මුල් පිටුවට
නවතම ප්‍රවෘත්තිPolitical

හොරු ඇල්ලීමෙන් එහාට ජනතාවට අවශ්‍ය වගවීම

ලියුවේ Admin
හොරු ඇල්ලීමෙන් එහාට ජනතාවට අවශ්‍ය වගවීම

වත්මන් ආණ්ඩුවේ ප්‍රධාන දේශපාලන තේමාවක් වී ඇත්තේ, 

“හොරු අල්ලනවා.”

“හොරකම් නවත්වනවා.”

“මහජන මුදල් ආරක්ෂා කරනවා.” යන්නය.

මේ සටන් පාඨවලට ජනතාවගේ අවධානය ලැබීම ස්වාභාවිකය.

දූෂණයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම අවශ්‍යය. මහජන මුදල් අවභාවිත කළ අය සම්බන්ධයෙන් වගවීමද අවශ්‍යය. මේවා පැරණි ආණ්ඩු සමයේ සිදුවූ සිදුවීම් වලට පමණක් සීමා කිරීම ද නොවිය යුතුය.

එසේම සැමට එක නීතියක් යැයි වචන වලින් ප්‍රකාශ කිරීම ද ප්‍රමාණවත් නැත. ඒවා ක්‍රියාවෙන් ද පෙනෙන්නට තිබිය යුතුය. නමුත් පසු ගිය සති කිහිපය තුළ වෙරළ තීරයේ අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමේ ක්‍රියාවලියේ දී ලංකාව පුරා ක්‍රියාත්මක වූ නීතිය මාතර පොල්හේන වෙරළේ දී දේශපාලන බලපෑම් සහ ඥාති හිතවත්කම් මත අක්‍රීය වූ අයුරුත්, පොල්හේනට වෙනම නීතියක් ක්‍රියාත්මක වූ අයුරුත් මුළු රටටම හෙළිදරව් විය.

ඒ නීතිය පැත්තෙන් කතාවේ සහ කෙරුවාවේ වෙනසේ තරම ය.

හොරු ඇල්ලීම සහ ආර්ථිකය...

ලෝක බැංකුව විසින් ප්‍රකාශයට පත් කර ඇති දත්ත අනුව 2024දී ශ්‍රී ලංකාවේ දුප්පත්කම 24.5%ක් වූ අතර එය 2019 දී පැවැති මට්ටම වන 11.3% මෙන් දෙගුණයකි. ආහාර මිල ඉහළ යෑම 2021–2024 අතර කාලය තුළ දෙගුණයකට වැඩි වී තිබේ.

මේ අතර වයස අවුරුදු පහට අඩු දරුවන්ගේ බර අඩු (underweight) තත්ත්වය, 2021–2024 අතර කාලය තුළ 12.2% සිට 17% දක්වාත්, සිටි වීම (stunting) 7.4% සිට 10.5% දක්වාත් ඉහළ ගොස් ඇති බව  ලෝක බැංකුව (World Bank) පෙන්වා දෙයි.

එබැවින් අද ජනතාව ආණ්ඩුවෙන් අසන ප්‍රශ්නය වන්නේ,

“හොරු කී දෙනෙක් අල්ලලා තියෙනවාද?” යන්න පමණක් නොවේ.

“මගේ ජීවිතය කොපමණ හොඳ වී තිබේද?” යන්නයි.

එබැවින් ආණ්ඩුවෙන් ඉල්ලිය යුතු ප්‍රායෝගික වගවීම මෙයයි.

1. වාර්ෂික “ජනතා ආර්ථික වාර්තාවක්” ඉදිරිපත් කරන්න.

දළ දේශීය නිෂ්පාදිතය (GDP) වර්ධනය පමණක් නොව, දුප්පත්කම, සැබෑ වැටුප්, රැකියා, ආහාර මිල, ආහාර අනාරක්ෂිතභාවය, මන්දපෝෂණය සහ ගෘහස්ථ ණය වැනි දර්ශක වාර්ෂිකව එකම වාර්තාවකින් ජනතාවට ඉදිරිපත් කළ යුතුය.

2. “GDP වර්ධනය” ජනතාවගේ ආදායමට පරිවර්තනය වන ආකාරය පෙන්වන්න.

ආර්ථිකය 5%කින් වර්ධනය වීම ප්‍රමාණවත් යැයි කියා නොනැවතී, ඒ වර්ධනයෙන් නිර්මාණය වූ රැකියා සංඛ්‍යාව, සැබෑ වැටුප් වර්ධනය සහ පවුල්වල මිලදී ගැනීමේ හැකියාව ප්‍රසිද්ධ කළ යුතුය.

3. ආහාර මිල සම්බන්ධයෙන් මාසික වගවීමක් ඇති කරන්න.

සහල්, පරිප්පු, බිත්තර, කිරි, එළවළු වැනි අත්‍යවශ්‍ය ආහාරවල මිල වෙනස්වීම් සහ අඩු ආදායම් පවුලකට සතියක ආහාර මල්ලක වියදම මාසිකව ප්‍රසිද්ධ කළ යුතුය.

4. දරුවන්ගේ මන්දපෝෂණයට මැනිය හැකි ඉලක්කයක් දෙන්න.

අඩු බර, මිටි වීම සහ ක්ෂයවීම පිළිබඳ දිස්ත්‍රික් මට්ටමේ දත්ත නිතිපතා ප්‍රසිද්ධ කර, වසරින් වසර අඩු කිරීමේ ඉලක්ක සහ ප්‍රගතිය ජනතාවට පෙන්විය යුතුය.

5. දූෂණ විමර්ශනවල “අවසාන ප්‍රතිඵල” ප්‍රසිද්ධ කරන්න.

පැමිණිලි සහ විමර්ශන ගණන පමණක් නොව, චෝදනා ගොනු කළ ගණන, අධිකරණ ක්‍රියාමාර්ග, නීත්‍යානුකූලව අයකරගත් රාජ්‍ය සම්පත් සහ අවසන් වූ නඩු පිළිබඳ නිල දත්ත වාර්ෂිකව ප්‍රකාශ කළ යුතුය.

6. රජයේ වියදම් ජනතාවට විවෘත කරන්න.

විශාල රාජ්‍ය ව්‍යාපෘති, ප්‍රසම්පාදන, ගිවිසුම්, වෙනස් කළ වියදම් ඇස්තමේන්තු සහ අවසන් වියදම් පිළිබඳ තොරතුරු පහසුවෙන් පරීක්ෂා කළ හැකි ආකාරයට ප්‍රසිද්ධ කළ යුතුය.

7. “කොපමණ මුදල් ඉතිරි කළාද?” යන්නට වඩා “ඉතිරි කළ මුදල ජනතාවට ලැබුණේ කොහොමද?” යන්න පෙන්වන්න.

දූෂණය අඩු කිරීමෙන් හෝ රාජ්‍ය වියදම් කාර්යක්ෂම කිරීමෙන් ඉතිරි වූ මුදල් සෞඛ්‍ය, අධ්‍යාපනය, පෝෂණය, සමාජ ආරක්ෂණය සහ නිෂ්පාදන ආයෝජන සඳහා යොදාගත් ආකාරය ජනතාවට පැහැදිලි කළ යුතුය.

8. කාලසීමා සහිත ඉලක්ක ප්‍රකාශ කරන්න.

“ආර්ථිකය හදනවා” වැනි පොදු පොරොන්දු වෙනුවට,

දුප්පත්කම කොපමණ අඩු කරනවාද?

දරුවන්ගේ මන්දපෝෂණය කොපමණ අඩු කරනවාද?

සැබෑ වැටුප් කොපමණ වැඩි කරනවාද?

ගුණාත්මක නව රැකියා කොපමණ නිර්මාණය කරනවාද?

ආහාර අනාරක්ෂිතභාවය කොපමණ අඩු කරනවාද?

යන්න සඳහා නිශ්චිත ඉලක්ක සහ කාලසීමා ප්‍රකාශ කළ යුතුය.

ජනතාවට අවශ්‍ය පොරොන්දු නොව ප්‍රතිඵලයි....

හොරකම් කළ අය නීතිය ඉදිරියට ගෙන ඒමත් අවශ්‍යය. නමුත් ඒ සමඟම දුප්පත්කම අඩු කිරීම, මන්දපෝෂණය අඩු කිරීම, ආහාර මිල පාලනය කිරීම, සැබෑ ආදායම් වැඩි කිරීම සහ ගුණාත්මක රැකියා නිර්මාණය කිරීම පිළිබඳවත් ආණ්ඩුව වගකිව යුතුය.

අවසානයේ ආණ්ඩුවක් සාර්ථකද යන්න මැනිය යුත්තේ ආණ්ඩුව විසින් කී දෙනෙකු අත්අඩංගුවට ගත්තේද යන්නෙන් පමණක් නොවේ.

ආණ්ඩුව විසින් කී දෙනෙකු දුප්පත්කමින් ඉහළට ගෙන ආවාද?
කී දෙනෙකුට හොඳ රැකියා ලබා දුන්නාද?
කී දෙනෙකුගේ ආහාර සුරක්ෂිතතාව වැඩි කළාද?
කී දෙනෙකුගේ දරුවන් මන්දපෝෂණයෙන් මුදාගත්තාද?
යන්නෙනි.

“හොරු අල්ලන රටක්” වීම වැදගත්ය.

ඊටත් වඩා වැදගත් වන්නේ, “හොරු අල්ලන අතරේ ජනතාවට ගෞරවයෙන් ජීවත් විය හැකි ආර්ථිකයක් ගොඩනඟන රටක්” වීමයි.

ඒ සඳහා අප ආණ්ඩුවෙන් ඉල්ලා සිටින්නේ, සටන් පාඨ නොව, සංඛ්‍යා දෙන්න. පොරොන්දු නොව, ඉලක්ක දෙන්න. නිවේදන නොව, ප්‍රතිඵල පෙන්වන්න.

ජයලත්ගේ සුනිල් ගාමිණී ✍️

සියලු ප්‍රවෘත්ති — Political

අගමැති රනිල් ලැජ්ජාවටත් පත් වූ ඥානසාර හිමියන්ගේ කෙරුවාව
නවතම ප්‍රවෘත්තිPolitical

අගමැති රනිල් ලැජ්ජාවටත් පත් වූ ඥානසාර හිමියන්ගේ කෙරුවාව

සිර දඬුවමට ලක් වූ ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් සමාජය තුළ මේ වන විට ඉතා උද්වේගකර කතා බහක් සිදු වෙමින් පවතී.  ගරු අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට ඥානසාර හිමියන්ට හිමි වූ දඬුවම අනුමත කරන හා…

PTA අහෝසි කිරීමක්ද? ජනමාධ්‍ය නිදහසත්, වෘත්තීය අරගලත් පාලනය කිරීමක් ද?
නවතම ප්‍රවෘත්තිPolitical

PTA අහෝසි කිරීමක්ද? ජනමාධ්‍ය නිදහසත්, වෘත්තීය අරගලත් පාලනය කිරීමක් ද?

ශ්‍රී ලංකාවේ දශක ගණනාවක් තිස්සේ දැඩි විවේචනයට ලක්වූ 1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත ( PTA ) වෙනුවට නව නීතියක් ගෙන ඒම පිළිබඳ සාකච්ඡාව යළිත් මතු වී තිබේ. 2026 සැප්තැම්බර්…

පොල්හේනේ වෙරළට දේශපාලන වඩදිය..
නවතම ප්‍රවෘත්තිPolitical

පොල්හේනේ වෙරළට දේශපාලන වඩදිය..

මාතර පොල්හේන සුන්දර වෙරළ තීරයේ අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමේ මෙහෙයුම යෙදී තිබුණේ පසුගිය අගෝස්තු මස 20 වැනිදා ය.  නමුත් ඒ 20 වැනිදා ආවේ නැත. අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමේ එම මෙහෙයුම සැප්තැම්බර් මස 24…

පොරොන්දු දී බලය ගත් පසු, නීතිය බාධාවක්ද?
නවතම ප්‍රවෘත්තිPolitical

පොරොන්දු දී බලය ගත් පසු, නීතිය බාධාවක්ද?

මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් ඇතැම් පොරොන්දු ආණ්ඩුවට ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය වුවත්, ඒවා ක්‍රියාත්මක කළ හැකිද යන්න ප්‍රශ්නයක් මේ වන විට මතු වී ඇති බව පෙනේ. මෙය විපක්ෂ දේශපාලනඥයෙකුගේ ප්‍රකාශයක්…