මුල් පිටුවට
නවතම ප්‍රවෘත්තිPolitical

වෙරළ අල්ලාගෙන සිටින්නේ පාතාලයන් විතර ද? ඒවා ඉවත් කළ විට ප්‍රශ්නය ඉවරයි ද?

ලියුවේ Admin
වෙරළ අල්ලාගෙන සිටින්නේ පාතාලයන් විතර ද? ඒවා ඉවත් කළ විට ප්‍රශ්නය ඉවරයි ද?

ජනාධිපති අනුර කුමාර දිසානායක සැප්තැම්බර් 6 දා කළ ප්‍රකාශය පිළිබඳව පළ වූ වාර්තා අනුව, වැල්ලවත්ත වෙරළේ ස්ථාන 26ක් පාතාලයට සම්බන්ධ පුද්ගලයන් අල්ලාගෙන සිටින බවත්, ඔවුන් ඒවායින් ඉවත් නොවන්නේ නම්, ඉවත් කරන බවත් ඔහු ප්‍රකාශ කර තිබේ. 


මෙය ඉතා හොඳ තීරණයක් සහ මැදිහත්වීමක් බව මාගේ හැඟීමයි. නමුත් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ගෙන් ඇසිය යුතු අමතර ප්‍රශ්න කීපයක් තිබේ. ඒවා ආසන්නේ මා සතුව පවතින තොරතුරු අනුව මිස, මාගේ හිතළු ලෙස නොවන බවද පළමුවෙන් සඳහන් කළ යුතුය.


• වෙරළේ ඉඩම් අනවසරයෙන් අත්පත් කර ගෙන සිටින්නේ පාතාලයට සම්බන්ධ පුද්ගලයින් පමණක් ද?


• මෙවැනි නීති විරෝධී සහ අනවසර ඉදිකිරීම් සිදු කර ඇත්තේ වැල්ලවත්ත වෙරළ තීරයේ පමණක් ද?


• මෙම අනවසර සහ නීති විරෝධී ඉදිකිරීම් සිදු කොට ඇත්තේ ඔබ ජනාධිපති පදවියට ඒමට පෙර පමණක් ද?


• මෙම ඉදිකිරීම් ඇතිවීමට ඉඩ දී ඇත්තේ කවුරුන්ද යන්න පිළිබඳව ඔබ සොයා බලා තිබේ ද?


• වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව අයත් වන ඇමැතිවරයා සහ නියෝජ්‍ය අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් සොයා බලා පියවර ගෙන තිබෙනවා යැයි ඔබ විශ්වාස කරනවාද?


• ඔබගේ කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර, වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස පත් කළ පුද්ගලයා මේ වසර 2 ක තුළ පමණක් මේ අනවසර සහ නීති විරෝධී ඉඳිකිරීම් සඳහා උපකාර සහ අනුබල දීම ඇති බව ඔබට මෙතෙක් වාර්තා වී නැති ද?


• මේ ඉඩම් ජාවාරමේ සහ නීති විරෝධී මෙන්ම අනවසර ඉදිකිරීම් පිටුපස සිටින දූෂිත නිලධාරීන් පිළිබඳව, නම් ගම් සහ තනතුර සමඟ සමාජ මාධ්‍ය ඔස්සේ හෙළිදරව් කර ඇති බව ඔබට වාර්තා වී නැති ද?


• වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ සිටින එම දූෂිතයන්ව ආරක්ෂා කිරීම සඳහා, ඔබගේ ජනාධිපති ලේකම් කාර්යාලයේ සිටින ඉහළ නිලධාරීන් විසින් අදාළ දෙපාර්තමේන්තුවේ සේවය කරන මාණ්ඩලික නිලධාරීන් ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවා, මාධ්‍යට තොරතුරු යෑම වැළැක්වීමට බිය ගැන්වීම් සිදු කළ බව ඔබ දන්නේ නැති ද?


වසරකට පෙර කළ හෙළිදරව් වලට වුණ දේ..


ඔබගෙන් ඇසූ ඉහත සඳහන් කළ සියලු කාරණා පිළිබඳව මම මීට මාස 12 කට පෙර සිට Lanka e News වෙබ් පුවත්පත ඔස්සේ සහ මගේ මුහුණු පොත ඔස්සේ ලිඛිත, ශ්‍රව්‍ය සහ ශ්‍රව්‍ය දෘශ්‍ය සාක්ෂි සාධක සහිතව රටට හෙළිදරව් කොට තිබේ.


මේ කිසිවකටවත්, කිසිදු සාධනීය පියවරක් ගැනීමට ඔබත්, ඔබගේ කැබිනට්ටුවේ සිටින පරිසර ඇමැති ධම්මික පටබැඳී, ඔහුගේ නියෝජ්‍ය ඇමති ඇන්ටන් ජයකොඩි හෝ ඔබගේ කැබිනට්ටුව විසින් අනුමත කොට එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස පත් කර සිටින මාහාචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර හෝ මෙතෙක් ක්‍රියා කොට ඇති බවට දැනගන්නට නැත.


ඔබ, පසුගිය කාලයේ එක්තරා දිනක මඩකලපුව දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේදී වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ ගැටළු සාකච්ඡා කරන අවස්ථාවේදී, අඩුම තරමින් එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ටර්නි ප්‍රදීප් කුමාරව එම රැස්වීමට ගෙන්වා ගැනීමටවත් ඔබට නොහැකි වී තිබු අයුරු අප දුටුවෙමු.


එදින ඔබ අසනු ලැබූ ප්‍රශ්න වලට පිළිතුරු ලබා දුන්නේ ප්‍රාදේශීය ඉංජිනේරු තුල්සි නමැති නිලධාරියා ය. ඔබ ඇසූ ඇතැම් ප්‍රශ්න කිරීම්වලදී ඔහු නිරුත්තර සහ අසරණ වූ හැටි අපි දුටුවෙමු. එදා ඔබ අසන ලද ප්‍රශ්න වලට පිළිතුරු හෝ විසඳුම් අදටත් නොමැති බවට නම් අප තුළ ස්ථීරව විශ්වාසයක් ඇත.


මඩකලපුවේ සිට බේරුවල කතාව දක්වා...


එම රැස්වීමට පසුව මා විසින් ඔබගේ පුද්ගලික අවධානය යොමු කරමින් මාධ්‍ය ඔස්සේ ලියා පළ කළ ලිපියේදී කොළඹ , කළුතර, ගම්පහ, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක තුළ වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ දූෂිත නිලධාරීන් සිදු කරමින් සිටින ජාවාරම් සහ ඒවා ආරක්ෂා කරමින් ඒවාට අනුබල දෙමින් ක්‍රියා කරන අධ්‍යක්ෂ ජනරාල් ටර්නි ප්‍රදීප් කුමාර ගැනත් සාක්ෂි සාධක සහිතව හෙළිදරව් කළෙමි.


පසුගිය සැප්තැම්බර් 06 වැනි දා නැවතත් ඔබ, මේ දූෂිත ජාවාරම ගැන කතා කර,  ඊට කඩිනමින් නීතිය ක්‍රියාත්මක කරන බව කියන විට සතුටක් ඇති වුණ නමුත්, පසුව ඇති වූයේ කාලකන්නි කනස්සල්කි. ඊට හේතුව වන්නේ, මඩකලපු කතාවේ සිට බේරුවල කතාව දක්වා ගෙවුණු කාලය විලසම, බේරුවල කතාවේ සිට තවත් කොහේ හෝ කතාවක් කරන තුර කිසිදු සාධනීය පියවරකින් තොරව ගෙවී යනු ඇතැයි යන හැඟීම නිසා ය.


ඔබ පසුගිය 06 වැනි දා කියූ පරිදි පාතාලයට සම්බන්ධ පුද්ගලයන් පමණක් නොව මේ රටේ මහා ව්‍යවසායකයන් ලෙස වැජඹෙන නමගිය පිරිස් මෙන්ම ඉංදියානු ජාතිකයන් සහ ඊශ්‍රායලය ජාතිකයන් ද ඇතුළු බොහෝ විදේශිකයින් ද අපේ රටේ වෙරළ, නීති විරෝධී ලෙස අත්පත් කරගෙන අනවසර ඉදිකිරීම් සිදු කර තිබේ. මේවා පිළිබඳ ඔබ තවමත් දැනුම්වත් නැතිනම්, සියලු තොරතුරු සහිතව ඒ ගැනත් හෙළිදරව් කළ හැකි ය.


මිරිස්සේ "SARACA Hotel" නාඩගම....


මෙම ලිපිය දීර්ඝ නොකොට ඔබගේ දැනගැනීම සඳහා, නීතියේ දෑස් වසා දැමූ මිරිස්සේ "SARACA Hotel" නාඩගම පමණක් ඉතා කෙටියෙන් පහතින් සඳහන් කරමි.


ඉන්දියානු ජාතිකයෙක් විසින් 2024 වර්ෂයේ සිට ඉදිකරමින් පවතින මේ හෝටලය සඳහා බලපත්‍ර ලබා දී ඇත්තේ 2025.12.24 ය. එනම්, මෙම හෝටලය සඳහා බලපත්‍රය ලබා දී ඇත්තේ හෝටලය ඉදිකරමින් පවතින අතරතුරය. 


මෙය තනිකරම නීතිවිරෝධී ය. මීටර් 35 ක් වූ වෙරළ රක්ෂිත කලාපයේ බලපත්‍ර රහිතව හෝටලයක් ඉදිකරයි නම්, වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව සිදු කළ යුතු වන්නේ එයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කර ඉදිකිරීම් තහනම් කිරීම ය . නමුත් මෙහිදී සිදුව ඇත්තේ කිසිදු නීතිමය ක්‍රියාමාර්ගයක් නොගෙන ඉදිකරමින්  පවතින අනීතික හෝටලය සඳහා බලපත්‍ර ලබාදීමයි. ජනාධිපතිතුමා පසුගිය දිනකදීකදී අම්පාරේදී මෙන්ම පසුගිය 06 වැනි දා ද සඳහන් කළේ මෙයම නොවේද? 


මෙම SARACA Hotel ය සඳහා අනීතික අයුරින් බලපත්‍ර ලබාදුන් මහා මොලකරු වන්නේ වත්මන් ආණ්ඩුව විසින් පත් කළ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර ය.


මිරිස්ස ප්‍රදේශයේ ඉදිවෙමින් පවතින සංචාරක හෝටලයක් වන SARACA Hotel සඳහා අනීතික අයුරින් බලපත්‍ර ලබාදුන් ක්‍රියාවලිය පිලිබඳ අප විසින් මීට පෙර තැබූ අනාවරණයත් සමඟ, රටේ වෙරළ තීරයේ නීතියේ ආධිපත්‍යය පිළිබඳ බරපතල සංවාදයක් මතු විය. 


මාධ්‍ය මඟින් කොතෙක් කරුණු වාර්තා කළද, සිදුවීම කොතරම් පැහැදිලිවම නීති විරෝධී වුවද, ඊට අදාළ බලධාරීන් මේ සම්බන්ධයෙන් දැක්වූයේ නිහඬතාවයකි. එමගින් ඔවුන් පෙන්නුම් කළේ, නීතිය නමා හෝටල් සංවර්ධනයට පාර කපා දී ඇති අසුන්දර සත්‍යය ය.


ප්‍රාදේශීය මට්ටමින් මේ පිළිබඳ අදාළ සියලු වාර්තා ප්‍රධාන කාර්යාලය වෙත ලැබී තිබියදීත්, අද වන තෙක් වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් කිසිදු නීතිමය පියවරක් ගෙන නොමැත.


බලපත්‍රයෙන් අනුමත කරන ලද සීමාවන් සහ පරතරයන් සම්පූර්ණයෙන්ම උල්ලංඝනය කරමින් සිදුකරන මෙවැනි ඉදිකිරීමකදී සාමාන්‍ය නීතිමය පටිපාටිය වන්නේ


1. වහාම ඉදිකිරීම් නතර කිරීමේ නියෝග නිකුත් කිරීම.


2. අදාළ තැනැත්තන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම.


3. ලබා දී ඇති බලපත්‍ර සහ අනුමැතීන් වහාම අවලංගු කර දැමීම.


එසේ තිබියදීත්, පැහැදිලිවම පෙනෙන මෙම අක්‍රමිකතාව හමුවේ වෙරළ සංරක්ෂණ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා "දෙකන් බීරි" සේ  සිටින්නේ මන්ද යන්න ජනතාවට පැහැදිලි කළ යුතුය. 


මෙකී නිහඬතාව පිටුපස ඇත්තේ අසීමිත හිතවත්කම් ද? මුදල් බලය ද? දේශපාලඥයන්ගේ බලපෑම් ද? නැතහොත් වෙනත් නොකියන යටිකූට්ටු අරමුණක් ද?


මෙහි ඇති සුවිශේෂී භාවය වන්නේ මෙම අනීතික හෝටලය පවතින්නේ අධ්‍යක්‍ෂ ජනරාල් ටර්නි ප්‍රදීප් කුමාරගේ උපන් ගමෙහි වීමය. මේ වන විට ඉන්දියානු මහා කොමසාරිස් කාර්යාලය වෙතද ඇදී ගොස් ඇති මෙම දුෂණය පිලිබඳ පැමිණිලි කර ඇත්තේ අසල තිබෙන තවත් හෝටලයක අයිති කරුවෙකු වන තවත් ඉන්දියානු ජාතිකයෙකු විසින් ය.


අතේ මාට්ටු වන මෙවන් දුෂණයන් නිසා මෙරටට පැමිණෙන ආයෝජකයින් සෑහෙන කලකිරීමකට පත්ව ඇති අතර අප රටේ කීර්ති නාමය මෙමගින් ජාත්‍යන්තරව අපකීර්තියට පත්වීම කිසිසේත් අනුමත කළ නොහැක.


ලැබෙන ආරංචි මාර්ග අනුව මෙම ඉදිකිරිම සඳහා මුලික පරිසර ඇගයීම සිදු කර ඇත්තේද මෙම ඉදිකිරිම සිදු කරමින් පවතින අතර ය. පරිසර ඇගයීමක් සිදුකළ යුත්තේ අදාළ ඉදිකිරිමට පළමුව වුවත්, මෙම හෝටල් ඉඳි කිරීමේදී පරිසර ඇගයීම සිදු කොට ඇත්තේ බොහෝ දුරට ඉඳිකිරීම අවසන් කිරීමෙන් පසුවය. එවැනි පරිසර ඇගයීමක් සිදු කරන්නේ මොන බම්බුවකටදැයි අපට නම් තේරෙන්නේ නැත. 

මේවා සියල්ලම මුදල් වලට යටවූ ක්‍රියා බව ඉතා පැහැදිලිය.


එසේම මෙම ඉදිකිරිම සඳහා අවසර ලබා දී ඇත්තේ ස්ථිර තුරු ලතා මායිමේ සිට මීටර් 12කින් වුවත්, මේ වනවිට එය ඉඳිකිරීම් සිදු කොට ඇත්තේ සත්‍ය වශයෙන්ම මීටර් 9.6 ක දුරකින් ය. 


එසේනම් මෙම ඉදිකිරිම සිදු කළ පසු බලපත්‍රය ලබාදීමේදී දැන දැනම වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කොළඹ ප්‍රධාන කාර්යාලය මගින්  බලපත්‍ර කොන්දේසි සඳහා සාවද්‍ය අගයන් ඇතුළු කර ඇති බව පැහැදිලිය. ලැබෙන ආරංචි මාර්ග අනුව අධ්‍යක්‍ෂ ජනරාල් වරයාගේ දැඩි බලපෑම මත ප්‍රධාන කාර්යාලය නිලධාරීන්ටද මෙම අනීතින කටයුත්ත සඳහා සහයෝගය ලබා දීමට සිදුව ඇති බව වාර්තා විය.


දුෂණ මඩින්නට ආ මාලිමා ආණ්ඩුව විසින් කැබිනට් පත්‍රිකාවක් මගින් පත්වීම් ලබාදුන් වෙරළ සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල් වරයා තම බලය අභාවිතා කරමින් දුෂණයේ යෙදීම මාලිමා ආණ්ඩුවට සිදුවීම දෛවයේ සරදමකි.


පරිපාලනය නොදන්නා "මහාචාර්ය" දේශපාලන පත්වීම.....


රාජ්‍ය ආයතනයක ප්‍රධානියා ලෙස පත්විය යුත්තේ රටේ පවතින නීතිය, පරිපාලනය සහ රාජ්‍ය යන්ත්‍රණය පිළිබඳ මනා අවබෝධයක් ඇති පුද්ගලයෙකි. සාගර ජීව විද්‍යාව පිළිබඳ උපාධි හෝ මහාචාර්ය පදවි තිබූ පමණින් පරිපාලන අත්දැකීම් ලැබෙන්නේ නැත.


දේශපාලන හිතවත්කම් මත මෙවැනි තනතුරුවලට අතහැරෙන මහාචාර්යවරුන්ට නීතිය ක්‍රියාත්මක කිරීම සහ පරිපාලනය මෙහෙයවීම යනු "අහසට පොළොව මෙන්" නොතේරෙන විෂයයකි.


අවාසනාවකට මෙන්, මෙවැනි නුසුදුසු පුද්ගලයන් සංවේදී තනතුරුවලට පත්කිරීමත්, ඉන්  අනතුරව මෙවැනි අය පිළිබඳව මාධ්‍ය ඔස්සේ කරන හෙළිදරව් මගින්වත් වටහා ගැනීමට තරම් දූරදර්ශී මොළයක් වත්මන් දේශපාලන අධිකාරියේ ඇතැමුන්ට ද නැති බව මේ පත්වීම ලබාදීමෙන් මෙන්ම මේ දක්වාම ඔහුව එම තනතුරේ අඛණ්ඩව තබාගෙන සිටීමෙන් ම පැහැදිලි ය.


"සාගර ජීව විද්‍යාව" දන්නා මහාචාර්යවරයාට වෙරළ අයිනේ අනවසරයෙන් ඉදිවන හෝටලය නොපෙනෙන්නේ නම්, එය "ජීව විද්‍යාත්මක ආශ්චර්යයක්" මිස වෙන කුමක්ද?


එදා හොර තක්කඩි දේශපාලඥයන්ගේ දූෂිත අරමුණු වෙනුවෙන් වෙරළ සම්පත්, පරිසරය විනාශ කළා සේම, අදත් දේශපාලඥයන්ගේ උමතු තීරණ සහ පරිපාලනය නොදන්නා නිලධාරීන්ගේ නිද්‍රාශීලී පිළිවෙත හමුවේ, අපේ රටේ වෙරළ සංරක්ෂණයට දෙවියන්ගේම පිහිට පැතීමට සිදුවී ඇත. 


වෙරළ රැක ගැනීමට සිටින ආයතනයම නීති විරෝධී ඉදිකිරීම් වලට උදව් උපකාර කරනතාක් වැල්ලවත්තේ පාතාලයන් සහ මිරිස්සේ  "සාරකා" වැන්නන් ගේ නාඩගම් තවත් බොහෝ තැන් වල රඟදක්වනු නොඅනුමානය.


අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට එහා...


එබැවින් මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගෙන් ඇසිය යුතු ප්‍රශ්නය වන්නේ “අනවසර ඉදිකිරීම් කඩා ඉවත් කරනවා” යන්න පමණක් ප්‍රමාණවත්ද? යන්නය.


අප විශ්වාස කරන්නේ ඊට වඩා වැදගත් ප්‍රශ්න කිහිපයක් නිරාකරණය කරගත යුතුව තිබෙන බවයි. ඒවා නම්,


මෙම ඉදිකිරීම් ඇතිවීමට ඉඩ දුන්නේ කවුද?


වසර ගණනාවක් ඒවා නිරීක්ෂණය කළ රාජ්‍ය නිලධාරීන් කවුද?


අවසර ලබා දී තිබේ නම්, ඒවා නිකුත් කළේ කුමන පදනමකින්ද?


අල්ලස් ලබාගෙන නීති විරෝධී ඉදිකිරීම් ආරක්ෂා කළ බවට චෝදනා තිබේ නම් ඒ පිළිබඳ විමර්ශන සිදුවන්නේද?


පසුගිය වසර දෙක තුළ අලුතින් ඇති වූ අනවසර ඉදිකිරීම් සම්බන්ධයෙන් නිලධාරීන්ගේ වගකීම පරීක්ෂා කර තිබේද?

මේවා වැදගත් වන්නේ අනවසර ඉදිකිරීම කඩා දැමීමෙන් පමණක් දූෂණ ජාලය විනාශ නොවන නිසාය.


2015–2019 කාලයේදී වෙරළ කලාපයේ අනවසර ඉදිකිරීම් 1,344ක් හඳුනාගෙන, ඉවත් කිරීමේ නියෝග 1,163ක් නිකුත් කර තිබුණත්, සැබවින්ම ඉවත් කර තිබුණේ 214ක් පමණක් බව ජාතික විගණන කාර්යාල වාර්තාවක් පෙන්වා දී තිබුණි. මේ රජය බලයට පත්ව ගෙවී ඇති වසර දෙක තුළ සිදු වී ඇති ප්‍රමාණය ද ගත් කළ මෙම ගණනය කිරීම් ඉහල ගොස් ඇති බවට කිසිදු සැකයක් නැත.

එය අපට කියන්නේ ප්‍රශ්නය “අනවසර ඉදිකිරීමක් තිබෙනවාද?” යන්නට වඩා විශාල බවයි.


දූෂණ විරෝධී ආණ්ඩුවකට තිබිය යුතු ප්‍රතිපත්තිය...


දූෂණ විරෝධී ආණ්ඩුවකට තිබිය යුතු ප්‍රතිපත්තිය වන්නේ, "ඉදිකිරීම කඩා දමන්න." “ඉදිකිරීමට ඉඩ දුන් ක්‍රමය විමර්ශනය කරන්න.”  “දූෂිත නිලධාරියා හඳුනාගන්න.”  “වරද ඔප්පු වුවහොත් නීතිය ක්‍රියාත්මක කරන්න.” යන කොටස් හතරම එකට තිබිය යුතු ප්‍රතිපත්තියකි.


එසේ නොවුණහොත් සිදුවන්නේ අද එක් අනවසර ඉදිකිරීමක් කඩා දැමීමත්, හෙට වෙනත් ස්ථානයක එම ක්‍රියාවලිය නැවත ආරම්භ වීමත්ය.


පාතාලයට සම්බන්ධ පුද්ගලයන් විසින් අල්ලාගෙන සිටින වෙරළ ඉඩම් නිදහස් කිරීම වැදගත්ය. එහෙත් ඒ අනවසර ඉදිකිරීම් වසර ගණනාවක් පවත්වාගෙන යාමට ඉඩ දුන්නේ කවුදැයි සොයා නොබලා, ඉදිකිරීම් හිමිකරුවන්ට පමණක් නීතිය ක්‍රියාත්මක කිරීම දූෂණයට එරෙහි සටනක් නොවේ. එය දූෂණයේ මූලය නොව එහි ප්‍රතිඵලය පමණක් ඉවත් කිරීමකි.


මේ ප්‍රශ්නවලට පිළිතුරු නොසොයා හෝටලය පමණක් කඩා දැමීමෙන් රටේ දූෂිත පද්ධතියක් අවසන් කළ හැකිද?

නීතිය කඩ කළ පුද්ගලයා පමණක් නොව, නීතිය ක්‍රියාත්මක නොකළ පුද්ගලයාත් සොයන්න.


යම් පුද්ගලයකු නීතිය උල්ලංඝනය කරමින් මුහුදු තීරයේ ඉදිකිරීමක් කළේ නම් ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතුය.

ඒ වගේම, යම් රාජ්‍ය නිලධාරියකු තම රාජකාරිය පැහැර හැරීමෙන්, බලය අයුතු ලෙස භාවිත කිරීමෙන්, දූෂණයකට සම්බන්ධ වීමෙන් හෝ වෙනත් අයුරකින් එම ඉදිකිරීමට ඉඩ ලබා දී තිබේ නම්, ඔහුට හෝ ඇයට එරෙහිවද නීතිමය සහ විනයානුකූල ක්‍රියාමාර්ග ගත යුතුය.එය පළිගැනීමක් නොවේ. එය රාජ්‍ය සේවයේ වගකීම තහවුරු කිරීමකි.


ජනාධිපතිතුමනි,......


ඔබ නීතිය ඉදිරියේ සියලු දෙනා සමාන බව පෙන්වීමට උත්සාහ කරන්නේ නම්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවාගේ හෝටලය කඩා දැමීමෙන් පමණක් එය පෙන්විය නොහැක.


එම හෝටලය ඉදිවන තුරු බලා සිටි නිලධාරියා කවුද?


එයට අවශ්‍ය අවසරය ලබා දුන්නේ කවුද?

අවසරයක් නොමැති බව දැන සිටියත් ක්‍රියා නොකළේ කවුද?

නීතිය ක්‍රියාත්මක නොකර සිටීමට බලපෑම් කළේ කවුද?


ඒ සියල්ලත් ජනතාව ඉදිරියේ හෙළි කළ යුතුය. මන්ද, අනවසර ඉදිකිරීම කඩා දැමීම නීතිය ක්‍රියාත්මක කිරීමකි. නමුත් දූෂණයට එරෙහි සටන වන්නේ, එය ඉදි කිරීමට ඉඩ දුන් දූෂිත අත සොයා දඬුවම් කිරීමයි. 


හෝටලය කඩා දැමීමෙන් පසු එහි සුන්බුන් ඉවත් කළ හැකිය. නමුත් එය ඉදි කිරීමට වසර ගණනාවක් ඉඩ දුන් පද්ධතිය එසේම තිබුණහොත්, හෙට තවත් හෝටලයක් එතැනම ඉදිවිය හැකිය.


ඒ නිසා රටට අවශ්‍ය වන්නේ ගොඩනැගිලි කඩා දමන පාලනයක් පමණක් නොව, ඒවා ගොඩනැගීමට ඉඩ දුන් දූෂිත ජාලයත් කඩා දමන පාලනයකි.


ජනාධිපතිතුමනි,

• හෝටලය කඩා දමන්න.


• නමුත් එයට අවසර දුන් අතත් සොයන්න.

• ඇස් වසාගෙන සිටි අතත් සොයන්න.


• නීතිය නැවත්වූ අතත් සොයන්න.


එවිට පමණක් ජනතාවට “නීතිය සැමට එකසේ ක්‍රියාත්මක වේ” යන විශ්වාසය ඇති වේ.


ජයලත්ගේ සුනිල් ගාමිණී ✍️

සියලු ප්‍රවෘත්ති — Political

අගමැති රනිල් ලැජ්ජාවටත් පත් වූ ඥානසාර හිමියන්ගේ කෙරුවාව
නවතම ප්‍රවෘත්තිPolitical

අගමැති රනිල් ලැජ්ජාවටත් පත් වූ ඥානසාර හිමියන්ගේ කෙරුවාව

සිර දඬුවමට ලක් වූ ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් සමාජය තුළ මේ වන විට ඉතා උද්වේගකර කතා බහක් සිදු වෙමින් පවතී.  ගරු අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට ඥානසාර හිමියන්ට හිමි වූ දඬුවම අනුමත කරන හා…

හොරු ඇල්ලීමෙන් එහාට ජනතාවට අවශ්‍ය වගවීම
නවතම ප්‍රවෘත්තිPolitical

හොරු ඇල්ලීමෙන් එහාට ජනතාවට අවශ්‍ය වගවීම

වත්මන් ආණ්ඩුවේ ප්‍රධාන දේශපාලන තේමාවක් වී ඇත්තේ,  “හොරු අල්ලනවා.” “හොරකම් නවත්වනවා.” “මහජන මුදල් ආරක්ෂා කරනවා.” යන්නය. මේ සටන් පාඨවලට ජනතාවගේ අවධානය ලැබීම ස්වාභාවිකය. දූෂණයට එරෙහිව නීතිය ක්‍රියාත…

PTA අහෝසි කිරීමක්ද? ජනමාධ්‍ය නිදහසත්, වෘත්තීය අරගලත් පාලනය කිරීමක් ද?
නවතම ප්‍රවෘත්තිPolitical

PTA අහෝසි කිරීමක්ද? ජනමාධ්‍ය නිදහසත්, වෘත්තීය අරගලත් පාලනය කිරීමක් ද?

ශ්‍රී ලංකාවේ දශක ගණනාවක් තිස්සේ දැඩි විවේචනයට ලක්වූ 1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත ( PTA ) වෙනුවට නව නීතියක් ගෙන ඒම පිළිබඳ සාකච්ඡාව යළිත් මතු වී තිබේ. 2026 සැප්තැම්බර්…

පොල්හේනේ වෙරළට දේශපාලන වඩදිය..
නවතම ප්‍රවෘත්තිPolitical

පොල්හේනේ වෙරළට දේශපාලන වඩදිය..

මාතර පොල්හේන සුන්දර වෙරළ තීරයේ අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමේ මෙහෙයුම යෙදී තිබුණේ පසුගිය අගෝස්තු මස 20 වැනිදා ය.  නමුත් ඒ 20 වැනිදා ආවේ නැත. අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමේ එම මෙහෙයුම සැප්තැම්බර් මස 24…