"මිස්ටර් කොත්තු" ට කෙල වූ තිරය පිටුපස කතාව.....

පසුගිය කාලයේදී මෙරට නාගරික සමාජය තුළ කතා බහට ලක් වූ ව්‍යාපාරයක් වූයේ "මිස්ටර් කොත්තු" ව්‍යාපාරයයි. එහි හිමිකරු විරාජ් වික්‍රමනායකය. ව්‍යාපාරිකයකු ලෙස ඔහුගේ ආගමනය ක්ෂණිකව කඩා පාත් වූ අහම්බයකි. ඔහු අඩුම තරමේ මීට පෙර
සාමාන්‍ය හෝටලයක් පවත්වාගෙන ගිය බවක් වාර්තා නොවේ. ඒ ගැන සාක්ෂිද නැත.
මෙරට පහළම පන්තියේ සිට දුක් විඳිමින් ඉහළම ව්‍යාපාරික පන්තියට ඇතුළු වූ බොහෝ දෙනෙක් සිටිති. ඒ සැමටම ඔවුන්ගේම වූ ව්‍යාපාරික පැටිකිරිය ගැන ඉතිහාසයක් තිබේ. එහෙත් ව්‍යාපාරිික සමාජයට අහම්බයක් වූ විරාජ් ගේ ආගිය මුල ගිය තැන් ගැන සමාජයට අදහසක් නොවීය.
ඔහු සමාජ මාධ්‍යය යොදා ගනිමින් සිය ව්‍යාපාරයේ පැවැත්ම ඉහළට ඔසවා ගත්තේය. සැබැවින්ම ඔහු සිය ව්‍යාපාරයේ ප්‍රචරයට මෙරට ප්‍රසිද්ධ සංනිවේදන මාධ්‍යයන් උපයෝගී කර ගත්තේද නැත. එහෙත් නාගරික සමාජය තුළ "මිස්ටර් කොත්තු" ප්‍රචලිත කිරීමට ඔහුට හැකිවිය.ප්‍රධාන නගර කිහිපයකම මිස්ට කොත්තු අවන්හල් පිහිටුවමින් එය ව්‍යාපාරික ජාලයක් බවට පත් කිරිමේ අදහසක් ඔහු තුළ පැවතුන බව පෙනෙන්නට තිබුණි.එය එසේ වන්නේ ඔහුගේ "මිස්ට කොත්තු"නිෂ්පාදනයන් ගැන සමාජ අවධානය යොමු වූ නිසාය.
නිෂ්පාදනයේ පැවති ගුණාත්මක බව කෙසේ වෙතත් මිස්ට කොත්තු හීන් සීරුවේ සමාජයට පත්තියම් වෙමින් තිබුණි.
ඒ අතරේ සමාජ මාධ්‍ය යොදා ගනිමින් විරාජ් වික්‍රමනායක සිය පෞද්ගලික ප්‍රතිරූපය ගොඩ නගා ගැනීම සඳහා ඔහුගේ විවිධ ක්‍රියාකාරකම් පිළිබඳව සමාජයට අනාවරණය කරමින් සිටියේය.
ඔහු බෝධිසත්ව ව්‍යාපාරිකයකු බව ඉන් ඇඟවීය.ඒ සියල්ල ඔහු සිදු කෙරුවේ "මිස්ටර් කොත්තු" යන ව්‍යාපාරික නාමය ඉස්මතු වෙන ආකාරයට ය.
මෙරට සමාජය තුළ "මිස්ට කොත්තු" ව්‍යාපාරය කලු සල්ලි සුදු කිරිමේ ආයතනයක් යැයි කණ කොන හීනියට කතා බහ වෙන්ටද පටන් ගත් බව පෙනෙන්නට තිබුණි. ඒ කතා බහට පදනම් වූයේ විරාජ් වික්‍රමනායකගේ පැටිකිරිය පිළිබඳව සමාජය තුළ දැනුවත් බවක් නොතිබීමය. ඔහු කවුරුන්ද යන වග කිසිවෙකුට අදහසක් නොවීය. ඒ අතරේ විරාජ් වික්‍රමනායකගේ ව්‍යාපාරික වෙළඳ ජාලය සමහරන්ගේ ඉරිසියාවට ලක් වූ බවද හැගේ. ඒ මෙරට සමාජයේ හැටිය.
තමන්ගේ පන්තියේ සිට ඉහළට එසවෙන අයෙකු ගේ කකුළෙන් ඇද බිමට දමා ලබන "කුහක සතුට" මෙරට ඇතමුන් තුළ ජානගතව පවතී. එවැන්නකු බිමට ඇද වැටුණු පසු කුණු මාළු කෑල්ලකට රැස්වන කපුටන් මෙන් සමාජයද ඉන් තෘප්තිමත් ආස්වාදයක් ලබා ගනී. වින්දිතයාගේ නරක මිස හොඳක් නෑසෙන තරමේ ය.
මිස්ටර් කොත්තු ව්‍යාපාරය මේ වන විට බිමටම සමතලා වී තිබේ. මේ නැස්පැත්තිය සිද්ධ වූයේ දවසින් දෙකිනි. මේ බිඳ වැටීම පිටුපස දේශපාලනික කතන්දරයක් ඇති බවට සැකයක් මතු වෙන තරමට එම සිද්ධි දාමය පෙළ ගැසී තිබේ.
එහි පළමු පරිච්ඡේදයේ කියවෙන්නේ යෝෂිත රාජපක්ෂ අනීතිකව නාවුක හමුදා සේවයට ඇතුළු වීම පිළිබඳව අල්ලස් හෝ දූෂණ කොමිසම පරීක්ෂණයක් ඇරඹීමය. මේ පිළිබඳව සමාජ අවධානය යොමු වෙමින් පවතින වටපිටාවක සමාජ මාධ්‍ය තුළ පල වූ ඡායාරූපයක් ගැන බොහෝ දෙනාගේ අවධානය යොමු විය. එම ඡායාරූපයේ වූයේ යෝෂිත රාජපක්ෂ දේශපාලන ප්‍රචාරක රැස්වීමක කතාවක් සිදු කරමින් සිටින අවස්ථාවක "මිස්ට කොත්තු" ව්‍යාපාරය හිමි විරාජ් වික්‍රමනායක එහි මයික්‍රෆෝනය අල්ලා ගෙන සිටින ආකාරයයි.
පොදු සමාජය විරාජ් වික්‍රමනායක පතුරු ගසන්නට ගත්තේ එතැන් සිටය.ඒ සිද්ධියත් සමගම විරාජ් වික්‍රමනායක සිය සේවකුයෙකුට ආයතනය තුළදී පහර දෙන වීඩියෝවක් ද සමාජගත විය. මේ සිදුවීම් අහඹු සිද්ධීන් ලෙස සිතිය නොහැකිය. ඒවා සිද්ධ වූයේ කුමන්ත්‍රණකාරී සැළසුමකට බව පෙනී යයි.
මුලදී අප සඳහන් කළ ආකාරයට "මිස්ටර් කොත්තු" ව්‍යාපාරය කලු සල්ලි සුදු කරන ව්‍යාපාරික ජාලයක් බවට සමාජයේ පැවති කතාබහ තුළ ඒ මුදල් රාජපක්ෂවරුන් ගේ ඒවා බවටද අදහසක් තිබුණි. දේශපාලන ප්‍රචාරක රැස්වීමකදී යෝෂිත රාජපක්ෂට විරාජ් වික්‍රමනායක මයික්‍රෆෝනය අල්ලා සිටීමේ ඡායාරූපය සමාජගත වීමෙන් පසුව ඒ අදහස තහවුරු වන්නට වූයේ බට කැලයකට ගිණි තැබූ වේගයෙනි.
කලු සල්ලි සුදු කිරීම හා රාජපක්ෂවරුන් අතර "මිස්ට කොත්තු" ව්‍යාපාරය සමග පවතින ගණු දෙනුව ඉන් අනාවරණය වූවා සේය. ඇතැම් විට මේ අනාවරණයේ සත්‍යයක් තිබෙන්නට ද පුළුවන. අසත්‍යයක් වන්නට ද හැකිය.
මෙම සිදුවීම සම්බන්ධයෙන් අපට අනාවරණය වන්නේ යෝෂිත රාජපක්ෂ සමග විරාජ් වික්‍රමනායක සිටින එම ඡායාරූපය විරාජ් විසින්ම සමාජ මාධ්‍යයට මුදා හැර ඇති බවකි. එය සිද්ධ වී ඇත්තේ මෙසේය.
"මිස්ටර් කොත්තු" ව්‍යාපාරය ප්‍රචලිත වීමත් සමගම එහි ගණුදෙනු සම්බන්ධයෙන් රාජපක්ෂවරුන් හා විරාජ් ගුණසේකර සමග ආරවුලක් ඇති වී තිබේ. යෝෂිත රාජපක්ෂට එරෙහිව සමාජ පෙල ගැස්මක් ඇතිවන වටපිටාවක විරාජ් ගුණසේකර ඔවුන් සමග මතු වී තිබූ විරසකය එළියට දැම්මේ මේ ඡායාරූපය සමාජගත කරමිනි. "මිස්ටර් කොත්තු" ව්‍යාපාරයට කණ කොකා හඬන්නේ එතැන් සිටය.
මේ මැදිහත්වීම රාජපක්ෂවරුන් විසින්ම සිදු කරන ලද්දක් බවටද තවත් කතාවක් අසන්නට ලැබේ. එයද නොසලකා හරින්ට නොහැකිය. ඇතැම්විට මෙතරම් බරපතල වටපිටාවක් ඇති වෙතැයි නොසිතා විරාජ් වික්‍රමනායක එම ඡායාරූපය සමාජ මාධ්‍යයට එක් කරන ලදැයි ද සිතිය හැකිය. ඒ අතරේම රාජපක්ෂවරුන්ගේ මෙලේච්ඡ පලි ගැනීම් සළකා බලන විට මෙවැනි මෙහෙයුමක් ගැන පුදුම වන්ටද දෙයක් නැත. මේ දෙපාර්ශවයේම සැබෑ කෙරුවාව නුදුරේදීම අනාවරණය වෙන්නට ඉඩ තිබේ.
මේ වන විටත් විරාජ් වික්‍රමනායක යම් පුද්ගලයකු හා දුරකථනයෙන් කරන කතා බහක හඬ පටයක් සමාජ මාධ්‍ය තුළ තිබෙන අතර ඉන් ඔහු සිය ව්‍යාපාරයට රාජපක්ෂවරුන්ගේ පවතින සම්බන්ධය ඉතා සූක්ෂමව අඟවයි. විරාජ් මේ සංවාදයේදී ඉකිබිඳ හඬයි. ඒ තරමටම ඔහු අසරණව සිටින බව පෙනී යයි.
මෙවැනි තත්ත්වයක් පැවති වටපිටාව තුළ විරාජ් වික්‍රමනායක හා උපුල් ශාන්ත සන්නස්ගල යූ ටියුබ සාකච්ඡාවක නිරත වීම ගැනද ඇතමුන්ගේ විවේචනයට ලක් වෙමින් තිබේ. ඒවා සිල්ලර විවේචන බව අපේ අදහසයි. ඒ මන්ද යත් උපුල් ශාන්ත සන්නස්ගලට විරාජ් හා සාකච්ඡා කිරීමට පවතින අයිතිය කිසිවෙකුට ප්‍රශ්ණ කරන්නට නොහැකි නිසා ය. මිස්ටර් කොත්තු ගැන සන්නස්ගලගේ කියවීම ඔහුගේ සිතීම අනුව මිස එක එකාට ඕනෑ විදියට නොවන බවද අපි දනිමු.
විරාජ් වික්‍රමනායක මෙවැනි වටපිටාවක
උපුල් ශාන්ත සන්නස්ගල හමුවීමට නොගොස් අට පිරිකරක් ගෙන මල්වත්තට හෝ අස්ගිරියට ගොස් තමන්ගේ දුක් ගැනවිල්ල පැවසුවා නම් හොඳ බව අපට සිතේ. මිස්ටර් කොත්තු ඒ තරමට පැහී ඇත්තෙක් නොවේ.
කෙසේ වෙතත් දැන් සියල්ල සිදු වී හමාරය. මිස්ටර් කොත්තු ව්‍යාපාරයට නැවත හිස ඔසවා ගැනීමට හැකි වීම ගැන තක්සේරුව ඇත්තේ අනාගතය තුළය. මේ ව්‍යාපාරය බිඳ වැටීම නිසා අසරණ වූ සේවකයන් ගැන කිසිවෙකුත් සාකච්ඡා කරන්නේ නැත. ඇතැම් විට ඔවුන්ට යන එන මං නැති වෙනු ඇත.
අපට දුක ඇත්තේ ඒ අහිංසකයන් ගැනය.
දක්ෂිණ ලියනාරච්චි ✍️