේ පසික්කාඩු වාහිනී වලින් චේතිය කෙබර වපුරමින් ඉන්නවාය. විපක්ෂය පදනම් විරහිත ඒ කෙබර කර තියා ගෙන කරණම් ගහනවාය.
ජනපති අනුර සහෝදරයාගේ ආණ්ඩුව මේ සැළසුම ක්‍රියාත්මක කරන්නට යාමේදී
නින්දා අපවාද අවලාද කෙළවරක් නැතුවම තව තව අසන්නට ලැබේවිය. ඒත් බල්ලන් බිරුවාට තවලම ඉදිරියට යන බවට අපට විශ්වාසයක් තියෙනවාය. ඒ නිසාම අවසානයට අපට ලියන්නට තියෙන්නෙ සමනලුන්ට ආසයි නම් දළඹුවන්ට ආදරය කරන්නම සිද්ධ වෙන බව විතරය.
දක්ෂිණ ලියනාරච්චි✍️



