රු. බිලියන 22.3ක අයවැය අතිරික්තයේ සැබෑ රහස

වත්මන් ආණ්ඩුව 2026 වසරේ මුල් මාස නවය තුළ රුපියල් බිලියන 22.3ක අයවැය අතිරික්තයක් වාර්තා කර තිබේ. බැලූ බැල්මට මෙය රටේ ආර්ථිකය යහපත් අතට හැරීමේ සලකුණක් ලෙස පෙනෙන්නට පුළුවන.
එහෙත් මේ සංඛ්‍යාව පිටුපස ඇති ආර්ථික යථාර්ථය විමසා බැලීම අත්‍යවශ්‍යය.
පළමුව, මේ රුපියල් බිලියන 22.3 යනු ආණ්ඩුව බලයට පැමිණි පසු භාණ්ඩාගාරයේ එකතු කළ මුදල් තොගයක් නොවේ. එය 2026 ජනවාරි සිට සැප්තැම්බර් දක්වා රජයේ ආදායම සහ වියදම අතර වෙනසයි.
2025 එම කාලය තුළ රුපියල් බිලියන 441.4ක අයවැය හිඟයක් තිබූ අතර, 2026දී එය රුපියල් බිලියන 22.3ක අතිරික්තයක් බවට පත්ව තිබේ. ඒ අනුව වසරකදී රාජ්‍ය මූල්‍ය ශේෂයේ වෙනස රුපියල් බිලියන 463.7කි.
නමුත් මේ වෙනස ඇති වූයේ කෙසේද?
එක් පැත්තකින් වැට් බදු, ආදායම් බදු සහ ආනයන බදු ඇතුළු බදු ආදායම් ඉහළ ගොස් තිබේ. අනෙක් පැත්තෙන් සංවර්ධන කටයුතු සඳහා වෙන් කළ මුදල්වලින් විශාල ප්‍රමාණයක් වියදම් කර නැත.
2026 වසරේ ප්‍රාග්ධන වියදම් සඳහා වෙන් කළ රුපියල් බිලියන 1,719න් සැප්තැම්බර් අවසන් වන විට වියදම් කර ඇත්තේ රුපියල් බිලියන 542.8ක් පමණි. එනම් වෙන් කළ මුදලින් සියයට 68.4ක් පමණ තවමත් වියදම් කර නැත.
එසේ නම් මේ අතිරික්තය රටේ නිෂ්පාදනය, ආයෝජනය හා ජනතාවගේ ආදායම් ඉහළ යාමෙන් පමණක් ඇති වූවක්ද? නැතිනම් ජනතාවගෙන් වැඩි බදු ආදායමක් එකතු කරමින් සංවර්ධනයට වෙන් කළ මුදල් පවා වියදම් නොකිරීමේ ප්‍රතිඵලයක්ද?
ආණ්ඩුව මේ ප්‍රශ්නයට පැහැදිලි පිළිතුරක් දිය යුතුය.
අයවැය අතිරික්තයක් තිබීම හොඳ දෙයකි. එහෙත් රටක ආර්ථික සාර්ථකත්වය මැනිය යුත්තේ භාණ්ඩාගාරයේ ගණන් හිලව්වලින් පමණක් නොවේ. එය මැනිය යුත්තේ ජනතාවගේ ජීවන වියදම අඩුවී තිබේද? රැකියා අවස්ථා වැඩි වී තිබේද? සෞඛ්‍ය හා අධ්‍යාපන සේවා ශක්තිමත් වී තිබේද? සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක වී තිබේද? යන කරුණු අනුවය.
ආණ්ඩුව අමතක නොකළ යුතු තවත් කරුණක් තිබේ. 2026 වසර අවසානයේ රුපියල් බිලියන 2,257ක අයවැය හිඟයක් ඇතිවනු ඇතැයිම අයවැයෙන් අපේක්ෂා කර තිබේ. එබැවින් මාස නවයක අතිරික්තය සමස්ත වසරේ ආර්ථික ජයග්‍රහණයක් ලෙස හුවා දැක්වීම දේශපාලන ප්‍රචාරයක් මිස සම්පූර්ණ ආර්ථික විශ්ලේෂණයක් නොවේ.
ජනතාවට අවශ්‍ය වන්නේ අයවැය පොත්වල පමණක් පෙනෙන අතිරික්තයක් නොවේ. තමන්ගේ ජීවිතවලට දැනෙන ආර්ථික සහනයකි.
බදු ගෙවන ජනතාවට සාධාරණය ඉටු නොකර, සංවර්ධනයට වෙන් කළ මුදල් නිසි ලෙස වැය නොකර, අතිරික්තයක් ගැන පුරසාරම් දෙඩීමෙන් පමණක් කිසිදු ආණ්ඩුවකට ආර්ථික පරිවර්තනයක් සිදු කළ නොහැකිය.
ප්‍රශ්නය අතිරික්තයක් තිබීම නොවේ. ප්‍රශ්නය වන්නේ ඒ අතිරික්තය ඇති වූයේ කාගේ බරින්ද, එයින් ප්‍රතිලාභ ලබන්නේ කවුද යන්නයි!
ආණ්ඩුව මේවාට විධිමත් පිළිතුරු ජනතාව හමුවේ තැබිය යුතුය.
ජයලත්ගේ සුනිල් ගාමිණී ✍️



