Back to home
Breaking newsPolitical

අපේ ටිරාන් අයියාට.. අත නොතබනු...!

අපේ ටිරාන් අයියාට.. අත නොතබනු...!

හිටපු අමාත්‍ය ටිරාන් අලස්ට බය හිතී ඇතැයි ලියන්නට පුළුවන. ඒත් එය විහිළුවකි. ටිරාන් උන්නැහේ ජාතික ජන බලවේග  ආණ්ඩුවෙන් නම් මේ සම්මජ්ජාතියකට අත්අඩංගුවට නොගන්නා බවට පුරවැසියන් අතර අදහසක් තිබේ. ඒ අදහස ඇත්තේ විරුද්ධ පක්ෂයේ වුන් අතර නම් නොවේ.

විරුද්ධ පක්ෂයේ එවුන්ට ටිරාන් අත්අඩංගුවට ගත්තත් එකය. නොගත්තත් ඒත් කමක් නැත. ටිරාන් අලස්ව මේ ආණ්ඩුව යටතේ අත්අඩංගුවට නොගන්නා බවට අවලාද නගන්නේ ජාතික ජන බලවේගයට ආණ්ඩු තනන්නට  ඡන්දය දුන් පුරවැසියන්ය.


ජාතික ජන බලවේගය බලය⁣ට පත් වූ  අළුත ටිරාන් අලස් උන්නැහේට විශේෂ කාර්ය

බලකායේ 18 ක් පමණ ආරක්ෂාවට ලබා දී තිබුණි. ඒත් ඒ ආරක්ෂාව පසු කාලීනව ඉවත් කෙරිණි. ඊට හේතු වූයේ එම ආරක්ෂාව ගැන කට කැඩිච්ච කතා තැනින් තැනින් ඇහෙන්නට පටන් ගත් නිසා මිස වෙන කෙහුරක් නිසා නොවේය. එම ආරක්ෂාව දිගටම දී තිබුණේ නම් ජාතික ජන බලවේගයේ කන්‍යා භාවයට කෙල වන්නට ඉඩ තිබුණේය.               


මේ තරමටම ටිරාන් අලස් ජාතික ජන බලවේගයේ පූජනීය සංකේතයක් වී සිටින්නේ මන්දැයි අපට නිශ්චිතව පැහැදිලි කරන්නට නොහැකිය. ඒත් ඒ පිළිබඳව බොහෝ කයි කතන්දර නිර්මාණය වී තිබේ. ඒ කයි කතන්දර වල ඇත්ත නැත්ත කෙසේ වෙතත් ටිරාන් අලස් සම්බන්ධයෙන් ජාතික ජන බලවේග ආණ්ඩුව පසුවන්නේ අමුතුම ජාතියේ සහෝදර ප්‍රේමයකින් බව නම් අපටත් ⁣වැටහී තිබේ.


ටිරාන් අලස් ගේ පැටිකිරිය දන්නා ඕනෑම අයෙකු ඔහු හොඳ දේශපාලන ගේම් කාරයකු බව දනී. ඕනෑම දේශපාලඥයකු හැසිරවීමට තරමේ තුරුම්පු ඔහු ලඟ තබා ගෙන සිටී. ඒ තුරුම්පු වල හිමි කාරිත්වය ඔහු සපයා ගන්නේ අදාල දේශපාලඥයා අමාරුවේ දමාය. තමන් අමාරුවෙි වැටුණ බව ඒ දේශපාලඥයා තේරුම් ගන්නේද ටිරාන් ගේ උගුලට හසු වීමෙන් පසුවය.


මේ අමාරුවෙි දැමිල්ල කෙසේද යත් ටිරාන් අලස් ගේ උගුලට හසු වූ එකෙකුට යලි ආපසු ඒමක් නැත. ඒ නිසාම මේ උගුලට අසු වූ කිසිවෙකුත් අම්මා මුත්තා කිව්වත් ටිරාන් අලස්ට එරෙහිව කටක් අරින්නේද නැත. එය එසේ වුව හොත් තම තමන්ගේ සිල් රෙදි ගැලවෙන බව හැමදෙනාම දනී.


මේ වන විට අසන්නට ලැබෙන අළුත්ම තොරතුර තමන් අත් අඩංගුවට නොගන්නා ලෙස ඉල්ලා ටිරාන් අලස් අභියාචනාධිකරණයට ඉදිරිපත් කර ඇති පෙත්සම ගැන ප්‍රවෘත්තියයි.


පුද්ගලික සමාගමක් අතර සිදු වූ  මුල්‍ය ගනුදෙණුවක් මුල් කරගෙන  තමන් අත්අඩංගුවට ගැනීම වලක්වා ගැනීම පිණිස වූ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ටිරාන් අලස් ගොනු කරන ලද මෙම රිට් පෙත්සම ජුලි 30 වනදා  විභාගයට ගැනීමට දින විභාගයට ගැනීමට අභියාචනාධිකරණය දින නියම කර තිබේ. අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන මහේන්ද්‍ර හා ප්‍රදීප් හෙට්ටිආරච්චි යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් හමුවේ මේ රිට් පෙත්සම විභාගයට ගැනීමට නියමිතය.


තමාගේ හිමි කාරිත්වය යටතේ තිබෙන 

සිලොන් නිවුස් පේපර්ස් පුද්ගලික සමාගම සහ තමන් සමග ගනුදෙණු කළ කේසර ලංකා සමාගම අතර ඇතිවූ මුල්‍යමය ආරවුලක් නිසා පොලීසිය තමන් අත් අඩංගුවට ගැනීමේ අවදානමක් තිබෙන බවද ටිරාන් අලස් එම රිට් පෙත්සම මගින් අධිකරණයට කරුණු දක්වා තිබේ.


දේශපාලන ශුද්ධාත්මයක් සේ සැළකෙන ටිරාන් අලස් පොලීසිය මගින් අත්අඩංගුවට ගැනීමට යන බව පවා අප තුළ සැකයක් අවිශ්වාසයක් ජනිත කරවන තොරතුරකි. අප ඒ ගැන කිසිත් නොලියමු.


විය හැක්කේ කුමක්ද යන්න ගැන ඕනෑම කෙනෙකුට තමන් කැමති ආකාරයට හිතා ගන්නට පුළුවන.


ඒත් අපි අපේ ටිරාන් අයියාට.......... සරණයි කියා ලියා තබමු. හිස් තැන පිරවීම ලිපිය  කියවන අයට අයිති රාජකාරියකි.



දක්ෂිණ ලියනාරච්චි ✍️