පොලීසියේ මදාවි රාජකාරියට වග කියන්නේ කවුද ?

පොලීසිය මේ වන විට හැසිරෙන්නේ පිස්සු බල්ලන් විදියටය. දැන් පොලිස් පොඩ්ඩන්ට සිද්ධ වී ඇත්තේ බඩ වියත රැක දෙන රස්සාව බේරාගැනීම සඳහා ටාගට් කවර් කීරීමය. පොලීසියේ ඉහල තරු පටි ලොක්කන් ආණ්ඩුවේ නිළමක්කාරයන් රැවටීම සඳහා සිදු කරමින් තිබෙන පැය විසි හතරේ මෙහෙයුම් නිසා හෙම්බත් වී සිටින්නේ පොලිස් පොඩ්ඩන්ය. පොලිස් පොඩ්ඩන්ද තමන්ගේ ඉහළ ලොක්කන් සමග පවතින කේන්තිය පිට කරන්නේ පුරවැසියන්ගෙනි.
මේ ඇස් බැන්දුම් මෙහෙයුම් පටන් ගත්තේ හිටපු අමාත්‍ය ටිරාන් අලස් හා හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ය. ඒ දිනවල පැවැති මේ වාහේලා ගේ මෙහෙයුම් වල තරම දැන් දැන් සමාජයට හෙළිදරව් වෙමින් තිබේ. එහෙත් ප්‍රශ්ණය එය නොවෙි. එම කාලකණ්නි මෙහෙයුම් ජාජබ ආණ්ඩුවද ආදර්ශයට ගැනීමය.
ජාජබ ආණ්ඩුවේ පොලිස්පතිවරයාත් හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් නම් පෝරිසාදයාත් අතර කිසිම වෙනසක් නැති තරමේය. දේශබන්දු නිර්මාණය කළ පෝරිසාද පොලීසිය තවමත් පුරවැසියන්ට හිංසා පීඩා පමුනවමින් සිටී. මහ මග ගමන් කරන සෑම පුරවැසියෙකුම කුඩු කාරයෙක් ලෙස විනිශ්චය කෙරෙන තරමට දැන් වැඩේ බරපතලය.
පොලීසිය විසින් වර්තමානයේදී සිදු කරමින් තිබෙන ටිරාන් දේශබන්දු හැඩයේ බලහත්කාරී මෙහෙයුම් නිසා පුරවැසියන් අන්ත අසරණ වී සිටීම ගැන මහජන ආරක්ෂක ඇමති ඩබලට කිසිම හැඟීමක් නැත. පොලීසිය කුදලා ගෙන ගොස් හිරේ විලංගුවේ දාන පුරවැසියන්ගේ සංඛ්‍යාත්මකව ඉහළ යන ගණන වැඩි වන තරමට මේ ඇමති ඩබලගේ ආතල් එකද වැඩිවී තිබේ.
මේ ඩබල හිතන්නේ පොලීසිය මේ කුදලා ගෙන යන්නේ වැරදිකරන්නන් බවය. පොලීසියද තමන් අත්අඩංගුවට ගන්නා සෑම පුරවැසියෙකුම මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් බවට සටහන් යොදා අධිකරණයට ඉදිරිපත් කරමින් සිටී.
පුරවැසියන්ටද තමන්ට මුහුණ පාන්නට සිද්ධවී තිබෙන මේ කරුමක්කාර නස්පැත්තිය ගැන පවසන්නට කිසිවෙකුත් නැත. ඒ දුක් ගැනවිල්ල අසන්ටද කවුරුත් නැත. ආණ්ඩුවට සම්බන්ධ දේශපාලඥයකු හට තමන්ට පොලීසියෙන් සිද්ධ වෙන හිරිහැරය ගැන පවසන්නටද පුරවැසියන්ට ඉඩක් නැත. ආණ්ඩුවේ දේශපාලඥයන් හැම දෙනාම පවසන්නේ අපි පොලිස් රාජකාරිවලට මැදිහත් වෙන්නේ නැති බවය.
කෙසේ වෙතත් අද අපට වාර්තා වූයේ සීදුව පොලීසිය සිදු කරන ලද ඉතා අශීලාචාර පාදඩ මැදිහත් වීමක් පිළිබඳවය. ඒ පිළිබඳව කමලා ප්‍රනාන්දු නම් සීඳුවේ පදිංචි කාරියක සිය මුහුණු පොතේ මෙසේ සටහන් කර තිබුණාය.
"සීදුව පොලීසියෙන් මේ බෙහෙත්ටික අරගෙන එනකොට පොලීසියේ දෙන්නෙක් මගදි චෙක් කරලා බෙහෙත්ටික ඔක්කොම කඩලා. රුපියල් 5000/=ක බෙහෙත්. පොලීසියට ගියත් එයාලා කැඩුවේ නෑ කියනවා. මගේ හස්බන්ගෙ අසනීප තත්ත්වය වැඩිවෙලා රෝහල් ගතකරන්න සිදුවූ නිසා පරීක්ෂණයක් කරගන්න බැරුව ගියා. එක පොලිස් නිලධාරියෙක් පුතා හඳුනා ගත්තා.දුප්පත් මිනිස්සුන්ට මෙහෙම කරන්න හොඳ නෑ."
මේ ඇයගේ දුක් ගැනවිල්ලයි.
කමලා ප්‍රනාන්දු ගේ සැමියා දීර්ඝ කාලයක සිට අසනීපව සිටී.ඇය දැඩි ආර්ථික දරිද්‍රතාවයෙන් පෙළෙන අසරණියකි. බොහෝ අවස්ථාවන්හීදී ඇයට උපකාර කරන්නේ මුහුණු පොතෙහි මිතුරන්ය. ඇය අසනීපව සිටින සිය සැමියා වෙනුවෙන් ජීවිතය කැප කර සිටින්නියකි.
මහ මග රාජකාරි කරන පොලීස් නිළධාරියෙකුට රෝගියෙකුට ගෙන යන ඖෂධ ගැන අදහසක් වටහා ගන්නට බැරි තරමේ දැනුමක් අවබෝධයක් නැති නම් ඒ පොලිස්කාරයන් උම්බෑ වස්සන් වෙන්නට ඕනෑය. එසේත් නැති නම් දැඩි මානසික ආතතියකින් රාජකාරි කරන්නන් විය යුතුය.
පොලිස් පොඩ්ඩන් බොහෝ දෙනෙකු දැන් සිටින්නේ දැඩි මානසික ආතතියකින් බව අප මුලදී කළ සඳහන කමලා ප්‍රනාන්දු මුහුණ දී ඇති අනුකම්පා විරහිත අමානුෂික පොලිස් රාජකාරිය හා ඉතා අපූරුවට ගලපා ගත හැකිය.
ලෙඩ ඇඳේ සිටින රෝගියෙකුට ගෙන යන රුපියල් පන්දහසක් වටිනා ඖෂධ විනාශ කිරීමේ වගකීම ගන්නට කිසිවෙකුත් නැති වෙන්නට පුළුවන. එහෙත් මෙවැනි පාහරකම් වලට පුරවැසියන්ට මුහුුණ පාන්නට සිද්ධ වෙමින් පවතින බව වත් ජාජබයේ කෙරුම්කාරයන්ගේ ඔළු ගෙඩි වලට දැනෙන්නේ නම් ඒ හොඳටෝම ඇතිය. අපි තමයි හොඳටම කරන්නේ යැයි සිතන උද්ද්චච සිතීමට වඩා දේශපාලනයට මනුස්සකමද අදාළ බව ඒ "සහෝදර අයියලා"තේරුම් ගත යුතුය.
දක්ෂිණ ලියනාරච්චි ✍️



