සිරිසේනගේ සිරා වැඩ සමඟ ගැට ගැසෙන එල්කාඩෝ රේගු බදු වංචාව

චතුරිකා සිරිසේන කියන්නේ හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේනගේ දියණියයි. මෛත්‍රීපාල සිරිසේන ජනපතිවරයා ලෙස සිටියදී ඇය ජනාධිපති තාත්තා නම් කෘතියක් රචනා කෙරුවාය.
පහතින් දැක්වෙන්නේ, එම පොතෙහි සඳහන් කොටසකි.
"....පෙර දිනයේම ලක්ෂ උයන නිවසේ සාමාජිකයෝ කද මළු බැඳ උත්සවයට සහභාගිවීමට යාගොඩ මහගෙදරට ගියහ. එදින මංඟල උත්සවයේ ඡායාරූප ගැනීමේ කටයුත්ත බාරව තිබුණේ තාත්තාටයි. එබැවින් ඔහු පෙර දින සවස් වරුවේ මහත් උනන්දුවෙන් ආම්පන්න සියල්ල සූදානම් කොට තැබුවේය. දිනය උදාවීමත් සමග මහත් උත්සව ශ්‍රීයෙන් මංඟල කටයුතු ආරම්භ විය. නිල ඡායාරූප ශිල්පියකුගේ ස්වභාවය මනාව ඉස්මතු කරමින් තාත්තා විවිධ කෝණ හරහා ඡායාරූප ගන්නට විය. විටෙක පුටු උඩ නගිමින්ද ඒවා යට රිංගමින්ද වැතිරෙමින්ද ඡායාරූප ගත් ඔහු තවත් වරෙක ජනෙල් පියන් මත එල්ලෙමින්ද පඩි උඩ නගිමින්ද මනාල යුවල රූප ගත කළේය. ඥාති සොයුරියද මල්ලීගේ අපූරු ඡායාරූපකරණය දැක සුන්දර ඡායාරූප ගොන්නක් තමාට හිමිවෙතැයි බලාපොරොත්තුවෙන් දිනය ගත කළාය. සවස් වරුවේ මනාල යුවල පිටව යන මෙහොතින් උත්සවයේ කටයුතු නිමා විය. උදෑසන සිට කාර්යබහුල වෙමින් වෙහෙස වූ තාත්තා මඳ වේලාවක් ගිමන් හැර රීලයෙන් ඡායරූප පිටපත් කර ගැනීමෙ අටියෙන් ඡායාරූපාගාරයට යන්නට පිටත් වූයේය. හේ ඡායාරූපාගාරයට ගොස් එහි වූ සේවකයාට කැමරාව බාර දුන්නේය.
නමුත් ඇසිල්ලෙන් එය පිරික්සූ මිනිසා කියු කතාවෙන් තාත්තාට හීන් දහඩිය දැම්මේය.
"මේකෙ එක පින්තූරයක් වත් වැදිල නෑනේ"
සැබැවින්ම එකදු ඡායාරූපයක්වත් කැමරාවේ සටහන් වී නොතිබුණි..."
(උපුටනය අවසන්ය)
පොටෝ නැති වුණාට වටේටම ගහලා....
චතුරිකා ගේ තාත්තා මෙරට ජනපතිවරයා වශයෙන් කටයුතු කර, ඒ ධුරයෙන් ඉවත් වීමෙන් පසුව ඔහුගේ කෙරුවාව ගැන පුරවැසියන්ටද සිහිපත් කරන්නට තිබෙන්නේද ඔය ටිකමය. එහෙත් අපරාදේ කියන්නට බැරිය. ඔහු වෙස්සන්තර ජාතකය කියවමින් මුළු රටම ගොනාට අන්දවමින් සිය පවුල ගොඩ දැම්මේය. කෙටියෙන්ම සඳහන් කරනවා නම් ඒ ගොඩ දැමීමේ තරම හෙළි දරව් වෙමින් තිබෙන්නේ දැන් ය.
පසුගියදා එල්කාඩෝ සමාගමේ හිමිකරු පොලිස් අත් අඩංගුවට පත් විය. මේ වෙනින් කවුරුවත් නොවේ. හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේනගේ පුත් දහම් සිරිසේන ගේ කසාද බිරිඳ ගේ තාත්තාය.
'ඇළුමිනියන්' පරිසරවේදියා.....
මෛත්‍රීපාල සිරිසේන ජනපතිවරයාව සිටියදී පරිසරය ආරක්ෂා කිරීම සඳහා යැයි ප්‍රකාශ කරමින් වඩු මඩු හා දැව සම්බන්ධයෙන් දැඩි නීති පැනවූයේය. ඒ "සිරා නීති" පිළිබඳව පරිසරවේදීන් පුක උඩ දමා ගෙන ගී සින්දු ලිවු බව පුරවැසියන්ට අමතක වෙන්නට විදියක් නැත. මේ නීති දැමීමේ යටි අරමුණ වූයේ පුතාගේ මාමණ්ඩියගේ ඇළුමිනියම් ව්‍යාපාරය ගොඩ දැමීම බව ඒ දිනවල කාටත් කල්පනා නොවූ බව නම් සහතිකය.
වන වගාව විනාශ කරමින් දොර ජනෙල් වලට දැව ගන්නවාට වඩා ඇළුමිනියන් කෙතරම් අපූරුද? ඒ සිතුවිල්ල හරිම නිර්මාණශීලීය. තක්කඩිකම හිතා ගන්නටත් බැරි තරමේය. සිරිසේන උන්දෑගේ දහම් ගැට කෙරුවාව එහෙමය.
පොළොවෙන් මතු වූ හාදයාගේ දිව්‍යලෝක දෑවැද්ද ...
2015 වර්ෂයේ එවකට පැවැති ජනාධිපතිවරණ ප්රචාරක කටයුතු කෙරෙමින් පැවතියදී, පොලීසිය විසින් එල්කාඩෝ සමාගමේ හිමිකරු වූ රොහාන් වීරරත්න සන්තකයේ තිබී විශාල විදේශ මුදල් තොගයක් අත්අඩංගුවට ගන්නා ලදී. එහි වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 2.5කි. එවකට ඩොලරයක සාමාන්‍ය මිල රුපියල් 133ක් විය. ඒ අනුව එසේ අත්අඩංගුවට ගත් මුළු මුදල රුපියල් 332,500,000ක් බවට ගණන් හදා ගත හැකිය.
මෙරට පැවැති විනිමය පාලන පනත අනුව එවැනි දැවැන්ත විශාල මුදලක් ළඟ තබා ගැනීම නීති විරෝධී කටයුත්තක් විය. එහෙත් එවර පැවැති ජනපතිවරණයෙන් පසුව මෙරට ජනපතිවරයා වූ මෛත්‍රීපාල සිරිසේන එම මුදල් එල්කාඩෝ හිමිකරු වෙත මුදා හරින ලදී. ඒ වන විටත් මෛත්‍රීපාල සිරිසේනගේ පුත්‍රයා එල්කාඩෝ හිමිකරුගේ දියණිය සමග විවාහ ගිවිසගෙන තිබුණි. නව මනාළ යුවලට ජනාධිපති තාත්තා ලබා දුන් විවාහ ත්‍යාගයට ඒ මුදල් තොගයද එකතු වන්නට ඇත.
කෙසේවෙතත් මේ වන විට එල්කාඩෝ සමූහය සම්බන්ධ රේගු හා බදු වංචාවක් වාර්තා වී තිබේ. එම රේගු හා බදු වංචාවට අදාලව එල්කාඩෝ සමාගමේ හිමිකරුගේ පුත්‍රයා ඇතුළු දෙදෙනෙකු ලබන 05 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඕෂධ මිගාර මහාරච්චි මහතා ( 2026 අගෝස්තු 03) නියෝග කළ අතර, තවත් පුද්ගලයන් කිහිප දෙනෙකු සම්බන්ධයෙන්ද විමර්ශන ක්‍රියාත්මක වෙමින් පවතී.
'එළ මස්සිනාගේ ' බ්‍රහ්ම ගැහිල්ලේ තරම...
රේගු දෙපාර්තමේන්තුව අධිකරණයට ඉදිරිපත් කළ කරුණු අනුව, සුඛෝපභෝගී මෝටර් රථ සහ වෙනත් භාණ්ඩ ආනයනය කිරීමේදී සැබෑ වටිනාකමට වඩා අඩු වටිනාකම් සහිත ඉන්වොයිසි (Undervaluation) භාවිත කිරීම, ඒ හරහා රේගු බදු සහ අනෙකුත් බදු අඩුවෙන් ගෙවීම සහ රජයට සැලකිය යුතු බදු ආදායමක් අහිමි කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබේ. එක් මර්සිඩීස් බෙන්ස් රථයක් සම්බන්ධයෙන් පමණක් රුපියල් මිලියන 4කට අධික බදු මුදලක් අහිමි වූ බවට ද රේගුව අධිකරණයට කරුණු දක්වා ඇත.
අධිකරණයට මෙතෙක් ඉදිරිපත් කර ඇති කරුණු අනුව, එල්කාඩෝ සමූහයට අදාළ සමාගම් සහ පුද්ගලයන්ට එරෙහිව මූලික වශයෙන් පහත සඳහන් චෝදනා සම්බන්ධයෙන් විමර්ශන සිදුවෙමින් පවතී.
වාහන ආනයනය කිරීමේදී රේගුවට ඉදිරිපත් කළ ලේඛන සහ වටිනාකම් සම්බන්ධයෙන් අසත්‍ය හෝ නොසම්පූර්ණ තොරතුරු ඉදිරිපත් කිරීම.
ආනයනික වාහනවල සැබෑ වටිනාකම, වර්ගීකරණය හෝ පිරිවිතර වැරදි ලෙස ප්‍රකාශ කිරීම මඟින් රේගු බදු, ආනයන බදු සහ අනෙකුත් රජයේ අයකිරීම් අඩුවෙන් ගෙවූ බවට වන චෝදනා.
එම ක්‍රියාවන් හරහා රජයට විශාල බදු ආදායමක් අහිමි කළ බවට වන චෝදනා.
එම ගනුදෙනු සඳහා සම්බන්ධ වූ බව කියන සමාගම් නිලධාරීන් සහ අධ්‍යක්ෂවරුන්ගේ වගකීම පිළිබඳ විමර්ශන.
මෙම එල්කාඩෝ ව්‍යාපාරය ඇළුමිනියම් ගෘහ හා කාර්යාලීය උපකරණ නිෂ්පාදනය කරන ආයතනයක් ලෙස පැවති අතර, එල්කාඩෝ පවුල සිරිසේන පවුලට සම්බන්ධ වීමත් සමගම ලංකාවට මෝටර් රථ ආනයනය කිරීමට පටන් ගෙන ඇති බව වාර්තා වේ. ඒ සමග එල්කාඩෝ මෝටර් ඉංජිනීරියන් සමාගම බිහිවි බදු මුදල් වංචා කරමින් බෙන්ස් , BMW රථ ලංකාවට ගෙන්වා ඇති බවද පැවසේ. ඒවා සමගම මේ සමාගම EMEC ලේබලය යටතේ විද්‍යුත් මෝටර් රථ ගෙන්වීම ආරම්භ කළේය. මාමලා සහ බෑනලා එක්ව රුපියල් කෝටි පන්සීයකටට වැඩි බදු මුදල් වංචා කර ඇති බවට මේ වන විට අනාවරණය වී තිබේ.
මන්ත්‍රීට බොන්න දී මන්ත්රීකමට කෙළවීම.....
මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පූර්ණකාලීන දේශපාලනයට පිවිසෙන්නේ එවකට පොළොන්නරුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාව සිටි ලීලාරත්න විජේසිංහගේ පෞද්ගලික ලේකම් වරයා විදියටය. ලීලාරත්න විජේසිංහ මන්ත්‍රීවරයා පසුකාලීනව බීමත්කමට ඇබ්බැහි වී තිබේ.
එවකට අග්‍රාමාත්‍ය තුමිය වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය, පොළොන්නරුවේ සංචාරයක් සඳහා යාමට වැඩ කටයතු සංවිධානය විය. මැතිණිය පැමිණෙන දින උදය පාන්දර මෛත්‍රීපාල සිරිසේන විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී ලීලාරත්න විජේසිංහ හිට ගෙන ඉන්නට බැරි තරමට මත් පැන් ගෙනවිත් දුන් බවද, පොළොන්නරුවට පැමිණි අගමැතිණිය ඔහුගේ බේබදුකම කෙරෙහි වූ කේන්තියෙන් පොලොන්නරුව ආසන සංවිධායක කම මෛත්‍රීපාලට පැවරූ බවද තතු දන්නෝ පවසති.
මෛත්‍රීපාල සිරිසේන සිය ඉලක්කය සපුරා ගත්තේ කාටවත් නොදැනෙන තරමේ කපටිකමිනි.
මහින්ද රාජපක්ෂ සමග එකට ආප්ප කා ජනපති අපේක්ෂකත්වයට කරණමක් ගැසුවේද කිසි කෙනෙකුට නොදැනෙන විදියටය.
එල්කාඩෝ සමාගමට එරෙහිව පවරා ඇති රේගු හා බදු වංචා නඩුව තුළින්ද හෙළිදරව් වන්නේ සුදු ඇඳගත් මෛත්‍රීපාල ගේ හපන්කම් මිස අන් යමක් නොවේ.
දක්ෂිණ ලියනාරච්චි ✍️



