එළඹෙන බ්‍රහස්පතින්දා ප්‍රංශයේ දැවැන්ත වැඩවර්ජනයකට සූදානම්

ජීවන වියදම ඉහළ යාමට එරෙහිව සහ තරුණ ශිෂ්‍ය සංගම් මුල් වී ප්‍රංශය පුරා ආරම්භ කළ 3 වන සති අන්ත විරෝධතා මාලාවේ ප්‍රධාන පෙළපාලි අද (නොවැම්බර් 01 ඉරිදා) දින සැලකිය යුතු ලෙස අඩු වී ඇති බව වාර්තා වේ.
අද දිනය ප්‍රංශයේ ‘Toussaint’ (සියලු සාන්තුවරයන්ගේ දිනය) රජයේ නිවාඩු දිනයට යෙදී තිබීම මීට ප්‍රධාන හේතුව වී ඇත.
ඊයේ (සෙනසුරාදා) පැරිස්, නොන්ත් (Nantes) ඇතුළු ප්‍රධාන නගර රැසක පැවැති විරෝධතාවලදී විරෝධතාකරුවන් සහ පොලිසිය අතර ප්‍රබල නොසන්සුන්තා හටගත්තේය. ඇතැම් ප්‍රදේශවල ගිනි තැබීම් සිදුවූ අතර, පිරිස් පාලනය සඳහා පොලිසියට කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමට සිදුවිය.
ඊයේ ඇති වූ ප්‍රචණ්ඩකාරී සිදුවීම් හේතුවෙන් අද දිනයේත් පැරිස් අගනුවර ප්‍රධාන ප්‍රදේශ රැසක ආරක්ෂාව දැඩි කර ඇති අතර, ඇතැම් සංවේදී ස්ථානවල රැස්වීම් සහ රැලි පැවැත්වීම තහනම් කර ඇත.
කෙසේ වෙතත්, අද දිනයේ සීමිත බස් සහ ට්රෑම් රථ වර්ජන කිහිපයක් හැරුණු විට, දුම්රිය ඇතුළු ප්‍රධාන පොදු ප්‍රවාහන සේවා සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බව බලධාරීහු පවසති.
අද දිනයේ තත්ත්වය සාමකාමී වුවද, එළඹෙන නොවැම්බර් 5 වන බ්‍රහස්පතින්දා දින ප්‍රංශය පුරා ප්‍රවාහන හා රාජ්‍ය අංශ ඒකාබද්ධව දැවැන්ත ජාතික වැඩවර්ජනයක් සහ විරෝධතා මාලාවක් පැවැත්වීමට සංවිධානය කර ඇත.



