X-Press Pearl වන්දියේ ඩොලර් බිලියනයට මොකද වුණේ ?

2021 මැයි මාසයේදී ශ්‍රී ලංකාවේ මුහුදු තීරයට ආසන්නව ගිනිගෙන මුහුදුබත් වූ X-Press Pearl නෞකාව නිසා ශ්‍රී ලංකාවට සිදු වූ පාරිසරික, ධීවර හා ආර්ථික හානිය ඉතිහාසයේ බරපතළම පාරිසරික ව්‍යසනයක් බවට පත්විය.
වසර හතරකට ආසන්න කාලයක් නීතිමය සටනක් ගෙන ගිය පසු, 2025 ජූලි 24 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය රටට ඉතා වැදගත් තීන්දුවක් ලබා දුන්නා.
එය සාමාන්‍ය තීන්දුවක් නොවෙයි....
ශ්‍රේෂ්ඨාධිකරණය X-Press Pearl සම්බන්ධ පාර්ශ්වයන්ට ආරම්භක වන්දියක් ලෙස ඇමෙරිකානු ඩොලර් බිලියනයක් ගෙවීමට නියෝග කළා. එම මුදල එවකට විනිමය අනුපාතයට අනුව ආසන්න වශයෙන් රුපියල් බිලියන 298ක්.
තීන්දුවේ සඳහන් වූයේ මෙය අවසාන වන්දිය නොවන බවත්, ඉදිරියේදී තවත් වන්දි නියම කළ හැකි බවත්ය.
පළමු වාරිකය ලෙස ඩොලර් මිලියන 250ක් 2025 සැප්තැම්බර් 23ට පෙර ගෙවිය යුතු වුණා.
එහෙත්...එම මුදල ලැබුණේ නැහැ.
X-Press Feeders සහ එහි රක්ෂණකරුවන් 2025 සැප්තැම්බර් 23 දා එම ගෙවීම සිදු නොකරන බව ප්‍රකාශ කළා. ඔවුන් කියා සිටියේ තීන්දුවෙන් ඉදිරියේදී අසීමිත වන්දි ඉල්ලීම් ඇති විය හැකි බවත්, එය ජාත්‍යන්තර සමුද්‍රීය වගකීම (maritime liability) ක්‍රමයට බලපාන බවත්ය.
එසේ නම් මෙහිදී අපට අසන්නට සිදුවන මූලික ප්‍රශ්නය මෙයයි.
ඩොලර් බිලියනයක වන්දියක් ලබාදීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබියදී, ශ්‍රී ලංකාවට එම මුදල් ලබාගැනීමට නොහැකි වී ඇත්තේ ඇයි?
මෙය අගවිනිසුරුවරයාගෙන් අසන්නේ ඇයි?......
ජනතාව දැනගත යුතු විශේෂ කරුණක් මෙහි තිබේ.
2025 ජූලි 24 වැනිදා එම ඓතිහාසික තීන්දුව ලබා දුන්නේ එවකට අගවිනිසුරු මුරුදු ප්‍රනාන්දු මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුත් පංච පුද්ගල විනිසුරු මඩුල්ලකි.
එම තීන්දුවෙන් අධිකරණය කියා සිටියේ නඩු කටයුතු එතැනින් අවසන් නොවන බවයි.
අධිකරණය තමන්ගේ බලය තවදුරටත් රඳවාගෙන, නියෝග ක්‍රියාත්මක කිරීම අධීක්ෂණය කිරීමට ඉදිරියටත් කටයුතු කළ යුතු බව තීන්දුවේ සඳහන් වුණා.
තවද, විශ්‍රාම ගැනීමට නියමිතව සිටි එවකට අගවිනිසුරුවරිය වෙනුවට නව අගවිනිසුරුවරයා පත් වූ පසු එම පංච පුද්ගල මඩුල්ලේ පුරප්පාඩුව පිරවීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද තීන්දුවේ සඳහන් වුණා.
ඉන් දින තුනකට පසුව, 2025 ජූලි 27 දා ප්‍රීති පද්මන් සූරසේන මහතා අගවිනිසුරු ධුරයට පත්වුණා.
ඒ නිසා මෙතැනදී කිසිදු පුද්ගලයෙකුට අසාධාරණ චෝදනාවක් එල්ල කිරීම නොවෙයි අපගේ අරමුණ.
අප අසන්නේ ඉතා සරල ප්‍රශ්න කිහිපයක් පමණයි.
1. තීන්දුවේ සඳහන් කළ පරිදි මුල් පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ අඛණ්ඩ ක්‍රියාදාමය පවත්වාගෙන යාම කියන කාරණයට සිදු වුණේ කුමක්ද?
2. නව අගවිනිසුරුවරයා ලෙස ප්‍රීති පද්මන් සූරසේන මහතා එම තීන්දුවේ 899 වැනි ඡේදය අනුව ගත් පියවරයන් මොනවාද?
3. ඩොලර් මිලියන 250ක පළමු වාරිකය 2025 සැප්තැම්බර් 23 දා නොලැබුණු පසු, එය වහාම අයකර ගැනීමට අධිකරණය ගත් ක්‍රියාමාර්ග මොනවාද?
4. වන්දි නියෝගය ක්‍රියාත්මක කිරීමේ අධිකරණ අධීක්ෂණය සිදු වූ ආකාරය කුමක්ද?
5. ශ්‍රී ලංකාවට හිමි වූ ඩොලර් බිලියන 1ක නීතිමය හිමිකම අද වන විට ප්‍රායෝගිකව මුදල් බවට පත් කිරීමට නොහැකි වී ඇත්තේ කුමන නීතිමය හෝ පරිපාලන බාධාවක් නිසාද?
තවත් වැදගත් කරුණක් තිබෙනවා....
2025 සැප්තැම්බර් මාසයේදී X-Press Pearl සම්බන්ධ පාර්ශ්වයන් වන්දි ගෙවීම නොකිරීමේ කාරණය නැවත ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියට පැමිණියා.
එහිදී විභාගය සිදු වූයේ විනිසුරුවන් තිදෙනෙකුගෙන් යුත් මඩුල්ලක් ඉදිරියේය. එම අවස්ථාවේදී නියෝගය ක්‍රියාත්මක කිරීමට ගත හැකි පියවර පිළිබඳව නීතිපතිවරයාගෙන් වාර්තාවක් ඉල්ලා තිබුණා.
මෙහිදී ජනතාවට තවත් ප්‍රශ්නයක් ඇතිවීම ස්වාභාවිකයි.
2025 ජූලි 24 තීන්දුවෙන්ම අධිකරණය තමන්ගේ බලය තවදුරටත් රඳවාගෙන තිබියදී, එම නඩුවේ පසුව සිදු වූ ක්‍රියාදාමය වෙනස් වුණේ කෙසේ ද?
ඒ වෙනසට නීතිමය හේතුව කුමක්ද?
මේක අගවිනිසුරුට කරන චෝදනාවක්ද?...
නැහැ. අප කියන්නේ මේ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් අවශ්‍ය බවයි.
මන්ද, රටට ඩොලර් බිලියනයක් ලබාගැනීමට නීතිමය මාර්ගය ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් විවෘත වී තිබුණා.
ඒ මුදල ගෙවීමට අධිකරණයම නියෝග කර තිබුණා.
පළමු වාරිකය ගෙවීමට නිශ්චිත දිනයක් පවා නියම කර තිබුණා.
එහෙත් එම දිනය පැමිණි විට මුදල් ලැබුණේ නැහැ.
X-Press Feeders පාර්ශ්වය එම ගෙවීම ප්‍රතික්ෂේප කළ බව ඔවුන්ගේම ප්‍රකාශවලින් තහවුරු වෙනවා.
එහෙම නම් මේක, නෞකා සමාගමේ වගකීමක් පමණක්ද? නැතිනම්, ශ්‍රී ලංකා රාජ්‍යයේ නීතිය ක්‍රියාත්මක කිරීමේ යාන්ත්‍රණයේ දුර්වලතාවක්ද? නැතිනම්,
අධිකරණ නියෝගය ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලියේ ගැටලුවක්ද? එසේත් නැතිනම් මේ සියල්ලේම එකතුවක්ද?
මේ ගැන ජනතාවට දැනගැනීමට පූර්ණ අයිතියක් තිබෙනවා.
ඩොලර් බිලියනයක් යනු කුඩා මුදලක් නොවේ....
ඩොලර් බිලියනයක් යනු සාමාන්‍යයෙන් දේශපාලන කතාබහකදී අමතක කළ හැකි සංඛ්‍යාවක් නොවේ.
එය ශ්‍රී ලංකාවේ ජනතාවගේ බදු මුදල්වලින් පියවිය යුතු බර, අඩු කළ හැකි මුදලක්.
ධීවරයන්ට වන්දි ගෙවීමට, මුහුදු පරිසරය නැවත ප්‍රතිස්ථාපනය කිරීමට, වෙරළ සංරක්ෂණයට, පාරිසරික හානියට,
අනාගත සාගර ආපදා වැළැක්වීමට,
හා විනාශ වූ ජන ජීවිත යම් තරමකට හෝ යථා තත්ත්වයට පත් කිරීමට
යොදාගත හැකි මුදලකි.
ශ්‍රේෂ්ඨාධිකරණය පවා නියෝග කර තිබුණේ එම මුදල් වෙනම වන්දි සහ පරිසර ප්‍රතිසංස්කරණ සහ ආරක්ෂණ අරමුදලකට ( Compensation and Environment Restoration and Protection Fund) යොමු කර, වන්දි හා පරිසර ප්‍රතිස්ථාපනය සඳහා භාවිත කළ යුතු බවයි.
එහෙම නම්,
එවැනි මුදලක් ලබාගැනීමේ ක්‍රියාවලියේ එක පියවරක්වත් ප්‍රමාද වීමට ඉඩ දිය හැකිද?
අපට අවශ්‍ය වන්නේ දේශපාලන පිළිතුරක් නොවේ....
අපට අවශ්‍ය වන්නේ ලේඛන සහිත පිළිතුරකි.
අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා රටට පැහැදිලි කළ යුතු කරුණු කිහිපයක් තිබෙනවා. ඒවා නම්,
• 2025 ජූලි 24 තීන්දුවෙන් පසු සූරසේන මහතා කළේ කුමක්ද?
• එම තීන්දුව ක්‍රියාත්මක කිරීම සඳහා අධිකරණය ගත් පියවර මොනවාද?
• මුල් පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ අඛණ්ඩ ක්‍රියාදාමය සම්බන්ධයෙන් සිදු වූයේ කුමක්ද?
• ඩොලර් මිලියන 250 නොගෙවීමෙන් පසු ගත් ක්‍රියාමාර්ග මොනවාද?
• අද වන විට ඩොලර් බිලියනයෙන් කොපමණ මුදලක් ඇත්ත වශයෙන්ම ශ්‍රී ලංකාවට ලැබී තිබේද?
• ඉතිරි මුදල ලබාගැනීමට දැන් සිදුකරමින් සිටින නීතිමය ක්‍රියාමාර්ග මොනවාද?
මේවා අසන්නේ අගවිනිසුරුවරයාගේ ගෞරවයට හානි කිරීමට නොවේ. අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමටමයි.
මන්ද අධිකරණයේ විශ්වාසනීයත්වය රැකෙන්නේ ප්‍රශ්න නො ඇසීමෙන් නොවේ. අධිකරණයේ ස්වාධීනත්වය රැකෙන්නේ
ප්‍රශ්නවලට පැහැදිලි, සාක්ෂි සහිත පිළිතුරු ලබාදුන් විටය.
අවසාන ප්‍රශ්නය.....
2025 ජූලි 24 වැනිදා ශ්‍රී ලංකා ජනතාවට ලැබුණේ ඉතිහාසගත නීතිමය ජයග්‍රහණයක්.
ඩොලර් බිලියනයක වන්දියක්.
අද අපට අසන්නට සිදුවී තිබෙන්නේ:
“එම බිලියනය කෝ?”
“එය ලබාගැනීමට බාධාව කුමක්ද?”
“අධිකරණ නියෝගය ක්‍රියාත්මක කළේ කෙසේද?”
“ක්‍රියාවලිය දුර්වල වුණේ කොතැනදීද?”
“වගකිවයුත්තන් කවුද?”
මෙම ප්‍රශ්නවලට අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතාගෙන් රටට පැහැදිලි කිරීමක් ලැබිය යුතුය.
ඩොලර් බිලියනයක් යනු කාගේවත් පෞද්ගලික මුදලක් නොවේ. එය මේ රටේ ජනතාවට හිමි වන්දියකි. ඒ නිසා, “X-Press Pearl වන්දියට සිදු වූයේ කුමක්ද?” යන්න සෙවීම දේශපාලන අරමුණක් නොව, ජනතාවගේ අයිතියකි.
රටේ පරිසරයට සිදු වූ විනාශයට වන්දි ලබාගැනීම රජයක වගකීමකි. එම වන්දි ලබාදීමට අධිකරණය නියෝග කළ පසු එය ක්‍රියාත්මක කිරීම අධිකරණ පද්ධතියේද වගකීමකි.
එබැවින් ඩොලර් බිලියනයක වන්දියට සිදු වූයේ කුමක්දැයි රට දැනගත යුතුය.
අගවිනිසුරුතුමනි, මේ ප්‍රශ්නයට රටට පැහැදිලි පිළිතුරක් තිබේද?
ජයලත්ගේ සුනිල් ගාමිණී ✍️



