මුල් පිටුවට
නවතම ප්‍රවෘත්තිPolitical

අදින් පස්සේ ඉතින් මොකද වෙන්නේ...

ලියුවේ Admin
අදින් පස්සේ ඉතින් මොකද වෙන්නේ...

ජාතික ජන බලවේග ආණ්ඩුව පිළිබඳව ටෙස්ට් ටියුබ් පරීක්ෂණය කරන්නේ අදය. ඒ පරීක්ෂණයේ රිපෝට් එකේ හොඳ හෝ නරක ගැන තවමත් කාටවත් අදහසක්  ඇත්තේද නැත. එහෙත් ආණ්ඩුවේ පාක්ෂිකයන්ද ආණ්ඩුවට එරෙහිවූවන්ද අද රැස්වීම ගැන බොහෝ අවධානයකින් සිටින බව නම් අමුතුවෙන් සඳහන් කළ යුතු නොවේ.

ආණ්ඩුවේ කෙරුම්කාරයන් මෙපමණ කාලයක් සිටියේ ජාජබ  දේශපාලනික බලයට අභියෝග කරන්නට තරමේ කිසිවෙකුත් මේ ර⁣ටේ නොමැති බව සිතා ගෙනය. එහෙත් දැන් ජාජබය අභිමුඛය⁣ට සතුරෙකු පැමිණ තිබේ. මේ සතුරාගේ අභියෝගය ආණ්ඩුවට ලේසි පහසු නොවන බවද සිතිය හැක. කෙසේ වෙතත් ආණ්ඩුවට එරෙහිව ප්‍රධාන පෙලේ සතුරකු නිර්මාණය කර ගත්තේද ආණ්ඩුවේම උද්දච්ච කෙරුම්කාරයන්ය.

නිළමක්කාරයන්ගේ උන්මාදය....

ආණ්ඩුවට හිතවත් පාර්ශවයන් දිගින් දිගටම ආණ්ඩුවේ නිළමක්කාරයන් වෙත අවධාරණය කරන ලද්දේ ආණ්ඩුව බිඳ වැට්ටවීම සඳහා රාජ්‍ය තුළ කුමන්ත්‍රණයක් පවතින බවය. එහෙත් ආණ්ඩුවේ නිළමක්කාරයන් හි⁣ටියේ සිය හිතවතුන්ට පවා කන් නොදෙන තරමේ උන්මාදයෙනි.

හොදම උදාහරණය වූයේ මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ඇමති විජේපාලගේ උපදේශකයාය. ජාජබ ආණ්ඩුව බලය ලබා ගත් මුල් කාලයේදී පොලිස් දෙපාර්තමේන්තුවේ පත් කිරීම් මාරු කිරීම්  කෙරුවේ මේ උන්නැහේය.⁣

තාජුඩීන් ඝාතනයේ පොලිස් පරීක්ෂණ නොමග යවන ලද බවට අධිකරණයේ චෝදනා ගොනු කෙරුණ මේ උන්නැහේ මහජන ආරක්ෂක ඇමතිගේ උපදේශකයා ලෙස පත් කර ගැනීම ජාජබ ආණ්ඩුව බලයට පත් කරවීම සඳහා වෙහෙස මහන්සි වූ පොලිස් නිළධාරීන් දැඩි කම්පනයට පත් කරවන සිද්ධියක් විය. 

රාජපක්ෂවරු ආධිපත්‍යය තහවුරු කර ගත් හැටි....

මේ පිළිබඳව ජාජබයට හිතවත් බොහෝ මාධ්‍යයද දිගින් දිගටම අනාවරණය කරන ලදී. එහෙත් ආණ්ඩුවේ කෙරුම්කාරයන් ඒ අනාවරණය කිරීම් අධෝවාතයක් තරමේ ගණන් ගත්තේ නැත. උපදේශක උන්නැහේද රාජපක්ෂ වරුන් සමග පැවැති ජානගත සම්බන්ධය එසේම පවත්වාගෙන යමින් සමස්ත පොලිස් දෙපාර්තමේන්තුව තුළ නැවත රාජපක්ෂවරුන්ගේ ආධිපත්‍යය හීන් සීරුවේ තහවුරු කෙරුවේය. ඒ නිකම්ම නොවේ. ජාජබයට හිතවත්ව සිටි පොලිස් පොඩ්ඩන්ගේ ⁣සිට පොලිස් ලොක්කන්  ආණ්ඩුව කෙරෙහි කළකිරවමිනි. ඒ උන්දෑගේ කෙරුවාවේ තරම කොයි තරමේද කිව හොත් මේ වන විට පොලීසිය තුළ ආණ්ඩුවට හිතවත්ව සිටින්නේ පොලිස්පතිවරයා පමණය.

මේ යන විදියට නම් පොලිස්පතිවරයා ගැනද විශ්වාසයක් නැත. ඒ මන්ද යත් ඔහු සාගල රත්නායක ගේ සමීපතමයෙක් නිසාය. කොටින්ම කියතොත් පොලීසිය තුළ ආණ්ඩුවට හිතවත් සිටි නිළධාරීන් දැන් ඉන්නේ ආණ්ඩුවට කෙල වෙන දිනය එන තුරු ඇඟිලි ගැන ගැනය. ඔළුව ඉදිමුණ මහජන ආරක්ෂක ඇමති විජේපාලටත් නියෝජ්‍ය ඇමති වටගලටත් ඒ ගැන වගේ වගක් නැත. 

පොලිස් දෙපාර්තමේන්තුවෙන් ජාජබ ආණ්ඩුවේ ඡන්ද පෙට්ටියට ලැබෙන ඡන්ද ගණන අතේ ඇඟිලි ගණනටත් අඩුය. වර්තමානයේ පවා හිටපු නීතිය හා සාමය අමාත්‍යංශ ටිරාන් අලස් හට පොළීසිය හසුරවන්නට හැකි බලය අසීමිතය. ඒ බලය කේන්ද්‍රීය ගත වන්නේ රාජපක්ෂවරුන් සමගය. ජනපතිවරණය ආසන්න වන විට පොලීසියේ බලය අල්ලා ගන්නේ නාමල් රාජපක්ෂගේ නිල් බලකායේ නිළධාරීන් රොත්තය. ජාතික බුද්ධි සේවාව ආණ්ඩුවට හිතවත් නැත. ඒ ගැන ජනාධිපතිවරයාටද වැටහීමක් නැත.

ට්‍රෝජන් අශ්වයා ගේ දොරටු ඇරී තිබේ....

ට්‍රෝජන් අශ්වයා ගේ දොරටු ඇරී තිබේ. මේ ජාජබයට හිමි වූ බල අධිකාරියත් සමග මිත්‍ර වේශයෙන් සමීප වූ සතුරන් නැවත සිය සැබෑ ස්වරූපයට රූපාන්තරණය මොහොතය. ඒ සැබෑව ශක්තිමත් වන්නේ අද පැවැත්වෙන පොදු ජන පෙරමුණු රැස්වීමෙන් මුදා හැරෙන දේශපාලන අභියෝගයත් සමගය.

යුද හමුදාව තුළ පවතින වටපිටාවද බැරෑරුම්ය. ආරක්ෂක අමාත්‍යංශ ලේකම් වරයා හා සමීපව ගණුදෙනු කරමින් සිටින්නේ රාජපක්ෂ හා වික්‍රමසිංහ ජාන ගත විශ්‍රාමික මිල්ටෙරි පිල්ලිය. ආණ්ඩුව බලයට පත් කිරීම සඳහා රාජකාරිමය අවදානමක් ගනිමින් හා සක්‍රීය සේවාව තුළ සි⁣ටිමින් වෙහෙස මහන්සි වූ බොහෝ හමුදා ⁣ඡ්‍යෙෂ්ඨයන්ටද  මේ වන විට ඉතිරි වී ඇත්තේ කළකිරීම හා  කණගාටුව  පමණය. 

ගජබාවරුන් හීන් සීරුවේ මිල්ටෙරි යාන්ත්‍රණය නැවත අත් පත් කර ගැනීමට කුමන්ත්‍රණය කරමින් සිටී. ඒ සියළු තොරතුරු ආරක්ෂක නියෝජ්‍ය ඇමතිවරයාට හා ආරක්ෂක අමාත්‍යංශ ලේකම් වරයාට සිතා ගැනීමට පවා නොහැකි වී ඇත්තේ ඒ කුමන්ත්‍රණ සිද්ධ වන්නේ ඔවුන්ගේම සමීපයේ සිට බැවිනි.

ආණ්ඩුව බලය⁣ට පත් වී පළමු හෝරාවේදීම මෙි සෑම අයෙකුම සිය හිතවතුන් අමතක කර දැම්මේ කෙළෙහි ගුණයක් නැති කම පෙන්වමිනි.

නිළමක්කාරයන්ගේ මොනිටසෝරි කෙරුවාව..

ආණ්ඩුවේ ඇතැම් නිළමක්කාරයන් සිය බල ආධිපත්‍යය තුළ සමාජය තුළ තහවුරු කරන්නට ප්‍රයත්න දැරුවේ මොනිටසෝරි කෙරුවාවන් තුළිනි. ඒ ටයි කෝට් ඇඳීමෙනි. දේශපාලන භූමියේ විශිෂ්ටයන් වූ ඇන්. ඇම්. ලා හා කොල්වින්ලා ගේ දේශපාලන භූමිකාව තමන් තුළද පවතින බවට සමාජය තුළ ආරෝපනය කිරීමේ අදහසක් ඒ තුළ තිබුනේදැයි සැකයක් මතුවේ. 

එහෙත් ඉන් ඉස්මතු වන්නේ හීනමානය මිස අන් යමක් නොවන බව සමාජයේ අදහසයි. බොහෝ කාලයක් ජවිපෙ දේශපාලනය පිළීබඳව සමාජගතව පැවැති "සහෝදරත්වයේ සමීපත්වය" අතර දුරස්ථ බවක් මතු කරමින් ටයි කෝට් ප්‍රභූත්වයක් ආරූඩ කර ගැණිනි. මුන්ට පිස්සුදැයි පුරවැසියන් ප්‍රශ්ණ කරන්නට ගත්තේ මෙය විකාරයක්ම නිසාය. ටයි කෝට් ආරූඪයෙන් සමාජයට වෙන ලබුවක් නම් සිද්ධ වූයේ නැත.

ජාජබ⁣ ආණ්ඩුවේ වැඩි පිරිසක් දේශපාලන කෝඩු කාරයන් විය. ප්‍රාදේශීය සභාවේ ජාජබ මන්ත්‍රීවරුන් බොහෝ දෙනෙකු ඇහින්දාස්ලාය. ඔවුන් සමාජය ⁣හා දේශපාලනිකව ගණුදෙනු කරන්නට අසමත් වී සිටි. ඒ ඇතමුන් සිටින්නේ සමාජයටත් වඩා බඹ දෙක තුනක් ඉහළිනි. ඇතැම් ප්‍රාදේශීය සභා සභාපතිවරුන් අමු මෝල් ගස්ය. කෙසේ වෙතත් මේ යාන්ත්‍රණය පාලනය කෙරෙන්නේ ජවිපෙ ආසන සංවිධායක වරුන්ය. එම ආසන සංවිධායක වරුන් සිතා ගෙන සිටින්නේ ජාජබ ආණ්ඩුව ජයග්‍රහණය කරන ලද්දේ තමන්ගේ කැපවීම නිසා බවය. ඒ "සිඟිති ආතලයක්" බව මේ රටේ දේශපාලනය ගැන අවබෝධයක් ඇති ඕනෑම පරාණයක් දනී.

ජවිපෙ අධිකාරිවාදී යාන්ත්‍රණය....

මේ ආසන සංවිධායක වරුන්ට ඒ තරමට දේශපාලන හයියක් තිබුණේ නම් ජවිපෙ මෙරට මෙරට ආණ්ඩු බලය ගන්නේ අද ඊයේ නොවේ. ආසන සංවිධායක වරුන්ගේ ඒකාධිපතිත්වය නිසාම ජාජබ ආණ්ඩුවට හිතවත්ව සිටි සමීපතමයන් බොහෝ දෙනෙකුද ආණ්ඩුවෙන් ඈත් වී සිටී. ඒ ජවිපෙ අධිකාරිවාදී යාන්ත්‍රණය මෙරට ⁣සම්ප්‍රදායික දේශපාලනයට එතරම්  පත්තියන් නැති නිසාය.      

ජාජබ ආණ්ඩුව නිර්මාණය වූයේ ජවිපේ න්‍යෂ්ඨිය තුළ බව සැබෑය. එහෙත් එහි හුස්ම තුළ වැඩිමනත්ව සි⁣ටියේ වමේ දේශපාලන කඳවුරු තුළ සිටි පුරවැසියන්ය. එහෙත් ජාජබ ආණ්ඩුව බලයට පත් වීමත් සමගම ජවිපෙ කෙරුම්කාරයන් ගණන් හැදුවේ ආණ්ඩුවේ සින්නක්කර අයිතිය තමන්ට හිමි කර ගනිමිනි. 

පැවැති ආණ්ඩු වලින් දේශපාලනිකව  අසාධාරණයට ලක් වූ පුරවැසියන් ජාජබ ආණ්ඩුවට සිය දුක් ගැනවිලි  කියන්නට අවස්ථාවක් හමු නොවීය. ආණ්ඩුවේ කෙරුම්කාරයන් නිවේදනය කෙරුවේ "අපි රාජ්‍ය යාන්ත්‍රණයට" නිදහසේ රාජකාරි කිරීමට ඉඩ දුන් බවය.

තඹ දොයිතුවකට ගණන් නොගත් අපේක්ෂා...

අසාධාරණයන්ට ලක්ව සිටි පුරවැසියන් අපේක්ෂා කළ සාධාරණය ජාජබ ආණ්ඩුව තඹ දොයිතුවකට ගණන් ගත්තේ නැත. පුරවැසියන්ට අසන්නට හා විඳන්නට ලැබු⁣ණේ දුරකථනයක⁣ට පවා ආන්සර් නොකරන උද්දච්ච ජාජබ ඇමතිවරුන් මන්ත්‍රීවරුන් පිළිබඳවය. මුන්ට ඡන්දය දුන්නේ මොන ලබ්බකටදැයි සිතන තරමට පුරවැසියන් ගේ සිතීම වෛරී සහගත විය.

ජාජබ ආණ්ඩුව බලයට පත් කරවීම සඳහා අතේ ඇඟිලි කොරවෙන තුරු සමාජ මාධ්‍ය තුළ අකුරු ලියමින් ජාජබ මතවාදය සමාජගත කරවීම සඳහා වෙහෙස මහන්සි වූ මාධ්‍යකරුවන් බොහොමයකි. ඒ බොහෝ දෙනා ජාජබය බලයට ගෙන ඒමට කැප වූයේ පෞද්ගලික අපේක්ෂාවන් ඇතුව නොවේ.

එහෙත් මේ වන විට ඉන් බොහෝ දෙනෙකු ආණ්ඩුවේ කෙරුවාව ගැන සිටින්නේ කණගාටුවෙනි. 

පුරාජේරු යූ ටියුබ් සුදා සහ ගිණි අවි...

සුදා නම් යූ ටියුබ කරුවා නම් තමන්ට ජනපතිවරයා හා ඕනෑම අවස්ථාවක සම්බන්ධ ⁣විය හැකි බවට පුරාජේරු ප්‍රචාරය කරමින් සිටී. එය ඇත්තක් වන්නටද පුළුවන. මේ වන විට ඔහුට ගිණි අවි බලපත්‍රයක්ද ආරක්ෂක අමාත්‍යංශයෙන් නිකුත් කර ඇති බව පැවසේ. සුදා පමණක් තමන් වෙනුවෙන් මරා ගෙන මැරෙන්නට සිටීම සෑහේ යැයි ජනපතිවරයා පවා සිතනවා වෙන්නට පුළුවන.

අද පැවැත්වෙන⁣ පොදු ජන පෙරමුණේ රැස්වීම සාර්ථක වුව ⁣හොත් ආණ්ඩුවට "කොකා පෙන්වන" රාජ්‍ය යාන්ත්‍රණයක් එළිපිට දැක ගත හැකි වනු ඇත. මෙතෙක් කාලයක් හැංගි හොරා වෙස් බැන්දවුන් පවා එළියට එනු ඇතැයි සිතිය හැකිය.

තමන්ට ලෙන්ගතුව තමන් ඉහළට එසවූ ආදරණීය සමීපතමයන් කෙළෙහි ගුණයක් නැති ආකාරයට  අත් හැරීමේ පල විපාක හෙ⁣ට සිට ආණ්ඩුවට හොඳටම දැනෙන්නට ඉඩ තිබේ. ආණ්ඩුව බලයට ගෙන ඒමට ඡන්ද කතිරය ගැසූ පුරවැසියන් තවදුරටත් ආණ්ඩුවේ වැල් බයිලා අහන්නට සූදානම් නැති බව නම් සහතිකය.

මේ වන විටත් ආණ්ඩුවේ පරාණ හුස්ම රැඳී ඇත්තේ ජනපතිවරයාගේ දේශපාලන පෞරෂය මතය. ඒ මත වුවද ආණ්ඩුවට නිවැරිදි වීමට අවස්ථාව පවතී. ඒ නිවැරිදි වීම ඇරඹිය යුත්තේ කොතනින්ද යන්න ගැන ආණ්ඩුව හැදෑරිය යුතුය. එසේ නැතුව පඩත්තල කයිවාරු වලින් පමණක් ආණ්ඩු බලය රැක ගත නොහැකි බව සිතා ගත යුතුය.

දෙවන වටයෙන් ආ ජනාධිපති.....

ජනපතිවරයා බලයට පත් වූයේ දෙවන වරටත් ඡන්දය ගණන් කිරීමෙනි. ඒ මෙරට දේශපාලන ඉතිහාසයේ කිසි දිනක සිදුවූ කෙරුවාවක් නොවේ. එය එසේ තිබියදී ජාජබ ආණ්ඩුව තව  අවුරුදු විස්සකට හොල්ලන්නට බැරි යැයි පාරම් බාන වුන් ගේ ඔළුව පරීක්ෂා කර බැලිය යුතුමය. 

මෙරට දේශපාලනයේ වෙනස්කම් සිද්ධ වන්නේ දේශගුණික සෘතු වෙනස්කම් අනුව නම්⁣ නොවේ. තක්කඩි කාලකණ්නි හොරකු ජාතියේ වීරයකු ලෙස අභිෂේක කර ගැනීම සඳහා වියදම් කළ යුත්තේ රුපියල් සත පමණය.


කෙළෙහි ගුණය තඹ දොයිතුවකට නොසළකන සමාජයකට පාවා දීම්ද සිම්පල්ය. එහි පවතින අපූරුම සිද්ධිය වන්නේ බොහෝ වෙහෙස මහන්සියෙන් බලයට පත් කර ගත් ආණ්ඩුවේ කෙරුමන්ටද කෙළෙහි ගුණය අමතක වීමය. ආණ්ඩුවේ යෝධ කොටසක් නාය ගොස් ඇත්තේ මේ හේතුව නිසාය.


හඳ පෙන්නූ විට ඇඟිල්ලට උඩු බුරලීම...


මේ ලියවිල්ල අප ලීවේ ආණ්ඩුවට කෙල වන්නට නොවේ. කෙල වී ඇති ආකාරය සිහිපත් කරන්නටය. හඳ පෙන්නූ විට ඇඟිල්ල දෙස බලා උඩු බුරලීම තේරුමක් නැති බව මරාගෙන මැරෙන කාඩරයද වටහා ගත යුතුය. ඒ මන්ද යත් මේ කෙලවිල්ලේ අවසානය මහා ඛේදවාචකයක් වන බවට අවදානමක් පවතින නිසාය. ඒ නිසාම අපට ලියන්නට ඇත්තේ දැන්වත් මේ රටේ පවතින දේශපාලනය තේරුම් ගනිල්ලා යැයි කියාය.


ගහේම මල් බුදු පුදටත් නෙලා රැගෙන යාවී

ඒ ඈයොම ඒ ගහේම මල් බිම පාගාවී


ආණ්ඩුවේ පඩත්තලයන් ඔය ගී පදයවත් සිහිපත් කර ගත්තේ නම් හොඳය.



දක්ෂිණ ලියනාරච්චි ✍️

සියලු ප්‍රවෘත්ති — Political

අගමැති රනිල් ලැජ්ජාවටත් පත් වූ ඥානසාර හිමියන්ගේ කෙරුවාව
නවතම ප්‍රවෘත්තිPolitical

අගමැති රනිල් ලැජ්ජාවටත් පත් වූ ඥානසාර හිමියන්ගේ කෙරුවාව

සිර දඬුවමට ලක් වූ ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් සමාජය තුළ මේ වන විට ඉතා උද්වේගකර කතා බහක් සිදු වෙමින් පවතී.  ගරු අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට ඥානසාර හිමියන්ට හිමි වූ දඬුවම අනුමත කරන හා…

හොරු ඇල්ලීමෙන් එහාට ජනතාවට අවශ්‍ය වගවීම
නවතම ප්‍රවෘත්තිPolitical

හොරු ඇල්ලීමෙන් එහාට ජනතාවට අවශ්‍ය වගවීම

වත්මන් ආණ්ඩුවේ ප්‍රධාන දේශපාලන තේමාවක් වී ඇත්තේ,  “හොරු අල්ලනවා.” “හොරකම් නවත්වනවා.” “මහජන මුදල් ආරක්ෂා කරනවා.” යන්නය. මේ සටන් පාඨවලට ජනතාවගේ අවධානය ලැබීම ස්වාභාවිකය. දූෂණයට එරෙහිව නීතිය ක්‍රියාත…

PTA අහෝසි කිරීමක්ද? ජනමාධ්‍ය නිදහසත්, වෘත්තීය අරගලත් පාලනය කිරීමක් ද?
නවතම ප්‍රවෘත්තිPolitical

PTA අහෝසි කිරීමක්ද? ජනමාධ්‍ය නිදහසත්, වෘත්තීය අරගලත් පාලනය කිරීමක් ද?

ශ්‍රී ලංකාවේ දශක ගණනාවක් තිස්සේ දැඩි විවේචනයට ලක්වූ 1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත ( PTA ) වෙනුවට නව නීතියක් ගෙන ඒම පිළිබඳ සාකච්ඡාව යළිත් මතු වී තිබේ. 2026 සැප්තැම්බර්…

පොල්හේනේ වෙරළට දේශපාලන වඩදිය..
නවතම ප්‍රවෘත්තිPolitical

පොල්හේනේ වෙරළට දේශපාලන වඩදිය..

මාතර පොල්හේන සුන්දර වෙරළ තීරයේ අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමේ මෙහෙයුම යෙදී තිබුණේ පසුගිය අගෝස්තු මස 20 වැනිදා ය.  නමුත් ඒ 20 වැනිදා ආවේ නැත. අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමේ එම මෙහෙයුම සැප්තැම්බර් මස 24…