මුල් පිටුවට
නවතම ප්‍රවෘත්තිPolitical

මගෙ සුදු බෑණන්ඩිට බුද්ධං සරණේ සරණයි..

ලියුවේ Admin
මගෙ සුදු බෑණන්ඩිට බුද්ධං සරණේ සරණයි..

චීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය පසුගිය දින ⁣චීනයේ බෙයිජිං හි දී පැවැත්විණි. එම සැමරුම් උත්සවය අමතා චීන ජනාධිපති ෂී ජිංපිං ප්‍රකාශ කරන ලද්දේ වසර 105 ක් සපුරාලන චීන කොමියුනිස්ට් පක්ෂයේ චීන ජනතාවගේ අනාගතය හා ඉරණම සම්පූර්ණයෙන්ම වෙනස් කිරීමට සමත් වී ඇති බවය. 


එම ඵෙතිහාසික ගමන් මග චීනයේ පුනර්ජීවනය සහතික කර ගැනීම සඳහා ප්‍රවේශයක් වී ඇති බවත් මාක්ස්වාදයේ බලවන්ත බව හා ජීව ගුණය අවධාරණය කෙරෙන ⁣ගෙවී ගිය වසර 105 ක මේ ඉතිහාසය ජාත්‍යන්තර ඉතිහාසය තුළද ශක්තිමත්ව සටහන් වී ඇති බවත් ජනපතිවරයා වැඩිදුරටත් එහිදී පවසා තිබූණි.


චීනයේ කොමියුනිස්ට් පක්ෂයේ සංවත්සර උත්සවය එසේ පැවැත්වෙද්දී  පසුගියදා අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කරන ලද සුගීෂ්වර බණ්ඩාර නැවත අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ජුලි මස 08 වෙනිදා දක්වා තවදුරටත් බන්ධනාගාර ගත කළ ⁣බව මෙරටින් වාර්තා විය.


සුගීෂ්වර බණ්ඩාරගේ තාත්තා ඇඹිලිපිටියේ සිටි නොම්මර එකේ කොමියුනිස්ට් කාරයෙකි. වීරකැටිය බුද්ධියගම උපත ලද ඔහු නමින් ජේ.එම්. දේශප්‍රිය බණ්ඩාර වීරමන්ය. වෘත්තියෙන් නීතිඥයකු වූ  බණ්ඩාර කොමියුනිස්ට් පක්ෂය  නියෝජනය කරමින් කොලොන්න ආසනයේ එම පක්ෂයේ සංවිධායක වරයාද විය. එවකට පාර්ලිමේන්තුව නියෝජනය කළ සරත් මුත්තෙට්ටුවගම⁣ගේ සමීපතමයාද විය.


නීතිඥ බණ්ඩාරගේ පියා වූයේ වලස්මුල්ල ගම්සභාවේ දීර්ඝ කාලයක් සභාපතිවරයා ලෙස කටයුතු කළ ප්‍රැන්සිස් බණ්ඩාර වීරමන්ය. ඔහුගේ මව වූයේ දෝන කැරලිනා බණ්ඩාර වීරමන්ය. මේ දෝන කැරලිනා වෙනින් කවුරුවත් නොවේ. හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ නැන්දා ය.


රාජපක්ෂ පවුලේ ඉහලට නැගීමේ ආරම්භකයා ලෙස සැළකෙන්නේ මහින්ද රාජපක්ෂ⁣ගේ සීයා වූ දොන් ඩේවිඩ් රාජපක්ෂගෙනි. දොන් ඩේවිඩ් රාජපක්ෂ නොහොත් ඩී.ඩී.රාජපක්ෂ යනු ඉහළ වළිකඳ කෝරලය ලෙස හැඳින්වෙන ගම්මාන කිහිපයක විදානේ ආරච්චිය. 


මේ ඩී.ඩී.රාජපක්ෂට පුතුන් තිදෙනෙකු හා දියනියක සිටියහ. ඉන් වැඩිමහලා දොන් කොරනේලිස් රාජපක්ෂ වූ අතර පසු කලකදී ඔහු ප්‍රදේශයේ හදිසි මරණ පරීක්ෂක ධුරයට පත් විය. අනෙක් පුතුන් දෙදෙනා වූයේ දොන් මැතිව් රාජපක්ෂ හා දොන් ඇල්වින් රාජපක්ෂය. 


මෙරට මැතිවරණ දේශපාලනයට පළමුවෙන් පිවිසියේ දොන් මැතිව් රාජපක්ෂ නොහොත් ඩී.එම්.රාජපක්ෂය. ඔහු බ්‍රිතාන්‍ය පාලන සමයේදී රාජ්‍ය මන්ත්‍රණ සභා මන්ත්‍රීවරයකු ලෙස පත් විය. එහෙත් ඔහු 1945 මැයි මාසයේදී වයස අවුරුදු 49 දී හදිසියේම මිය ගියේය. 


ඉන් අනතුරුව ඒ දේශපාලන බලය හිමි කරගත්තේ ඔහුගේ බාල සහෝදරයාය. දොන් ඇල්වින් රාජපක්ෂ නොහොත් ඩී.එල්.රාජපක්ෂ නමින් හැඳින්වූ ඔහු මහින්ද රාජපක්ෂගේ පියාය. ඔහුට මහින්ද රාජපක්ෂ ඇතුළුව පිරිමි ළමුන් හය දෙනෙක්ද ගැහැණු දරුවන් තිදෙනෙක්ද විය. චමල්, ජයන්ති (මියගිය) මහින්ද, ටියුඩර් (මියගිය) ගෝඨාභය, බැසිල්, ප්‍රීති, ඩඩ්ලි හා ගාන්ධිනී (මියගිය) ඒ දරුවන් වේ.


ඩී.ඩී.රාජපක්ෂගේ දියණිය වූයේ දෝන කැරලිනා රාජපක්ෂය. ඇය සිය දෙමව්පියන් ගේ විරෝධතාව මත ප්‍රැන්සිස් බණ්ඩාර වීරමන් සමඟ විවාහ වන්නීය. ඒ ව්වාහයට රාජපක්ෂ වරුන්ගේ විරෝධතාවක් මතු වූයේ ප්‍රැන්සිස් බණ්ඩාර වීරමන් අඩු කුලයක් ලෙස සැළකෙන දුරාව කුලයට අ⁣යත් පුද්ගලයකු වීම නිසාය. බ්‍රයිස් රයන් විසින් රචිත සිංහල සමාජයේ කුල භේදය මූලාරම්භය හා ව්‍යාප්තිය කෘතියේ හැඳින්වෙන ආකාරයට දුරාව කුලය යනු පොල් රා මැදීම පාරම්පරික වෘත්තීය කර ගත් පහත රට කුලයකි.


නීතිඥ දේශප්‍රිය බණ්ඩාර වීරමන්, ඥාතිත්වයෙන් මහින්ද රාජපක්ෂගේ ඇවැස්ස මස්සිනා විය. එහෙත් මේ පවුල් අතර සම්බන්ධයක් නොතිබූ බවට සිතා ගත හැක්කේ සුගීෂ්වරගේ පියා ක්‍රියාකාරී කොමියුනිස්ට් කාරයකු වීම නිසාය.⁣ ඔහුගේ කොමියුනිස්ට් පාක්ෂිකත්වයද ඒ පවුල් තුළ පැවති කුල ආරවුලේ සංකේතාත්මක දර්ශකයක් ලෙස හඳුනා ගත හැකිය. 


නීතිඥ දේශප්‍රිය බණ්ඩාර වීරමන් සය දරු පියෙකි. ඔහු ගේ එක දරුවෙකු වූ ජනක බණ්ඩාර මහේස්ත්‍රාත්වරයකු ලෙසද පසුව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙසද කටයුතු කෙරුවේය. සුගීෂ්වර බණ්ඩාර තවත් දරුවෙකි. 


1989 අප්‍රේල් මස 25 වන දින නීතිඥ දේශප්‍රිය බණ්ඩාර ඇඹිලපිටියේදී වෙඩි තබා ඝාතනය කෙරිණි. මේ ඝාතනය පිළිබදව ජවිපෙ දේශප්‍රේමී බලකාය වෙත චෝදනා කෙරුණද එම ඝාතනයේ යටි පෙළ කියවීමේදී එය එසේ සිදු වූවක් නොවන බවට තහවුරු වේ. 


නීතිඥ විජේදාස ලියනාරච්චි පැහැර ගෙන ගොස් වද දී ඝාතනය කරන්නේද මේ අවදියේය. නීතිඥ විජේදාස ලියනාරච්ච් ගේ පැහැරගෙන යාම සම්බන්ධයෙන් මැදිහත් වන්නේද මේ නීතිඥ දේශප්‍රිය බණ්ඩාරය.

නීතිඥ විජේදාස ලියනාරච්චි පැහැර ගෙන යාම සම්බන්ධයෙන් ඔහුගේ පියා සමග එවකට තංගල්ල පොලිස් අධිකාරී ධර්මදාස කරවිටට එරෙහිව පැමිණිල්ලක් කර ඇත්තේ ද නීතිඥ දේශප්‍රිය බණ්ඩාර ය. නීතිඥ විජේදාස ලියනාරච්චි වෙනුවෙන් යුක්තිය හා සාධාරණය ඉල්ලා නීතිමය ක්‍රියාමාර්ග වලට එළඹි අයෙකුව ජවිපෙ විසින් ඝාතනය කරන්නට පෙළඹීම කිසිසේත්ම සිතිය හැකි හැකි කාරණයක් නොවේ. 


නීතිඥ විජේදාස ලියනාරච්චි හා ⁣නීතිඥ දේශප්‍රිය බණ්ඩාර අතරද ලේ ඥාති සම්බන්ධතාවක් පැවතුනි. ඒ අතරේම නීතිඥ දේශප්‍රිය බණ්ඩාරගේ ඝාතනය සම්බන්ධයෙන් ඒ කාලයේදී බොහෝ දෙනා චෝදනා කෙරුවේ රාජපක්ෂවරුන් ගේ මැදිහත් වීමෙන් ඒ ඝාතනය සිදු වූ බවටය.


මේ ඥාති සම්බන්ධතා වට්ටෝරුවට අනුව සුගීෂ්වර බණ්ඩාර මහින්ද රාජපක්ෂගේ බෑණාය. ගෝඨාභය රාජපක්ෂගේද බෑණාය. කුල පල හිලව් තිබුණද ඒ ඥාතිත්වය අහක දමන්ටද බැරිය. සුගීෂ්වර බණ්ඩාර ⁣හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂගේ පෞද්ගලික ලේකම් වරයා ලෙස පත් වෙන්නේ මාමා බෑණා කමට මිස අහම්බයකින් නොවේ.


චීනයේ කොමියුනිස්ට් පක්ෂයේ 150 සංවත්සරය මහත් අභිමානයෙන් සමරන මොහොතේ මෙරට කොමියුනිස්ට් පක්ෂ⁣යේ ප්‍රබල ක්‍රියාකාරිකයකුව සිටි සහෝදරයෙකු ගේ පුත්‍රයකු පොදු⁣ දේපොල වංචා කිරීමේ වරදට බන්ධනාගාර ගත කිරීම කරන්නේ රතු පාටට ඇළුම් කරන ආණ්ඩුවක් බලයේ සිටිද්දීමය. ඒකත් හරිම අපූරුය.


මගෙ බුදු බෑණන්ඩිට බුද්ධං සරණේ සරණයි

මගෙ  බුදු මාමණ්ඩිඩ ධම්මං සරණේ සරණයි

මගේ බුදු බෑණන්ඩිට සංඝං සරණේ සරණයි

අනේ ඉතින් අපි දෙන්නට මේ තුන් සරණේ සරණයි


තව ඉතින් මොනවා ලියන්නද ?


දක්ෂිණ ලියනාරච්චි ✍️ 

සියලු ප්‍රවෘත්ති — Political

අගමැති රනිල් ලැජ්ජාවටත් පත් වූ ඥානසාර හිමියන්ගේ කෙරුවාව
නවතම ප්‍රවෘත්තිPolitical

අගමැති රනිල් ලැජ්ජාවටත් පත් වූ ඥානසාර හිමියන්ගේ කෙරුවාව

සිර දඬුවමට ලක් වූ ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් සමාජය තුළ මේ වන විට ඉතා උද්වේගකර කතා බහක් සිදු වෙමින් පවතී.  ගරු අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට ඥානසාර හිමියන්ට හිමි වූ දඬුවම අනුමත කරන හා…

හොරු ඇල්ලීමෙන් එහාට ජනතාවට අවශ්‍ය වගවීම
නවතම ප්‍රවෘත්තිPolitical

හොරු ඇල්ලීමෙන් එහාට ජනතාවට අවශ්‍ය වගවීම

වත්මන් ආණ්ඩුවේ ප්‍රධාන දේශපාලන තේමාවක් වී ඇත්තේ,  “හොරු අල්ලනවා.” “හොරකම් නවත්වනවා.” “මහජන මුදල් ආරක්ෂා කරනවා.” යන්නය. මේ සටන් පාඨවලට ජනතාවගේ අවධානය ලැබීම ස්වාභාවිකය. දූෂණයට එරෙහිව නීතිය ක්‍රියාත…

PTA අහෝසි කිරීමක්ද? ජනමාධ්‍ය නිදහසත්, වෘත්තීය අරගලත් පාලනය කිරීමක් ද?
නවතම ප්‍රවෘත්තිPolitical

PTA අහෝසි කිරීමක්ද? ජනමාධ්‍ය නිදහසත්, වෘත්තීය අරගලත් පාලනය කිරීමක් ද?

ශ්‍රී ලංකාවේ දශක ගණනාවක් තිස්සේ දැඩි විවේචනයට ලක්වූ 1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත ( PTA ) වෙනුවට නව නීතියක් ගෙන ඒම පිළිබඳ සාකච්ඡාව යළිත් මතු වී තිබේ. 2026 සැප්තැම්බර්…

පොල්හේනේ වෙරළට දේශපාලන වඩදිය..
නවතම ප්‍රවෘත්තිPolitical

පොල්හේනේ වෙරළට දේශපාලන වඩදිය..

මාතර පොල්හේන සුන්දර වෙරළ තීරයේ අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමේ මෙහෙයුම යෙදී තිබුණේ පසුගිය අගෝස්තු මස 20 වැනිදා ය.  නමුත් ඒ 20 වැනිදා ආවේ නැත. අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමේ එම මෙහෙයුම සැප්තැම්බර් මස 24…