පොල්හේනේ වෙරළට දේශපාලන වඩදිය..

මාතර පොල්හේන සුන්දර වෙරළ තීරයේ අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමේ මෙහෙයුම යෙදී තිබුණේ පසුගිය අගෝස්තු මස 20 වැනිදා ය.
නමුත් ඒ 20 වැනිදා ආවේ නැත. අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමේ එම මෙහෙයුම සැප්තැම්බර් මස 24 ට , එනම් හෙට ට යොදා ගත්තේ දෙවැනි වරටය. ඒ පිළිබඳව අනවසර ඉදිකිරීම් කරුවන්ව ද දැනුවත් කර තිබුණි.
ලක්ෂ ගණන් මුදල් වියදම් කර හදාගත් තමන්ගේ ඉදිකිරීම්, නීතිගරුක මිනිසුන් විසින් තම දෑතින්ම කඩා ඉවත් කරගත්තේ නිලධාරීන්ගේ උපදෙස්වලට ගරු කරමින්ය. "නීතිය සැමට සමානයි" කියා ඔවුන් සිතුවාට සැක නැත.
මේ අතර පොල්හේන වෙරළේ සමහර "විශේෂ" අනවසර ඉදිකිරීම් තවමත්, එනම් 23 වැනි දා වනතුරුත් නොසෙල්වී, මුහුදු සුළඟේ පහස විඳගනිමින් තිබුණි.
ආරංචි මාර්ග සඳහන් කරන්නේ මේ පසුපස අපූරු දේශපාලන සහ ඥාති සංග්රහයන්ගේ කතාවක් පවතින බව ය.
ජාතික ජන බලවේගයේ "හයිය" පෙන්වන කුමාරි තිලකවර්ධන (හෙවත් තදිනි තිලකවර්ධන) සහ තුෂාර සඳකැල් කුමාරවඩු ඇතුළු පිරිසගේ අනවසර ඉදිකිරීම්වලට, නීතියේ බුල්ඩෝසරය තවමත් තට්ටු කර නැත.
තදිනි තිලකවර්ධන යනු වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජෙනරාල් ටර්නි ප්‍රදීප් කුමාරගේ බිරිඳගේ ඥාතියෙකි. මෙම නීති විරෝධී ඉඳිකිරීම් වල හිමිකරුවෝ සුනිල් හඳුන්නෙත්ති ඇමැතිවරයාගේ දේශපාලන රැකවරණය තමන්ට ඇතැයි පවසති.
වඩාත්ම බරපතල කාරණය නම් මොවුන් මෙම අනවසර ඉදිකිරීම් සිදු කරමින් ව්‍යාපාර කරගෙන යන්නේ රජයේ ඉඩම් බලහත්කාරයෙන් අල්ලාගෙනය. රජයට නිසි පරිදි බදු මුදල් ගෙවා නීත්‍යානුකූලව හෝටල්, ව්‍යාපාර පවත්වාගෙන යන ව්‍යාපාරිකයන්ටද මෙම අනවසර ඉදිකිරීම් කරුවෝ සිටින්නේ මුහුණටම "අතකොලුව" වනමින්ය.
මේ කතාවේ වඩාත්ම රසවත්ම කොටස ඇරඹෙන්නේ මෙතැනිනි. වෙරළ සංරක්ෂණ අධ්යක්ෂ ජනරාල් ටර්නි ප්‍රදීප් කුමාර සිටින්නේ අපූරු දෙගිඩියාවකය. එක පැත්තකින් 'ශයිනි ෂැලෝන්' අධිපතිනිය වන තම බිරිඳගේ ඥාති සබඳතාවය ය. අනිත් පැත්තෙන් සුනිල් හඳුන්නෙත්ති මහතාගේ දේශපාලන බලපෑමය. මෙවැනි තත්ත්වයක් ඇති වූ විට අපේ ජනප්රවාදයේ අපූරු කියමනක් භාවිතා වෙයි. එනම් "ගෙදර ගියොත් අඹු නසී - මඟ හිටියොත් තෝ නසී" යන්න ය. අධ්යක්ෂ ජනරාල්ට සිදු වී තියෙන්නේත් ඒ ටිකමය!
වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල්ට ගෙදර ගියොත් බිරිඳගෙන් බේරෙන්නට බැරිය. මඟ හිටියොත් හඳුන්නෙත්තිගෙන් බේරෙන්නට බැරිය. අවසානයේ සිදුවී ඇත්තේ නීතිය මඟ නතර වී, අනවසර ඉදිකිරීම් වෙරළේ තවදුරටත් පැවතීම බව සහතික ය.
ජනාධිපති අනුර කුමාර දිසානායක පසුගිය දා පැවසුවේ වැල්ලවත්ත වෙරළේ පාතාලයන් විසින් අල්ලා ගෙන ඇති ස්ථාන 26 ක් හඳුනාගෙන ඇති බවය. ඒවා තරාතිරම නොබලා කඩා ඉවත් කර අත්පත් කරගන්නා බවට ඉතා සැර කතාවක් කළේ අසා සිටි අය උද්දාමයට පත් කරමින් ය.
ජනාධිපතිවරයාගේ එම කතාවෙන් පසුව හදිසියේ නින්දෙන් අවදි වූවන් ලෙස හසිරුණු පරිසර ඇමති ධම්මික පටබැඳී සහ අධ්යක්ෂ ජනරාල් ටර්නි ප්‍රදීප් කුමාර වැල්ලේ ඇවිඳිමින් අනවසර ඉදිකිරීම් සොයා දුවයන අයුරු රූපවාහිනී නාලිකා ගණනාවක් පෙන්නුවේ, මේ පාර නම් වැඩේ තිතටම සිදු වන බව ජනතාවට දැනෙන ආකාරයට ය.
රාජ්‍ය ආයතන අතරින් දූෂිතම ආයතනයක් ලෙස කිරුළු පැළඳා සිටින වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ සිදු වන දූෂිත ක්‍රියාවන් පිළිබදව මා විසින් පසුගිය වසර තිස්සේ සමාජ මාධ්‍ය ඔස්සේ සාක්ෂි සාධක සහිතව හෙළිදරව් ගණනාවක් අඛණ්ඩව සිදු කළේය.
ඒ කිසිවක් දෙස ඇස් ඇර නොබැලූ පරිසර ඇමැති ඩබල සහ අධ්යක්ෂ ජනරාල් හිටි හැටියේ කලබල වී අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට දක්වන උනන්දුවේ තරම වැඩි කල් නොගොස්ම සියල්ලන්ට දැකගත හැකි වෙතැයි මම ලියා පළ කළේ පසුගිය 18 වැනිදා ය. ඒ ලියව්ල්ලට කොමෙන්ට් කළ ටර්නි ප්‍රදීප් ගේ හා ඇමැතිවරයා ගේ මිතුරෝ මට පරුෂ වචනයෙන් ද බනවැදී තිබුණි.
වත්මන් ජාතික ජන බලවේගය ආණ්ඩු බලයට පත්වීමෙන් පසු ගෙවී ගිය වසර දෙක තුළ මේ ආණ්ඩුව යටතේත් දූෂිත නිළධාරීන් සහ අධ්යක්ෂ ජනරාල් එකට එක්වී සිදු කළ දූෂණ පිළිබඳවද ශ්‍රව්‍ය, දෘශ්‍ය සහ ලිඛිත සාක්ෂි සාධක සහිතව මම හෙළිදරව් කළෙමි.
ඒ කිසිවකට කිසිදු සාධනීය පියවරක් ඇමැතිවරයා හෝ අමාත්‍යාංශය ලේකම් හෝ නොගත් පසුබිම තුළ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට මම පුද්ගලිකව පැමිණිලි කළෙමි. ඒවායින් ද මෙතෙක් ප්‍රගතියක් දක්නට නැත. ඒ පිළිබඳව සියලු තොරතුරු සහිතව ඉදිරියේදී කරුණු හෙළිදරව් කිරීමට මම අපේක්ෂා කරමි.
සාමාන්‍ය ජනතාවට එක නීතියකුත්, දේශපාලන හයිය සහ ඥාති හිතවත්කම් ඇති අයට තව නීතියකුත් ක්‍රියාත්මක වන බව හොඳාකාරවම දැනෙන නිසා " මාතර පොල්හේන වෙරළේ සියලුම අනවසර ඉදිකිරීම් ඉවත් කරයිද? බලාගෙන ඉමු ..!" යනුවෙන් ලියා මගේ මුහුණු පොතේ පෝස්ටුවක් පළ කළේ පසුගිය 15 වැනි දා ය.
මේ සටහන ලියන අද 23 දා ය. මේ "පොල්හේන නාඩගම" මේ මස 24 වැනිදාට එනම් හෙටවත් අවසන් නොවන බව ස්ථිරය. සැමට නීතිය එක ලෙස ක්‍රියාත්මක කරන අපූරුව සැප්තැම්බර් 24 වැනිදා සිට දැක බලා ගත හැකිවනු ඇත.
දිවයිනේ දකුණු පළාතේ අනෙකුත් වෙරළ තීරවල එනම් - හිරිකටිය, වැලිගම, මිදිගම අහංගම ඇතුළු ප්‍රදේශවල සාමාන්‍ය මිනිසුන්ගේ අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට නීතිය ක්‍රියාත්මක කළ ආකාරයත්, මාතර පොල්හේනේ ප්රබලයන්ට 'නීතියේ නිවාඩුව' ක්‍රියාත්මක වන ආකාරයත් අතර වෙනස හෙට (24) සිට පෙනෙනු ඇත.
එම වෙනසට මුල් වූ පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැති රැස්වීම පිළිබඳවත්, ඊට සහභාගී වූ මාතර දිස්ත්‍රික්කයේ මැති ඇමතිවරු පිළිබඳවත්, ඊට සහභාගී වූ නිලධාරීන් පිළිබඳවත්, එහිදී ගනු ලැබූ අපූරු තීරණ පිළිබඳවත් 24 වැනිදායින් පසුව කරුණු හෙළිදරව් කිරීමට අපි බලාපොරොත්තු වෙමු. එතෙක් "පොල්හේන අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමේ නාඩගම" නරඹන ලෙස හුදී ජනයාට ඇරයුම් කරමි.
ජයලත්ගේ සුනිල් ගාමිණී ✍️



