මර්වින් සිල්වාගේ ඇමති කෙරුවාවේ රඟ උසාවියේ දිග හැරේ

රාජපක්ෂවරුන් ගේ ජීවිත කතාවේ එක් පරිච්ඡේදයකදී දඩයම් බල්ලා වූයේ මර්වින් සිල්වාය. මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුව සිටියදී මර්වින් සිල්වා ඔහුට සමීප වූයේ ආරක්ෂකයකු විදියටය.
මහින්ද රාජපක්ෂගේ දේශපාලන සගයා වූයේ අනුර බණ්ඩාරනායකය. පැඟිරි වයසේ උන් මේ ජෝඩුවේ අත වැසියා වූයේ මේ මර්වින් සිල්වාය. මර්වින් සිල්වාට සතොස ගබඩා භාරකරුවෙකුගේ පත්වීමක්ද ලබා ගන්නට හැකි වූයේ මේ දැන හැඳුනුම්කම නිසාය.
සතොස ගබඩා භාරකාර රාජකාරියට වඩා එහා ගිය කාරියක්ද ඒ අතරේ මර්වින් සිල්වාට පැවරී තිබුණි. ඒ කාරිය ඔය කවුරු කවුරුත් ආසා කරන ජිගිරි ජිගිරියයි. ඒ සෙල්ලමට මහින්ද රාජපක්ෂ තරම් කප්පිත්තෙක් ඒ දිනවල නොසිටියේය. ඔහු ගේ බඩියා වූයේ අනූර බණ්ඩාරනායකය.
කෙසේ වෙතත් මහින්ද රාජපක්ෂ හා මර්වින් සිල්වා අතර පැවැති ඒ විශ්වාසදායක බැඳීම නිසාම මෙරට කැබිනට් අමාත්‍යවරයකු ලෙස පත් වීමේ වාසනාවද මර්වින් සිල්වාට හිමි විය. මර්වින් සිල්වා යනු මහින්ද රාජපක්ෂගේ අනාවරණය නොවුන පැටිකිරිය හංඟා ගෙන සිටින පෙට්ටගම ලෙස හැඳින්වූවාට ද කම් නැත.
එහෙත් පසු කාලයකදී මර්වින් සිල්වා හා රාජපක්ෂ පුත්‍රයන් අතර නොහොඳ නෝක්කඩුවීම් ඇති විය. තරුණ වියට පත් රාජපක්ෂ පුත්‍රයන් තමාගේ තාත්තා හා මර්වින් සිල්වා අතර පවතින ගණුදෙනුව පිළිබඳව සිටියේ නොරිස්සුම් සහගතවය. දෙපාර්ශවය අතර නොහොඳ නෝක්කඩුවීම් වලට පදනම් වූ මේ ගණුදෙනුව කුමක්දැයි බොහෝ දෙනා දනී.
මර්වින් සිල්වා අමාත්‍යවරයකුව සිටියදී අවුරුදු දෙකක කාලය තුළ සිය බලය අවභාවිතා කරමින් උපයාගෙන ඇති මිලියන 485 කට අධික අයථා වත්කම් ප්‍රමාණයක් උපයාගැනීමට එරෙහිව අල්ලස් හෝ දූෂණ කොමිෂම මගින් ඔහුට එරෙහිව පවරා ඇති නඩුව ලබන අගෝස්තු 20 වන කොළඹ මහාධිකරණයේදී විභාගයට ගැනීමට නියමිතය.
ඔහු මෙතරම් වත්කම් ප්‍රමාණයක් උපයා ගෙන ඇත්තේ 2010 වර්ෂයේ මාර්තු 31 සිට 2012 මාර්තු 31 දක්වා වූ වසර දෙකක් කෙටි කාලයක් තුළ දී වීම මෙරට පුරවැසියන්ගේ විශේෂ අවධානයට ගත යුතු කරුණකි.
ඒ දිනවල එතරම් ප්‍රබල අමාත්‍ය ධුරයක් නොදැරූ මර්වින් සිල්වා ඉතා කෙටි කාලයකදී මෙතරම් වත්කම් ප්‍රමාණයක් උපයා ගත්තේ නම් ඒ ආණ්ඩුව නියෝජනය කළ අනෙකුත් කැබිනට් අමාත්‍යවරුන්ගේ පාරිශුද්ධ භාවය ගැන පැහැදිලි අදහසක් ගත හැක්කේය.
මෙම නඩුව අධිකරණයේ විභාගයට ගත් අවස්ථාවේ අනාවරණය වූයේ මර්වින් සිල්වා විසින් පෑන් ඒෂියා බැංකුවේ කොල්ලුපිටිය ශාඛාවේ පමණක් ස්ථාවර තැන්පතු 10ක රුපියල් ලක්ෂ 1,823කට වැඩි මුදලක් තැන්පත් කර ඇති බවය. එහි එක් තැන්පතුවක් පමණක් රුපියල් කෝටි 6කි. මීට අමතරව රුපියල් ලක්ෂ 366, ලක්ෂ 365 සහ ලක්ෂ 225 ඉක්මවූ තවත් තැන්පතු 3ක් ද, ලක්ෂ 33 ඉක්මවූ තවත් තැන්පතු 5ක් ද පවත්වාගෙන ගොස් ඇති බව හෙළි වී තිබේ.
මේ ගිණුම් අතර ඔහුගේ බිරිඳ වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි ජේ.ඒ. මේරි ලුසීඩා සිල්වා සහ පුත් මාලක සිල්වා සමඟ පෑන් ඒෂියා, සම්පත්, HNB සහ DFCC බැංකුවල රුපියල් ලක්ෂ ගණනින් වූ බද්ධ ගිණුම් රැසක් පවත්වාගෙන ගොස් ඇත.
වැලිබල් ෆිනෑන්ස් තැන්පතු අතර මාලක සිල්වාගේ නමින් රුපියල් මිලියන 15ක් සහ මිලියන 35 බැගින් වූ ගිණුම් දෙකක් ද, දියණිය සන්දීපනී මලිකා සහ බෑනනුවන් වන එම්.සී. අගුළුගමුව නමින් රුපියල් මිලියන 15 බැගින් වූ තැන්පතු ද, මර්වින් සිල්වාගේ නමින් රුපියල් මිලියන 14ක තැන්පතුවක් ද තිබී ඇති බව දැක්වේ.
මේ අතරම කොළඹ 07 (කුරුඳුවත්ත): අර්නස්ට් ද සිල්වා මාවතෙන් රුපියල් මිලියන 71.3ක ඉඩමක් ,රාජගිරිය (නාවල පාර): රුපියල් මිලියන 39.2ක ඉඩමක්, කඩවත (දලුපිටිය): රුපියල් මිලියන 13ක ඉඩමක් මර්වින් සිල්වා විසින් මිලයට ගෙන ඇති අතර වික්ටෝරිය ව්‍යාපෘතියට අයත් කුණ්ඩසාලේ නිලගම පිහිටි රජයේ ඉඩමක් 1994 සිට රුපියල් 1,600ක වැනි ඉතා සුළු බදු කුලියකට පවරාගෙන තිබීම ද විශේෂත්වයකි.
ඇමැතිවරයෙකුව සිටි වසර 2 තුළ ඔහු විසින් මිල දී ගෙන ඇති සුඛෝපභෝගී වාහන 07 ක් මිලයට ගෙන ඇති බව වාර්තා වේ.
Porsche මෝටර් රථය, මාලක සිල්වා සඳහා මිලියන 28.8 ක් වැය කර මිලට ගන්නා ලද Range Rover Sport Petrol V8 රථය, මර්වින් සිල්වා ඔහුගේ පරිහරණය සඳහා මිලට ගන්නා ලද Mercedes Benz රථයේ මිල රුපියල් මිලියන 32.3 කි.
රුපියල් ලක්ෂ 20 ක් වටිනාකමැති Land Rover රථයක්, රුපියල් මිලියන 9 ක් වටිනා Hyundai ජීප් රථයක් සහ ලොරි රථ 2ක් (රුපියල් ලක්ෂ 58) එම වාහන අතර වේ.
සම්පත් සහ සෙලාන් බැංකුවල ක්‍රෙඩිට් කාඩ්පත් භාවිත කරමින් වසර 2ක් තුළ රුපියල් ලක්ෂ 42කට වැඩි භාණ්ඩ හා සේවා ලබාගෙන ඇති මර්වින් සිල්වා විසින් මූලාශ්‍ර හෙළි නොකළ රුපියල් මිලියන 34.7ක දැවැන්ත ණය මුදලක් ද ගෙවා දමා ඇතැයිද අධිකරණයට වාර්තා කර තිබේ.
මර්වින් සිල්වා වෙනුවෙන් ජීවිත රක්ෂණයක් නොතිබුණ ද, ඔහුගේ බිරිඳ සහ දරුවන් වෙනුවෙන් වසරකට රුපියල් ලක්ෂ 13කට ආසන්න වාරික ගෙවමින් රක්ෂණ ඔප්පු 6ක් ඇති අතර ඉන් 4ක්ම මාලක සිල්වා වෙනුවෙන් පවත්වාගෙන ගොස් ඇති බව හෙළිවී ඇත. අල්ලස් හෝ දූෂණ කොමිසම හිටපු අමාත්‍යවරයාට එරෙහිව ලබාදී අධිචෝදනා පත්‍රයට අනුව රිතූ ආකර්ශා නම් තැනැත්තිය වෙනුවෙන් රුපියල් 240,000ක මුදලක් ලබා දී ඇතැයිද සඳහන් ය.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සහකාර අධ්‍යක්ෂ අමා විජයසිංහ මහත්මිය විසින් මේ පැමිණිල්ල මෙහෙයවන ලද අතර, ඉදිරි නඩු වාරයේදී බැංකු කළමනාකරුවන් කිහිපදෙනෙකු සාක්ෂි සඳහා කැඳවීමට නියමිතව තිබේ.
හිටපු ඇමති මර්වින් සිල්වා ගේ සියළු දේශපාලන කෙරුවාවල් ගොඩ නැගී ඇත්තේ පෝරිසාද ක්‍රියාකාරකම් වලින් සමාජය බිය වැද්දීම හරහාය. රාජපක්ෂ වරුන් සමීපයේ සිය බල පුළුවන්කාර කම සමාජය වෙත මුදා හැරි මර්වින් සිල්වා වටා එක්වී සිටියේද ලුම්පන් සමාජ තීරුවේ පාදඩ මැරයන්ය. ඔහුගේ පුත්‍රයාද නියෝජනය කෙරුවේ එම මැරයන්ය.
ඇඹුල්දෙණියේ සුසන්ත, අම්බලන්ගොඩ රජිත සිල්වා වැනි පාතාල ක්‍රියාකාරිකයන් ඒ දිනවල මර්වින් සිල්වාගේ සමීපතමයන් බවට පත්ව සිටියේය. රජිත සිල්වා නම් පාතාල ක්‍රියාකාරිකයා අම්බලන්ගොඩදී වෙනත් පාතාල ක්‍රියාකාරිකයන් පිරිසක් විසින් වෙඩි තබා ඝාතනය කරන ලද අතර, ඒ අවස්ථාවේ ඔහු සමග මර්වින් සිල්වා ගේ පුත්‍රයා වූ මාලක සිල්වාද සිටි බවට වාර්තා විය. රජිත සිල්වාට වෙඩි වැදීමත් සමගම මාලක සිල්වා එම ස්ථානයෙන් පැන ගොස් තිබුණි. මර්වින් සිල්වාට ද හබරාදුව ප්‍රදේශයේදී වෙඩි තැබූ අතර ඔහු ඒ අවස්ථාවේ සැඟවී ජීවිතය බේරා ගත්තේය.
මර්වින් සිල්වා රාජපක්ෂවරුන් සමග ආරවුලක් ඇතිවන්නේ ඔහුගේ පුත්‍රයාට ප්‍රසිද්ධ ඇඟළුම් ප්‍රදර්ශනාගාරයකදී රාජපක්ෂවරුන් ගේ සමීපතම කල්ලියක් විසින් හොඳ හැටි පහරදීම නිසාය. එය රාජපක්ෂ පුත්‍රයන්ගේ කොන්ත්‍රාතුවකි.
කෙසේ වෙතත් වර්තමානයේදී මර්වින් සිල්වාට එරෙහිව අධිකරණයේ විභාගයට ගෙන ඇත්තේ ඒ ආරවුලත් සමගම ඔහුට එරෙහිව රාජපක්ෂවරුන් ගේ පාර්ශවයෙන් අල්ලස් හෝ දූෂණ කොමිෂමට දැමූ පැමිණිල්ලක් බවද සිහිපත් කළ යුතුය. කළකදි යාළූ කලකදි වහ වෙනවාලූ යයි කියන්නේ කට කහනවටට නොවේ ය.
දක්ෂිණ ලියනාරච්චි ✍️



