මුල් පිටුවට
නවතම ප්‍රවෘත්තිPolitical

PTA අහෝසි කිරීමක්ද? ජනමාධ්‍ය නිදහසත්, වෘත්තීය අරගලත් පාලනය කිරීමක් ද?

ලියුවේ Admin
PTA අහෝසි කිරීමක්ද? ජනමාධ්‍ය නිදහසත්, වෘත්තීය අරගලත් පාලනය කිරීමක් ද?

ශ්‍රී ලංකාවේ දශක ගණනාවක් තිස්සේ දැඩි විවේචනයට ලක්වූ 1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත ( PTA ) වෙනුවට නව නීතියක් ගෙන ඒම පිළිබඳ සාකච්ඡාව යළිත් මතු වී තිබේ.

2026 සැප්තැම්බර් 22 දින නිකුත් කළ සංශෝධිත Protection of the State from Terrorism Bill (PSTB2) හි ප්‍රකාශිත අරමුණ වන්නේ PTA වෙනුවට නව ත්‍රස්ත විරෝධී (counter-terrorism) නීති රාමුවක් හඳුන්වාදීමය.

රජයේ පාර්ශවය පවසන්නේ මෙය පැරණි නීතියේ අඩුපාඩු නිවැරදි කරමින් නව ආරක්ෂණ ක්‍රමවේද හඳුන්වාදීමක් කියාය.

නමුත් ප්‍රශ්නය වන්නේ PTA යන නම ඉවත් කිරීම පමණක් ප්‍රමාණවත්ද? යන්නය.

වඩා වැදගත් ප්‍රශ්නය වන්නේ,

රාජ්‍යයට ලැබෙන විශේෂ බලතල කවරේද?

ඒවා භාවිත කළ හැක්කේ කුමන තත්ත්වයන් යටතේද?
 

අධිකරණයේ පූර්ව අධීක්ෂණය තිබේද?
 

මාධ්‍යවේදියෙකුට, වෘත්තීය සමිති නායකයෙකුට හෝ විරෝධතාකරුවෙකුට එම නීතිය යටතේ ඇති අවදානම කුමක්ද?

යන මේවාය.

ත්‍රස්තවාදය යනු කුමක්ද?....

Counter-terrorism නීතියක මූලිකම කරුණ වන්නේ “ත්‍රස්තවාදය” යන වචනයට දෙන නිර්වචනයයි.

නව කෙටුම්පත ත්‍රස්තවාදය සම්බන්ධ නිර්වචනයේ කොටස් කිහිපයක් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට සමීප කිරීමට උත්සාහ කර ඇත. නමුත් විවේචකයන් පෙන්වා දෙන්නේ රාජ්‍ය දේපළ, පරිසරය, සංස්කෘතික දේපළ, electronic systems සහ මහජන සෞඛ්‍යයට අවදානමක් ඇති කරන ක්‍රියා වැනි පුළුල් කාණ්ඩද ත්‍රස්තවාදයේ නිර්වචනයට සම්බන්ධ කර ඇති බවය.

විශේෂයෙන් Ambika Satkunanathan පෙන්වා දෙන්නේ එවැනි දේපළ හානි සම්බන්ධ ක්‍රියා terrorism බවට පත්වීම සඳහා, ජීවිතයට ඉහළ මට්ටමේ අනතුරක් හෝ විශාල ආර්ථික හානියක් ඇතිවීම වැනි සීමා පැහැදිලිව තිබිය යුතු බවය. 

Ambika Satkunanathan යනු ශ්‍රී ලංකාවේ ප්‍රකට මානව හිමිකම් නීතිඥවරියක්, පර්යේෂකවරියක් සහ මානව හිමිකම් ක්‍රියාකාරිනියකි. ඇය විශේෂයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ නීති, අත්අඩංගුව හා රඳවා තැබීම, බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, වධහිංසා, හමුදාකරණය, සංක්‍රාන්තික යුක්තිය සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ කටයුතු කළ තැනැත්තියෙකි.

ඇය පෙන්වා දෙන්නේ ඉහතින් දැක්වූ  සීමා, නොමැති වීම නිර්වචනය පුළුල් කිරීමට ඉඩ සලසන බවය. මෙය නීතිමය වශයෙන් ඉතා වැදගත් කරුණකි.

මන්ද, “ත්‍රස්තවාදී ක්‍රියාවක්” සහ “බරපතළ අපරාධයක්” අතර සීමාව අපැහැදිලි වුවහොත්, සාමාන්‍ය අපරාධයකට counter-terrorism නීතිය යටතේ විශේෂ බලතල යෙදීමේ අවකාශය වැඩි විය හැකි බැවිනි.

ජනමාධ්‍ය නිදහසට ඇති ප්‍රශ්නය....

නව කෙටුම්පතේ එක් වැදගත් කරුණක් වන්නේ පුවත්පත් කලාව, පර්යේෂණ, උපහාසය, දේශපාලන විවේචන, උපදේශනය සහ විසම්මුතිය (journalism, research, satire, political criticism, advocacy and dissent) තනිවම ත්‍රස්තවාදය නොවන බවට ආරක්ෂාවක් ලබාදීමය. මෙය වැදගත් ආරක්ෂණයකි.

එහෙත් එය සමඟම වගන්ති 9 සහ 10 පිළිබඳ අවධානය යොමු කළ යුතුය.

වගන්තිය 9 මගින් ත්‍රස්තවාදය "දිරිගැන්වීම" (terrorism “encouragement”) සම්බන්ධ ප්‍රකාශ, වචන, සංඥා හෝ දෘශ්‍ය නිරූපණ අපරාධකරණය ( criminalise ) කරන අතර, වගන්තිය 10 මගින් “ත්‍රස්තවාදී ප්‍රකාශන”( “terrorist publications”) බෙදාහැරීම හා ඉලෙක්ට්‍රොනික සම්ප්‍රේෂණය electronic transmission ඇතුළු ක්‍රියා සම්බන්ධ වරදවල් ඇති කරයි.

එවිට මතුවන ප්‍රශ්නය සරලය මාධ්‍යවේදියෙකු ත්‍රස්තවාදයක් වාර්තා කරන්නේද?
නැතිනම් එය උසිගන්වන්නේද?

මෙම දෙක අතර සීමාව පැහැදිලිව ක්‍රියාත්මක නොවුණහොත් මාධ්‍ය ක්‍රියාකාරකම් පිළිබඳ නීතිමය අවදානමක් ඇතිවිය හැකිය.

නව කෙටුම්පතේ යහපත් විශ්වාසයකින් යුත් පුවත්පත් කලාව සහ මහජන අවශ්‍යතා වාර්තාකරණය (good-faith journalism and public-interest reporting) සඳහා ආරක්ෂණ තිබීම නිසා සෑම මාධ්‍ය වාර්තාවක්ම ත්‍රස්තවාදී වරදක් (terrorism offence) බවට පත්වන්නේ නැත. එය පැහැදිලිව සඳහන් කළ යුතුය.

නමුත් එම ආරක්ෂණය ප්‍රායෝගිකව අත්අඩංගුවට ගැනීමට පෙර ක්‍රියාත්මක වන ආරක්ෂාවක්ද, නැතිනම් අත්අඩංගුවෙන් පසු අධිකරණයේදී ඉදිරිපත් කළ හැකි ආරක්ෂාවක්ද?

මෙය නීති සම්පාදනයේදී විමසිය යුතු මූලික ප්‍රශ්නයකි.

මාධ්‍යවේදියාගේ මූලාශ්‍රයට කුමක් වේද?......

අද ජනමාධ්‍යකරණය පුවත්පතක් සහ කැමරාවක් පමණක් නොවේ.

මාධ්‍යවේදියාගේ laptop එක, mobile phone එක, memory card එක, cloud account එක, encrypted communication එක සහ source එක සමඟ කරන messaging සියල්ලම වෘත්තීය මෙවලම්ය.

නව Bill එකේ සෙවීම, අල්ලා ගැනීම සහ විදුලි සංදේශ/දත්ත සේවා සපයන්නන්  වෙතින් තොරතුරු ලබාගැනීමට අදාළ විධිවිධාන තිබීම නිසා ඩිජිටල් මාධ්‍ය කලාව (digital journalism) සහ මූලාශ්‍ර රහස්‍යභාවය (source confidentiality) පිළිබඳ ප්‍රශ්න මතුවේ.

2025 කෙටුම්පතේ තිබූ සංකේතන අගුළු හැරීමේ (encryption unlock) බලය සංශෝධිත කෙටුම්පතෙන් ඉවත් කර ඇති බවද විශ්ලේෂකයන් පෙන්වා දෙයි. එය වෙනසකි.

එහෙත් ඩිජිටල් උපාංග සහ සන්නිවේදනය සම්බන්ධ විමර්ශන බලතල තවමත් පවතී.

එබැවින් ප්‍රශ්නය වන්නේ, “මාධ්‍යවේදියෙකුගේ තොරතුරු මූලාශ්‍රය ආරක්ෂා කිරීමට නීතිය ප්‍රමාණවත් තරම් ශක්තිමත්ද?”යන්නය.

තොරතුරු නොදීමත් අපරාධයක්ද?....

තවත් සංවේදී කරුණක් වන්නේ වගන්තිය 15 ය.

නව Bill එක යටතේ, ත්‍රස්තවාදී වරදක් (terrorism offence) සම්බන්ධයෙන් දැනුවත්ව සිටියදී නීතියේ අවශ්‍යතාවයට අනුව තොරතුරු නොදීම criminal offence එකක් විය හැකිය. එවැනි වරදකට සැලකිය යුතු සිරදඬුවමක්ද යෝජනා කර ඇත.

මෙහිදී ජනමාධ්‍ය වෘත්තියේ ස්වභාවය ගැන සිතන්න.

මාධ්‍යවේදියෙකුට රහසිගත මූලාශ්‍රයකින් (confidential source) තොරතුරක් ලැබුණොත්?

නීතිඥයෙකුට තම සේවාදායකයාගෙන් තොරතුරක් ලැබුණොත්?

වෛද්‍යවරයෙකුට රෝගියෙකුගෙන් තොරතුරක් ලැබුණොත්?

මෙවැනි වෘත්තීය රහස්‍යභාවය සහ රාජ්‍ය ආරක්ෂක නීතිය අතර ගැටුමක් ඇතිවිය හැකි අවස්ථා පිළිබඳ පැහැදිලි ආරක්ෂක විධිවිධාන (safeguards) අවශ්‍ය වේ. මෙවැනි අවදානමක් පිළිබඳව විවේචකයන් විශේෂයෙන් අවධානය යොමු කර තිබේ.

එතකොට වෘත්තීය අරගල?..

මෙය තවත් වැදගත් කොටසකි.

වර්ජනයක් කිරීම = ත්‍රස්තවාදයක් කියා නව Bill එක කියන්නේ නැත.

ඒ වෙනුවට විරෝධතා, වැඩ වර්ජන සහ වෘත්තීය සමිති ක්‍රියාකාරකම් (protests, strikes and trade-union activity) තනිවම ත්‍රස්තවාදය (terrorism) නොවන බවට ආරක්ෂාවක් තිබේ.

එහෙත් ප්‍රශ්නය එතැනින් අවසන් නොවේ.

රැස්වීම සීමා කළ හැකි බලතල...

නව Bill එකේ වගන්තිය 51 යටතේ ඇතැම් රැස්වීම්, රැස්වීම්, පෙළපාළි හෝ වෙනත් ක්‍රියාකාරකම් සීමා කිරීමට නියෝග ලබාගත හැකිය.

තවද "හදිසි ජාතික ආරක්ෂක (“urgent national security”) තත්ත්වයක් ලෙස සැලකෙන අවස්ථාවක මහේස්ත්‍රාත්ගේ පූර්ව නියෝගයකින් තොරව පොලිසියට ක්‍රියා කර පසුව අධිකරණ අනුමැතිය ලබාගැනීමේ ආකාරයක් තිබෙන බව නවතම නීති විශ්ලේෂණ සඳහන් කරයි.

මෙය වෘත්තීය අරගල සම්බන්ධයෙන් ඉතා බරපතල ප්‍රශ්නයක් මතු කරයි.

උදාහරණයක් ලෙස,

වැටුප් වැඩි කිරීමක් ඉල්ලා වරාය සේවකයන් වර්ජනය කළහොත්?

විදුලි සේවකයන් සේවා කොන්දේසි වෙනුවෙන් විරෝධතාවක් කළහොත්?

ගුරුවරුන් වැටුප් හෝ සේවා කොන්දේසි වෙනුවෙන් රැස්වීමක් කළහොත්?

එම වෘත්තීය අරගලයම terrorism නොවුණත්, රැස්වීම, පෙලපාලි හෝ එයට සම්බන්ධ ක්‍රියාකාරකම් සීමා කිරීම සඳහා වෙනත් බලතල භාවිත කළ හැකිද?


එය Bill එක කියවා විමසිය යුතු ප්‍රශ්නයකි.


හමුදාවට පොලිස් බලතල...

නව Bill එක පිළිබඳ ඇති ප්‍රධාන විවේචනයක් වන්නේ පොලිසිය සතු අත්අඩංගුවට ගැනීම සහ සෝදිසි බලතල, සන්නද්ධ හමුදා සහ වෙරළාරක්ෂක බලකාය වෙතද ලබාදීමයි.


නවතම නීති විශ්ලේෂණයකට අනුව, හමුදා/වෙරළාරක්ෂක බලකා නිලධාරීන්ට සාධාරණ සැකය මත අත්අඩංගුවට ගැනීම, සෙවීම, නැවැත්වීම, ද්‍රව්‍ය භාරකාරත්වය සහ පුද්ගලයන්ගෙන් ප්‍රශ්න කිරීම වැනි බලතල ලබාදෙන ප්‍රතිපාදන පවතී.


මෙහි ප්‍රශ්නය වන්නේ හමුදාවට ත්‍රස්තවාදය වැළැක්වීමේදී සහාය වීම නොවේ.

ප්‍රශ්නය වන්නේ, “සාමාන්‍ය නීතිය ක්‍රියාත්මක කිරීමේ බලතල කොපමණ දුරකට හමුදාවට පැවරිය යුතුද?”යන්නයි.


විශේෂයෙන් මාධ්‍යවේදීන්, වෘත්තීය සමිති ක්‍රියාකාරීන් සහ සාමාන්‍ය විරෝධතාකරුවන් සම්බන්ධ සිද්ධීන්වලදී මෙම සීමාව ඉතා පැහැදිලි විය යුතුය.


PTA වෙනස් කළා යනු PTA බලතල සියල්ල ඉවත් කිරීමක් ද?....


නැත. නව Bill එකේ රැඳවුම් නියෝග, සීමා කිරීමේ නියෝග, සෝදිසි කිරීමේ බලතල, අත්අඩංගුවට ගැනීමේ බලතල, සංවිධාන තහනම සහ රැස්වීමේ සීමාවන් වැනි විශේෂ බලතල තවමත් තිබේ.

ඒ සමඟ අධිකරණ ආරක්ෂණ කිහිපයක්ද වැඩි කර ඇත.

ඒ නිසා 

“PTA එකේ කිසිම දෙයක් වෙනස් කර නැත”

කියන එකවත්, “PTA සම්පූර්ණයෙන්ම වෙනස්  කර ඇත” කියන එකවත් නිවැරදි නොවේ.

ඇසිය යුතු නිවැරදි ප්‍රශ්න වන්නේ:


පැරණි බලතලවලින් මොනවා ඉවත් කළාද?


මොනවා සංශෝධනය කළාද?


මොනවා තවදුරටත් තබාගෙන තිබෙනවාද?


අලුතින් මොන බලතල එකතු කළාද?


ඒවා භාවිත කිරීම අධිකරණයෙන් පූර්වයෙන් පාලනය කරනවාද?

යන්නය.


“ස්වාධීන මාධ්‍ය” සහ “රාජ්‍ය ආරක්ෂාව” අතර සීමාව...


ජනතාවගේ ජීවිත ආරක්ෂා කිරීම, ත්‍රස්තවාදී ප්‍රහාර වැළැක්වීම සහ ප්‍රචණ්ඩ සංවිධානවලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම රාජ්‍යයේ වගකීමකි.


එම නිසා ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයකට ප්‍රති ත්‍රස්ත විරෝධී (counter-terrorism) නීතියක් අවශ්‍ය විය හැකිය. නමුත් එම නීතියේ සාර්ථකත්වය මනින එකම සාධකය “කොපමණ පුද්ගලයන් අත්අඩංගුවට ගත්තාද?” යන්න නොවේ.


තවත් ප්‍රශ්නයක් තිබේ.

“අහිංසක දේශපාලන විවේචනය, මාධ්‍ය වාර්තාකරණය සහ වෘත්තීය අරගල ත්‍රස්තවාදයෙන් පැහැදිලිව වෙන් කර තිබේද?” යන්නයි.

එය පැහැදිලි නොවුණහොත්, ප්‍රති-ත්‍රස්තවාදී නීතියේ නීත්‍රයානුකූල අරමුණත්, මූලික නිදහසත් අතර සීමාවත් ගැටළුවක් බවට පත්විය හැකිය.

Human Rights Watch ද 2026 ජනවාරි මාසයේදී යෝජිත නව ප්‍රති ත්‍රස්ත (counter-terrorism) නීතියේ පැරණි PTA හා සමාන බලතල කිහිපයක් පවතින බවත්, ඒවා අතීතයේ සිදුවූ අයුතු භාවිතයන් නැවත ඇති කිරීමේ අවදානමක් ඇති කරන බවත් ප්‍රකාශ කර තිබුණි.

එහෙත් නව Bill එකේ වෙනස්කම්ද තිබේ....


මෙහිදී එක පැත්තක් පමණක් සඳහන් කිරීම සාධාරණ නොවේ. නව කෙටුම්පතේ:


අත්අඩංගුවෙන් පසු මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරීමේ කාලය අඩු කිරීම,


රැඳවුම් නියෝග සඳහා සීමා සහ අධිකරණ අධීක්ෂණය වැඩි කිරීම,


ස්වාධීන සමාලෝචන යාන්ත්‍රණයක් ඇති කිරීම,


නීතිඥ ප්‍රවේශය,


ළඟම ඥාතීයා දැනුවත් කිරීම,


වෛද්‍ය පරීක්ෂණය,


ප්‍රශ්න කිරීමේ ආරක්ෂණ ක්‍රම,


පුවත්පත් කලාව සහ මහජන උනන්දුව වාර්තා කිරීම සඳහා ව්යතිරේක,


වැනි කරුණු ඇතුළත් කර තිබේ. 


එසේම 2025 කෙටුම්පතේ තිබූ encryption unlock කිරීමේ විශේෂ ප්‍රතිපාදනය සංශෝධිත කෙටුම්පතේ එකෙන් ඉවත් කර ඇති බවද විශ්ලේෂකයන් පෙන්වා දෙයි.


එබැවින් නව Bill එකේ සියලුම වෙනස්කම් පසුගාමී යැයි හෝ සියල්ලම ප්‍රගතිශීලී යැයි කියා එක් වචනයකින් ප්‍රකාශ කළ නොහැක. 


අවසානයේ තිබෙන්නේ එකම ප්‍රශ්නයකි....


රාජ්‍ය ආරක්ෂා කිරීමට නීතියක් අවශ්‍යය.

නමුත් රාජ්‍යය ආරක්ෂා කරන නීතිය රාජ්‍යය විවේචනය කරන පුරවැසියා ආරක්ෂා කරන නීතියක්ද?


ත්‍රස්තවාදියා සහ මාධ්‍යවේදියා අතර වෙනස පැහැදිලිද?


ප්‍රචණ්ඩ කණ්ඩායම සහ වෘත්තීය සමිතිය අතර වෙනස පැහැදිලිද?


ත්‍රස්තවාදී ප්‍රචාරණය සහ ගවේෂණාත්මක පුවත්පත් කලාව (investigative journalism) අතර වෙනස පැහැදිලිද?


ප්‍රචණ්ඩ කැරැල්ල සහ සාමකාමී විරෝධතාව අතර වෙනස පැහැදිලිද?


මේ සීමා පැහැදිලි නම් ප්‍රති ත්‍රස්ත )counter-terrorism) නීතියක් ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහි නීතියක් බවට පත්වීමේ අවදානම අඩු ය.


නමුත් ඒ සීමා අපැහැදිලි නම්, නීතිය ක්‍රියාත්මක කරන නිලධාරියාගේ අර්ථකථනයට විශාල බලයක් ලැබේ.

එවිට අද විරුද්ධ පක්ෂයේ මාධ්‍යවේදියාට එරෙහිව භාවිත කළ හැකි නීතියක්, හෙට ආණ්ඩුවේ විවේචකයෙකුට එරෙහිව භාවිත කළ හැකිය.


අද වෘත්තීය සමිතියකට එරෙහිව භාවිත කළ හැකි බලයක්, හෙට වෙනත් වෘත්තීය සමිතියකට එරෙහිවද භාවිත කළ හැකිය.

ඒ නිසා ප්‍රශ්නය “මේ ආණ්ඩුව මේ බලතල හොඳින් භාවිත කරයිද?” යන්න පමණක් නොවේ.


වඩා වැදගත් ප්‍රශ්නය වන්නේ,

“ඕනෑම අනාගත ආණ්ඩුවක් මෙම බලතල අයුතු ලෙස භාවිත කළත්, පුරවැසියා ආරක්ෂා කිරීමට ප්‍රමාණවත් නීතිමය බාධක මේ පනත් කෙටුම්පත තුළ තිබේද?”

යන්නය.


PTA වෙනුවට නව නමක් පැමිණීම ප්‍රමාණවත් නැත.
නීතිය වෙනස් විය යුතුය.
එයටත් වඩා වැදගත් වන්නේ  රාජ්‍ය බලය සීමා කරන ආරක්ෂණ වෙනස් වීමය.

එය තීරණය වන්නේ නමෙන් නොව, වගන්තියෙන්, බලතලවලින් සහ ඒවාට එරෙහි අධිකරණ ආරක්ෂණවලින්ය.


තවමත් නීතියක් බවට පත් වී නොමැති, 2026 සැප්තැම්බර් 22 දින නිකුත් කළ සංශෝධිත Protection of the State from Terrorism Bill (PSTB2) නමැති පනත පිළිබඳ තියුණු සමාජ අවධානයක් යොමු කිරීම සෑම පුරවැසියෙකුගේම යුතුකමක් සේවා බරපතල වගකීමක් බව නිෂ්චිත ය.


ජයලත්ගේ සුනිල් ගාමිණී ✍️ 

සියලු ප්‍රවෘත්ති — Political

අගමැති රනිල් ලැජ්ජාවටත් පත් වූ ඥානසාර හිමියන්ගේ කෙරුවාව
නවතම ප්‍රවෘත්තිPolitical

අගමැති රනිල් ලැජ්ජාවටත් පත් වූ ඥානසාර හිමියන්ගේ කෙරුවාව

සිර දඬුවමට ලක් වූ ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් සමාජය තුළ මේ වන විට ඉතා උද්වේගකර කතා බහක් සිදු වෙමින් පවතී.  ගරු අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට ඥානසාර හිමියන්ට හිමි වූ දඬුවම අනුමත කරන හා…

හොරු ඇල්ලීමෙන් එහාට ජනතාවට අවශ්‍ය වගවීම
නවතම ප්‍රවෘත්තිPolitical

හොරු ඇල්ලීමෙන් එහාට ජනතාවට අවශ්‍ය වගවීම

වත්මන් ආණ්ඩුවේ ප්‍රධාන දේශපාලන තේමාවක් වී ඇත්තේ,  “හොරු අල්ලනවා.” “හොරකම් නවත්වනවා.” “මහජන මුදල් ආරක්ෂා කරනවා.” යන්නය. මේ සටන් පාඨවලට ජනතාවගේ අවධානය ලැබීම ස්වාභාවිකය. දූෂණයට එරෙහිව නීතිය ක්‍රියාත…

පොල්හේනේ වෙරළට දේශපාලන වඩදිය..
නවතම ප්‍රවෘත්තිPolitical

පොල්හේනේ වෙරළට දේශපාලන වඩදිය..

මාතර පොල්හේන සුන්දර වෙරළ තීරයේ අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමේ මෙහෙයුම යෙදී තිබුණේ පසුගිය අගෝස්තු මස 20 වැනිදා ය.  නමුත් ඒ 20 වැනිදා ආවේ නැත. අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමේ එම මෙහෙයුම සැප්තැම්බර් මස 24…

පොරොන්දු දී බලය ගත් පසු, නීතිය බාධාවක්ද?
නවතම ප්‍රවෘත්තිPolitical

පොරොන්දු දී බලය ගත් පසු, නීතිය බාධාවක්ද?

මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් ඇතැම් පොරොන්දු ආණ්ඩුවට ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය වුවත්, ඒවා ක්‍රියාත්මක කළ හැකිද යන්න ප්‍රශ්නයක් මේ වන විට මතු වී ඇති බව පෙනේ. මෙය විපක්ෂ දේශපාලනඥයෙකුගේ ප්‍රකාශයක්…