පුතු සෙනේ පිතු හද තුළ රඳවා ගත් නියොජ්‍ය විභාග කොමසාරිස්

සමගි ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝහණී කුමාරි විජේරත්න විසින් විභාග දෙපාර්තමේන්තුවේ කෙරුවාව ගැන බරපතල ප්‍රකාශයක් කෙරුවාය.
ඇය එහිදී අනාවරණය කෙරුවේ නීතිපති දෙපාර්තමේන්තුවට බඳවා ගැනීම සඳහා පැවැති තරග විභාගයකදී ප්‍රථම ස්ථානය හිමි කර ගෙන ඇත්තේ විභාග දෙපාර්තමේන්තුවේ රහස්‍ය අංශය බාර නියෝජ්‍ය විභාග කොමසාරිස්වරයෙකු ගේ දරුවකු බවය.
ඒ දරුවා අධ්‍යාපනයේ දක්ෂයෙකු වී නම් එම ප්‍රතිඵළය ගැන කිසිවෙකුටත් ප්‍රශ්ණ කළ නොහැකිය. එහෙත් රෝහිණී කුමාරි විජේරත්න මන්ත්‍රීතුමිය පවසන්නේ තම දරුවා මෙවැනි තරග විභාගයකට පෙනී සිටින්නේනම් නියෝජ්‍ය විභාග කොමසාරිස්වරයා ආයතනික ආචාර ධර්ම හා සදාචාරාත්මක සම්ප්‍රදායන්ට අනුව සිය රාජකාරිමය වගකීම් වලින් බොහෝ කලකට පෙර ඉවත් විය යුතුව තිබූ බවය.
මෙහිදී සැක කටයුතු සිද්ධීන් ගණනාවක් සිදුවී ඇති බවත් ඇය වැඩිදුරටත් පවසා සිටියාය.
තම දරුවා එම විභාගයට පෙනී සිටින බව දැන දැනත් ඒ උන්නැහේ සිය තනතුරේ වගකීම් වලින් ඉවත් නොවී සිටියේ නිකමට නොවේ. පුතු සෙනේ පිතු හද තුළ මිස යැයි පැවසෙන සිංහබාහු නාටකය සිහිපත් වන්නේ එතැනදී ය.
තමන් කරන මේ චෝදනාව අල්ලස් හෝ දූෂණ කොමිෂම මගින් පුළුල් විමර්ශනයක් කළ යුතු බවද මන්ත්‍රීවරිය මෙහිදී සඳහන් කෙරුවාය.
"විභාගය පැවැත්වුණේ පසුගිය අගෝස්තු මස 02 වනදා. නමුත් අදාළ නිලධාරියා තනතුරෙන් ඉවත් වෙලා තියෙන්නේ ජූලි මස 15 වනදා. ඒ කියන්නේ විභාගයට සති දෙකකටත් අඩු කාලයකට පෙර. ඒ වන විටත් ප්‍රශ්න පත්‍රය සැකසීම සහ ඊට අදාළ සියලු රහස්‍ය කටයුතු නිමවා අවසන්. සියල්ල සිදු කිරීමෙන් අනතුරුවයි ඔහු ඉවත් වී තිබෙන්නේ. මෙවැනි බරපතළ අක්‍රමිකතා සම්බන්ධයෙන් අල්ලස් කොමිසම වහාම පරීක්ෂණයක් පැවැත්විය යුතුයි,"
යනුවෙන් මන්ත්‍රීවරිය පවසා සිටියාය.
පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝහිණී කුමාරි විජේරත්න කටේ හිරි ඇරගන්නට පාර්ලිමේන්තුවේදී මේ ප්‍රකාශය නොකළ බව පැහැදිලිය. විභාග දෙපාර්තමේන්තුව තුළ මෙවැනි "ලේ ඥාති" ගණුදෙනු සිද්ධ වන්නේ අද ඊයේ නොවේ. එහෙත් ඒ සියල්ල හීන් සැරයේ සිද්ධ වෙන ඒවාය. ඒවා හොඳටම දැනෙන වැඩ වුවද තහවුරු කර ගන්නට නොහැකි කම නිසා පුරවැසි සමාජය ඒවා ගැන කට පුක වසා ගෙන සිටී.
දැන් වාරය ඇත්තේ අල්ලස් හෝ දූෂණ කොමිෂමටය. අනේ අපට ඒ ගැන පැමිණිල්ලක් ලැබී නැතැයි අල්ලස් හෝ දූෂණ කොමිෂමේ බලධරයන්ට නෑසූ කන්ව සිටින්නටද පුළුවන. එහෙත් මේ නියෝජ්‍ය විභාග කොමසාරිස් වරයා සම්බන්ධයෙන් සිදු කර ඇති චෝදනාව තමන් ගේ දරු මල්ලන්ටද බලපාන බරපතල ප්‍රශ්ණයක් බව අල්ලස් හෝ දූෂණ කොමිෂමේ බලධරයන් කල්පනා කළ යුතුය.
දක්ෂිණ ලියනාරච්චි ✍️



