‘රතු සළු’ ගැලවූ රාජ්ය බලය.....

ත්රස්තවාදයේ නිර්වචනය සහ වාමාංශික අවස්ථාවාදයේ කූටප්රාප්තිය...
වසර ගණනාවක් පුරා තරුණ පරම්පරාවල ලේ, කඳුළු සහ කැපකිරීම් මතින් ගොඩනැගුණු "වාමාංශික" සහ "ප්රගතිශීලී" දේශපාලන භාවිතාවන්හි සැබෑ මුහුණුවර රාජ්ය බලයේ පීඨිකාව මතදී නිරුවත් වෙමින් පවතී.
ඉතිහාසයේ විපක්ෂයේ සිටියදී පැවති ආණ්ඩුවල මර්දනකාරී පනත්වලට එරෙහිව හඬනගමින්, වෘත්තීය සමිති අයිතිය වෙනුවෙන් පෙනී සිටිමින්, රටම අක්රිය කරමින් වර්ජන කළ දේශපාලන බලවේගයම අද රාජ්ය බලය හෙබවීමේදී කටයුතු කරන්නේ සියලු ප්රජාතන්ත්රවාදී අයිතීන් තලන රාජ්ය යන්ත්රණයට නීතිමය ආවරණ සපයමිනි.
ත්රස්තවාදය නිර්වචනය කිරීමේ නීතිමය මෝඩකම සහ අවදානම....
යෝජිත රාජ්ය ත්රස්තවාදයෙන් ආරක්ෂා කිරීමේ පනත (PSTA) තුළ "ත්රස්තවාදය" නිර්වචනය කර ඇත්තේ අතිශය නම්යශීලී සහ ඕනෑම ආණ්ඩුවකට තමන්ට අවශ්ය පරිදි අර්ථ නිරූපණය කළ හැකි පුළුල් සීමාවකය.
පනතට අනුව "රජයට නීති විරෝධී ලෙස බලපෑම් කිරීමේ අරමුණින්" සිදුකරන "අත්යාවශ්ය සේවාවන්ට, සැපයුම්වලට හෝ ආර්ථිකයට බරපතළ බාධා සිදුකිරීම්" ත්රස්තවාදී ක්රියා ලැයිස්තුවට ඇතුළත් වේ.
කඩදාසිය මත "යහපත් චේතනාවෙන් කරන මූලික අයිතිවාසිකම්" ආරක්ෂා කරන බව කියූවද, යම් වර්ජනයක් නිසා රජයේ ප්රතිපත්තියකට බලපෑම් සිදුවේ නම් හෝ අත්යාවශ්ය සේවාවක් අඩාල වේ නම්, එය "ත්රස්තවාදී ක්රියාවක්" ලෙස හමුදාවට සහ පොලිසියට අර්ථ දක්වා මර්දනය කිරීමට ඇති ඉඩකඩ නීතිමය වශයෙන් ඉතිරි කර ඇත.
ඉතිහාසයේ වර්ජකයෝ - අද මර්දකයෝ!...
මෙතැනදී මතු වන්නේ ඉතා නිර්ධය තර්කයකි. වත්මන් ආණ්ඩුව මෙහෙයවන පක්ෂය සහ එහි වෘත්තීය සමිති අතීතයේදී කළේ කුමක්ද?
1988-89 යුගයේ පමණක් නොව, පසුගිය දශක දෙක පුරාම ලංකා විදුලිබල මණ්ඩලය, තෙල් සංස්ථාව, වරාය, සෞඛ්ය සහ ප්රවාහන සේවාවන් සම්පූර්ණයෙන්ම අඩාල කරමින් ආණ්ඩුවලට බලපෑම් කළේත්, රටේ ආර්ථිකයට බරපතළ හානි සිදු කරමින් තම දේශපාලන සහ වෘත්තීය ඉල්ලීම් දිනාගත්තේත් මොවුන්මය.
එදා ඔවුන්ට එය "ප්රජාතන්ත්රවාදී කම්කරු අයිතිවාසිකමක්" විය. එහෙත් තමන් බලයට පත්වූ පසු, වෙනත් වෘත්තීය සමිතියක් හෝ මහජනතාව තම අයිතීන් උදෙසා අත්යාවශ්ය සේවාවන්ට බාධා කරමින් විරෝධතා දැක්වුවහොත්, එම ක්රියාවම මේ පනත මගින් "ත්රස්තවාදය" ලෙස හඳුන්වා දීමට පදනම සැකසෙයි.
"වාමාංශික සළුපිළි" උනා දැමීමේ අසික්කිත අවස්ථාවාදය....
තමන් "වාමාංශික" යැයි කියා ගන්නා පක්ෂයකට හෝ ආණ්ඩුවකට මීට වඩා අවස්ථාවාදී සහ ප්රතිපත්ති විරෝධී හැසිරීමක් තිබිය හැකිද?
විපක්ෂයේදී: ත්රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) සහ මර්දන නීති අහෝසි කරන බවට මැතිවරණ වේදිකාවල ලේ රත් වෙනකම් පොරොන්දු දීම.
ආණ්ඩු බලයේදී: රාජ්ය යන්ත්රණය භාරගත් සැණින්, පෙර ආණ්ඩු මෙන්ම "රාජ්ය ආරක්ෂාව" සහ "ආර්ථික ස්ථාවරත්වය" යන නාමයෙන් පැමිණි මග අමතක කර මර්දනකාරී පනත් නව නම්වලින් පවත්වාගෙන යාමට සහ සාධාරණීකරණය කිරීමට වෙහෙස වීම.
සාම්ප්රදායික වාමාංශික මූලධර්මවලට අනුව කම්කරු පන්තියේ වර්ජන අයිතිය යනු රාජ්ය මර්දනයට එරෙහි අවසන් ආයුධයයි. එම ආයුධයම "ත්රස්තවාදයක්" විය හැකිය යන නීතිමය සෙවනැල්ල යටතේ කම්කරුවා තැබීම යනු වාමාංශික සළුපිළි මුළුමනින්ම ගලවා දමා, පවතින ධනපති රාජ්ය මර්දන යන්ත්රණයේම කොටස්කරුවෙකු වීම මිස අන් කවරක්ද?
බලයේ හැඩය සහ පාලකයාගේ නුවණ...
මෙයින් පැහැදිලි වන්නේ එකම සත්යයකි. දේශපාලන මතවාද මොනවා වුවද, බලයට පත් වූ පසු පාලකයන්ට "තමන්ගේ බලයේ පැවැත්ම" සහ "රාජ්ය පාලනය" ප්රමුඛ වන අතර, අතීතයේ තමන් භාවිත කළ සටන් ක්රමම තමන්ට එරෙහිව පාවිච්චි වේ යැයි යන භය ඔවුන්ව මෙහෙයවනු ලබයි.
තමන් ආපසු හැරී බලන විට තම අතීතයම "ත්රස්තවාදයක්" ලෙස අර්ථ දැක්වෙන තරමට නීතිමය සහ ප්රතිපත්තිමය වශයෙන් පිරිහීමට ලක්වීම, වත්මන් වාමාංශික සළුපිළි දැරූ පාලකයන්ගේ විශාලතම දේශපාලනික සහ මූලධර්මාත්මක පරාජයයි.
ජයලත්ගේ සුනිල් ගාමිණී ✍️



