22 වැනි සංශෝධනයේ තීන්දුව සැප්තැම්බර් 18 වැනිදා කථානායකට

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි සංශෝධනයට අදාළ පෙත්සම් විභාගයේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව එළඹෙන සැප්තැම්බර් 18 වනදා කථානායකවරයා වෙත දැනුම් දීමට නියමිත බව වාර්තා වේ.
මෙම පෙත්සම් විභාගය සිදු කරනු ලැබුවේ, අග්‍රවිනිශ්චයකාර ප්‍රීති පද්මන් සුරසේන ප්රමුඛ පංචපුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේය. 22 වැනි සංශෝධනයට පක්ෂව සහ විරුද්ධව පෙත්සම් 110කට වැඩි සංඛ්‍යාවක් ඉදිරිපත්ව තිබිණි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව සති තුනක් ඇතුළත ශ්‍රේෂ්ඨාධිකරණය සිය තීරණය කථානායකවරයා වෙත දැනුම්දිය යුතුය.
මේ අතර, ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කිරීමට අදාළ මෙම 22 වැනි සංශෝධනය සම්බන්ධයෙන් මේ වන විට ජිනීවාහි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩල හමුවේදී ශ්‍රී ලංකා රජය කරුණු පැහැදිලි කිරීමට නියමිතව තිබුණි.
අධිකරණ පද්ධතියේ පවතින නඩු ප්‍රමාදය අවම කිරීම සහ අධිකරණ ක්‍රියාවලිය කාර්යක්ෂම කිරීම සඳහා මෙම සංශෝධනය අත්‍යවශ්‍ය බව රජය මෙහිදී පෙන්වාදෙනු ඇතැයි සඳහන් ය.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් වෝල්කර් ටර්ක් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳ ලිඛිත යාවත්කාලීන කිරීම ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, ජිනීවාහි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා ස්ථීර නියෝජිත සුමිත් දසනායක විසින් ශ්‍රී ලංකාවේ ප්‍රකාශය ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
පසුගිය වසර දෙක තුළ රජය ලබා ඇති ප්‍රගතිය, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම, උතුරේ හමුදා භාරයේ පවතින ඉඩම් නිදහස් කිරීම සහ දේශීය වගවීම් ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් ද රජය මෙහිදී අවධානය යොමුකරනු ඇති බව වාර්තා විය.
මීට අමතරව, බන්ධනාගාරවල පවතින තදබදය අවම කිරීමට ගෙන ඇති පියවර සහ බන්ධනාගාර අර්බුද සම්බන්ධයෙන් ද රජය කරුණු දක්වනු ඇති බවද සඳහන්ය.
කෙසේ වෙතත්, වින්දිතයන්ට සහ සිවිල් සංවිධානවලට එල්ල වන තර්ජන, අත්තනෝමතික අත්අඩංගුවට ගැනීම්, වධහිංසා පැමිණවීම් සහ රාජ්‍ය නොවන සංවිධානවලට පනවා ඇති සීමා කිරීම් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් කාර්යාලය සිය දැඩි කනස්සල්ල පළකර ඇත.



