මුල් පිටුවට
නවතම ප්‍රවෘත්තිPolitical

විත්තිකූඩුවේ පාපෝච්චාරණයේ හෘදය සාක්ෂිය...

ලියුවේ Admin
විත්තිකූඩුවේ පාපෝච්චාරණයේ හෘදය සාක්ෂිය...

ගමේ භාෂාවෙන් ලියනවා නම් හිටපු පොලිස්පති තුමාත් ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් වරයාත් එල්ලුම් ගස් ගියෝය. ඒ තීන්දුව පිළිබඳ සමහරුන්ට සතුටක්ද තවත් අයෙකුට දුකක්ද තිබේ. ඒ ගැන අපට මොනවත් කියන්නට ⁣නොහැකිය. 



අධිකරණ තීන්දුවේ හරි වැරැද්ද ගැන ලියන්නත් අපට නොහැකිය. ඒ තීන්දුවේ අඩුවක් පාඩුවක් ති⁣බේ නම් ඒ ගැන විනිශ්චය කළ යුත්තේ තීන්දුව දී ඇති අධිකරණයට ඉහළින් ඇති අධිකරණය ය. 



දඬුවමට ලක්වූ චුදිතයන් දෙදෙනා, තමන්ට ලැබුණු දඬුවම් පිළිබඳව ඉහළ අධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කරනු ඇති බවට සැකයක් නැත. එතෙක් ඔවුන්ට "පෙන්ඩින් ඇපිල්" කාරයන් විදියට හිර බත් කන්නට සිදු වේ. මරණීය දණ්ඩනය⁣ට නියම වූවන් අභියාචනා කළ විට හඳුන්වන්නේ ඒ නමිනි. පෙන්ඩින් ඇපිල් කාරයෙකු හිරගෙදර වැඩ පාටියකට යොමු කෙරෙන්නේ නැත.



අභියාචනයෙන්ද මරණීය දණ්ඩනයට නියම වූවන්ට, මෑතක් වන තුරුම පෙබරවාරි 04 වනදාට ජීවිත සමාව දීමේ ක්‍රමයක් පැවතුණි.  එම ජීවිත සමාවේදී, මරණීය දණ්ඩනය හිමි වූ තැනැත්තාගේ දඬුවම අවුරුදු 20කට සීමා විය. ඒ දිනවල හිර ගෙදර ක්‍රියාත්මක වූ පුනුරුත්ථාපන ක්‍රමය ය⁣ට⁣තේ එවැනි සිරකරුවකු එම අවුරුදු 20 ක සිර දඬුවම තුළ අවුරුදු 12 ක් පමණ යහපත් කල් කිරියාවෙන් සිටියේ නම් ඔහුට නිවසට ගොස් ඒමට නිවාඩු දෙන අතර එසේ ගොස් ඒමෙන් පසුව කොන්දේසි සහිතව   නිදහස් කිරීමක් සිදු කෙරිණි.



එහෙත් දැන් ඒ ජීවිත සමාව නොදීම නිසා මරණීය දණ්ඩනය හිමිවූවන් බොහෝ දෙනෙක් නිදහස් වන නිශ්චිත දිනයක් ගැන අදහසක් නොමැතිව හිර ගෙදර තුළ  සිටී.

හිටපු පොලිස් පතිවරයාටද, හිටපු ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයාටද දීර්ඝ කාලයක් විඳවන්නට සිදුවන බව පැහැදිලිය. ඒ විඳවීම කෙතරම් කාල සීමාවක්ද යන්න ගැනත් අපට අනාවැකි ලියන්නට නොහැකිය.



පූජිත ජයසුන්දර පොලිස්පතිවරයකු ලෙස පුරවැසියන් සමග ඉතා සමීපව කටයුතු කළ අයෙකි. ඔහුගේ පෞද්ගලික දුරකථනයෙන් ඔහු හා සම්බන්ධ වීමට පුරවැසියන්ට ඉඩ ප්‍රස්ථාව පවා සළසා දී තිබුණි. 



ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් හේමසිරි ප්‍රනාන්දු රාවය පුවත්පතට බොහෝ උදව් උපකාර කළ සමීපතමයෙකි. එහෙත් දැන් ඒ චරිත සහතික ලිවීම වැඩක් නැත. අප ලියන චරිත සහතික වලින් ඔවුන්ට නිදහස ලැබෙන්නේ ද නැත.



මේ දෙදෙනාට මරණීය දණ්ඩනය හිමි වූයේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් බුද්ධි තොරතුරු ලැබී තිබියදී ඒ සමිබන්ධයෙන් ක්‍රියාත්මක නොවීම යන චෝදනාව යටතේය. එක් අවස්ථාවක හිටපු ආරක්ෂක අමාත්‍යංශ ලේකම් වරයා මාධ්‍ය වෙත පැවසුවේ මෙවැනි ප්‍රහාරයක් පිළිබඳව දැනුවත්ව සිටියද මෙතරම් විනාශයක් වනු ඇතැයි නොසිතූ බවය.



හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර හා ඒ වන විට ජනපතිවරයාව සිටි මෛත්‍රීපාල සිරිසේන අතරද කෝන්තරයක් පැවතුණි.⁣ මේ කෝන්තරය නිසාම පූජිත ජයසුන්දරට රාජකාරිමය වශයෙන් ⁣ජනපතිවරයා හමුවීමේ අවස්ථාව අහිමි වී පැවති බව වාර්තා වී තිබෙි. පුජිත ජයසුන්දර පොලිස්පතිවරයා ලෙස පත් කිරීමට නිර්දේශ කරන ලද්දේ එවකට හිටපු අගමැති රනිල් වික්‍රමසිංහය.



ජනාධිපතිවරයා හා රනිල් වික්‍රමසිංහ අතර ඒ දිනවල මතු වූ මතභේදාත්මක ආරවුල රාජ්‍ය නිළධාරීන් පවා රාජකාරිමය වශයෙන් අපහසුතාවට පත් වූ සිද්ධි දාමයක් වී ඇති බව මින් තහවුරු කර ගත හැකිය. මේ සිද්ධි දාමය කෙළවර වූයේ බරපතල හා ඛේදජනක ශෝකාන්තයකිනි.



ඒ ශෝකාන්තයේ ප්‍රධාන නළුවන් දෙදෙනා හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන හා හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ බව යමෙකුට චෝදනා කළ හැකිය. යහපාලන ආණ්ඩුවේ අහුමුළු වල තිබුණු කුණු කසල වල බර හරියටම කිරා බැලුවොත් ඒ චෝදනාව අහක දාන්නටද බැරි තරමේය. 



රටේ ප්‍රධානින් දෙදෙනා සිටියේ තරගයට කඹ අදිමිනි.වර්තමානයේ මේ පෝරකයට යන්නේ ඒ ප්‍රධානීන් දෙදෙනා යටතේ සිටි මුලාදෑනීන්ය.



කාලය ගෙවී යාම ගැන මේ කෙරුම්කරයන් දෙදෙනා නොසිතන්නට  ඇත. ගෙවී යන කාලය කියන්නේ වෛද්‍යවරයෙකි. කාලය උපස්ථායකයෙකි. කාලය ආචාර්යවරයෙකි. කාලය මවන නිසා මහා බ්‍රහ්මයා බඳුය. විනාශ කරන බැවින් ඊශ්වරයා හා සමානය. කාලය යම් යම් දේ වල සත්‍යය වසන් කර ගනියි. යම් යම් කාරණාවල සත්‍යය අනාවරණය කරයි. විනිශ්චය කරයි. පිළියම් කරයි. 



කාලයත් සමග ඇවිද යන්නාගේ පා සටහන් කාලයේ වැලිතලාවේ සටහන්ව තිබුණද එහි නැවතී වාඩි වී සිටියෙකුගේ සටහන් වී ඇත්තේ පුකේ හැඩය පමණය. දැන් සිද්ධවෙමින් පවතින කෙරුවාවන් ගැන අපට ලියන්නට සිද්ධ වී ඇත්තේ මේ ගෙවී ගිය කාලය ද හාරා අවුස්සා බලමිනි. එහිදී අපට අරයා හරිය හෝ මෙයා වැරදිය හෝ බවට තීන්දු තීරණ දෙන්නට ද නොහැකිය. හරි වැරැද්ද තීරණය කළ යුත්තේ අධිකරණයයි.



කෙසේ වෙතත් මරණීය දණ්ඩණ තීන්දුව ලබා දීමට පෙර ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයා විත්ති කූඩුවේ සිට කළ ප්‍රකාශය ගැන අපේ අවධානය යොමු වී තිබේ.



ඔහු එහිදී මෙසේ පවසා තිබේ.



"ස්වාමීනි මේක අසාධරණයි.නමුත් දැන් වැඩක් නෑ. මට කිසිම වුවමනාවක් තිබ්බෙ නෑ මේක කරන්න. මේ දේ⁣ වෙන්න ඕන කම තිබ්බ⁣ දෙන්නෙක් ඉන්නවා. ඒ නීතිපති දෙපාර්තමේන්තුවෙ ආරක්ෂාව යටතේ ඉන්න නිලන්තටයි. හිටපු ජනපති සිරිසේනටයි.⁣ දෙන දඬුවමක් මම පිළිගන්නවා. ඉතිහාසය කවදා හෝ මා නිදොස් කරාවි."



ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් වරයාගේ මේ ප්‍රකාශයේ නෛතික වලංගු භාවයක් නැති නමුත්, මේ ඔහුගේ කම්පනය වූ හෘද සාක්ෂියයි. ඔහු එහිදී ප්‍රකාශ කරන්නේ හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන හා ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන දැනුවත් බව තුළ පාස්කු ප්‍රහාරය සිද්ධ වූ බවය. මේ ප්‍රකාශය කරන්නේ මේ රටේ ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයා ය. ඒ නිසාම මේ ප්‍රකාශය හෑල්ලුවට ගත යුතු නැත. පාස්කු ප්‍රහාරය සැළසුම් සහගතව සිදු කළ ප්‍රහාරයක් බවද ඉන් තහවුරු වේ.



සාමාන්‍යයෙන් මරණීය දණ්ඩනය නියම වූ චුදිතයකු වුවද කළ වරද පිළිගැනීම විරළය. එහෙත් මෙ⁣හිදී හිටපු ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයා පාස්කු ප්‍රහාරය සැළසුම් සහගතව සිදුවූ අපරාධයක් බව අනාවරණය කර සිටී. එපමණක්ද නොවේ. ඔහු එය සිදු කරන ලද අපරාධකරුවන්ද දැන සිටි බවට සිතිය හැකිය.



ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයා  රාජ්‍ය සේවයේ උසස් තානාන්තර නිල තනතුරු දරමින් සිටි අයෙකි. ඔහුට මෙරට නීති පද්ධතිය ගැන යම් තරමකට අවබෝධයක් පවතින බවට සැක නැත. ඒ නිසාම පාස්කු ප්‍රහාරයට වග කිව යුතු  චුදිතයන් දෙදෙනෙකු නීතිපතිවරයාගේ ආරක්ෂාව යටතේ සිටිතැයි ඔහු කරන ලද අනාවරණයද ලේසි පහසු නැත.



ඒ ලේසි පහසු බව අප කිරා මැන බලන්නේ මේ වන විට නීතිපතිවරයාගේ  කල් කිරියාව පිළිබඳව සමාජයෙන් විවිධ කයි කතන්දර හා  චෝදනා නැගෙමින් තිබෙන වට පිටාවකය.




දක්ෂිණ ලියනාරච්චි✍️

සියලු ප්‍රවෘත්තිPolitical

ජාතික ජන බලවේගය රී සෙට් වෙනවාද නැතිනම් කෙලවා ගන්නවාද ?
නවතම ප්‍රවෘත්තිPolitical

ජාතික ජන බලවේගය රී සෙට් වෙනවාද නැතිනම් කෙලවා ගන්නවාද ?

කම්කරු අමාත්‍ය  හා මුදල් නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්තගේ ෆේස් ⁣බුක් පිටුවේ මෙසේ සඳහනක් දකින්නට තිබුණි.  "......ජාතික ජන බලවේගය බලයට පත්වීම  විවිධ බලවේග රාශියක මැදිහත්වීමෙන් වෙහෙස මහන්සිය…

ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් 'කොකා පෙන්නීම
නවතම ප්‍රවෘත්තිPolitical

ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් 'කොකා පෙන්නීම

නඩු ප්‍රමාදය යනු ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතියේ දිගුකාලීන ගැටලුවකි. ඒ බව NPP/JVP ය තමන් 2024 දී ජනතාවට ඉදිරිපත් කළ " පොහොසත් රටක් ලස්සන ජීවිතයක්" නමැති ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන්ම පිළිගෙන තිබේ. "නීතිය මත…

නීතිඥ සංගමයේ රුදාව සනීප ද?  රජීව් හතරගාතෙන් වැටිලා ද?
නවතම ප්‍රවෘත්තිPolitical

නීතිඥ සංගමයේ රුදාව සනීප ද? රජීව් හතරගාතෙන් වැටිලා ද?

ශ්‍රී ලංකාව තුළ මේ වන විට මහත් ආන්දෝලනයට තුඩු දී ඇති 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව, නීතීඥ සංගමය සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර පසුගිය අගෝස්තු 12 වැනි දා ජනාධිපති ලේකම් කාර්යාලයේ දී සාකච්ඡාවක්…

අවදානමක් නොගෙන වෙනසක් කළ නොහැකිය
නවතම ප්‍රවෘත්තිPolitical

අවදානමක් නොගෙන වෙනසක් කළ නොහැකිය

"සතුරා බලාපොරොත්තු වන දෙයම ඔවුන්ට දෙන්න. එවිට ඔවුන් එය හඳුනාගෙන තමන්ගේ සැලසුම් ස්ථිර කරගනී. ඉන්පසු ඔවුන් එම බලාපොරොත්තුව අනුව ක්‍රියා කරන තෙක් බලා සිට, ඔවුන් කිසිසේත් අපේක්ෂා නොකරන ප්‍රහාරයක් එල්ල කරන…