මුල් පිටුවට
නවතම ප්‍රවෘත්තිPolitical

නැගෙනහිර ජැටිය ළඟ අසරණ වූ ජ. වි. පෙ.

ලියුවේ Admin
නැගෙනහිර ජැටිය ළඟ අසරණ වූ ජ. වි. පෙ.

බලය නොමැති කාලයේ ජාතික සම්පත් රැකගැනීමේ සටන්… 


බලය ලැබුණු පසු ප්‍රතිපත්ති වෙනස් කිරීමේ දේශපාලනය!..


දේශපාලනයේදී ප්‍රතිපත්ති වෙනස් කළ හැකිය. රටක ආර්ථික තත්ත්වය, තාක්ෂණික අවශ්‍යතා සහ ජාත්‍යන්තර ආර්ථික පරිසරය අනුව ප්‍රතිපත්ති සංශෝධනය කිරීමද අසාමාන්‍ය දෙයක් නොවේ.


නමුත් තමන් බලය ලබාගැනීමට පෙර ජනතාව ඉදිරියේ පෙනී සිටි ආකාරයත්, බලයට පැමිණි පසු ක්‍රියාත්මක කරන ප්‍රතිපත්තියත් අතර ඇති වෙනස පිළිබඳ ජනතාවට වගකීමෙන් පිළිතුරු දිය යුතුය.

අද ජනතා විමුක්ති පෙරමුණ සහ ජාතික ජන බලවේගය මුහුණ දී සිටින්නේ එවැනි බරපතළ දේශපාලන අභියෝගයකටය.


එදා නැගෙනහිර ජැටිය වෙනුවෙන් ජ.වි.පෙ. ගෙන ගිය සටන මතකද?...

----------------------------------------

2016 වසරේදී යහපාලන ආණ්ඩුව කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තය (East Container Terminal – ECT) පෞද්ගලික ආයෝජකයෙකුට පැවරීමට සූදානම් වූ අවස්ථාවේ ජ.වි.පෙ. ඊට එරෙහිව දැඩි විරෝධයක් ගොඩනැඟීය.


එවකට ජ.වි.පෙ. නායකයා වූ අනුර කුමාර දිසානායක මහතා පෞද්ගලික ආයෝජකයෙකුට නැගෙනහිර පර්යන්තය ලබාදීමේ යෝජනාව දැඩිව විවේචනය කළේය.


එදා ඔවුන් ජනතාවට ඉදිරිපත් කළ තර්කය වූයේ කුමක්ද? වරාය යනු රටේ උපායමාර්ගික ජාතික සම්පතකි.

රාජ්‍ය සම්පත් පෞද්ගලික ආයෝජකයන්ට පැවරීම ජාතික ආර්ථිකයට අවාසිදායකය.

නැගෙනහිර පර්යන්තය ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ සංවර්ධනය කළ හැකිය.

රාජ්‍ය සම්පත් ආරක්ෂා කිරීම වෙනුවෙන් ජනතාව සහ වෘත්තීය සමිති සටන් කළ යුතුය. මේ එදා ඔවුන් ඉදිරිපත් තර්ක ය.


2021 වසරේදී ඉන්දියාවේ අදානි සමාගම සම්බන්ධයෙන් ඇති වූ නැගෙනහිර පර්යන්ත අර්බුදයේදීද ජ.වි.පෙ. එම විරෝධය අත්හැරියේ නැත.


අනුර කුමාර දිසානායක මහතා එදා නැගෙනහිර පර්යන්තය විදේශීය සමාගමකට පැවරීමේ උත්සාහය දැඩිව විවේචනය කළේය. වරාය සේවකයන්ගේ විරෝධතා සහ වෘත්තීය සමිති සටන්වලටද දේශපාලන සහාය ලබාදුන්නේය.

එදා ජ.වි.පෙ. පෙනී සිටියේ ජාතික සම්පත් ආරක්ෂා කරන දේශපාලන ව්‍යාපාරයක් ලෙසය.


අද ජනාධිපති අනුර කියන්නේ කුමක්ද?...

---------------------------------------

2026 නොවැම්බර් 7 වැනිදා කොළඹ පැවැති කම්කරු සමුළුව අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නැගෙනහිර ජැටිය ඇතුළු වරාය කළමනාකරණය සම්බන්ධයෙන් මෙසේ ප්‍රකාශ කළේය.


“වරාය මේ විදිහට ගිහිල්ලා අපිට වරායක් තියෙනවා කියලා කියාගෙන යන්න පුළුවන්. හැබැයි පරිවර්තනයක් ගන්න බැහැ. පරිවර්තනයක් ගන්න ඕනේ නම් මේ වරායේ සේවාවන් පිළිබඳව අපි අලුතින් කල්පනා කරන්න ඕනේ. කවුරුත් තරහා වෙන්න එපා. අපි හරිම තීන්දුවකට එනවා. වරායේ පැරණි යාන්ත්‍රයෙන් යන්න බෑ. නව කළමනාකරණයකට සහ පරිවර්තනයකට ලක් කරන්න ඕනේ මේවා.”


මෙම ප්‍රකාශයේ දේශපාලන වැදගත්කම අතිශය බරපතළය.


ජනාධිපතිවරයා මීට පෙර ආර්ථික හා ආයෝජන සමුළුවේදීද නැගෙනහිර පර්යන්තයේ අයිතිය රජය සතුව තබාගෙන කළමනාකරණ සමාගමක කොටස් පෞද්ගලික ආයෝජකයන්ට ලබාදීමේ සැලැස්මක් පිළිබඳ ප්‍රකාශ කර තිබිණි.


එනම් අද ආණ්ඩුවේ ස්ථාවරය වන්නේ රාජ්‍ය අයිතිය පවත්වාගෙන යන අතරම පෞද්ගලික ආයෝජන සහ නව කළමනාකරණ ක්‍රමවේදයන් හඳුන්වාදීමයි.

මෙය එදා ජ.වි.පෙ. ජනතාව ඉදිරියේ ගෙන ගිය විරෝධතා දේශපාලනය සමඟ සංසන්දනය කළ යුතු ප්‍රතිපත්තිමය වෙනසකි.


එදා වැරදි වූ දේ අද නිවැරදි වුණේ කොහොමද?....

----------------------------------------

මෙහිදී අප අසන ප්‍රශ්නය ඉතා සරලය.

එදා නැගෙනහිර පර්යන්තයට පෞද්ගලික ආයෝජකයෙකු සම්බන්ධ කරගැනීම ජාතික සම්පත් පාවාදීමක් ලෙස හඳුන්වා දුන් ජ.වි.පෙ. අද එවැනි ආයෝජන සහ කළමනාකරණ වෙනසක් සාධාරණීකරණය කරන්නේ කුමන පදනමක් මතද?


එදා ඉදිරිපත් කළ තර්ක සියල්ල වැරදිද?

එදා වරාය සේවකයන්ට, වෘත්තීය සමිතිවලට සහ ජනතාවට කළේ වැරදි දේශපාලන මඟපෙන්වීමක්ද?


එදා ආයෝජකයන්ට එරෙහිව ජනතාව උසිගැන්වීමෙන් වරායේ සංවර්ධන ක්‍රියාවලියට ඇති වූ ප්‍රමාදයන් පිළිබඳ දේශපාලන වගකීම කවුරුන් භාරගන්නේද?


2019 දී ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ ජපානය අතර නැගෙනහිර පර්යන්තය සංවර්ධනය කිරීම සඳහා ත්‍රෛපාර්ශ්වික එකඟතාවක් ඇති විය. 2021 දී ශ්‍රී ලංකාව එම එකඟතාවයෙන් ඉවත් විය. එම තීරණයට දේශීය විරෝධතා සහ වරාය වෘත්තීය සමිතිවල බලපෑම වැදගත් සාධකයක් විය.


එහෙත් එම සංවර්ධන සැලැස්ම ක්‍රියාත්මක වූවා නම් අද වරායේ තත්ත්වය කුමක් විය හැකිව තිබුණේද යන්න අපට නිශ්චිතව කිව නොහැකිය. ඒ පිළිබඳ විකල්ප ආර්ථික විශ්ලේෂණයක් සහ පිරිවැය-ප්‍රතිලාභ ඇගයීමක් අවශ්‍යය.


එහෙත් එදා ගෙන ගිය විරෝධතා දේශපාලනයේ ප්‍රතිඵල පිළිබඳ විවෘත සංවාදයක් අද අත්‍යවශ්‍යය.


“කවුරුත් තරහා වෙන්න එපා” කියන තැනට ආණ්ඩුව පත්වුණේ ඇයි?....

--------------------------------------

ජනාධිපතිවරයාගේ ඉහත ප්‍රකාශයේ වඩාත්ම අවධානයට ලක්විය යුතු කොටස වන්නේ “කවුරුත් තරහා වෙන්න එපා. අපි හරිම තීන්දුවකට එනවා” යන්නයි.


එදා නැගෙනහිර ජැටිය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් සටන් කළ වෘත්තීය සමිතිවලට අද ජනාධිපතිවරයා කියන්නේ වෙනස් තීරණයක් ගැනීමට ආණ්ඩුව සූදානම් බව නොවේද?


එදා වරාය සේවකයන්ගේ අයිතිවාසිකම් සහ ජාතික සම්පත් ආරක්ෂා කිරීම වෙනුවෙන් පෙනී සිටි ජ.වි.පෙ. අද එම සේවකයන්ට තමන්ගේ අලුත් ප්‍රතිපත්තිය පිළිගන්නා ලෙස ඉල්ලා සිටින තත්ත්වයකට පත්වී තිබේ.


එසේ නම් අද වරාය සේවකයන්ට සහ වෘත්තීය සමිතිවලට දැනගැනීමට අයිතියක් ඇති බොහෝ කාරණා තිබේ.


මෙම නව කළමනාකරණ ක්‍රමය තුළ වරාය අධිකාරියේ බලතල කොපමණ දුරට සීමා වෙනවාද?


පෞද්ගලික ආයෝජකයාට ලබාදෙන කොටස් ප්‍රමාණය කොපමණද?


කළමනාකරණ තීරණ ගැනීමේ අවසාන බලය කා සතුව පවතිනවාද?


සේවක රැකියා සුරක්ෂිතභාවයට කුමක් සිදුවෙනවාද?


රාජ්‍යයට ලැබෙන ආර්ථික ප්‍රතිලාභ මොනවාද?


මේ සියල්ල පිළිබඳ ගිවිසුම් ජනතාවට සහ පාර්ලිමේන්තුවට විවෘත කරනවාද?


මෙවැනි ප්‍රශ්න ඇසීම ජාතික සංවර්ධනයට විරුද්ධ වීමක් නොවේ. එය ප්‍රජාතන්ත්‍රවාදී වගවීමයි.


ප්‍රතිපත්ති වෙනස් කිරීමේ අයිතිය තිබෙනවා. නමුත් ජනතාව රැවටීමේ අයිතියක් නැහැ!.....

---------------------------------------

අපි නැවතත් කියන්නේ පෞද්ගලික ආයෝජනවලට අපි විරුද්ධ විය යුතු බවක් නොවේ.


රාජ්‍ය අංශයේ කාර්යක්ෂමතාව වැඩි කිරීමට අවශ්‍ය නම් නවීන කළමනාකරණ ක්‍රමවේද හඳුන්වාදිය යුතුය. වරායේ සේවාවන් ජාත්‍යන්තර තරගකාරීත්වයට ගැළපෙන ලෙස සංවර්ධනය කළ යුතුය.


නමුත් ඒ සඳහා එදා තමන්ම විවේචනය කළ ප්‍රතිපත්තියකට අද යොමුවන්නේ නම් එය සාධාරණීකරණය කිරීමට පැරණි තර්කවලට පිළිතුරු දිය යුතුය.


ජ.වි.පෙ. අද තමන්ගේ පැරණි දේශපාලන ප්‍රතිපත්තිය වෙනස් කර තිබේ නම් ඒ වෙනස ජනතාවට නිල වශයෙන් පැහැදිලි කළ යුතුය.

එදා තමන් කළ විවේචනවල වැරදි තිබුණා නම් ඒවා පිළිගත යුතුය. එදා ජනතාවට ඉදිරිපත් කළේ අසම්පූර්ණ හෝ වැරදි චිත්‍රයක් නම් ඒ පිළිබඳවද වගකීම භාරගත යුතුය.


අද ආණ්ඩුවට අවශ්‍ය වන්නේ නව කළමනාකරණයක් නම්, එදා ජ.වි.පෙ. ඉදිරිපත් කළ කළමනාකරණ විරෝධී දේශපාලන තර්කවලටත් පිළිතුරු දිය යුතුය.


අවසානයේ අපි අසන්නේ එක ප්‍රශ්නයකි!...

----------------------------------------

එදා නැගෙනහිර ජැටිය ආයෝජකයෙකුට ලබාදීමට විරුද්ධව ජනතාව අතරට ගිය අනුර කුමාර දිසානායක මහතා අද ජනාධිපතිවරයා ලෙස එවැනි ආයෝජන සහ කළමනාකරණ වෙනසක් සාධාරණීකරණය කරයි.


එදා ජාතික සම්පත් ආරක්ෂා කිරීම වෙනුවෙන් සටන් කළ ජ.වි.පෙ. අද තමන්ගේම පැරණි ප්‍රතිපත්තිය වෙනස් කරගෙන සිටී.


එසේ නම් රටේ ජනතාවට, විශේෂයෙන්ම එදා එම සටන්වලට සහභාගී වූ වරාය සේවකයන්ට සහ වෘත්තීය සමිතිවලට ජනාධිපතිවරයාගෙන් පිළිතුරක් අවශ්‍යය.


එදා ඔබ විරුද්ධ වූයේ වැරදි දෙයකටද? 


නැත්නම් අද ඔබ කරන්නේ එදා ඔබම වැරදි යැයි කියූ දෙයද?


එදා ජනතාවට කියූ දේ වැරදි නම් එය පිළිගන්න. අද කරන දේ නිවැරදි නම් එය ඔප්පු කරන්න.


දේශපාලනයේදී බලය ලබාගැනීමට පෙර කියන කතාවලින් පමණක් ජනතාව රවටා බලයට පැමිණිය නොහැකිය.


ජනතාවට අවශ්‍ය වන්නේ විපක්ෂයේ සිටියදී එක ප්‍රතිපත්තියක් සහ ආණ්ඩුවේ සිටියදී තවත් ප්‍රතිපත්තියක් නොවේ.


ජනතාවට අවශ්‍ය වන්නේ බලය ලැබුණත් නොලැබුණත් එකම ප්‍රතිපත්තියක, එකම දේශපාලන අවංකභාවයක සහ එකම වගවීමක සිටින ආණ්ඩුවකි!


ජයලත්ගේ සුනිල් ගාමිණී ✍️ 

සියලු ප්‍රවෘත්ති — Political

තවත් දේශපාලන පක්ෂයක් නොව, පුළුල් ජනතා ව්‍යාපාරයක් ගොඩනඟමු!
නවතම ප්‍රවෘත්තිPolitical

තවත් දේශපාලන පක්ෂයක් නොව, පුළුල් ජනතා ව්‍යාපාරයක් ගොඩනඟමු!

සිවිල් සමාජයේ පොදු එකඟතාවක් මත ශ්‍රී ලංකාවේ දේශපාලන අනාගතය වෙනස් කළ නොහැකිද? ශ්‍රී ලංකාවේ දේශපාලනය දෙස බලන විට අද අප ඉදිරියේ ඇති ප්‍රධාන ප්‍රශ්නය වන්නේ ඊළඟට බලයට පත්වන්නේ කුමන දේශපාලන පක්ෂයද යන්න පමණක…

වෙරළේ අනවසර ඉදිකිරීම් සුරකින දූෂිත නිළධාරීන් සහ මැතිඇමතිවරු...
නවතම ප්‍රවෘත්තිPolitical

වෙරළේ අනවසර ඉදිකිරීම් සුරකින දූෂිත නිළධාරීන් සහ මැතිඇමතිවරු...

මාතර පොල්හේනේ සුන්දර වෙරළ තීරයේ අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමේ 'නීතියේ බුල්ඩෝසරය' අවසානයේදී නැවී ඇත්තේ කාගේ කවුරුන්ගේ සාක්කුවටද? ​දිවයිනේ අනෙකුත් වෙරළ තීරයන්හි සාමාන්‍ය මිනිසුන්ගේ කුඩා කඩ සාප්පු සහ තාවකා…

ඉල් මහ විරුවන්ගේ සිහින සහ වත්මන් යථාර්ථය...
නවතම ප්‍රවෘත්තිPolitical

ඉල් මහ විරුවන්ගේ සිහින සහ වත්මන් යථාර්ථය...

එදා ජීවිත පූජා කළේ කුමන සමාජයක් වෙනුවෙන්ද? අද බලය හොබවන්නේ කුමන සමාජ ආර්ථික ප්‍රතිපත්තියක් වෙනුවෙන්ද? ඉල් මහ විරු සමරුව යළිත් පැමිණ තිබේ. සෑම වසරකම නොවැම්බර් මාසය එළැඹෙන විට ජනතා විමුක්ති පෙරමුණේ ඉතිහ…

“ත්‍රස්තවාදී" උරචක්‍රමාලාව සහ දේශපාලනය..
නවතම ප්‍රවෘත්තිPolitical

“ත්‍රස්තවාදී" උරචක්‍රමාලාව සහ දේශපාලනය..

මීට සතියකට ඉහත මවිසින් ලියු කුඩා ලියවිල්ලක් ගැන මගේ සමහර දේශපාලන  මිතුරන් නැගු ප්‍රශ්න ගණනාවක් නිසා මෙය ලිවීමට අදහස් කලෙමි.  “ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීම” සඳහා ගෙන එන පනත සහ “සංවිදානා…