Back to home
Breaking newsEconomic

ජනාධිපති අනුර කුමාර ප්‍රංශයේ ව්‍යාපාරික හමුවකට

ජනාධිපති අනුර කුමාර ප්‍රංශයේ ව්‍යාපාරික හමුවකට

ප්‍රංශයේ  ජාත්‍යන්තර ව්‍යාපාර කවුන්සිලය (MEDEF International) විසින් සංවිධානය කරනු ලබන ව්‍යාපාරික හමුවකට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැමිණීමට නියමිත බව ප්‍රංශයේ ජාත්‍යන්තර ව්‍යාපාරික කවුන්සිලය නිවේදනය කර තිබේ.


2026 ජූලි 17 වන සිකුරාදා පෙ.ව. 9:00 සිට පෙ.ව. 11:00 දක්වා පැවැත්වෙන මෙම ව්‍යාපාරික රැස්වීම සඳහා ප්‍රංශයේ සිටින ජාත්‍යන්තර ව්‍යාපාරිකයන්ට එම කවුන්සිලය ආරාධනා කර ඇත.


මෙම රැස්වීමේ මුලසුන හොබවන්නේ MEDEF ජාත්‍යන්තරයේ ප්‍රංශ-ශ්‍රී ලංකා ව්‍යාපාරික කවුන්සිලයේ සභාපති සහ මිචලින් සමූහයේ සභාපතිවරයාගේ උපදේශක එරික් ලෙ කෝරේ මහතා විසිනි.


2024 සිට ශ්‍රී ලංකාව ක්‍රමයෙන් ආර්ථික ප්‍රකෘතිමත් වීමක් දක්නට ලැබෙන සන්දර්භයක් තුළ, ආර්ථික ප්‍රතිසංස්කරණ, යහපාලනය සහ ජාත්‍යන්තර හවුල්කරුවන් සමඟ ශක්තිමත් සංවාදයක් සඳහා ප්‍රකාශිත කැපවීමකින් සලකුණු වූ නව දේශපාලන අවධියක් විවෘත කර ඇති ජනාධිපතිවරයා සමඟ පවත්වන මෙම හමුවීම වැදගත් වනු ඇතැයි මෙම කවුන්සිලය පවසයි. 


පැවැත්වීමට නියමිත මෙම ජාත්‍යන්තර ව්‍යාපාරික රැස්වීමේදී, ශ්‍රී ලංකාවේ මූල්‍ය හා ආර්ථික තත්ත්වය පිළිබඳ වඩා හොඳ අවබෝධයක් ලබා ගැනීමටත්, ප්‍රංශ සමාගම් සඳහා ව්‍යාපාර සහ ආයෝජන අවස්ථා හඳුනා ගැනීමට සහ ප්‍රංශයේ සිටින ජාත්‍යන්තර ව්‍යාපාරිකයන්ගේ ව්‍යාපෘති සහ අත්දැකීම් පිළිබඳව ශ්‍රී ලාංකික බලධාරීන් සමඟ සෘජුවම තොරතුරු හුවමාරු කර ගැනීමටත් අවස්ථාව උදාවනු ඇතැයි ප්‍රංශයේ  ජාත්‍යන්තර ව්‍යාපාර කවුන්සිලය දන්වා සිටී.