Back to home
Breaking newsArt and Culture

"ප්‍රියන්ත කොලඹගේ" අධ්‍යක්ෂක භූමිකාවේ ද්විත්ව ප්‍රවේශය...

"ප්‍රියන්ත කොලඹගේ" අධ්‍යක්ෂක භූමිකාවේ ද්විත්ව ප්‍රවේශය...

සිනමාවේ හෝ වේවා, ටෙලි නාට්‍යයේ හෝ වේවා වෙනයම් මාධ්‍යයක හෝ වේවා, අධ්‍යක්ෂකවරයෙකුගේ නිර්මාණාත්මක කර්යභාරය සුවිශේෂයි. අනිත් පැත්තෙන් ඊට අනුරූපීව ගොඩනැගී ඇති වෙළෙඳපොල ජය ගැනීම.


නිර්මාණාකරුවා තනිකරම ස්වාධීන පුද්ගලයකු ලෙස නොව වෙළෙඳපොලට අභිමත පරිදි හසුරවන පුද්ගලයකු බවට පත්වූයේ අද ඊයේ නොවේ. විවෘත ආර්ථිකයේ සංක්‍රමණයත් සමග කලා වෙළෙඳපොලෙහි වූ වටිනාකම් උඩුයටිකුරුවීම අතිශයින්ම සිනමාව, ටෙලි නාට්‍ය කලාව ඇතුළු සියලු මාධ්‍යයන්ට බලපෑම්කර තිබේ. ඒ  කියන්නෙ කලා සංස්කෘතික වපසරිය පුළුල් වූයේ, දේශපාලනික සංදර්භයක් තුළ නොව ආර්ථික වටිනාකම්වලට මුල්තැනදෙන සමාජ වටපිටාවකයි. 


මේ නිසා  තමයි රාවය පත්තරයේ මාධ්‍යය චායාරූපකරණයේ සිට සම්භාව්‍ය සිනමාව, (ඒ කාලෙ භාවිතා කල යෙදුම) වෙළෙඳ දැන්වීම් ක්ෂේත්‍රය, ටෙලිනාට්‍ය ක්ෂේත්‍රය  හරහා විච්ත්‍ර රසවින්දනාත්මක සිනමාවට පිවිසෙන්න ප්‍රියන්තට සිදු වුණේ. 


එතකොට  සිනමා ටෙලිනාට්‍ය අධ්‍යක්ෂකවරයෙකුට පූර්ණ ලෙස ස්වාධීන වෙන්න බැහැ කියන වග දේශපාලනිකව පැහැදිලියි. මොකද නිර්මාණකරුවාගේ නිර්මාණය  කියන්නෙ විශාල දේශපාලන යාන්ත්‍රණයක් මැද්දෙ ඵල දරන බීජයක්. ඒ නිර්මාණාත්මක  බීජයේ ප්‍රතිනිර්මාණය  වගකියන්න වෙන්නෙ එකී යාන්ත්‍රණයට, එකී වෙළෙඳපොළට විනා තමන්ගෙ ස්ව රුචිකත්වයන්, දේශපාලන අභිලාෂයන් උදෙසා මොරදෙන දේශපාලනිකව කල්ලිගතවූ  පුද්ගලයන්ට හෝ දේශපාලන විචාරකයන්ට නොවෙයි. 


මේ පසුබිමගැන කතා නොකොට නිර්මාණය හෝ නිර්මාපකයා ගැන කතා කිරීම විහිලුවක්. දැන් මේ තර්කනය තුල සිට බලන කල වෙළෙඳ පොලවල් දෙකක් සදහා ඉලක්ක ගත කරන ලද සූරිය සුළඟ චිත්‍රපටිය සහ බැද්දේගම ටෙලි නාට්‍ය නිර්මාණය ගැන සලකා බැලීම තුලින් මේ තත්ත්වය විග්‍රහ කිරීම සමාජ විද්‍යාත්මක විග්‍රයකට එලඹුමකට, යම් ප්‍රවේශයකට මග පාදයි. 


'සූරිය සුළඟ' විචිත්‍ර රසවින්දනාත්මක, උපාය උපක්‍රමයන් බහුල චිත්‍රපටයකි. එය සැබැවින්ම විච්ත්‍රමය චිත්‍රපට සදහා වන විශාල වෙළෙඳපොල ඉලක්ක කරගත් නිශ්පාදනයකි. 'බැද්දේගම' ඊට ප්‍රතිවිරුද්ධ නිර්මාණාත්මක වෑයමකි. 


1913 දී ලෙනාඩ් වුල්ෆ් විසින් රචිත ඒ පී.ගුණරත්නයන් විසින් පරිවර්තනය කරන ලද බැද්දේගම නවකතාව අනුසාරයෙන් 80 දශකයේදී ලෙස්ටර් ජේම්ස් පීරිස් චිත්‍රපටියක් නිර්මාණය කරන ලද අතර ඒ නමින් ම හිරු නාලිකාවේ 'බැද්දේගම' ටෙලිනාට්‍යයක්  ලෙස මේ දිනවල විකාශනය වේ.  


මෙය අපූරු සුසංයෝගයකි. මෑත කාලීනව කිසිදු අධ්‍යක්ෂකවරයෙක්  මෙවැනි නිර්මාණාත්මක අභියෝගයකට අතගසා නැත. එය පැසසිය යතුය. 1913 දී ජනගත කරන ලද බැද්දේගම අදට අවශ්‍ය වන්නෙ ඇයි? එය අදට ඉටුකරන සමාජකාර්යභාරය කුමක් ද? අතීතකාමය ඇවිස්සීම ද? කොටස් වලට කැඩී බිඳී විසිරුණු රූපවාහිනී ප්‍රේක්ෂකයන්ට ආමන්ත්‍රණය කිරීමටද?  


මේ සෑම නිර්මාණයක්ම චැනල්වල තිබෙන තරගයේ සහ රේටින් හඹායෑමේ උන්නතිකාමී අභිලාෂයන්ගේ ප්‍රතිරූපණයක් මිස වෙන කිසිවක් නොවේ. මේ සැගවුනු  උපක්‍රමයන් අතර   අධ්‍යක්ෂකවරයාගේ  නිර්මාණාත්මක කාර්යභාරය ජයගන්නේද? තවමත් බැද්දේගම  ප්‍රචාරය  වන බැවින් එහි ඉදිරි ගලායෑම ගැන පූර්ව නිගමනයකට එලබිය නොහැකි වුවත් බැද්දේගම  ටෙලි නිර්මාණයේ නිර්මාණාත්මක ආකෘතිය ඉතා සාර්ථකයි. එය ප්‍රේක්ෂකයා ඇදබැඳ  තබා ගන්නවා. අනෙක් පැත්තෙන් චැනල් එක බලාපොරොත්තු වන වෙළෙඳ  ඉලක්ක සපුරාලනවා. (ප්‍රචාරය වන වෙළෙඳ දැන්වීම් ප්‍රමාණයෙන්ම හිතාගන්න පුලුවන්).


ප්‍රියන්ත, නළුනිළියන් ඉතා සුමට ලෙස ප්‍රේක්ෂකයන්ගෙ විශ්වාසය සුරැකෙන පරිදි මෙහෙයවා තිබෙනවා. පරිසර සාධක මෙවලමක් ලෙස භාවිතාකර චරිතයන්ගේ අභ්‍යන්තරික ගතිකයන් මතුකර ගැනීමට ප්‍රබල උත්සාහයක් දරා තිබෙනවා. ප්‍රියන්තගෙ ඒ උත්සාහ සාර්ථකයි. 


'සූරිය සුළඟ' කියන්නේ ඊට හාත්පසින්ම වෙනස් නිර්මාණාත්මක මෙහෙයුමක් සේම වෙනස්ම වෙළෙඳ  පොලක්. සිනමා ප්‍රේක්ෂකයන් එන්නේ අදුරේ සිනමාත්මකව තමන් වෙත ගෙන එන ජීවිතය,  දේශපාලනය, නිර්මාණයෙන් ද්විනිත වන රසය තමන්ගේ පරිකල්පනය ඔස්සේ තමන්ගේම කරගන්න බලාගෙන. සිනමා ප්‍රේක්ශකාගාරය පුද්ගලානුබද්දයි, ඒකමානියි. එලෙස  ගත්කල වඩාත් අභියෝගාත්මක‍යි. මොකද මිලක් ගෙවලා ටිකට් එකක් ගත්තම එතන ආර්ථික ගනුදෙනුවක් තියෙනවා,සිනමා ප්‍රේක්ෂකයා එයට තමන්ගේ රුචිකත්වය, මනදොල, දේශපාලන අභිලාෂයන් සපුරා ගැනීම බලාපොරොත්තු වෙනවා. අනික එය සංක්‍රමණය වෙන සිනමා සංස්කෘතියක් සහ සංක්‍රමණික සිනමා වෙළෙඳ පොලක්. 


මෙහිදී කතා රසය, විච්ත්‍රකරණය, නළුනිලියන්ගේ රංගනයේ රූපනීය විශ්වාසනීයභාවය, අවස්ථා ගොඩනැගීමේ විශ්වාසනීයබව සහ එයින් ද්විනිත වන හැගුම්කරණය ඉතා වැදගත්. 


ඉහත කී කරුණු සලකා බැලීමේදී නොසලකා නොහැරිය හැකි අඩුපාඩු තිබුණද, විචිත්‍ර රසවින්දනාත්මක නූතන සිනමාවක හිඩැස සපුරාලීමට ප්‍රියන්ත නොනැවතී නිර්මාණකරණයේ නියලීම අගය කළ යුතුය. මේ කලාපය නියෝජනය කරන ඉලක්ක ගත ප්‍රේක්ෂකයන්ට 'සූරිය සුළඟ' ඉතා මනරම් නිර්මාණාත්මක ප්‍රවේශයකි. එදිනෙදා ජීවිතයේ වෙහෙස අකාමකා දමන රසවත්, පරිකල්පනීය අත්දැකීමක් ප්‍රේක්ෂකයන්ට ලබාදෙන අපූරු නිර්මාණයකි.


එකිනෙකට ප්‍රතිවිරුද්ධ වූ අන්‍තදෙකක නොබියව නිර්මාණකරණයේ නියැලීම සහ අදාල වෙළෙඳපොල නිර්මාණාත්මක ලෙස හසුකර ගැනීම ලේසි පහසු නොවේ. මේ දුර්ලභ හැකියාව ගැන හිතනවිට මට මතකයට නැගෙන සිනමාකරුවන්  දෙදෙනෙක් සිටී. කෙනෙක් නැසීගිය කලාකරු හර්බට් රංජිත් පීරිස්ය. අනෙකා ප්‍රියන්තගෙ සමකාලීන සිනමාකරු බූඩි කීර්තිසේනය.මේ තිදෙනාටම ඇගේ නොගෑවී ගන් බූට් පැලද මඩේ යෑමට පුලුවන්ය. එය දුර්ලභ හැකියාවකි.


අවබෝධය ජීවිතය පිණිසයි. රසවින්දනය ජීවත් වීම පිණිසයි.


රුවන් ජයනාත් ✍️