මුල් පිටුවට
නවතම ප්‍රවෘත්තිPolitical

“අපේ අය කරන නිසා හොඳයි” ද? මේ තර්කය රටට යහපත් ද?

ලියුවේ Admin
“අපේ අය කරන නිසා හොඳයි” ද? මේ තර්කය රටට යහපත් ද?

පාලකයාගේ වුවමනාව සහ පාලිතයන්ගේ වුවමනාව සමපාත වීම පමණක් යහපත් සමාජයක් බිහිවීමට ප්‍රමාණවත් ද?

 

සරල ලෙස පෙනුන ද සැබැවින්ම මෙය ඉතා වැදගත් දේශපාලන ප්‍රශ්නයකි.


වත්මන් 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධ කොට, ඉහත දැක්වූ ප්‍රශ්නය සලකා බැලුව හොත් පාලකයාගේ සහ පාලිතයන්ගේ (යම් කොටසකගේ) වුවමනාවේ සමපාත බව දැකිය හැකිය. 


මේ සම්බන්ධයෙන් සමස්ත සමාජයේ එක් කොටසක් දරන අදහස ඉතා සරලය. 


ඒ නම්,


“පැරණි දූෂිත දේශපාලකයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට මේ සංශෝධනය උපකාරී වෙනවා නම්, එය හොඳ දෙයක්.” ය යන්නය.


ආණ්ඩුවද එවැනි අරමුණක් ඉදිරිපත් කරන විට, ආණ්ඩුවේ වුවමනාවත් ජනතාවගේ එක් කොටසකගේ වුවමනාවත් එකම තැනකට පැමිණ තිබේ.


එහෙත් මෙතැනදී අපට අමතක වන ඉතා භයානක කරුණක් තිබේ.


"පාලකයාගේ වුවමනාව සහ පාලිතයාගේ වුවමනාව සමපාත වූ පමණින් එය යහපත් පාලනයක් බවට පත් වන්නේ නැත." යන්න ය.


අද දූෂිතයාට දඬුවම් කිරීමට දෙන බලය, හෙට කාට එරෙහිව භාවිත කරයිද?....


රාජපක්ෂවරුන්ගේ දූෂිත ක්‍රියාවන් ගැන සහ තවත් බොහෝ දේශපාලනඥයන්ගේ දූෂිත ක්‍රියාවන් ගැන, ජාතික ජන බලවේගය තරම් හඬ නැගූ, විරෝධය පළ කළ වෙනත් කිසිදු පිරිසක් නැති තරම් යැයි කිවහොත් එය අතිශෝක්තියක් නොවනු ඇත. 


එවැනි පිරිසක් ආණ්ඩු බලය ලබාගෙන ඇති විටක, දූෂණයට වගකිව යුතු පුද්ගලයන්ට නීතිය ක්‍රියාත්මක කිරීම අනිවාර්යෙන්ම කළ යුතුය යන්න ජනතා බලාපොරොත්තුවය. එහි කිසිදු විවාදයක් නැත.


ජනතාවගේ මුදල් කොල්ලකෑවා නම්, බලය අයුතු ලෙස භාවිත කළා නම්, නීතිය උල්ලංඝනය කළා නම් තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කළ යුතුය.


නමුත් ප්‍රශ්නය වන්නේ දූෂිතයාට දඬුවම් කළ යුතුද? යන්න පමණක් නොවේ.


ප්‍රශ්නය වන්නේ, එම දඬුවම ලබාදීම සඳහා නිර්මාණය කරන නීතිමය බලය කාගේ අතට යන්නේද? යන්නය.


අද අපි කැමති දේශපාලකයෙකු බලයේ සිටිනවා විය හැකිය.


අද අපි විශ්වාස කරන ආණ්ඩුවක් බලයේ සිටිනවා විය හැකිය.


අද එම ආණ්ඩුවට අපේ අරමුණු සමඟ එකඟ වන අරමුණු තිබිය හැකිය.


නමුත් ව්‍යවස්ථාව ලියන්නේ අද සිටින පාලකයා වෙනුවෙන් පමණක් නොවේ.


ව්‍යවස්ථාව ලියන්නේ අදත්, හෙටත්, ඉදිරි පරම්පරාවලත් බලයට පැමිණිය හැකි සියලු පාලකයන් සඳහාය.


එබැවින් අද අපට ප්‍රයෝජනවත් යැයි පෙනෙන බලයක් ගැන තීරණය කිරීමේදී, පොදු ජනතාව ලෙස අප ඇසිය යුතු ප්‍රශ්නයක් තිබේ. එනම්,


මේ බලය හෙට අපි අකමැති පාලකයෙකුගේ අතට ගියහොත් අපි තවමත් මේ බලයට එකඟද?


හොඳ පාලකයෙකු විශ්වාස කරන ව්‍යවස්ථාවක් හොඳ ව්‍යවස්ථාවක් නොවේ..


ප්‍රජාතන්ත්‍රවාදයේ වටිනාකම වන්නේ “හොඳ පාලකයෙකු පැමිණෙනු ඇත” යන විශ්වාසය මත පාලකයාට බලය දීම නොවේ.


හොඳ ව්‍යවස්ථාවක් යනු, හොඳ පාලකයෙකු සිටින විටත්, නරක පාලකයෙකු සිටින විටත්, එකසේ බලය සීමා කරන ව්‍යවස්ථාවකි.


මන්ද, ඉතිහාසයේ සෑම පාලකයෙකුම බලයට පැමිණියේ “මම ජනතාව වෙනුවෙන්” කියමිනි. නමුත් බලය අසීමිත වූ විට, “ජනතාව වෙනුවෙන්” යන වචනයම බලය සාධාරණීකරණය කිරීමට භාවිත කළ හැකිය.


"ජනතාවට අවශ්‍ය නිසා” කියා ඕනෑම දෙයක් සාධාරණ කළ හැකිද?....


මෙය තමයි වඩාත්ම භයානක තර්කය.

ජනතාවගෙන් බහුතරයක් යම් දෙයකට කැමති වීම වැදගත්ය.


නමුත් බහුතර කැමැත්ත යනු සදාචාරයේ අවසාන මිනුම් දණ්ඩ නොවේ.


බහුතරයක් යම් දෙයකට කැමති වුණත්,


• නීතියේ ආධිපත්‍යය,


• අධිකරණ ස්වාධීනත්වය,


• මූලික අයිතිවාසිකම්,


• බලතල බෙදීම,


• නිදහස් අදහස් ප්‍රකාශ කිරීම,


• විරුද්ධ මත දැරීමේ අයිතිය

විනාශ කළ හැකි නම්, එය ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමක් නොවේ.


ප්‍රජාතන්ත්‍රවාදය යනු බහුතරය කැමති දේ කිරීම පමණක් නොවේ.


සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය යනු බහුතරය අකමැති පුද්ගලයාගේ අයිතිවාසිකම පවා ආරක්ෂා කිරීමය. 


දූෂිතයන්ට දඬුවම් කිරීමේදී පවා නීතිය උල්ලංඝනය කළ නොහැක...


අපි දූෂිතයන්ට දඬුවම් ඉල්ලනවා නම්, එය නීතියට පිටින් නොව නීතිය තුළින් කළ යුතුය.


අපි අසාධාරණයට එරෙහිව සටන් කරනවා නම්, අසාධාරණ ක්‍රමයක් භාවිත කරමින් සාධාරණ සමාජයක් ගොඩනඟන්නට නොහැක.


“හොරාට දඬුවම් කරන්න ඕනෑ” යන හොඳ අරමුණ නිසා “හොරාට දඬුවම් කිරීමේ බලය” ඕනෑම ආකාරයකින් ලබාදීම නිවැරදි නොවේ.


නීතියේ ශක්තිය තිබෙන්නේ දඬුවමේ තදකම තුළ පමණක් නොවේ.


දඬුවම සාධාරණද?
ක්‍රියාවලිය ස්වාධීනද?
අධිකරණයට බලපෑමක් නැද්ද?
චෝදනා ලබන පුද්ගලයාට සාධාරණ නඩු විභාගයක් තිබේද?
එම නීතිය හෙට වෙනත් පාලකයෙකුට අනිසි ලෙස භාවිත කළ නොහැකිද?


යන ප්‍රශ්නවලටත් පිළිතුරු තිබිය යුතුය.


අද අපි අත්පුඩි ගහන බලය හෙට අපේ දොරට තට්ටු කළොත්?....


දේශපාලන ඉතිහාසයේ විශාලම පාඩම මෙයයි.


බලය නිර්මාණය කරන්නේ පුද්ගලයෙකු වෙනුවෙන් නොව පද්ධතියක් වෙනුවෙනි.


අද අපි කැමති පාලකයා එම බලය භාවිත කරන්නේ අප කැමති පුද්ගලයන්ට එරෙහිව නම් අපිට සතුටු විය හැකිය.


නමුත් හෙට එම බලය අපේ අදහස්වලට එරෙහිව භාවිත කළහොත්?


එදාට අපි කියන්නේ,


“මේ බලය මෙතරම් විශාල විය යුතු නැහැ” කියාය.


එවිට ප්‍රමාද වැඩිය.


එබැවින් 22 ගැන සැබෑ ප්‍රශ්නය මෙයයි

“මෙයින් පරණ දූෂිතයන්ට දඬුවම් කළ හැකිද?”යන්න පමණක් නොව,


“මෙයින් ශ්‍රී ලංකාවේ නීතියේ ආධිපත්‍යය තවදුරටත් ශක්තිමත් වෙනවාද?”


“අධිකරණයේ ස්වාධීනත්වය තවදුරටත් ආරක්ෂා වෙනවාද?”


“අද සිටින පාලකයාට පමණක් නොව, හෙට බලයට පැමිණෙන පාලකයාටත් එකසේ සීමා පනවනවාද?”


“අප කැමති නැති පාලකයෙකු මෙම බලය භාවිත කළත් අප ආරක්ෂිතද?”

යන්නයි.


මේ ප්‍රශ්නවලට සාධාරණ පිළිතුරක් නොමැතිව,


“අපේ ආණ්ඩුව හොඳයි. ඒ නිසා මේ බලය හොඳයි”

කියා ව්‍යවස්ථාමය වෙනසක් සාධාරණ කිරීම යහපත් දේශපාලන බුද්ධියක් නොවේ.


එය පුද්ගල විශ්වාසය මත රාජ්‍ය පාලනය තීරණය කිරීමකි.


පාලකයාට අවශ්‍ය දේ ජනතාවටත් අවශ්‍ය වීමෙන් පමණක් යහපත් සමාජයක් බිහි නොවේ...


යහපත් සමාජයක් යනු,


පාලකයාට අවශ්‍ය දේ කිරීමට ජනතාව එකඟ වන සමාජයක් නොවේ.


යහපත් සමාජයක් යනු,


පාලකයාට, ජනතාවට එරෙහිව වුවද අසාධාරණයක් කළ නොහැකි ලෙස නීතිය පාලකයාටත් ඉහළින් තබා ඇති සමාජයකි.


අපි දූෂිතයන්ට දඬුවම් ඉල්ලමු.


අපි අපරාධකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නැයි බල කරමු.


නමුත් ඒ සියල්ල නීතියේ ආධිපත්‍යය ශක්තිමත් කරමින් කළ යුතු ඒවා බව නිරතුරුවම සිහි තබා ගනිමු..


මන්ද,


අද අපේ සතුරාට එරෙහිව භාවිත කළ හැකි බලයක් හෙට අපේ නිදහසට එරෙහිව භාවිත කළ හැකි නම්, එය බලයේ ජයග්‍රහණයක් මිස ප්‍රජාතන්ත්‍රවාදයේ ජයග්‍රහණයක් නොවෙන නිසා ය.


පාලකයා වෙනස් වෙයි.
දේශපාලන පක්ෂ වෙනස් වෙයි.
බලයේ සිටින පුද්ගලයන් වෙනස් වෙයි.
නමුත් ව්‍යවස්ථාව, රටේ ජනතාවට ඉතිරි වෙයි.


ඒ නිසා අද අපි අපට කැමති පාලකයාගෙන් සහ අපට කැමති ආණ්ඩුවෙන් ඉල්ලා සිටිය යුත්තේ,ඌචග


“අපට අකමැති පාලකයෙකුටවත් අනිසි ලෙස භාවිත කළ නොහැකි පද්ධතියක් ගොඩනඟන්න” යන්නයි.


සැබෑ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය එයයි.
සැබෑ නීතියේ ආධිපත්‍යය එයයි. සැබෑ පොදු යහපත එයයි.
එයයි සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය.


ජයලත්ගේ සුනිල් ගාමිණී ✍️

සියලු ප්‍රවෘත්ති — Political

අගමැති රනිල් ලැජ්ජාවටත් පත් වූ ඥානසාර හිමියන්ගේ කෙරුවාව
නවතම ප්‍රවෘත්තිPolitical

අගමැති රනිල් ලැජ්ජාවටත් පත් වූ ඥානසාර හිමියන්ගේ කෙරුවාව

සිර දඬුවමට ලක් වූ ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් සමාජය තුළ මේ වන විට ඉතා උද්වේගකර කතා බහක් සිදු වෙමින් පවතී.  ගරු අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට ඥානසාර හිමියන්ට හිමි වූ දඬුවම අනුමත කරන හා…

හොරු ඇල්ලීමෙන් එහාට ජනතාවට අවශ්‍ය වගවීම
නවතම ප්‍රවෘත්තිPolitical

හොරු ඇල්ලීමෙන් එහාට ජනතාවට අවශ්‍ය වගවීම

වත්මන් ආණ්ඩුවේ ප්‍රධාන දේශපාලන තේමාවක් වී ඇත්තේ,  “හොරු අල්ලනවා.” “හොරකම් නවත්වනවා.” “මහජන මුදල් ආරක්ෂා කරනවා.” යන්නය. මේ සටන් පාඨවලට ජනතාවගේ අවධානය ලැබීම ස්වාභාවිකය. දූෂණයට එරෙහිව නීතිය ක්‍රියාත…

PTA අහෝසි කිරීමක්ද? ජනමාධ්‍ය නිදහසත්, වෘත්තීය අරගලත් පාලනය කිරීමක් ද?
නවතම ප්‍රවෘත්තිPolitical

PTA අහෝසි කිරීමක්ද? ජනමාධ්‍ය නිදහසත්, වෘත්තීය අරගලත් පාලනය කිරීමක් ද?

ශ්‍රී ලංකාවේ දශක ගණනාවක් තිස්සේ දැඩි විවේචනයට ලක්වූ 1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත ( PTA ) වෙනුවට නව නීතියක් ගෙන ඒම පිළිබඳ සාකච්ඡාව යළිත් මතු වී තිබේ. 2026 සැප්තැම්බර්…

පොල්හේනේ වෙරළට දේශපාලන වඩදිය..
නවතම ප්‍රවෘත්තිPolitical

පොල්හේනේ වෙරළට දේශපාලන වඩදිය..

මාතර පොල්හේන සුන්දර වෙරළ තීරයේ අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමේ මෙහෙයුම යෙදී තිබුණේ පසුගිය අගෝස්තු මස 20 වැනිදා ය.  නමුත් ඒ 20 වැනිදා ආවේ නැත. අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමේ එම මෙහෙයුම සැප්තැම්බර් මස 24…