මුල් පිටුවට
නවතම ප්‍රවෘත්තිPolitical

වෙරළේ අනවසර ඉදිකිරීම් සුරකින දූෂිත නිළධාරීන් සහ මැතිඇමතිවරු...

ලියුවේ Admin
වෙරළේ අනවසර ඉදිකිරීම් සුරකින දූෂිත නිළධාරීන් සහ මැතිඇමතිවරු...

මාතර පොල්හේනේ සුන්දර වෙරළ තීරයේ අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමේ 'නීතියේ බුල්ඩෝසරය' අවසානයේදී නැවී ඇත්තේ කාගේ කවුරුන්ගේ සාක්කුවටද?


​දිවයිනේ අනෙකුත් වෙරළ තීරයන්හි සාමාන්‍ය මිනිසුන්ගේ කුඩා කඩ සාප්පු සහ තාවකාලික ඉදිකිරීම් බිමට සමතලා කරමින් වේගයෙන් ක්‍රියාත්මක වූ නීතිය, මාතර පොල්හේනේ ප්‍රබලයන් ඉදිරියේ හදිසියේම 'නිවාඩු ගොස්' ඇත. 


2027 අප්‍රේල් දක්වා මෙම නීති විරෝධී ඉදිකිරීම් කල් දැමීමට වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ටර්නි ප්‍රදීප් කුමාර විසින් ගනු ලැබූ අපූරු තීරණය හරහා ලෝක නීති ඉතිහාසයටම අලුත් පූර්වාදර්ශයක් සපයා තිබේ. එනම්, අපරාධකරුවන්ට හෝ නීති විරෝධී ජාවාරම්කරුවන්ට සිය "කන්නය" නිමා වන තෙක් නීතියෙන් බේරී බිස්නස් කරගැනීමට ඉඩ ලබා දීමයි!


හාස්‍යට කරුන නම්, මේ තත්ත්වය තුළ වැලිගම සහ දික්වැල්ල වෙරළේ ඇති අනවසර ඉදිකිරීම් වහාම ඉවත් කර දෙන ලෙස ඒ ප්‍රදේශයේ සිටින ජාතික ජන බලවේගයේ දේශපාලන බලවතුන් විසින් දෙපාර්තමේන්තුව වෙත දිගින් දිගටම ඉල්ලීම් කරමින් සිටීමය.


​පොල්හේනේ අනවසර සුරැකීමේනාඩගම පසුපස ඇත්තේ රාජ්‍ය සේවා ව්‍යවස්ථාව අමු අමුවේ උල්ලංඝනය කළ දූෂිත ඥාති සබඳතා සහ දේශපාලන හස්තයකි. 


වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මීගමුව ප්‍රාදේශීය කාර්යාලයේ ඉංජිනේරුවරයා වන සුරංග නන්දසේනගේ බිරිඳ වන, සංවර්ධන නිලධාරිනී කළණි හිමාලි ප්‍රේමතුංග, මාතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වසර 17කට අධික කාලයක් එකම තැන රඳවා ගනිමින් මෙම බලපත්‍ර මාෆියාව ක්‍රියාත්මක වේ.


​මැයට එරෙහිව පරිසර අමාත්‍යාංශයේ විනය පරීක්ෂණයක් පවතින පසුබිමක, වෙනත් ප්‍රදේශයකට මාරු කර යැවූ ඇයව, කිසිදු සුවිශේෂී සේවා අවශ්‍යතාවක් නොමැතිව යළිත් මාතර කාර්යාලයටම කැඳවා ගැනීමට අධ්‍යක්ෂ ජෙනරාල් ටර්නි ප්‍රදීප් කුමාර කටයුතු කර ඇත.


මෙයට හේතුව පැහැදිලිය. දේශපාලන ප්‍රබලයන්ගේ රැකවරණය යටතේ මාතර වෙරළ තීරය කොන්ක්‍රීට්වලින් ගිලගැනීමට මේ හරහා මාවත විවර කර ගැනීම ය.  මේ වන විටත් එය සිදුවෙමින් පවතී. 


​මාතර "සුපිරි අනවසර ඉදිකිරීම්" සහ දේශපාලන හයිය...

​පොල්හේන වෙරළ තීරයේ නීතියේ ඇස්වලට වැලි ගසමින් දිගටම පවතින ප්‍රධාන පෙළේ නීති විරෝධී ඉදිකිරීම් කිහිපයක් සඳහා මෙයට විරුද්ධව පරිසර අමාත්‍යාංශයේ අක්‍රිය විමර්ශනයක් පවතී.


 මේ දිනවල ඉංජිනේරු සුරංග නන්දසේනගේ බිරිඳ වන, සංවර්ධන නිලධාරිනී කළණි හිමාලි ප්‍රේමතුංග ගේ අලුත්ම අනවසර සපෝට් එක ලැබෙන්නේ  පොල්හේනේ ජාතික ජන බලවේගයේ ප්‍රධාන ආධාරකරුවකු වන තුෂාර සඳකැල් කුමාරවඩුටය.


​ජාතික ජන බලවේගයේ ප්‍රබල ආධාරකරුවකු වන තුෂාර සඳකැල් කුමාරවඩු විසින් මුහුදට මායිම්ව ඇති තම ඉඩමේ අනවසර හෝටලයක්, අනවසර නාන තටාකයක් සහ මුහුදට සමාන්තරව මුහුදු වෙරළේම විශාල කළුගල් දමා ගල් බැමි ඉදිකර ඇත.


මෙම අනීතික කටයුතු සඟවා නීතිමය ආවරණයක් ලබාදීම සඳහා සංවර්ධන නිලධාරිනී කළණි ප්‍රේමතුංග විසින් අසත්‍ය වාර්තා සකස් කර දී ඇති අතර, මේ වන විට ඊට නිත්‍යානුකූල බලපත්‍රයක් නිකුත් කිරීමට සියලු කටයුතු  වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ කොළඹ ප්‍රධාන කාර්යාලය සූදානම් කරමින් පවතින බවට තොරතුරු අප වෙත වාර්තා වී ඇත.


​ජාතික ජන බලවේගය යටතේ "සිස්ටම් චේන්ජ්" එකක් බලාපොරොත්තු වූ මාතර ජනතාවට අද සිදුවී ඇත්තේ, පරණ දූෂිත වළල්ලටම අලුත් ඔපයක් දැමීමේ කලාව දෙස බලා සිටීමටය.


වැලිගම, දික්වැල්ල, හිරිකැටිය වැනි සෙසු ප්‍රදේශවල අහිංසක සාමාන්‍ය වැසියන්ගේ කුඩා කඩ සාප්පු කඩිනමින් කඩා ඉවත් කරන නීතිය, මාතර පොල්හේනේ ප්‍රබලයන්ට සහ ඥාතීන්ට පැමිණෙන විට "සංචාරක සමයේ අනුකම්පාව" මුවාවෙන් අත්හිටුවනු ලැබ තිබේ.


​මෙහිදී පරිසර අමාත්‍යාංශය මඟින් කළණි ප්‍රේමතුංගට එරෙහිව පවත්වන විනය පරීක්ෂණය ද "හොරාගේ අම්මගෙන් පේන ඇසීමක්" වැනි කටයුත්තක් වී ඇත්තේ, නඩු හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේම වන බැවිනි.


​එබැවින්, වේදිකා උඩ නැගී "නීතිය සැමට එක සමානයි" යැයි බෙරිහන් දුන්නද, බිම් මට්ටමේදී සිදුවෙමින් ඇත්තේ බලපත්‍ර මාෆියාවේ මහමොළකරුවන් තවදුරටත් ආරක්ෂා කිරීමය.


​බරපතල කරුණ නම් රුපියල් ලක්ෂ 175ක් වටිනා සුඛෝපභෝගී මෝටර් රථයකින් ගමන් කරන කළණි ප්‍රේමතුංග නමැති මෙම සංවර්ධන නිලධාරිනියගේ බලපුළුවන්කාරකම් නිසා වෙරළ ආරක්ෂක බලකායට පවා මෙයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට නොහැකි වී තිබීමය.


රජයේ මාණ්ඩලික නිලධාරීන්ගේ පමණක් නොව, මෙවැනි මට්ටමේ සිටින නිලධාරීන්ගේ ද වත්කම් ප්‍රකාශ ලබාගත යුතුය. එසේම දෙපාර්තමේන්තුවේ මෙවැනි කෝටි ගණන් වත්කම් උපයාගත් නිලධාරීන්ගේ සැබෑ වත්කම් සොයා බැලීමට බලධාරීන් වහාම මැදිහත් විය යුතුය.


මෙහි ඇති ඡායාරූපයෙන් දැක්වෙන්නේ කළණි ප්‍රේමතුංග නමැති සංවර්ධන නිලධාරිනිය විසින් අදාළ පුද්ගලයාට බලපත්‍රය ලබාදීම වෙනුවෙන් සඟවා ඇති තත්ත්වය පැහැදිලි වන, අදාළ පුද්ගලයා විසින් මුහුදේ ම තනා ඇති ගල් බැමි තාප්පය ය.


මීටත් අමතරව තවත් ලේඛන මා සතුව පවතින නමුත්, ඒවා මේ සමඟ පළ නොකරන්නේ එකී ලේඛන සකස් කළ පුද්ගලයන්ට අපහසුතාවයක් ඇති වේ යැයි අනුමාන කරන බැවිනි. මේ පිළිබඳව යමෙක් අභියෝග කරන්නට සූදානම් නම් එම ලේඛන අදාළ ආයතන වෙත මුදාහැරීමට  හැකි බව පමණක් මෙහි සඳහන් කරමි.


මේ අතර පසුගිය නොවැම්බර් 17 වැනිදා තංගල්ල ගොයම් බොක්ක මුහුදු වෙරළ  ප්‍රදේශයේ තිබු අනවසර ඉදිකිරීම්, වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් එහි හිමිකරුවන් ගේ විරෝධය නොතකාම ඉවත් කළහ. 


නමුත් වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ටර්නි ප්‍රදීප් කුමාර ගේ ඥාතීන් සහ හිත මිතුරන් විසින් ඉඳිකර ඇති ඉහත සඳහන් මාතර පොල්හේනේ අනවසර ඉදිකිරීම් වලට කිසිදු හානියක් නොකර තවත් කාලයක් දිගටම පවත්වාගෙන යාමට  ඉඩ දෙන ලෙස ඔහු විසින් ලිඛිත දැනුම්දීමක් සිදු කොට ඇත. 


තංගල්ලට එක නීතියකුත්, මාතර පොල්හේනට තව නීතියකුත්  ක්‍රියාත්මක වී තිබෙන බව දැන් ඉතා පැහැදිලිය. නීතිය ක්‍රියාත්මක කිරීමේදි මේ දෙබිඩි ප්‍රතිපත්තියට හේතුව කුමක්ද යන්න අධ්‍යක්ෂ ජනරාල් ටර්නි ප්‍රදීප් කුමාර වහාම ජනතාවට පැහැදිලි කළ යුතුය. 


අපට ලැබෙන තොරතුරු වලට අනුව නම් මාතර දිස්ත්‍රික්කයේ ජාතික ජන බලවේගයේ ඇමැතිවරයෙකු ද මේ පිටුපස සිටින බව දැනගන්නට ඇත. 


"එක රටක් - එක නීතියක් " , "නීතිය සැමට එකයි" , "නීතියේ ඉරට ඉහළින් කිසිවෙක් නැත" වැනි පිරිසිදු පඬි වදන් මාලාවක් ජාතික ජන බලවේග ආණ්ඩුව විසින් ජනතාව හමුවේ ඉදිරිපත් කරමින් සිටිය ද සැබැවින්ම සිද්ද වෙන්නේ "එක රටක් - නීති දෙකක්"  ප්‍රතිපත්තිය ය.


පරිසර ඇමැති, අමාත්‍යාංශය ලේකම් නිදි වැද සිටින විට වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ද ඇමැතිලා සමඟ එකතු වී තමන්ට රිසි සේ නිදි වදිමින් සිටින බව පැහැදිලිය. හුදී ජනයා විසින් කළ යුත්තේ මෙවැනි සිදුවීම් අරුමයක් ලෙස නොසලකා තව වසර දෙක තුනක් ඉතා ඉවසීමෙන් යුතුව බලා සිටීමය.


ජයලත්ගේ සුනිල් ගාමිණී ✍️

සියලු ප්‍රවෘත්ති — Political

තවත් දේශපාලන පක්ෂයක් නොව, පුළුල් ජනතා ව්‍යාපාරයක් ගොඩනඟමු!
නවතම ප්‍රවෘත්තිPolitical

තවත් දේශපාලන පක්ෂයක් නොව, පුළුල් ජනතා ව්‍යාපාරයක් ගොඩනඟමු!

සිවිල් සමාජයේ පොදු එකඟතාවක් මත ශ්‍රී ලංකාවේ දේශපාලන අනාගතය වෙනස් කළ නොහැකිද? ශ්‍රී ලංකාවේ දේශපාලනය දෙස බලන විට අද අප ඉදිරියේ ඇති ප්‍රධාන ප්‍රශ්නය වන්නේ ඊළඟට බලයට පත්වන්නේ කුමන දේශපාලන පක්ෂයද යන්න පමණක…

ඉල් මහ විරුවන්ගේ සිහින සහ වත්මන් යථාර්ථය...
නවතම ප්‍රවෘත්තිPolitical

ඉල් මහ විරුවන්ගේ සිහින සහ වත්මන් යථාර්ථය...

එදා ජීවිත පූජා කළේ කුමන සමාජයක් වෙනුවෙන්ද? අද බලය හොබවන්නේ කුමන සමාජ ආර්ථික ප්‍රතිපත්තියක් වෙනුවෙන්ද? ඉල් මහ විරු සමරුව යළිත් පැමිණ තිබේ. සෑම වසරකම නොවැම්බර් මාසය එළැඹෙන විට ජනතා විමුක්ති පෙරමුණේ ඉතිහ…

“ත්‍රස්තවාදී" උරචක්‍රමාලාව සහ දේශපාලනය..
නවතම ප්‍රවෘත්තිPolitical

“ත්‍රස්තවාදී" උරචක්‍රමාලාව සහ දේශපාලනය..

මීට සතියකට ඉහත මවිසින් ලියු කුඩා ලියවිල්ලක් ගැන මගේ සමහර දේශපාලන  මිතුරන් නැගු ප්‍රශ්න ගණනාවක් නිසා මෙය ලිවීමට අදහස් කලෙමි.  “ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීම” සඳහා ගෙන එන පනත සහ “සංවිදානා…

නැගෙනහිර ජැටිය ළඟ අසරණ වූ ජ. වි. පෙ.
නවතම ප්‍රවෘත්තිPolitical

නැගෙනහිර ජැටිය ළඟ අසරණ වූ ජ. වි. පෙ.

බලය නොමැති කාලයේ ජාතික සම්පත් රැකගැනීමේ සටන්…  බලය ලැබුණු පසු ප්‍රතිපත්ති වෙනස් කිරීමේ දේශපාලනය!.. දේශපාලනයේදී ප්‍රතිපත්ති වෙනස් කළ හැකිය. රටක ආර්ථික තත්ත්වය, තාක්ෂණික අවශ්‍යතා සහ ජාත්‍යන්තර ආර්ථ…