මුල් පිටුවට
නවතම ප්‍රවෘත්තිCourt

අධිකරණ ස්වාධීනත්වයට කිසිදු බලපෑමක් නැහැ කියන්නේ කෙසේද?

ලියුවේ Admin
අධිකරණ ස්වාධීනත්වයට කිසිදු බලපෑමක් නැහැ කියන්නේ කෙසේද?

2022 දී ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවත්, 2026 “22 වැනි සංශෝධන” තීන්දුවත් එකට කියවන විට මතුවන බරපතළ ප්‍රශ්නයක් තිබේ.


ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය පාර්ලිමේන්තුවට දැනුම් දෙනු ලැබුවේ 2026 සැප්තැම්බර් 22 වැනි දින ය.


එහිදී ප්‍රධාන වශයෙන් ප්‍රකාශ වූයේ 22 වැනි සංශෝධන පනත් කෙටුම්පත හෝ එහි කිසිදු කොටසක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වැනි වගන්තිය යටතේ ජනමත විචාරණයකින් අනුමත කිරීම අවශ්‍ය නොවන බවය. එය පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් සම්මත කළ හැකිය.


නමුත් මෙතැනින් “එසේ නම් අධිකරණ ස්වාධීනත්වයට කිසිදු ප්‍රශ්නයක් නැත” යන නිගමනයට පැමිණීම නීතිමය වශයෙන් සාධාරණද?


ප්‍රශ්නය ඇත්තේ එතැනය.


2022 ශ්‍රේෂ්ඨාධිකරණය කියා තිබූ දේ අමතක කළ හැකිද?...


2022 දී දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත් (In re Inland Revenue (Amendment) Bill – SC SD 64–71/2022) නඩුවේදී ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරුවන්ගේ ධුර කාලය හා අධිකරණ ස්වාධීනත්වය අතර ඇති සම්බන්ධතාවය පිළිබඳ අතිශය වැදගත් නිරීක්ෂණයක් කළේය.


අධිකරණය පැහැදිලිවම සඳහන් කළේ, දැනට ධුරයේ සිටින විනිසුරුවන්ට සෘජුව හෝ වක්‍රව බලපාන ආකාරයෙන් විශ්‍රාම වයස හෝ ධුර කාලය වෙනස් කරන ව්‍යවස්ථා සංශෝධනයක් අධිකරණයේ ස්වාධීනත්වයට බලපාන බවය. එය Article 3 සමඟ ගැටෙන බවත්, එවැනි තත්ත්වයකදී ජනමත විචාරණයක් අවශ්‍ය වන බවත් අධිකරණය පැහැදිලිව පැවසීය.


එහිදී භාවිත කළ වැදගත් වචන වන්නේ,

“impacting on incumbent judges, whether directly or indirectly” ("වත්මන් විනිසුරුවන්ට සෘජුව හෝ වක්‍රව බලපෑම් කිරීම") යන්නයි.


අර්ථය පැහැදිලිය.එය කියන්නේ “විනිසුරුවන්ගේ විශ්‍රාම වයස අඩු කළහොත් පමණක්” නොව, දැනට ධුරයේ සිටින විනිසුරුවන්ට සෘජුව හෝ වක්‍රව බලපාන ආකාරයෙන් retirement age හෝ period of office වෙනස් කිරීම අධිකරණ ස්වාධීනත්වයට බලපාන ප්‍රශ්නයක් බවය.


මොකක්ද මේ 2022 නඩුව.....


In re Inland Revenue (Amendment) Bill – SC SD 64–71/2022 යන නඩුව ඉතා කෙටියෙන් සඳහන් කළහොත් මෙසේය.


2022 දී ඉදිරිපත් කළ Inland Revenue (Amendment) Bill එකේ විධිවිධාන කිහිපයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලද යන්න ගැන ශ්‍රේෂ්ඨාධිකරණය සලකා බැලුවේ ය.

එහිදී විනිසුරුවන්ගේ විශ්‍රාම වයස හෝ ධුර කාලය වෙනස් කිරීම, විශේෂයෙන් දැනට ධුරයේ සිටින විනිසුරුවන්ට බලපාන ආකාරයෙන් සිදු කළහොත්, එය අධිකරණ ස්වාධීනත්වයට බලපාන කරුණක් බව ශ්‍රේෂ්ඨාධිකරණය පැහැදිලි කළේය.


එවැනි වෙනසක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 වැනි වගන්තියේ ජනතා ස්වෛරීභාවයට බලපාන බැවින්, එය සිදු කිරීමට Article 83 යටතේ ජනමත විචාරණයක් අවශ්‍ය විය හැකි බව තීන්දුවේ සඳහන් විය.


විශේෂයෙන් වැදගත් වචන වන්නේ, "වත්මන් විනිසුරුවන්ට සෘජුව හෝ වක්‍රව බලපෑම් කිරීම" ( “impacting on incumbent judges, whether directly or indirectly” )යන්නය.


සරලව කිවහොත්, විනිසුරුවන්ගේ tenure/විශ්‍රාම වයස දැනට සිටින විනිසුරුවන්ට බලපාන ලෙස වෙනස් කිරීම = අධිකරණ ස්වාධීනත්වය පිළිබඳ ව්‍යවස්ථාමය ප්‍රශ්නයක් = Article 3 සහ ජනමත විචාරණය පිළිබඳ ප්‍රශ්නයක් බවය.


එසේ නම් 2026 දී සිදුවන්නේ කුමක්ද?......


2026 දී ඉදිරිපත් කළ 22 වැනි සංශෝධන පනත් කෙටුම්පතේ ප්‍රධාන යෝජනාවක් වූයේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස 65 සිට 67 දක්වාත්, අභියාචනාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස 63 සිට 65 දක්වාත් ඉහළ දැමීමයි.

එපමණක් නොව, අගවිනිසුරු සම්බන්ධයෙන් වසර 6ක කාල සීමාවක් ද යෝජනා කර තිබුණි.


ඒ අනුව මූලික ප්‍රශ්නය වූයේ,

දැනට ධුරයේ සිටින විනිසුරුවන්ගේ ධුර කාලය පිළිබඳව පත්වීමේදී පැවති නීතිමය තත්ත්වය පසුව වෙනස් කිරීම, 2022 දී ශ්‍රේෂ්ඨාධිකරණය හඳුනාගත් “incumbent judges” පිළිබඳ මූලධර්මයට අදාළ නොවන්නේද? යන්නය. මෙය සුළු ප්‍රශ්නයක් නොවේ.


“වයස වැඩි කළා විතරයිනේ” කියා ප්‍රශ්නය අවසන් කළ හැකිද?....


22A ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ සාකච්ඡාවේ වැදගත්ම තැන මෙය ය.


“විශ්‍රාම වයස 65 සිට 67 දක්වා වැඩි කිරීම විනිසුරුවෙකුගේ ධුර කාලය අඩු කිරීමක් නොවන බැවින් එය අධිකරණ ස්වාධීනත්වයට හානියක් නැත." යැයි කෙනෙකුට කියන්නට පුළුවන් ය. මෙය එක් නීතිමය මතයකි.


ඇත්ත වශයෙන්ම 22A පිළිබඳ නඩු විභාගයේදී රජය වෙනුවෙන් ඉදිරිපත් වූ නීතිඥයන් ද මෙවැනි තර්ක ඉදිරිපත් කළහ. රජයේ පාර්ශ්වය පෙන්වා දුන්නේ යෝජිත සංශෝධනය අධිකරණයේ බලය අඩු නොකරන බවත්, අධිකරණයේ කාර්යක්ෂමතාව වැඩි කිරීම අරමුණු කරගත් බවත්ය.


නමුත් අනෙක් පාර්ශ්වය අසන ප්‍රශ්නය වෙනස්ය.

“දැනට ධුරයේ සිටින විනිසුරුවෙකුගේ ව්‍යවස්ථාමය ධුර කාලය (tenure) පිළිබඳ නීතිමය තත්ත්වය පත්වීමෙන් පසු වෙනස් කිරීම, එම ධුර කාලය (tenure) ට බලපෑමක් නොවේද?” යන්න ඔවුන් අසන පැණය ය. 


2022 තීන්දුවේ භාවිත වූ "සෘජුව හෝ වක්‍රව" (“directly or indirectly”) යන වචන නිසා මෙම ප්‍රශ්නය සම්පූර්ණයෙන්ම නොසලකා හැරිය හැකිද යන්න නීතිමය විවාදයේ කේන්ද්‍රයයි.


2022 තීන්දුවේ තවත් වැදගත් කරුණක්.....


2022 තීන්දුව විශ්‍රාම යන වයස (retirement age) ගැන පමණක් නොවෙය. එහි මූලික අදහස වන්නේ, විනිසුරුවන්ගේ ධුර කාලයේ (tenure) ආරක්ෂාව අධිකරණ ස්වාධීනත්වයේ කොටසක් බවය.


අධිකරණයක් ස්වාධීන වීමට නම් විනිසුරුවරයෙකුට තම ධුරය පිළිබඳව අසාමාන්‍ය දේශපාලන බලපෑම් හෝ පාලකයන්ගේ අභිමතය මත වෙනස්වන අනිශ්චිතතාවක් නොතිබිය යුතුය.

ඒ නිසා විශ්‍රාම යන වයස (retirement age) යනු හුදෙක් “වයස” පිළිබඳ පරිපාලන සංඛ්‍යාවක් නොවේ. එය විනිසුරුවරයාට ව්‍යවස්ථාවෙන් ලැබෙන ධුර ආරක්ෂාව සමඟ බැඳුණු කරුණක් ලෙස දැකිය හැකිය.


එසේ නම් 2026 ශ්‍රේෂ්ඨාධිකරණය කියන්නේ කුමක්ද?....


2026 සැප්තැම්බර් 22 දින කථානායක විසින් පාර්ලිමේන්තුවට දැනුම් දුන් determination අනුව, 22 වැනි සංශෝධනයේ කිසිදු කොටසක් Article 83 යටතේ ජනමත විචාරණයක් අවශ්‍ය කරන තත්ත්වයක නොමැත.


එමෙන්ම 2 වන වගන්තිය (Clause 2) සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය සංශෝධන දෙකක් නියම කර තිබේ.

ඉන් එකක් අගවිනිසුරු සම්බන්ධයෙන් විශේෂයෙන් වැදගත්ය.


නීතිය ක්‍රියාත්මක වන දිනයේ අගවිනිසුරු ධුරයේ සිටින පුද්ගලයාට යෝජිත වසර 6ක සීමාව අදාළ නොවන බවට දෙවැනි කොන්දේසියක් (proviso) එකතු කළ යුතුය.

මෙය ඉතා වැදගත් කරුණකි. මන්ද, එයින් පෙනෙන්නේ වත්මන් අගවිනිසුරුගේ ධූර කාලය (tenure) පිළිබඳ ගැටලුව ශ්‍රේෂ්ඨාධිකරණය සම්පූර්ණයෙන්ම නොසලකා හැර නැති බවයි.


එහෙම නම් 2022 සහ 2026 අතර ඇති සැබෑ ප්‍රශ්නය කුමක්ද?....


2022 දී අධිකරණ ස්වාධීනත්වය සහ වත්මන් විනිසුරුවරුන්ගේ ධුර කාලය අතර සෘජු සම්බන්ධතා ශ්‍රේෂ්ඨාධිකරණය පිළිගෙන තිබුණා. එහි  3 වන වගන්තිය (Article 3) සහ ජනමත විචාරණ අවශ්‍යතාවය සම්බන්ධ කර තිබුණා.


2026දී එම මූලධර්මය සම්පූර්ණම 22A සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය නොවේ යැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරනු ලැබුවා. එබැවින් 2026 Full Determination එකේදී 2022 මූලධර්මය 22Aට අදාළ නොවන බවට දෙන තර්කනය reasoning තමයි මෙම නීතිමය විවාදයේ කේන්ද්‍රය.


සමාජයට පැහැදිලි කිරීමට අවශ්‍ය ප්‍රශ්නය ඇත්තේ මෙතැනය.


2022 දී “වත්මන් විනිසුරුවරුන්ට විශ්‍රාම යන වයස/කාර්යාල සංශෝධන කාලය බලපානවා එක අධිකරණ ස්වාධීනත්වයට බලපානවා” කියූ ශ්‍රේෂ්ඨාධිකරණය, 2026 දී 65 → 67 විශ්‍රාමික වයස වෙනස එම වගන්තිය 3 / 83 වැනි වගන්තියට සීමාව  නොපැමිණෙන්නේ ඇයි?


එයට සම්පූර්ණ නීතිමය හේතු දැක්වීම මහජනතාවට පැහැදිලි විය යුතුය.

“ජනමත විචාරණයක් අවශ්‍ය නැහැ” කියන්නේ “බලපෑමක් නැහැ” කියන එකද?..


නැහැ. මේ දෙක එකම ප්‍රශ්නයක් නොවේ.

Article 83 යටතේ ජනමත විචාරණයක් අවශ්‍යද යන්න ව්‍යවස්ථාමය සීමාවක් පිළිබඳ ප්‍රශ්නයකි.

අධිකරණ ස්වාධීනත්වයට බලපෑමක් තිබේද යන්න ව්‍යවස්ථාමය මූලධර්මයක් පිළිබඳ ප්‍රශ්නයකි. ඒ දෙක සම්බන්ධ වුවත් ඒවා එකම වාක්‍යයක් නොවේ.


එබැවින්:

“22Aට ජනමත විචාරණයක් අවශ්‍ය නැහැ. ඒ නිසා අධිකරණ ස්වාධීනත්වය පිළිබඳ කිසිදු ප්‍රශ්නයක් නැහැ.” යන තර්කය තාර්කිකව ස්වයංක්‍රීයව ගලා එන්නේ නැත.

ඒ සඳහා පළමුව 2022 පූර්වාදර්ශයන් 2026 Bill එක වෙනස් වන්නේ කුමන නීතිමය පදනමක් මතද යන්න පැහැදිලි කළ යුතුය.


තවත් වැදගත් කරුණක්... 


මෙතැනදී අතිශය වැදගත් නීතිමය සීමාවක් තිබේ.

2026 සැප්තැම්බර් 22 දින පාර්ලිමේන්තුවට ප්‍රකාශයට පත් කළේ ශ්‍රේෂ්ඨාධිකරණයේ determination එකේ ප්‍රධාන නිගමනයි.

කථානායක විසින් Full Determination එක පාර්ලිමේන්තු නිල වාර්තාවේ මුද්‍රණය කරන ලෙස නියෝග කර තිබේ.


එබැවින් සම්පූර්ණ තර්කනය පරීක්ෂා නොකර, “ශ්‍රේෂ්ඨාධිකරණය 2022 තීන්දුව ප්‍රතික්ෂේප කළා” කියන එකත්,

“ශ්‍රේෂ්ඨාධිකරණය 22A මගින් අධිකරණ ස්වාධීනත්වයට කිසිදු බලපෑමක් නැති බව තීරණය කළා” කියන එකත්,අතිශය පුළුල් ප්‍රකාශයන්ය.

දැනට නිල වශයෙන් තහවුරු වී ඇත්තේ ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බවය.


එහෙත් අමතක නොකළ යුතු මූලික කරුණ....


අධිකරණ ස්වාධීනත්වය යන්නෙන් කියැවෙන්නේ විනිසුරුවරයෙකුට අල්ලස් දෙනවාද, තර්ජනය කරනවාද කියන එක පමණක් නොවේ. එය විනිසුරුවරයාගේ ධුර ආරක්ෂාව, ධුර කාලය (tenure), පත්වීම, ඉවත් කිරීම, සහ ඔහුගේ තීරණ ගැනීමට ඇති ආයතනික ස්වාධීනත්වය සමඟ බැඳුණු පුළුල් ව්‍යවස්ථාමය සංකල්පයකි.


එබැවින් විනිසුරුවන්ගේ විශ්‍රාම යන වයස පිළිබඳ නීතිය වෙනස් කරන අවස්ථාවකදී,

“මෙය විශ්‍රාම වයස ගැන පමණයි”

කියා ප්‍රශ්නය අවසන් කිරීම ප්‍රමාණවත් නොවේ.


ඇසිය යුතු ප්‍රශ්නය වන්නේ:

“මෙම වෙනස විනිසුරුවන්ගේ ව්‍යවස්ථාමය ධුර කාලයට (tenure) හා ආයතනික ස්වාධීනත්වයට කුමන බලපෑමක් ඇති කරන්නේද?”

යන්නයි.


අවසානයේ ජනතාවට අදාළ ප්‍රශ්නය මෙයයි....


2022 දී ශ්‍රේෂ්ඨාධිකරණය කියා තිබුණේ:

දැනට සිටින විනිසුරුවන්ට සෘජුව හෝ වක්‍රව බලපාන විශ්‍රාම යන වයස හෝ ධුර කාලය වෙනස් කිරීම අධිකරණ ස්වාධීනත්වයට බලපාන අතර Article 3 සම්බන්ධ වන බවයි.


2026 දී එම විෂයම විනිසුරුවන්ගේ විශ්‍රාම යන වයස පාර්ලිමේන්තුවේ විශාල ව්‍යවස්ථාමය සංශෝධනයක් ලෙස නැවත පැමිණ තිබේ. එහිදී ශ්‍රේෂ්ඨාධිකරණය ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බව තීරණය කර තිබේ.


එසේ නම් මහජනතාවට පැහැදිලි කළ යුතු වන්නේ, 2022 දී හඳුනාගත් බලයේ සිටින විනිසුරුවරුන් - ධුර කාලය - අධිකරණ ස්වාධීනත්වය - 3 වන වගන්තිය" (“incumbent judges – tenure – judicial independence – Article 3”) යන සම්බන්ධතාවය 2026 දී 22Aට අදාළ නොවන්නේ ඇයි? යන්න ය.


2022 පූර්වාදර්ශය කුමන නීතිමය සීමාවක් 22A මගින් ඉක්මවා නොයන්නේද?

විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස වෙනස් කිරීමක්, ධුර කාලය පිළිබඳ වෙනසක් නොවන බවට ඇති නීතිමය පදනම කුමක්ද?


වත්මන් විනිසුරුවන්ට නව වයස් සීමාව අදාළ කිරීමෙන් ඔවුන්ගේ පත්වීමේදී පැවති ව්‍යවස්ථාමය තත්ත්වය වෙනස් නොවන්නේ කෙසේද?


මෙවැනි ප්‍රශ්නවලට පිළිතුරු නොදී,

“ජනමත විචාරණයක් අවශ්‍ය නැහැ; එහෙනම් අධිකරණ ස්වාධීනත්වයටත් ප්‍රශ්නයක් නැහැ”

යන කෙටි දේශපාලන සටන් පාඨයකින් මේ විවාදය අවසන් කළ නොහැක.


අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳ සැකයක් මතු වූ පමණින් එය බලපෑමක් බව අවසාන වශයෙන් තීරණය කළ නොහැක. නමුත් 2022 ශ්‍රේෂ්ඨාධිකරණයේම පැහැදිලි පූර්වාදර්ශයක් තිබියදී, 2026 දී විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස වෙනස් කරන සංශෝධනයක් සම්බන්ධයෙන් “අධිකරණ ස්වාධීනත්වයට කිසිදු බලපෑමක් නැත” යන නිරපේක්ෂ ප්‍රකාශයද නීතිමය විග්‍රහයකින් තොරව කළ නොහැක.


ප්‍රශ්නය ජනමත විචාරණයක් තිබේද නැද්ද යන්න පමණක් නොවේ.

ප්‍රශ්නය, අධිකරණය පාලකයන්ගෙන් ස්වාධීනව සිටීමට අවශ්‍ය වන ධුර කාලයේ ආරක්ෂාව පිළිබඳ ව්‍යවස්ථාමය මූලධර්මය කෙසේ ආරක්ෂා කරන්නේද යන්නයි.


ඒ ප්‍රශ්නයට පැහැදිලි, විනිවිද පෙනෙන සහ සම්පූර්ණ නීතිමය පිළිතුරක් මහජනතාවට දැනගැනීමට අයිතිය තිබේ.

අධිකරණයේ ස්වාධීනත්වය යනු පාලකයන්ට ලබාදෙන වරප්‍රසාදයක් නොවේ. එය ජනතාවගේ ස්වෛරීභාවය ආරක්ෂා කරන ව්‍යවස්ථාමය ආරක්ෂාවකි.


22A සංශෝධනය පිළිබඳ සැබෑ විවාදය එතැනින් අවසන් නොවේ. සැබැවින්ම සිදුවන්නේ එතැනින් ආරම්භ වීමය.


(කාටූනය උපුටා ගත්තේ Yukthiya.lk වෙතිනි.)


ජයලත්ගේ සුනිල් ගාමිණී ✍️

ප්‍රවර්ගය :Court

සියලු ප්‍රවෘත්ති — Court

චන්ඩි නොන්ඩි වී නෝන්ඩි ජම්පරයට හිරවීම
නවතම ප්‍රවෘත්තිCourt

චන්ඩි නොන්ඩි වී නෝන්ඩි ජම්පරයට හිරවීම

අතීතයේ එක්තරා දිනයක සිංහල බෞද්ධ  උන්මාදය පිටාර ගියේ ගලබොඩඅත්තේ ඥාණසාර හිමි හෝමාගම උසාවියට එළි පිටම තර්ජනය කිරීමෙනි. මේ උන්මාදය වැළඳුන එවුන් ප්‍රීති වූයේ ගලබොඩ අත්තේ ඥාණසාරගේ මදාවි කමට අත් පොළසන්…

ගාල්ලේ ට්‍රැෆික් පොලිස් නෝන්ඩි වෙලා...
නවතම ප්‍රවෘත්තිCourt

ගාල්ලේ ට්‍රැෆික් පොලිස් නෝන්ඩි වෙලා...

ගාල්ල නගරයේ පැවැති වෙසක් කලාපයක ආවේක්ෂණ රාජකාරී අවසන් කර බූස්ස කඳවුරට යමින් සිටි යුධ හමුදා බුද්ධි අංශ නිලධාරීන් පිරිසක් ඉලක්ක කරගනිමින් 2025 මැයි 14 වන දින ගාල්ල පොලිසියේ නිලධාරීන් පිරිසක් වගකීම් විරහ…

22 වැනි සංශෝධනයේ තීන්දුව සැප්තැම්බර් 18 වැනිදා කථානායකට
නවතම ප්‍රවෘත්තිCourt

22 වැනි සංශෝධනයේ තීන්දුව සැප්තැම්බර් 18 වැනිදා කථානායකට

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි සංශෝධනයට අදාළ පෙත්සම් විභාගයේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව එළඹෙන සැප්තැම්බර් 18 වනදා කථානායකවරයා වෙත දැනුම් දීමට නියමිත බව වාර්තා වේ. මෙම පෙත්සම් විභාගය සිදු කරනු ලැබුවේ, අග්‍…

විශ්‍රාම වයස දීර්ඝ කිරීම හා අධිකරණයේ ස්වාධීනත්වය!
නවතම ප්‍රවෘත්තිCourt

විශ්‍රාම වයස දීර්ඝ කිරීම හා අධිකරණයේ ස්වාධීනත්වය!

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගැන අද රටේ ඇති වී තිබෙන විවාදය දෙස බලන විට, ඇතැම් පිරිස් එය ඉතා සරල ප්‍රශ්නයක් බවට පත්කර තිබේ. “විනිසුරුවන්ගේ විශ්‍රාම වයස 65 සිට 67 කළාම මොකද වෙන්නේ?” “වයස වැඩි කිරීම ලෝකයේ…