මේ කෙලවිල්ල මැදැයි, දැන්වත් තේරුම් ගනිල්ලා...

මීගමුව බන්ධනාගාරය තුළ පසුගිය ඉරිදා ඇරඹුන කැරැල්ල අවසන් වූයේ ජේලර්වරයකු බන්ධනාගාර නිළධාරීන් හත් දෙනෙකු ඇතුළුව විසි හය දෙනෙකු ගේ ජීවිත අහිමි කරමිනි. ඒ කැරැල්ලෙන් තුවාල ලද 100කට ආසන්න පිරිසක් මේ වන විටත් රෝහල් තුළ ප්‍රතිකාර ලබමින් සිටී. බරපතල ලෙස වද බන්ධනයට ලක් වූ බන්ධනාගාර නිළධාරීන් කිහිප දෙනෙක්ද දැඩි සත්කාර ඒකක තුළ අසාධ්‍ය තත්ත්වයේ මේ වන විටත් ප්‍රතිකාර ලබමින් සිටින බවද අනාවරණය වේ.
මේ ඛේදජනක සිද්ධියේ ආරම්භය පිළිබඳව විවිධ තොරතුරු වාර්තා වෙමින් පවතී. මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් නේවාසිකයන් දෙපිරිසක් අතර පැවැති ආරවුල දිග්ගැස්සීමේ අවසානය පාලනය කර ගත නොහැකි කැරැල්ලක් බවට වර්ධනය වූ බවට කියවෙන ප්‍රවෘත්තිය එම තොරතුරු අතර ප්‍රධාන වේ. ඒ අතරම බන්ධනාගාරය තුළ සීමාව ඉක්මවා නේවාසිකයන් රඳවා තැබීම නිසා පැවැති පීඩනය පුපුරා යාමෙන් එම කැරැල්ල වඩාත් සාහසික ආකාරයෙන් වර්ධනය වූ බව ද පැවසේ.
බන්ධනාගාරය තුළ මතුවූ එම නොසන්සුන්තාව සමග එහි නේවාසිකව සිටි ලැයිස්තුගත අපරාධකරුවන් කණ්ඩායමක් ඉන් පලා යාමට උත්සාහ කිරීමද කැරැල්ල ලේ වැගිරීමක් දක්වා යාමට හේතු වූ බව තවත් තොරතුරකින් අනාවරණය වේ. කෙසේ වෙතත් මේ තොරතුරු වාර්තාවන් එකිනෙකට සම්බන්ධ ඇමිනුම් ජාලයක් ලෙස ගන්නවා මිස වෙන් වෙන්ව හුදකලාව සිදුවූ සිද්ධීන් ලෙස සැළකිය නොහැකිය.
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක වරයා සඳහන් කළ ආකාරයට සිද්ධිය හට ගත් දිනට පසු දින නේවාසිකයන් හට උදෑසන ආහාරය බෙදා හරින අවස්ථාවේ සිරකරුවන් පිරිසක් නිළධාරීන්ට පහරදී ඝාතනය කර පසුව බන්ධනාගාරයේ යකඩ දොර කඩා දමමින් බන්ධනාගාරයෙන් පලා යාමට ප්‍රයත්න දරා තිබේ.
ඒ වන විටත් පවතින ගැටුම්කාරී තත්ත්වය පාලනය කිරීමට බන්ධනාගාරයෙන් පිටත පොලීසිය, විශේෂ කාර්ය බලකාය, යුද හමුදාව හා ගුවන් හමුදාවද රඳවා තිබුණි. බන්ධනාගාරයේ යකඩ දොර කඩා දමමින් රැඳවියන් ඉන් පිටතට පැමිණීමේ උත්සාහය නතර වූයේ යම් ආරක්ෂක අංශ නිළධාරියකු පිටත දොර කවුළුවෙන් ඇතුළතට තිබූ වෙඩි ප්‍රහාරය හේතුවෙනි. මේ නිළධාරියාගේ ක්ෂණික මැදිහත්වීම නොවූයේ නම් රැඳවියන් පිටතට පැමිණෙන්නට ඉඩ තිබූ අතර එය මීටත් වඩා මහා ඛේදවාචකයක් වන්නට ඉඩ තිබුණි.
ඒ වන විටත් ආරක්ෂක අංශ සහ රැඳවියන් යන දෙපාර්ශවයම සිටියේ මරු විකල්ලෙනි. එහිදී සිය සහෝදර නිළධාරීන් පිරිසක් ඝාතනය කරන ලද සාහසිකයන් තෝරා බේරා මානුෂිකව රාජකාරි කරන තරමට එහි පිටත සිටි නිළධාරීන් තුළ විනයක් තිබිය යුතුය යනුවෙන් කවරකු හෝ තර්ක කරන්නේ නම් ඔහුගේ ඔළුව පරීක්ෂා කළ යුතුය.
සැබැවින්ම එය මිල්ටෙරි නන්දසේන විසින් වැලිකඩ බන්ධනාගාරයට මෙලේච්ඡ වදකයන් යවා තෝරාගත් රැඳවියන් සාහසික ලෙස වෙඩි තබා ඝාතනය කළ සිද්ධිය හා කිසිසේත්ම ගලපා ගත නොහැකිය. බන්ධනාගාරයේ පිටත දොරටුවේ සිට වෙඩි තැබීම නිසා රැඳවියන් ගේ පලා යාමේ උත්සාහය අත් හිටුවිනි. මෙය අවම බලය යෙදවීමයි.
මේ සාහසික කැරැල්ලේ ප්‍රධානම හේතුවම බන්ධනාගාර තුළ පවතින තද බදය බව රජය වටහා ගත යුතුය. ජනපතිවරයාගෙන් ලකුණු දමා ගැනීමේ අපේක්ෂාවෙන් හැඳුනුම්පත නැතුව ගමන් කරන පුරවැසියන් පවා කුදලා ගෙන ගොස් බන්ධනාගාර ගත කරන පොලීසියේ අනීතික මෙහෙයුම් වල ප්‍රතිඵල මෙසේ අත් විඳින්නට ඉඩ ලැබී ඇති බවද රජය වටහා ගත යුතුය.
ඇතැම් පොලිස් ලොක්කන් ගේ නියෝග මත සිඳු කරන ඇතැම් අනීතික මෙහෙයුම් නිසා මේ වන විටත් පොලිස් පොඩ්ඩන්ද සිටින්නේ දැඩි ලෙස හෙම්බත්වය. ඒ හෙම්බත්වීම නිසාම සමාජයට විඳින්නට සිදු වී ඇති කරදරයද අති විශාලය. මත් ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් කරන බවට උජාරුවෙන් මාධ්‍ය වලට සිය කෙරුම්කාර කම් පෙන්වන පොලිස් ලොක්කන් අහිංසක පුරවැසියන් කුදලා ගෙන ගොස් බන්ධනාගාර පිරවීමේ ක්‍රීඩාව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ මානව හිමිකම් ඉතා බරපතල ලෙස උල්ලංඝනය කරන තරමට වර්ධනය වෙමින් පැවතුණි.
මත් ද්‍රව්‍ය ජාවාරම් වැලැක්වීම පිණිස පොලීසිය අත් අඩංගුවට ගන්නා සැකකරුවන් පිළිබඳව ලැබෙමින් තිබූ ගණන් හිලව් ගැන ආණ්ඩුවේ නිළමක්කාරයන් හිටියේද අමුතුම උද්දාමයකිනි. ආණ්ඩුවේ නිළමක්කාරයන්ට පොලීසියේ ලොක්කන් ගේ ගොන්කම් ගැන කිසිම අදහසක්ද නොවීය. පුරවැසියන් බන්ධනාගාර වල ගාල් කිරීමෙන් මෙරට මත් ද්‍රව්‍ය ජාවාරම නැවැත්විය හැකියැයි දෙපාර්ශවයම සිතා සිටි බව පෙනෙන්නට ඉඩ තිබුණි.
ඇතැම් පොලිස් ලොක්කන් පොලිස් ඇමති ඩබලට දිරච්ච කඹ ගිල්වමින් සිටියේ "පැණි බුන්දි" විදියටය. රාජ්‍ය පාලනය ගැන හයක් හතරක අත් දැකීම් නැති ඇමති බබාලා දෙන්නා සිටියේ මෙරට මත්ද්‍රව්‍ය භාව්තා කරන්නන් හිරගෙදරට ගාල් කිරීමේ ආතල් එකේය. එහි පවතින තද බදය ගැන මේ බබාලාට අදහසක්ද නොවීය.
සැබැවින් මීගමුව බන්ධනාගාරයෙන් පිපිරී ගියේ පුරවැසියන් ඉතා කණගාටුදායක ආකාරයෙන් අත් විඳිමින් පැවැති පොලීසියේ එම හිතුවක්කාර ක්‍රියාදාමයයි. මීගමුව බන්ධනාගාර කැරැල්ලේ මුල ඒ තුළ රඳවා සිටි රැඳවීයන් මරන්නට සිටින හරකුන් මෙන් ගාල් කිරීම නිසා ඔවුන් තුළ පැවැති දැඩි මානසික පීඩනය මිස වෙනත් කාරණයක් නොවේ.
බන්ධනාගාර ලොක්කන්ද හිටියේ කිසිත් කර කියා ගත නොහැකි වට පිටාවකය. අධිකරණ නියෝග මත බන්ධනාගාර ගත කරන රැඳවියන් "කෑලි ගානට පැක් කරනවා" මිස ඔවුන් තුළ වෙනත් විකල්පයක්ද නොවීය. ඒ විකල්පය ගැන කල්පනා කළ යුතුව තිබුනේ අධිකරණ ඇමතිවරයාය.
අපට ලැබෙන තොරතුරු අනුව මීගමුව බන්ධනාගාරය තුළ මතුවූ නොසන්සුන්කාරී තත්ත්වය ගැන වාර්තා කිරීමට බන්ධනාගාර බලධරයන් අධිකරණ ඇමතිවරයා හා සම්බන්ධ වීමට අවස්ථා ගණනාවකදී උත්සාහ කර ඇතත් එය අසාර්ථක වී තිබේ.
ඒ ගැන නම් පුදුම වන්නට දෙයක් නැත. ඒ මන්ද යත් මේ ආණ්ඩුවේ ඇමතිවරයකු දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීමට යමෙකුට හැකි වූයේ නම් එය "සංවර්ධන ලොතරැයියේ පළමු ත්‍යාගය" දිනා ගත්තා වාගේ වැඩකි. එම ප්‍රශ්ණයට මුහුණ පා ඇත්තේ පුරවැසියන් පමණක් නොවේ. ආණ්ඩුවේ රාජකාරි කරන ලොක්කන්ටද ඒ තත්ත්වය එසේම බව මේ සිද්ධියෙන් තහවුරු වේ.
මේ සිදුවීම පිළිබඳව විපක්ෂයද විවිධ ප්‍රකාශ නිකුත් කරමින් සිටී. එහිදී හිටපු අමාත්‍ය ජී.ඇල්.පීරිස් පවසා ඇත්තේ මේ සිද්ධිය ජාත්‍යන්තර වශයෙන් අපේ රටට කැළලක් බවය. ජී.ඇල්.පීරිස් මේ වන විට ඩිමෙන්ෂියා රෝගයෙන් පෙළෙන තරමේ වයසක පසුවෙන අයෙක් බව අමුතුවෙන් සඳහන් කළ යුතු නැත. ඔහුට ඔහුගේ අතීත කෙරුවාව අමතක වී ඇත්තේ ඒ නිසා බව සිතේ.
චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනපතිවරිය මෙරට පාලනය කරන අවදියේ 2000 ඔක්තෝම්බර් 25 වන දින බණ්ඩාරවෙල බිඳුණුවැව පුනුරුත්ථාපන කඳවුරේ රැඳවියන් ලෙස සිටි දෙමළ ජාතිකයන් 21 දෙනෙකු පොලීසිය හා ප්‍රදේශවාසීන් විසින් කපා කොටා ඝාතනය කරන ලදී. ඒ දිනවල එම ආණ්ඩුවේ අධිකරණ ඇමතිවරයා ලෙස කටයුතු කෙරුවේ ජී.ඇල්.පීරිස්ය.
මීගමුව සිද්ධියෙන් ජාත්‍යන්තරව අපේ රටට කැළලක් ඇතිවූ බව පවසන්නේ මේ උන්දෑය. නාමල් රාජපක්ෂට තමන්ගේ මිල්ටෙරි බාප්පාගේ වැලිකඩ මහා මිනිස් ඝාතනය අමතකය. මේ හැම දෙනාම මීගමුව බන්ධනාගාරයේ ඇතිවූ සිද්ධිය ගැන චෝදනා කරන්නේ තුන් කුළුදුලේ මෙරට මෙවැනි ආරවුලක් ඇතිවූ ගාණටය.
මීගමුව බන්ධනාගාරය තුළ සිදු වූ සිද්ධිය මේ ආකාරයට විවිධ මානයන් ගෙන් සාකච්ඡා කළ හැකිය. කියවාගන්නටද පුළුවන. එහි අවසන් පරිච්ඡේදය ගැන අපටද අදහසක් තිබේ. බන්ධනාගාරය තුළ සිටින රැඳවියන් හා බන්ධනාගාර නිළධාරීන් අතර අන්‍යනෝන්‍ය දැනුවත් ගණුදෙනුවක් පවතී.
දිනපතා උදය හා සවස මුණ ගැසෙන කතා බහ කරන බන්ධනාගාර නිළධාරීන් තමන්ගේ වෛරක්කාරයන් පිරිසක් ලෙස රැඳවියන් සිතන්නේද නැත. අතරින් පතර බන්ධනාගාර තුළ නිළධාරීන් හා රැඳවියකු අතර ආරවුලක් ඇති වුවද ඒ ආරවුල හුදකලාවම නිරාකරණය වේ.
බන්ධනාගාර තුළ සිටින රැඳවියන් රුස්සන්නේ නැත්තේ එහි රාජකාරි කරන ලොකේෂන් නමින් හඳුන්වන බන්ධනාගාර නිළධාරීන් දෙතුන් දෙනාය. බන්ධනාගාරයක් තුළ ලොකේෂන් නමින් හැඳින්වෙන්නේ විනය අංශයයි. රැඳවියන්ද මේ අංශයේ නිළධාරීන් සම්බන්ධයෙන් බය පක්ෂපාත කමක් දක්වයි. මේ විනය අංශයේ නිළධාරීන්ද රැඳවියන් සිදු කරන වැරදි විෂයෙහි බරපතල දඩුවම් වලට යටත් නොකිරීමටද වග බලා ගනී. ඒ බන්ධනාගාරය ඇතුළත පාලනය තුළ ඉතා තදින් සිටීමෙන් රැඳවියන් ගේ මානසික පීඩනය වඩාත් හිතුවක්කාරී විය හැකි බැවිනි.
මීගමුව බන්ධනාගාරය තුළ ඇතිවූ කැරැල්ල බන්ධනාගාර නිළධාරීන් ඝාතනය දක්වා පැතිරී ගියේ ඉහත පසුතලය තුළ පැවැති නොනිල සම්මුතිය කඩා බිද වැටීම නිසාය. ඉරිදා දින මීගමුව බන්ධනාගාරය තුළ පැවැති ආරවුල එදින රාත්‍රිය වන විට නිශ්චල ගැඹුරක ගිලී ගියේය. ඒ ගැඹුරේ ගිණි පළිගු නොතිබුණා නොවේ.
ඊට පසුදින උදෑසන රැඳවියන් පරණ පුරුද්දට කෑම පෝලිමට එක් වන විට එහි සිටියේ පරණ පුරුදු ජේලර් ගාඩ් මහත්වරුන් නොවේ. එහි සිටියේ ශ්‍රී ලංකා බන්ධනාගාර හදිසි ප්‍රතිචාර උපක්‍රමික බලකායේ නිළධාරීන්ය. බන්ධනාගාර තුළ කැරළි හා නොසන්සුන්තාව මර්දනය, විශේෂ ගණයේ රැඳවියන්ගේ ආරක්ෂාව, තහනම් ද්‍රව්‍ය වැටලීම, විනිවිද භාවය හා දූෂණ මර්ධනය මේ නිළධාරීන්ගේ රාජකාරියයි.
මේ කණ්ඩායමේ ඇතමුන් යුද හමුදාවෙන් අවුරුදු දොලහක සේවා කාලයෙන් ඉවත්ව බන්ධනාගාරයට එක්වූ අය වේ. සැබැවින්ම මේ කණ්ඩායම අර්ධ මිල්ටෙරි කණ්ඩායමක් ලෙස සැළකිය හැකිය. ඔවුන් හා රැඳවියන් තුළද පැවතුණේ දුරස්ථ බවකි. ඔවුන්ගේ රාජකාරිමය ස්වභාවය ගැන රැඳවියන් තුළ පමණක් නොව ඇතැම් බන්ධනාගාර නිළධාරීන්ටද පවතින්නේ නොපහන් බවකි.
උදෑසන මීගමුව බන්ධනාගාරය තුළට කඩා වැදුන එම නිළධාරීන්, රැඳවියන් හැසිරවීමට කළ නියෝග සිදු කෙරුවේ පරණ පුරුදු ජේලර් මහත්වරුන්ගේ සමීපස්ථ බව තුළ සිට නොවේ. මේ නිළධාරීන් කණ්ඩායමද සිය වෘත්තිමය භාවය ගැන අධි තක්සේරුවෙන් කටයුතු කර ඇති බව සිතා ගන්නට පුළුවන. ඇවිස්සී සිටි රැඳවියන්ට මේ නිළධාරීන් ගේ හයිරන්කාර කම ඇල්ලුවේද නැත. ඇවිලුන ගින්දර ගින්දරෙන්ම නිවීමට බන්ධනාගාර ලොක්කන් කල්පනා කරා වෙන්නට පුළුවන.
එහෙත් ඒ චන්ඩිකම රැඳවියන් තඹ දොයිතුවකට ගණන් ගත්තේ නැත. රැඳවියන් කණ්ඩායමේ නිළධාරීන්ට පහර දීම ඇරඹෙද්දී මේ සියළුම දෙනා දිව ගොස් නැවතුනේ බන්ධනාගාර අධිකාරී කාර්යාලයේය. එහි පැමිණි රැඳවියන් එම බන්ධනාගාර නිළධාරීන් කණ්ඩායමට පහරදී ඝාතනය කෙරුවේ අමානුෂික ආකාරයෙනි. එහිදී මේ නිළධාරීන්ගේ නිල ඇඳුම් පවා ගලවා පහර දී ඇති බවද අනාවරණය වෙි.
මීගමුව බන්ධනාගාරය තුළ ඉරිදා රැඳවියන් දෙපාර්ශවයක් අතර ඇතිවූ සිද්ධිය නිවී තිබියදී එය නැවත අවුලවා ගැනීම සිද්ධ වූයේ බන්ධනාගාර පාර්ශවයේ අධිකාරීවාදය බව මින් වටහා ගත හැකිය. සිය අර්ධ මිල්ටෙරි බලය යොදවා රැඳවියන් ආන් බන් කර ගන්නට හැකි වෙනු ඇතැයි බන්ධනාගාර ලොක්කන් කල්පනා කරන්නට ඇති බව සිතේ. සියල්ල වැරදුුනේ ඒ අධි තක්සේරුව තුළය.
දැන් සියල්ල සිද්ධ වී හමාරය. දැන්වත් ආණ්ඩුව පුරවැසියන්ට ඇහුම්කන් දිය යුතු බව වටහා ගත යුතුය. පොලීසියේ හිතුවක්කාර අත් අඩංගුවට ගැනීම් ගැන සමාජ මාධ්‍ය තුළින් වාර්තා කෙරුවේ තොග ගණනටය. ඒත් ආණ්ඩුවේ කෙරුම්කාරයන් හිටියේ බන්ධනාගාර වලට පුරවැසියන් දැක්කීමෙන් පොලීසිය මාර හපන්කමක් කරන බවට සිතමිනි.
දැන් ආණ්ඩුවේ පුක බිම ඇණී තිබේ.
මීගමුවෙන් ආණ්ඩුව පාඩමක් ඉගෙන ගන්නේ නම් ඒ හොඳටම සෑහේය.
දක්ෂිණ ලියනාරච්චි ✍️




