මුල් පිටුවට
නවතම ප්‍රවෘත්තිPolitical

වෙරළ සංරක්ෂණ ලොක්කෝ බදු මුදල් කයි... ඇමැතිලා නිදිවදියි...

ලියුවේ Admin
වෙරළ සංරක්ෂණ ලොක්කෝ බදු මුදල් කයි... ඇමැතිලා නිදිවදියි...

වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්, මහාචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර ය. එම තෝරා ගැනීම ජාතික ජන බලවේග ආණ්ඩුවේය. 

අතිශය දූෂිත ආයතනයක් ලෙස නම් දරා ඇති මෙම දෙපාර්තමේන්තුවේ දූෂණ පිළිබඳව පසුගිය වසර තිස්සේ, සාක්ෂි සාධක සහිතව අඛණ්ඩව හෙළිදරව් කළ විට ටර්නි ප්‍රදීප් කුමාර හිටියේ ඇස් කන් පියාගෙනය. එපමණක් ද නොව, ඔහු හිටියේ දූෂණයට එරෙහිව කටයුතු කරන නිලධාරීන්ගේ පාර්ශ්වයේ නොව දූෂිතයන්ගේ පාර්ශවයේය. ඇස්පනාපිට දූෂණ චෝදනා ඔප්පු වී තිබුණත්, ඔහු දිගින් දිගටම දූෂිතයන්ව ආරාක්ෂා කළේය. 


නින්දෙන් අවදි වූ ටර්නිලාගේ නාස්ති යේ තරම...

මේ වන විට ආශ්චර්යයක් සිදු වී තිබේ. එක පාරටම ටර්නි ප්‍රදීප් කුමාර නින්දෙන් අවදි වී ඇත. දැන් මිනිහා ගිනි කසයට වැඩ ය. පරිසර ඇමැතිවත් පෙරටු කර ගෙන වෙරළේ ඇති අනවසර ඉදිකිරීම් සොයමින් පිම්මේ දුවමින් සිටින අයුරු ඇතැම් රූපවාහිනී නාලිකා වලින් දැකගත හැකි විය. 

පසුගිය වසර තුළ මොහුගේ සහ ඇමැති ඩබලගේ කෙරුවාව ගැන හරි හැටි නොදන්නා අය, මේ කට්ටියගේ අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමේ උවමනාවේ කඩිනම් උනන්දුව දැක තුෂ්නිම්භූත වී ඇති බව පෙනේ. කෙසේ වෙතත් ඔය උනන්දුවේ තරම වැඩි කල් නොගොස්ම සියල්ලන්ට දැකගත හැකි වනු ඇත.

දැන් ගිනි කසයට දඟලන අධ්‍යක්ෂ ජනරාල්, අනවසර ඉදිකිරීම් වලට අනුමැතිය දී ඇතිවා පමණක් නොව, අමු අමුවේ රුපියල් ලක්ෂ ගණන් මහජන මුදල් ගසාකමින් හා නාස්ති කරමින් සිදු කළ කෙරුවාවන් බොහෝ ය. 

පහතින් දැක්වෙන්නේ එකම කටයුත්තක් සඳහා වාර දෙකක් දී මහජන මුදල් රුපියල් ලක්ෂ ගණනක් ගසා කෑ සහ නාස්ති කර දැමූ එක් අවථාවක්ය. 

2025 වර්ෂය තුළ Arc GIS මෘදුකාංගයක් මිලදී ගැනීමට වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවට මුදල් වෙන් වී තිබුණි. එම මුදල් අධ්‍යක්ෂ ජනරාල් ටර්නි ප්‍රදීප් කුමාර ගේ තනි මතයට වෙනත් කටයුත්තක් සඳහා යෙදවීමට තීරණය කිරීම නිසා වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ විශාල වංචාවක් සිදු විය. 


Arc GIS මෘදුකාංගයක් මිලදී ගැනීමට තාක්ෂණික ඇගයීම් කමිටුවේ නිර්දේශය සහ ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පවා තිබියදීත්, වංචා සහගත ලෙස  රුපියල් ලක්ෂ 50 ක මුදලකට CANASIA Geo Solutions ආයතනයට ටෙන්ඩරයක් ලබාදීමට ටර්නි ප්‍රදීප් කූමාර කටයුතු කළේය. 


ඩ්‍රෝන සමීක්ෂන ගැහිල්ලේ ආරම්භය...


වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ටර්නි ප්‍රදීප් කුමාර, 2025 නොවැම්බර් මස 26 වැනි දා පුවත් පත් දැන්වීමක් පළ කළේය. එහි සඳහන් වූයේ, වෙරළ සංරක්ෂනය සඳහා රුපියල් ලක්ෂ 50 කට අදාළ  ඩ්‍රෝන සමීක්ෂන සේවාවක් ලබා ගැනීමට මිල ගණන් කැඳවන බවත්, ඒ සඳහා උනන්දුවක් දක්වන ලංසු කරුවන්ගෙන් මුද්‍රා තැබූ ලංසු කැඳවන බවත් ය.


අදාළ දැන්වීමට අනුව ලංසු ඉදිරිපත් කරන ලංසුකරුවන්, LiDAR සමීක්ෂණය සහ අධි-විභේදන ඕතොමොසයික් සඳහා හෙක්ටයාරයකට මිල ගණන් ඉදිරිපත් කළ යුතු බවට සඳහන් කොට ඇත. (LiDAR සමීක්ෂනය යනු ලේසර් කිරණ භාවිතා කරමින් භූමිය හා වස්තු 3D ලෙස මැනගන්නා අතිනවීන සමීක්ෂන තාක්ෂනයකි.)


එසේම ලංසුකරුවන්ට ඩ්‍රෝන සමීක්ෂනවල වසර 3 කට වැඩි පළපුරුද්දක් තිබිය යුතු අතර, ශ්‍රී ලංකාවේ වෙරළබඩ ව්‍යාපෘතිවල අවම වශයෙන් හෙක්ටයාර 3,000 ක් සම්පූර්ණ කර තිබිය යුතුය යනුවෙන් අදාළ දැන්වීමෙහි දක්වා තිබුණි.


ලංසු තැබූ අයට හොරෙන් සිදු වූ දේ....


පලකළ දැන්වීමට අනුව, ලංසු භාර ගැනීමේ අවසන් දිනය ලෙස සඳහන් වුයේ 2025.12.15 වන දින ය. ඒ අනුව ලංසු කරුවන් 8 දෙනෙකු මෙම ව්‍යාපෘතිය සඳහා මිලගණන් ඉදිරිපත් කර තිබුණි. එම 8 දෙනා වන්නේ  CANASIA Geo Solution, SULECO Pvt Ltd, EDPMC (Pvt) Ltd - Engineering Design and project Management Company, CESL ( Central Engineering Consultancy ) Government , Wegro (Pvt) Ltd, Colombo Institute of Engineering service, Global  GIS Pv Ltd සහ Geo Plus Solutions යන ආයතනයි.


ලංසු විවෘත කිරීම 2025/12/15 වැනි දින සිදු කර තිබේ. සමාන්‍යයෙන් ලංසු විවෘත කිරීමෙන් පසුව, ලංසු ඇගයීම් කමිටුව විසින් අදාළ ලංසු ඇගයීමට ලක් කර එහි වාර්තාව ප්‍රසම්පාදන කමිටුවට ලබා දිය යුතුය. ප්‍රසම්පාදන කමිටුව විසින් ඔවුන්ගේ කමිටු තීරණය ලබා දෙන්නේ  ඉන් පසුව ය. 


අවසාන වශයෙන් ලක්ෂ 50 ක මෙම ටෙන්ඩරය ලබා දුන්නේ CANASIA Geo Solution නමැති ආයතනයට ය. 


අන්ත දූෂිත තේරීමක්....

මෙම ටෙන්ඩරය පිරිනැමීමේදී ද අදාළ CANASIA Geo Solution යන ආයතනය තෝරාගෙන ඇත්තේ ඉතාමත් දුෂිත ආකාරයෙනි. මෙම ව්‍යාපෘතිය සඳහා ඡයාරුප ගත කළ යුතු වර්ග ප්‍රමාණය කොපමණ ද යන්න ලංසු ලේඛනයේ දක්වා තිබුණේ නැත. සාමාන්‍යයෙන් සිදු කරනුයේ ඡායාරුප ගත යුතු හෙක්ටයාර ප්‍රමාණය සඳහන් කර ඒ සඳහා හෙක්ටයාරයකට වැයවන මිලගණන් කැඳවීමය. නමුත් මෙහිදී සිදු කර ඇත්තේ මිලියන 5 තුළ සිදුකළ හැකි හෙක්ටයාර ප්‍රමාණය සහ හෙක්ටයාරයකට වැයවන මිල ගණන් කැඳවීම ය. 

මෙම ටෙන්ඩරයට ලංසු කරුවන් විසින් ඉදිරිපත් කළ මිල ගණන් අනුව ඔවුන් ඉදිරිපත් කළ මුළු ලංසු අගය, ඔවුන් ඉදිරිපත් කළ හෙක්ටයාර ප්‍රමාණයෙන් බෙදූ විට හෙක්ටයාරයකට යන වියදම දැක්වෙන්නේ පහත පරිදි ය. (මෙහි සඳහන් කරන්නේ අවම මිලගණන් ඉදිරිපත් කළ ලංසු කරුවන් හතර දෙනාගේ වියදම පමණය.)

EDPMC (Pvt) Ltd ආයතනය ඉදිරිපත් කළ මුළු වියදම 5,000,000 සහ හෙක්ටයාර ප්‍රමාණය 5250 ක් වන අතර ඒ අනුව හෙක්ටයාරයකට මධ්‍යන්‍ය වියදම රුපියල් 952.38 කි.

එසේම GLOBAL GIS (Pvt) Ltd ආයතනය ඉදිරිපත් කළ මුළු වියදම රුපියල් 4,995,000 ක් වන අතර හෙක්ටයාර ප්‍රමාණය 3400 ක් වේ. ඒ අනුව හෙක්ටයාරයකට මධ්‍යන්‍ය වියදම රුපියල් 1469.12 කි.

CANASIA GEO SOLUTIONS ආයතනය ඉදිරිපත් කළ මුළු වියදම රුපියල්  5,000,000 හෙක්ටයාර ප්‍රමාණය 3018 වන අතර ඒ අනුව හෙක්ටයාරයකට මධ්‍යන්‍ය වියදම 1656.73 වේ.

නමුත් ලංසු ඇගයීම් කමිටුව සහ ප්‍රසම්පාදන කමිටුව මෙම ලන්සුව ප්‍රදානය කිරීමට තෝරා ගත්තේ හතරවැනි ස්ථානයට වැඩිම මිලගණන් ඉදිරිපත් කර තිබූ CANASIA  GEO SOLUTIONS ආයතනය ය. එනම් හෙක්ටයාරයකට මධ්‍යනය වියදම රුපියල් 1656.73 ක් ලෙස හෙක්ටයාර 3018 ක් මැනීම සඳහා වේ. මුළු මුදල 5,000,000 ක් වේ.

රජයට පාඩු  කරලා ඒ මුදල් සාක්කුවේ.....


මෙහි හෙක්ටයාරයකට අවම මුදල ඉදිරිපත් කර ඇති EDPMC(Pvt) Ltd  අනුව හෙක්ටයාර 3018 ක් සඳහා වැය වන්නේ 952.38 × 3018 = 2,874,282.00 කි. ඒ අනුව අවම මිලගණන් ඉදිරපත් කළ සමාගමට කොන්ත්‍රාත්තුව ලබා නොදිමෙන්  රජයට සිදුව ඇති පාඩුව 5,000,000 - 2,874,282.00 = රුපියල්  2,125,718 වේ.


එසේම හෙක්ටයාරයකට දෙවන අවම ලන්සු මුදල ඉදිරිපත් කර ඇති SULECO(Pvt) Ltd අනුව හෙක්ටයාර 3018 ක් සඳහා වැයවන්නේ 1079.55 × 3018 = 3,258,082.00 කි. ඒ අනුව දෙවන අවම ලන්සුව ඉදිරිපත් කර ඇති සමාගමට කොන්ත්‍රාත්තුව ලබා නොදීමෙන් රජයට සිදුව ඇති අලාභය 5,000,000- 3,258,082 = 1,741,918 ක් වේ.


මෙවැනි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමෙලෙහිලා ශ්‍රී ලංකාව තුළ සිටින ඉහළම අත්දැකීම් සහ සුදුසුකම් සහිත ප්‍රමුඛතම සමාගම් අතරින් දෙකක් ලෙස සැලකෙන්නේ SULECO(Pvt) Ltd, EDPMC(Pvt) Ltd සහ  GLOBAL GIS (Pvt) Ltd යන සමාගම් ය. 


රජයට සිදුවී ඇති මෙම අලාභයට අදාළ මුදල ගියේ කාගේ හෝ සාක්කුවටය. එම මුදල මෙම ටෙන්ඩරයට අදාළ ලංසු ඇගයීම් කමිටුවේ සභාපති ලෙස කටයුතු කළ එවකට අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ලෙස කටයුතු කළ අන්ත දූෂිතයෙකු වන ලංකා රාමනායකගේ  සාක්කුවට ගියාද? එසේත් නොමැති නම් ප්‍රසම්පාදන කමිටුවේ සභාපති ලෙස කටයුතු කළ අධ්‍යක්ෂ ජනරාල් ටර්නි ප්‍රදීප් කුමාරගේ සාක්කුවට ගියාද ද? නැතිනම් වෙනත් පාර්ශවයකට ගියා ද? අපි හරි හැටි නොදනිමු.


ප්‍රසම්පාදන මාර්ගෝපදේශ උල්ලංඝනය කරලා..


සාමාන්‍යයෙන් ලංසුකරුවකු තෝරා ගත් පසු ඔහු සමග ගිවිසුමකට එළඹීමට පෙර සිදු විය යුතු තවත් ක්‍රියාකාරකම් කීපයක්ම තිබේ. ලංසු කරුට අදාළ ව්‍යාපෘතිය පිරිනැමීම සිදුවන්නේ එම ක්‍රියාවලිය අවසන්වීමෙන් පසුව ය. 


අදාළ ක්‍රියාකාරකම වන්නේ, ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයේ 8.2 වන පරිච්චේදය අනුව ප්‍රසම්පාදන කමිටුවේ තීරණය සතියක් ඇතුළත සියලුම ලංසු කරුවන්ට ලිඛිතව දැන්විමය. ජාතික තරඟකාරී ලංසු කැඳවීමක් සඳහා මෙය අනිවාර්ය වේ. නමුත් මෙම දුෂිතයින් මෙම මාර්ගෝපදේශ අමු අමුවේ උල්ලංඝනය කරමින් අනෙක් ලන්සු කරුවන් කිසිවෙකුට අදාළ තීරණය දැනුම් දුන්නේ නැත. 


ප්‍රසම්පාදන මාර්ගෝපදේශ  සංග්‍රහයේ 8.3 පරිච්ජේදය  අනුව තමන්ව තෝරා  නොගත් හේතුව විමසීමට ලංසු ඉදිරිපත් කළ අනෙකුත් පිරිසට අවස්ථාව ඇති අතර, එසේ විමසීමක් කළ විට ඒ සඳහා පිළිතුරු, ප්‍රසම්පාදනය සිදු කළ ආයතනය ලබා දිය යුතුය. එසේම ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයේ 8.5 පරිච්ජේදය අනුව අදාළ ලංසු කරුවන්ට අභියාචනා ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දිය යුතුය. 


එසේම ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයේ 8.4 පරිච්ජේදය  අනුව ඉහත පියවර සඳහා කාලය ලබා දිය යුතු අතර ඉන්පසු ලංසුව ප්‍රදානය කළ යුතු ය. නමුත් මෙම දුෂිතයින් ප්‍රසම්පාදන සංග්‍රහයේ 8.2, 8.3, 8.4 හා 8.5 පරිච්ඡේද සියල්ලම අනුගමනය කර නැත. මෙය විශාල වරදකි. එසේම එමඟින් මුලික මිනිස් අයතිවාසිකම් පවා උල්ලංඝනය කර ඇත.


මොවුන්  මෙසේ ක්‍රියා කර ඇත්තේ මොවුන් විසින් සිදු කළ වංචාව හෙළිදරව් වීම වැලැක්වීමට බව ඉතා පැහැදිලිය. ප්‍රසම්පාදන කමිටු සභාපති ලෙස කටයුතු කළ අධ්‍යක්ෂ ජනරාල් ටර්නි ප්‍රදීප් කුමාර, මෙම වංචාව සැඟවීමේ ප්‍රධානියා විය. 


​ජාතික තරඟකාරී ලංසු කැඳවීමේදී රාජ්‍ය ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයේ 8.2, 8.3, 8.4 සහ 8.5 පරිච්ඡේද (අභියාචනා කාලය ලබාදීම හා තීරණ දැනුම්දීම) සෘජුවම උල්ලංඝනය කරමින්, අවම ලංසු පරාජය කර හතරවන ස්ථානයට වැඩිම මිල ඉදිරිපත් කළ සමාගමට ටෙන්ඩරය පිරිනැමීම මඟින් රජයට සිදුව ඇති අලාභය බරපතලය. 


​දූෂනයට විශ්මකර්මයෝ.....


2025/12/15 දින සිට 15 ක් තුළ සියලුම ප්‍රසම්පාදන කටයුතු අවසන් කරමින් ලක්‍ෂ 50 කට අදාළ ඩ්‍රෝන ඡායාරුප ගෙන ඒවා අවශ්‍ය ආකාරයට සිතියම් ගත කර ඒ සඳහා අදාල බිල්පත්ද සහතික කර ඉදිරිපත් කිරීමට තරම් මෙම ආයතනයේ නිලධාරීන් සහ  ලංසු කරු විශ්වකර්මයන් වී තිබේ.

ටෙන්ඩරය ප්‍රදානය කළ පසු දින 120 ක කාලයකින් ව්‍යාපෘතිය අවසන් කළ යුතු බව ලංසු ලේඛන වල දක්වා තිබියදී දින හතක පමණ කාලයකින් මෙම ව්‍යාපෘතිය නිම කළේ කෙසේද යන්න සැබවින්ම ගැටළු සහගතය.


නීතිය වල් වැදුණු තැන.....


කෙසේ වෙතත් මෙම දූෂිත ක්‍රියාවට සම්බන්ධ ලංසු ඇගැයීම් කමිටුවේ සියලුම සාමාජිකයින්ට, ප්‍රසම්පාදන කමිටුවේ සියලුම සාමාජිකයින්ට සහ ගෙවීම් සඳහා අනුමැතිය ලබා දුන් සියලුම නිළධාරීන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට ක්‍රියා කළ යුතුව තිබුණි. 


මේ පිළිබඳ සියළු තොරතුරු සහිතව සමාජ මාධ්‍ය ඔස්සේ මා විසින් හෙළිදරව් කළ නමුත්, මෙම දෙපාර්තමේන්තුව භාරව සිටින ඇමැතිවරුන් දෙදෙනා හෝ අමාත්‍යංශ ලේකම් හෝ මේ දූෂිත ක්‍රියාවට එරෙහිව නීතිමය පියවරක් නොගත්තා පමණක් නොව අඩුම තරමින් සොයා බැලීමක් වත් සිදු කළේ නැත.


මහජන මුදල් කාබාසිනියා කළ හැටි......


මේ වන විට, අදාළ ටෙන්ඩරය මගින් මිලදී ගත් Arc GIS මෘදුකාංගය මගින් කිසිදු ප්‍රයෝජනවත් ප්‍රතිඵලයක් ලබාගැනීමට වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව අසමත් වී තිබේ. 


විශාල කොමිස් කුට්ටියක් ලබා ගැනීමේ අරමුණ ඇතිව දුෂිත අයුරින් ලබාදුන් මෙම ටෙන්ඩරය හේතුවෙන්, කිසිදු ප්‍රයෝජනවත් කාර්යයක් අදාළ ආයතනය වන CANASIA Geo Solutions විසින් මෙතෙක් වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවට ඉටු කර දී නැත. 


එසේම දීර්ඝකාලීනව දෙපාර්තමේන්තුව සඳහා ලබාගත හැකිව තිබු Arc GIS මෘදුකාංගය ලබාගත නොහැකි වීම තුළින්, ආයතනය තුළ නිර්මාණ කටයුතු බොහෝ කලක සිට අකර්මන්‍ය වී තිබේ. විශාල වශයෙන් මාධ්‍ය ප්‍රචාරයක් ලබා දෙමින් දුෂිත ක්‍රියාව යටපත් කිරීමට උත්සහ කළද, මේ වනවිට සිදු කර ඇති සියලු ක්‍රියා නිෂ්පල බව සියලු දෙනා ඉදිරියේ ඔප්පු වී ඇත. 


එසේම අප විසින්  මීට පෙර හෙලිකළ මෙම දුෂිත ක්‍රියාව යටපත් කිරීම සඳහා ටර්නි ප්‍රදීප් කුමාර සහ එවකට සේවයේ නියුතුව සිටි පට්ට දූෂිතයෙකු වූ සහකාර අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කළ, ලංකා රාමනායක නමැත්තා විසින්, ආයතනය  තුළ සිටින අනෙකුත් නිලධාරීන්ට අනියම් ආකාරයෙන් අල්ලස් දීම ආරම්භ කළේය.


නිළධාරීන්ට ආතල් දී දූෂණය යටපත් කිරීම..


2026 පෙබරවාරි 16 සිට 21 දක්වා GIS පිලිබඳ පුහුණුවක් ලබාදෙන මුවාවෙන් නිලධාරීන් 48 කට ආසන්න ප්‍රමාණයකට අනියම් ආකාරයෙන් අල්ලස් ලබා දීමට අධ්‍යක්ෂ ජනරාල් ටර්නි ප්‍රදීප් කුමාර සහ එවකට අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ලෙස කටයුතු ලංකා රාමනායක යන දෙදෙනා කටයුතු කළහ.


මෙම අනියම් ආකාරයේ අල්ලස් ලබාදීමේ ක්‍රියාවලිය හෙළිදරව් වුයේ CANASIA Geo Solutions ආයතනය විසින් මෙම මෘදුකාංගය පිළිබඳ පුහුණුවක්  ලබා දීමේ මුවාවෙන් වැඩමුළුවක් සංවිධානය කළ විට ය. මෘදුකාංග පුහුණුව කෙසේ වෙතත් ඊට  සහභාගී වූ නිලධාරීන් හොඳ හැටි මධුවිත සප්පායම් වී ගී ගයමින් නර්තනයේ යෙදෙන වීඩියෝවක් නම් සමාජ ගත විය. (එය මෙම සටහන අවසානයේ යා කොට ඇත.)


වඩාත් වැදගත් කාරණය නම්, මෙම පුහුණුව සඳහා සහභාගී වූ එක් නිලධාරියෙක් සඳහා රජයේ මුදල් රුපියල් 40, 000 කට ආසන්න ප්‍රමාණයක් වියදම් කර තිබීම ය. ඒ අනුව ඊට සහභාගී වූ නිලධාරීන් 48 දෙනාට වියදම් වී ඇති මුළු මුදල දළ වශයෙන් ලක්ෂ 20 ක් ය.  


මේවා මහජනයාගේ බදු මුදල් ය. මහජනයාගේ බදු මුදල් එක් එක් පුද්ගලයන්ට රිසිසේ වියදම් කිරීමට හෝ නාස්ති කිරීමට හෝ නොහැක. එසේම මෙම පුහුණුව මගින් අවසානයේ දෙපාර්තමේන්තුවට ලැබුණු ප්‍රතිඵලය කූමක්ද ? එය පැහැදිලි කිරීමට හෝ සාධාරණිකරණය කිරීමට ටර්නි ප්‍රදීප් කුමාරට හැකි ද? නැත. තවමත් හැකි වී නැත. මේවා ගැන සොයා බැලීමක් ඇමැති ඩබල හෝ අමාත්‍යාංශය ලේකම් මෙතෙක් සිදු කර නැත.


GIS පිලිබඳ පුහුණුව යනු අධි තාක්ෂණික දැනුම සමග ගමන් කරන විෂය පථයක් පිලිබඳ පුහුණුවකි. එසේම මෙම පුහුණුව ලබන පිරිසට මෙම පුහුණුවෙන් පසු ලබාගත් දැනුම භාවිතා කිරීමට හැකියාවක් තිබිය යුතුය.


නමුත් මෙම පුහුණව සඳහා සහභාගී වූ පිරිස අතර සිටියේ ඉජිනේරුවන් සිටියේ 4 ක් සහ එක් තාක්ෂණ නිලධාරියෙක් පමණි. ඒ අනුව ගත් විට සැබවින්ම මෙම දැනුම ප්‍රයෝගිකව භාවිතා කළ හැකි සහ ඒ සඳහා පහසුකම් ඇති නිලධාරීන් සිටියේ  6 දෙනෙකු පමණි. අනෙක් සියල්ලෝම මෙම දැනුම ප්‍රයෝගිකව යොදා ගැනීමේ තනතුරක හෝ ඒ සඳහා පහසුකම් ඇති අය හෝ නොවේ.


උදාහරණයක් ලෙස මෙම පුහුණුව සඳහා වෙරළ සංරක්ෂණ නියාමක වරුන් විශාල පිරිසක් සහභාගී කරගෙන තිබුණි. වෙරළ සංරක්‍ෂණ නියාමකවරුන් වෙරළ කලාපයේ අනවසර ඉදිකිරීම් වැලැක්වීම හා ඒ සඳහා නීතිමය කටයුතු කිරීම භාරව ඇති ක්ෂේත්‍ර නිලධාරීන් වේ. මෙවැනි පුහුණුවක් මගින් ලබාගන්නා දැනුම යොදාගැනීමට අවශ්‍ය කාලය හා අවශ්‍ය අධිවේගී පරිඝනක පහසුකම් මොවුනට නැත. 


මහජන මුදල් නාස්ති කිරීමට ටර්නි ට බලය දුන්නේ කවුද?...


එසේ නම් මේ ආකාරයට මහජනතාවගේ මුදල් නාස්ති කිරීමට ටර්නි ප්‍රදීප් කුමාරට හැකියාවක් ආවේ කෙසේද?  ඒවා ගැන අධීක්ෂණය කිරීමට පරිසර ඇමැතිට, නියෝජ්‍ය ඇමතිට සහ අමාත්‍යංශ ලේකම්ට වගකීමක් නැති ද? 


අහිංසක මහජනයා එදිනෙදා තමන් කන බොන දේ මිලදී ගන්නා විට ගෙවන බදු මුදල් මේ දූෂිතයන් විසින් නිරපරාදේ නාස්ති කරන විට එය වරදක් නොවේ ද? නොඑසේ වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවට පත් කළ ලොක්කන් කරන නාස්තිය මේ පාලකයන්ට ගැටළුවක් නොවන්නේ ද? 


මේ වන විට එම පුහුණුව සඳහා සහභාගි කළ නිලධාරීන් එම පුහුණුව මගින් කිසිදු ප්‍රතිඵලදායි ක්‍රියාවක් සිදු නොකරන අතර, මේ අයුරින් මහජන මුදල් ලක්ෂ 20 ක් පමණ නිකරුනේ නාස්ති කර ඇත. 


මේ අතර අපට ලැබෙන ආරංචි මාර්ග අනුව,වෙරළ සම්පත් සංවර්ධන සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ යාපනය ප්‍රාදේශීය කාර්යාලයට, මඩකලපුව ප්‍රාදේශීය කාර්යාලයට හා හම්බන්තොට ප්‍රාදේශීය කාර්යාලයට ස්ථිර කාර්යාල ගොඩනැගිලි නොමැත.


එසේම යාපනය ප්‍රාදේශීය ඉංජිනේරු වරයාට කේෂ්ත්‍ර කටයුතු සිදු කිරීමට අවශ්‍ය වාහන පහසුකම් වත් මේ වන විට නැත. එසේම ප්‍රාදේශීය කාර්යාල විශාල ප්‍රමාණයක රාජකාරි කිරීමට ප්‍රමාණවත් පරිඝනක යන්ත්‍ර, මුද්‍රණ යන්ත්‍ර නොමැත. ෆොටෝ කොපි යන්ත්‍ර නොමැත. මෙසේ විශාල වශයෙන් අඩුපාඩු තබාගෙන මහජනතාවගේ බදු මුදල් නිස්කාරණයේ ඊනියා පුහුණුවක් සඳහා භාවිතා කිරීම පිළිබඳව අදාළ බලධාරීන් විසින් අවධානය යොමු කළ යුතු නොවේ ද? 


ප්‍රාදේශීය කාර්යාලවල පරිගණක, වාහන වැනි අත්‍යවශ්‍ය යටිතල පහසුකම් පවා නොමැතිව, කිසිදු ප්‍රායෝගික ඵලදායිතාවක් නැති නාස්තිකාර "පුහුණු" සඳහා මහජන බදු මුදල් ලක්ෂ ගණනින් වැය කිරීම කිසිසේත්ම සාධාරණීකරණය කළ නොහැකිය.


බලතල අවභාවිතා කළ නිලධාරීන් ගැන විමර්ශන නැහැ....


​මේ සම්බන්ධයෙන් RTI (තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත) හරහා TEC වාර්තා හා ප්‍රසම්පාදන වාර්තා ලබාගෙන, 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත යටතේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලි කිරීමට පූර්ණ ඉඩකඩ තිබේ. රාජ්‍ය නිලධාරීන් බලතල අවභාවිත කරමින් රජයට අලාභ සිදුකිරීම නව පනත යටතේ තදබල වරදකි.


අනෙක් අතට මෙම නිලධාරීන් ලබා ගත්තා වූ දැනුම භාවිතා කිරීමට අවශ්‍ය අවම  පහසුකම්  වත් මේ වන විටවත් වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව ලබාදී නැත. එසේනම් මෙම පුහුණව මගින් ලබා ගන්නා දැනුම ගඟට කැපු ඉනිසේ නාස්ති වනවා ඇති බව පැහැදිලිය.


කිසිම පරිපාලන දැනුමක් හෝ තාක්ෂණික දැනුමක් නොමැති පුද්ගලයෙක්, හිතවත්කම් මත පමණක් පදනම්ව, රටේ ප්‍රධානම කාර්යයක් සිදු කරන දෙපාර්තමේන්තුවක අධ්‍යක්ෂ ජනරාල් ලෙස පත් කිරීම හේතුවෙන්, මේ වනවිට එම ආයතනය විශාල වශයෙන් කඩා වැටීමට ලක්වෙමින් ඇතිවා පමණක් නොව අහිංසක ජනතාවගේ බදු මුදල් ද නිස්කාරණයේ නාස්ති කරමින් තිබේ.


මෙහි ඇති වඩාත්ම ඛේදජනක සිදුවීම වන්නේ, දුෂණ වංචා නැති කිරීමට පත්කළ ප්‍රධානියාම දුෂිතයින් සමග එක්වී දුෂණයේ යෙදීමය.


ජයලත්ගේ සුනිල් ගාමිණී ✍️

සියලු ප්‍රවෘත්ති — Political

අගමැති රනිල් ලැජ්ජාවටත් පත් වූ ඥානසාර හිමියන්ගේ කෙරුවාව
නවතම ප්‍රවෘත්තිPolitical

අගමැති රනිල් ලැජ්ජාවටත් පත් වූ ඥානසාර හිමියන්ගේ කෙරුවාව

සිර දඬුවමට ලක් වූ ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් සමාජය තුළ මේ වන විට ඉතා උද්වේගකර කතා බහක් සිදු වෙමින් පවතී.  ගරු අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට ඥානසාර හිමියන්ට හිමි වූ දඬුවම අනුමත කරන හා…

හොරු ඇල්ලීමෙන් එහාට ජනතාවට අවශ්‍ය වගවීම
නවතම ප්‍රවෘත්තිPolitical

හොරු ඇල්ලීමෙන් එහාට ජනතාවට අවශ්‍ය වගවීම

වත්මන් ආණ්ඩුවේ ප්‍රධාන දේශපාලන තේමාවක් වී ඇත්තේ,  “හොරු අල්ලනවා.” “හොරකම් නවත්වනවා.” “මහජන මුදල් ආරක්ෂා කරනවා.” යන්නය. මේ සටන් පාඨවලට ජනතාවගේ අවධානය ලැබීම ස්වාභාවිකය. දූෂණයට එරෙහිව නීතිය ක්‍රියාත…

PTA අහෝසි කිරීමක්ද? ජනමාධ්‍ය නිදහසත්, වෘත්තීය අරගලත් පාලනය කිරීමක් ද?
නවතම ප්‍රවෘත්තිPolitical

PTA අහෝසි කිරීමක්ද? ජනමාධ්‍ය නිදහසත්, වෘත්තීය අරගලත් පාලනය කිරීමක් ද?

ශ්‍රී ලංකාවේ දශක ගණනාවක් තිස්සේ දැඩි විවේචනයට ලක්වූ 1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත ( PTA ) වෙනුවට නව නීතියක් ගෙන ඒම පිළිබඳ සාකච්ඡාව යළිත් මතු වී තිබේ. 2026 සැප්තැම්බර්…

පොල්හේනේ වෙරළට දේශපාලන වඩදිය..
නවතම ප්‍රවෘත්තිPolitical

පොල්හේනේ වෙරළට දේශපාලන වඩදිය..

මාතර පොල්හේන සුන්දර වෙරළ තීරයේ අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමේ මෙහෙයුම යෙදී තිබුණේ පසුගිය අගෝස්තු මස 20 වැනිදා ය.  නමුත් ඒ 20 වැනිදා ආවේ නැත. අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමේ එම මෙහෙයුම සැප්තැම්බර් මස 24…