අධික උණුසුම් කාලගුණය, දිගුකාලීන වියළි බව සහ දැඩි සුළං තත්ත්වය හේතුවෙන් ප්‍රංශය මේ වන විට මෑත ඉතිහාසයේ එරට මුහුණ දුන් දරුණුතම පාරිසරික අර්බුදයකට මැදිව සිටී.
දකුණු සහ බටහිර ප්‍රංශයේ පැතිර යන මෙම දැවැන්ත ලැව්ගිනි මගින් ස්වාභාවික පරිසර පද්ධති, ජනජීවිතය මෙන්ම එරට ආර්ථිකයට ද එල්ල කර ඇත්තේ දැඩි බලපෑමකි.
ලැව්ගිනි වඩාත්ම දරුණු ලෙස පැතිර යන ප්‍රදේශ...
ලැව්ගිනිවල ප්‍රධාන කේන්ද්‍රස්ථානයක් බවට පත්ව ඇත්තේ ජිරෝන්ද් ( Gironde) ප්‍රදේශයයි. විශේෂයෙන් ලේජ්-කැප්-ෆෙරේ (Lège-Cap-Ferret) සහ ආශ්‍රිත වෙරළබඩ වනාන්තර ප්‍රදේශ දැඩි ලෙස විනාශ වී ඇත.
යුරෝපයේ විශාලතම පයිනස් (Pine) වගා සහිත කලාපයක් වන ලොන්ද් (Landes) සහ වා (Var) යන ප්‍රදේශයේහි ශාකවල පවතින අධික දුම්රෙසින් (Resin) සහ වියළි බව නිසා ගින්න ඉතා වේගයෙන් පැතිර යයි.
වියළි කඳු සහිත ප්‍රදේශ සහ ලඳු කැලෑ (Maquis) සහිත තාන් (Tarn) සහ මධ්‍යධරණි වෙරළබඩ කලාපයෙහි මෙම හදිසි ගිනිගැනීම් රැසක් වාර්තා වී ඇත.
මේ දක්වා සිදු වී ඇති සමස්ත හානිය...
වනාන්තර සහ ජෛව විවිධත්වයට සිදු වී ඇති විනාශය ඉතා ඉහළය. හෙක්ටයාර් 100,000 කට අධික ප්‍රමාණයක් මේ වන විට විනාශ වී ඇත. මෑත වාර්තාවලට අනුව වනාන්තර, ස්වාභාවික උද්‍යාන සහ පයිනස් වගාවන් හෙක්ටයාර් 100,000 කට ආසන්න ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම දැවී අළු වී ගොස් ඇත.
එසේම මෙම වනාන්තරවල ජීවත් වූ දුර්ලභ උරගයින්, පක්ෂීන්, ක්ෂීරපායින් ඇතුළු සතුන් දහස් ගණනක් ගින්නට හසුවී මියගොස් ඇති අතර උද්‍යානවල ජෛව විවිධත්වයට දැඩි හානියක් සිදුව තිබේ.
ජනජීවිතයට සහ සිවිල් වැසියන්ට වූ බලපෑම....
ගිනි ජාලා නගර, නිවාඩු නිකේතන සහ ජනාකීර්ණ ප්‍රදේශ දෙසට පැතිරීම නිසා ජනතාව සහ සංචාරකයින් 167,000 කට අධික සංඛ්‍යාවක් ආරක්ෂිත ස්ථාන වෙත ඉවත් කිරීමට පියවර ගෙන ඇත.
පූර්ව අනතුරු ඇඟවීම් නිසා විශාල ජීවිත හානි වැළකී ගියද, ගිනි නිවීමේ කටයුතුවල නිරත වූ භටයින් සහ සිවිල් වැසියන් විශාල පිරිසක් තුවාල ලබා හෝ දුමාරය නිසා ශවසන ආබාධවලට ලක්ව රෝහල්ගත කර ඇත.
දේපළ, සංචාරක සහ යටිතල පහසුකම් හානි.....
ප්‍රංශයේ සංචාරකයින් අතර ඉතා ජනප්‍රිය ප්‍රකට කඳවුරු බිම් (Camping sites), නිවාඩු නිකේතන සහ පුද්ගලික නිවාස 100 කට ආසන්න ප්‍රමාණයක් ගින්නට හසුවී අර්ධ වශයෙන් හෝ සම්පූර්ණයෙන්ම විනාශ වී ඇත.
අධිවේගී මාර්ග සහ දුම්රිය මාර්ග කිහිපයක් වසා දැමීමට සිදුවූ අතර, ප්‍රදේශ රැසක විදුලි සංදේශ සහ විදුලි බල පද්ධති අක්‍රිය විය.
ප්‍රංශ රජය සහ ආරක්ෂක අංශ ගෙන ඇති ක්ෂණික පියවර.....
ගිනි නිවන භටයින්, හමුදා සාමාජිකයින් සහ ස්වේච්ඡා සේවකයින් දහස් ගණනක් පූර්ණ කාලීනව සේවයේ යොදවා ඇත. ගුවනින් ජලය සහ ගිනි නිවන රසායනික ද්‍රව්‍ය හෙළන Canadair සහ Dash වර්ගයේ විශේෂිත ගුවන් යානා මෙන්ම හෙලිකොප්ටර් යානා විශාල ප්‍රමාණයක් අඛණ්ඩව මෙහෙයුම්වල නිරත වේ.
ප්‍රංශ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව (Météo-France) මගින් දිනපතා ලැව්ගිනි අවදානම සහිත කලාප වර්ණ සංකේත (Yellow, Orange, Red) මගින් සිතියම්ගත කර ජනතාවට විවිධ ආරක්ෂිත උපදෙස් ලබා දෙයි.
අධික අවදානම් සහිත දිනවලදී වනාන්තර සහ උද්‍යාන වෙත මහජනතාව ඇතුළු වීම තහනම් කර ඇති අතර, එළිමහන් ගිනි තැබීම්, BBQ දැමීම සහ දුම්වැටි භාවිතය සම්බන්ධයෙන් දැඩි තහනම් පනවා ඇත.
ඉදිරි අනාගතය වෙනුවෙන් රජය ගැනීමට නියමිත තීරණ........
අනාගතයේදී ඇති විය හැකි ලැව්ගිනි පාලනය කිරීම සඳහා ප්‍රංශ රජය විසින් නව ජාතික ප්‍රතිපත්ති සහ නීති රීති කිහිපයක් හඳුන්වා දීමට නියමිතය.
නිවාස සහ ගොඩනැගිලි හිමියන් තම ඉඩම් වටා මීටර් 50 ක සීමාව තුළ ඇති වියළි ශාක සහ කැලෑ අනිවාර්යයෙන්ම ඉවත් කළ යුතුය. මෙය නොකරන ඉඩම් හිමියන්ට අධික දඩ මුදල් පැනවීමටත්, රජය මගින් පිරිසිදු කර ඒ සඳහා වන පිරිවැය හිමිකරුගෙන් අය කරගැනීමටත් තීරණය කර ඇත.
විනාශ වූ ප්‍රදේශවල නැවත ගස් සිටුවීමේදී, ගින්නට පහසුවෙන් හසුවන පයිනස් ගස් වෙනුවට ගින්නට වැඩිපුර ඔරොත්තු දෙන පතනශීලී (Broadleaf/Deciduous) ශාක වර්ග වගා කිරීමට රජය තීරණය කර ඇත.
ඉදිරියේදී නිකුත් කෙරෙන "ජාතික ගිනි අවදානම් සිතියම" (National Risk Map) පදනම් කරගනිමින්, අධික අවදානම් කලාපවල අලුතින් නිවාස හෝ සංචාරක නිකේතන ඉදිකිරීම අත්හිටුවීමට හෝ තදබල කොන්දේසි පැනවීමට නියමිතය.
යම් නිවසක් හෝ ඉඩමක් විකිණීමේදී හෝ කුලියට දීමේදී, එම ස්ථානය ලැව්ගිනි අවදානම් කලාපයක පිහිටා ඇත්නම් ඒ බව මිලදී ගන්නා පාර්ශ්වයට ලිඛිතව දැනුම් දීම අනිවාර්ය කෙරේ.
ගෝලීය උණුසුම ඉහළ යාම සහ කාලගුණික විපර්යාස (Climate Change) මගින් ඇති කර ඇති තර්ජනය කෙතරම් දරුණුද යන්න ප්‍රංශයේ සිදුවෙමින් පවතින මෙම ලැව්ගිනි අපට මනාව පැහැදිලි කරයි. පරිසරය සුරැකීම, පූර්ව සංවර්ධන සැලසුම් සකස් කිරීම සහ කාලගුණික අර්බුදයන්ට මුහුණ දීමට සූදානම් වීම ලෝකයේ සෑම රටකටම දැන් අත්‍යවශ්‍ය කරුණක් වී ඇත.
ජයලත්ගේ සුනිල් ගාමිණී ✍️