මියගිය, විශ්‍රාමික සහ සේවයේ නියුතු යුද්ධ හමුදා රණවිරුවන්ගේ හා ඔවුන්ගේ ලඟම ඥාතීන්ගේ ගැටළු නිරාකරණය කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක වන, යුද්ධ හමුදා සුබසාධක කඳවුර 10 වන අධියර හා වෛද්‍ය සායනය අද දින හම්බන්තොට 12 වන පාබල සේනාංක මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් නිලන්ත ප්රේමරන්නගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.
වෛද්‍ය පරීක්ෂණ, කෘත්‍රිම පාද නඩත්තු සේවා, චර්ම රෝග සහ දන්ත සායන, අක්ෂි සායනයක් මෙන්ම පෝෂණ උපදේශන සායනයක් ඇතුළු තවත් සේවාවන් රැසකින් මෙම වෛද්‍ය සායනය සමන්විත විය.
මෙම වැඩසටහන අතරතුර, ආබාධිත රණවිරුවන්ගේ ගමනාගමන පහසුව සහ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සඳහා රෝද පුටු, කිහිලිකරු සහ වෙනත් අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ බෙදා දෙන ලදී.
රණවිරු සේවා අධිකාරියේ සාමාජිකයින් මෙන්ම වැටුප් හා ලේඛණ අධ්යක්ෂ මණ්ඩලය, පිරිස් පාලන අධ්යක්ෂ මණ්ඩලය, නීති සේවා, මානව හිමිකම් හා මානුෂවාදී නීති අධ්යක්ෂ මණ්ඩලය, සුභසාධන අධ්යක්ෂ මණ්ඩලය, රණසේවා හා පුනරුත්ථාපන අධ්යක්ෂ මණ්ඩලය සහ යුද්ධ හමුදා වෛද්‍ය සේවා අධ්යක්ෂ මණ්ඩල නියෝජිතයින් මෙම වැඩසටහනට සහභාගිවන මියගිය, විශ්‍රාමික සහ සේවයේ නියුතු යුද්ධ හමුදා රණවිරුවන්ගේ හා ඔවුන්ගේ ලඟම ඥාතීන්ගේ ගැටළු නිරාකරණය කිරීම වෙනුවෙන් සහභාගී වී සිටියහ.
එහිදී යුද හමුදාධිපතිතුමා ප්‍රකාශ කළේ වර්තමානයේ සේවයේදී සිටින මෙන්ම විශ්‍රාමික රණවිරුවන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ද යුද්ධයේදී මිය ගිය රණ විරුවන්ගේ පවුල්වල සාමාජිකයින්මෙන්ම තුවාල ලැබුණු සියලුම සාමාජිකයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් ද මේ වන විට වන විට ලක්ෂ හතරකට වැඩි ප්‍රමාණයක් සිටින නිසා ඔවුන් සියලු දෙනාම යුද හමුදා පවුලේ සාමාජිකයින් ලෙස සලකන බවත්, ඔවුන්ට අවශ්‍ය සියලූම සුභ සාදන කටයුතු සිදු කිරීම සඳහා අවශ්‍යය සියලුම කටයුතු යුද හමුදාව මගින් සිදු කරන බවත් ය.
ඒ සඳහා රණවිරු සේවා අධිකාරියත්, යුද හමුදා සේවා වනිතා ඒකකයක් නිරන්තර සහයෝගය ලබාදෙන බව ද යුද හමුදාධිපතිවරයා සිහිපත් කළේය. එසේම ඔවුන්ට අවශ්‍ය සියලුම සුභසාධන කටයුතු සිදු කිරීමට යුද හමුදාවට ධෛර්යය සහ ශක්තිය ඇති බව යුද හමුදාපතිවරයා පැවසීය.
දක්ෂිණ ලියනාරච්චි ✍️