අගමැති රනිල් ලැජ්ජාවටත් පත් වූ ඥානසාර හිමියන්ගේ කෙරුවාව

සිර දඬුවමට ලක් වූ ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් සමාජය තුළ මේ වන විට ඉතා උද්වේගකර කතා බහක් සිදු වෙමින් පවතී.
ගරු අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට ඥානසාර හිමියන්ට හිමි වූ දඬුවම අනුමත කරන හා ඒ දඬුවම අනුමත නොකරන පාර්ශවයන් දෙකකි. මේ පාර්ශවයන් මැද මේ සිද්ධියෙන් දේශපාලන වාසි අපේක්ෂාවෙන් ආණ්ඩුවට එරෙහිව ආගම්වාදී ලේබලයක් අලවන්නට කුරුමානම් අල්ලන අවස්ථා වාදීන් පිරිසක්ද වේ.
කෙසේ වෙතත් ගලබඩඅත්තේ ඥානසාර හිමියන්ද තමන්ට සිර දඬුවම් හිමි වූයේ
අධිකරණයට අපහාස කිරීම නිසා යැයි පවසන්නේ නැත. උන්වහන්සේ පවසන්නේ තමන්ට මේ සිර දඬුවම හිමි වූයේ මුස්ලිම් අන්තවාදයට එරෙහිව පෙනී සිටීම නිසා බවය. එහෙත් එය සත්‍යයක් නොවේ.
මේ රටේ පුරවැසියන්ට මතකය ඇත්තේ දින හතක් පමණක් බවට ජනවහරේ පැවසේ. ඥානසාර හිමියන්ට අත් වූ ඉරණම ගැන මේ වන වන විට සමාජය තුළ තර්ක විතර්ක ගොඩ නැගී ඇත්තේද උන්වහන්සේට වර්තමානයේ සිර දඬුවම විඳින්නට හේතු වූ එම අනීතික කෙරුවාව අමතක කරමිනි.
ඥානසාර හිමියන් වැලිකඩට දැක්කූ සිද්ධිය වූයේ 2016 ජනවාරි 15 වෙනිදාය. මෙදින හෝමාගම අධිකරණයේ එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ නඩුව විභාගයට ගැනෙමින් තිබුණි. ඒ අවස්ථාවේ විවෘත අධිකරණයට කඩා වැදුන ගලගොඩඅත්තේ ඥානසාර හිමි රජයේ නීතිඥයාට හා පැමිණිකාර සන්ධ්‍යා එක්නැලිගොඩට තර්ජනය කරමින් මහ හඬින් කෑ ගසමින් අධිකරණ කටයුතු වලට බාධා කෙරුවේය.
ඒ අවස්ථාවේදී අධිකරණ විනිසුරුවරයා චෝදනා හතරක් මත වහාම උන්වහන්සේ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කෙරුවේය.
ඥානසාර හිමියන් හෝමාගම පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන අවස්ථාවේ අධිකරණ භූමියෙන් පිටත භික්ෂූන් පිරිසක ගේ කලහකාරී විරෝධතාවක් පැවැත්විණි. එහි සිටි භික්ෂුවක ඥානසාර හිමියන් රිමාන්ඩ් කළ හොත් තමන් ගිණි තබා ගන්නා බවට තර්ජනය කළ අතර ජිනානන්ද නම් භික්ෂුව පැවසුවේ තමන් ඇතුළු භික්ෂූන් විසි පස් දෙනෙක් බලහත්කාරයෙන් බන්ධනාගාර ගත වෙන බවය. එහෙත් එදින ඥානසාර හිමියන් රිමාන්ඩ් කළ අතර විරෝධතා පැවැත්වූ භික්ෂූන්ද සටන අත් හැර පසු බැස ගොස් තිබුණි.
2016 ජනවාරි 16 වන දින පාර්ලිමේන්තුවේදී හෝමාගම අධිකරණය තුළ සිදු වූ මේ සිද්ධිය ගැන කතා බහ විය. එහිදී එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මෙසේ ප්‍රකාශයක් කෙරුවේය.
"ඊයේ හෝමාගම අධිකරණයේදී ඇතිවූ සිද්ධිය ගැන ඇසෙද්දී අපට බෞද්ධයන් වශයෙන් දැනෙන්නේ ඉමහත් ලැජ්ජාවක්.
මේ ආණ්ඩුව බුද්ධ රක්ඛිතලා, සෝමාරාමලා ඇති කරන්නට ඉඩ දෙන්නේ නෑ. සිවුරු පොරවා ගත් පිරිසක් අද හෝමාගම උසාවි භූමියේ කළහ කළා. ඔවුන් සැබෑ භික්ෂූන්දැයි සොයා බැලිය යුතුයි. ගලගොඩඅත්තේ ඥානසාර හිමි උසාවියට අපහාස කළැයි කියන සිද්ධියක් මත අද රිමාන්ඩ් බාරයට පත් කළා. ඉන් පසුව උසාවිය අසල චීවරධාරීන් පිරිසක් උසාවි භූමියට ඇතුළු වී කළබල කළා.
එම සිද්ධිය ගැන වාර්තාවක් ලබා දෙන ලෙස පොලිසියට උපදෙස් දුන්නා. වාර්තාව ලැබුණු පසු එය මල්වතු මහා නාහිමියන් හා කෝට්ටේ මහා නාහිමියන්ට ලබා දෙනවා. නීතිය කාටත් එකයි. මේවා දකිද්දි බෞද්ධයන් ලෙස අපට ලැජ්ජයි. විනය පිටකයක් තිබෙනවා. ඒ අනුව භික්ෂූන් කටයුතු කළ යුතුයි. නීතිය රැකිය යුතුයි.‘‘
එම සිදුවීම පිළිබඳව නීතිඥ එකමුතුවද උපරිමාධිකරණ සංකීර්ණය ඉදිරිපිටදී මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීය. චීවරයක් හෝ ලෝගුවක් දා ගත් පමණින් නීතියේ ආධිපත්‍යයට බලපෑම් කිරීමට නොහැකි
බවත්,දේශපාලන වේදිකාවක හෝ මහ පාරේදී හැසිරෙන ආකාරයෙන් අධිකරණය තුළදී හැසිරෙන්නේ නම් එය අධිකරණයට කරන බාධාවක් බවත් නීතිඥ එකමුතුව එහිදී ප්‍රකාශ කරන ලදී.
නීතිඥ එකමුතුව වැඩිදුරටත් අවධාරණය කරන ලද්දේ මෙවැනි පුද්ගලයන්ට එරෙහිව කටයුතු නොකළහොත් ඉදිරියේදී අධිකරණයේ විභාග වන නඩුවලට දේශපාලන මැදිහත්වීම් වන්නට ඉඩ හැකියාව පවතින බවය.
හෝමාගම අධිකරණය තුළදී ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් සිදු කරන අනීතික මැදිහත්වීම ශීලාචාර සමාජයක අනුමත නොකෙරෙන බව අමුතුවෙන් සඳහන් කළ යුතු නොවෙි. පරමාදර්ශීව සමාජය මෙහෙය විය යුතු භික්ෂුවක, ලැයිස්තුගත අපරාධකරුවෙක් පවා අධිකරණය තුළ හැසිරෙන්නේ නැති ආකාරයට හැසිරීම සැහැල්ලුවෙන් නොසළකා හැරිය යුතු සිද්ධියක් නොවන බව එවකට අගමැති රනිල් වික්‍රමසිංහ පවා පිළිගෙන තිබේ.
ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ගේ සමාජමය මැදිහත් වීම් දෙස අවධානයෙන් විමසා බලන අයෙකුට උන්වහන්සේ සිය ක්‍රියාකාරකම් පිළිබඳව අධි විනිශ්චයක පිහිටා කටයුතු කළ බව වටහා ගන්නට පුළුවන. උන්වහන්සේගේ ප්‍රකාශනයන් පවා බෞද්ධ භික්ෂුවකගේ සංවරකම ඉක්මවා යන්නක් විය. භික්ෂුවක සතු සමාජමය කාර්ය භාරය විනය හා සිල්වත් කමින් පරිපූර්ණ සමාජයක් ගොඩ නැගීමය.
බෞද්ධ දර්ශනය අවිහිංසාවාදී දර්ශනයකි. අල්ලා ගත් දෙයක් නැති මට අත්හරින්නට දෙයක් නැති බවට දේශනා කළ විශිෂ්ට ශාස්තෘවරයකුගේ දර්ශනයේ ශ්‍රාවකයන් පෝරිසාදයන් බවට රූපාන්තරණය වීම තුළ සමාජය ඉතා බරපතල ආකාරයෙන් කම්පනයට පත් කරවන අතරම ඒ කම්පන ධාරාවේ කෙළවර විනය ගිලිහුණ පුරවැසි සමූහයක් නිර්මාණය වීම ස්වභාවිකය.
එය මේ වන විටත් ඥානසාර මුද්‍රාවෙන් තහවුරු කර තිබේ.
දක්ෂිණ ලියනාරච්චි ✍️



