Back to home
Alerte infoPolitical

මල්ලියේ...කඩුව හරියට කොපුවට ඔබා ගන්න.....

මල්ලියේ...කඩුව හරියට කොපුවට ඔබා ගන්න.....

ලාල් කාන්ත සහෝදරයා වෙතය...


සොරි සොරි ගරු අමාත්‍ය ලාල් කාන්ත අමාත්‍යතුමා වෙතය,


සහෝදරයා; සොරි, සොරි.. ආයෙත් අමතක වුණා නොවැ. ඔබතුමා මීට මිනිත්තු ගානකට පෙර ඔබතුමාගේ මූණු පොතේ එල්ලා තිබුණ පෝස්ටුව දුටු විට මේ ලිපිය ලිවීමට මට සිතුනේය. ඔබ එහි සඳහන් කර තිබූ දෑ මෙහෙමය.


".....ඔබටත්,එයාටත්,මෙයාටත්,අරයාටත් ඕනෑ විදියට ආණ්ඩු කරන්නේ නැත. ආණ්ඩු කිරීමට තීරණ ගන්නා නියමිත ආයතන ව්‍යුහයක් ඇත. ඔබ හෝ මම කැමති වුනත් නැතත් එය එසේමය..."


ඔබතුමා අප එසේ දැනුවත් කිරීම මරේ මරුය. එසේම ඔබතුමා හිතාගෙන ඉන්නේ මෙි රටේ පුරවැසියන් හැම එකාම "පූනක්කු වස්සන්," විදියට බව අපට සිතේ.

එසේ නැතිනම් ඔය සඳහනේ ආයතන ව්‍යුහයක් ගැන සඳහන් කරන්නට ඕනෑ වෙන්නේ  නැත.


මදාවිකම් තවත් විඳ දරා ගත යුතු ද?



ඔබතුමා සඳහන් කරන ඔය ආයතන ව්‍යුහයේ අත්තිවාරම ඇත්තේ විධායකය,

ව්‍යවස්ථාදායකය හා අධිකරණය යන කුළුණු තුන උඩ මිස වෙන ලබුවක නොවේ. ඔය කුළුණු තුනට අමතරව ඕනෑ නම් ජනමාධ්‍ය කුළුණද පවතී. පසුගිය ආණ්ඩු කාල වලදී මේ කුළුණු තුන මත රැඳුන කාලකන්නි තක්කඩි ක්‍රියාකාරකම් නිසා පුරවැසියන් දරා ගන්නටත් බැරි තරමේ විඳවූ බව ඔබතුමා දනී. ඔබතුමා දැන් අප හට පවසන්නේ ඒ මදාවිකම් පුරවැසියන් තවත් විඳ දරා ගත යුතු බවද?


එසේ නම් ඔබතුමා ඇතුළු කණ්ඩායම බලය ගැනීම සඳහා පුරවැසියන් හට දහ අතේ දිවුරා දුන් පොරොන්දු ව්‍යාජයන් වන්නේ ද ?

අපට තවමත් ඒ ගැන හරි හමන් වැටහීමක් නැත.


නිල නොවන උද්දච්ච නියෝගයක්.....


ඔබතුමාගේ මේ අදහස අප දකින්නේ නිල නොවන අධිපතිවාදී උද්දච්ච නියෝගයක් විදියටය. වෙනත් අයට ඒ අදහස ගැන විවිධ තේරුම් සහගත කියවීම් තියෙන්නටද පුළුවන. මේ අදහසම වෙනත් ස්වරයකින් ගෝඨාභය රාජපක්ෂ ද ලසන්ත වික්‍රමතුංග, ප්‍රගීත් එක්නැලිගොඩ, පෝද්දල ජයන්ත, සිවරාම් වැනි මාධ්‍යවේදීන්ට පැවසුවේය. 


හිටපු ඇමති මර්වින් සිල්වා එදා සමෘද්ධි නිළධාරියකු ගස් බැඳීමෙන් ⁣ඔබ තුමාගේ ඔය නියෝගයම පුරවැසියන්ට අවධාරණය කෙරුවේය. ඒ මෙලේච්ඡ හා අශීලාචර කෙරුවාවන් ගැන තව බොහෝ දෑ ලිවිය හැකිය. අපට තවමත් ඒ ඉතිහාසය මතකය. 


ඒ ඉතිහාසයේ කුණු ලේ පිළුනු ගඳ තවමත් මැකී නැත. ඔබතුමා "චන්ඩි වදන්' භාවිතයෙන් අප වෙත දැනුම් දී ඇත්තේද ඒ ඵෙතිහාසික අශීලාචාර කෙරුවාවේ නව පිටපතේ දෙබසක් මිස වෙන ⁣කෙහුරක් නොවේ. 


ඉලක්කය සමාජ මාධ්‍යය ද?


මෙහිදී ඔබතුමා ආණ්ඩුව කරන්නේ  "අරයාටත් මෙයාටත් ඔබටත්" ඕනෑ විදියට නොවන බවට ලියා ඇත්තේ  සමාජ මාධ්‍ය ඉලක්ක කර ගනිමින් බව පැහැදිලිය. ඒ මන්ද යත් ආණ්ඩුවේ තේරුම් ගත නොහැකි කෙරුවාවන් මේ වන විටත් ප්‍රශ්ණ කෙරෙන්නේ සමාජ මාධ්‍ය තුළිිින් නිසාය. එසේ නැතුව ඔබගේ ෆේස් බුක් පිටුව ගමේ චාලට් අක්කාවත් සියදෝරිස් අයියාවත් නොකියවන බවද අපි දනිමු. 


කෙටියෙන්ම සඳහන් කරතොත් මේ ඔබතුමා අවධාරණය කර ඇත්⁣තේ ආණ්ඩුව "දෙන දෙයක් කා බොන දෙයක් බී පැත්තකට වෙලා හිටපියව්" යන ඇඟවීමය.


මේ ලියවිල්ල ලියන අප ඔබතුමාගේ විරුද්ධ පාර්ශවයේ එදිරිවාදීන් නොවෙි. අපි

ජාතික ජන බලවේගය බලයට ගෙන ඒම සඳහා ජීවිත අවදානමද ගෙන ඇඟිලි කොර⁣වෙන තුරු පුරවැසියන් දැනුවත් කළ අය බව අවධාරණය කරමු. 


අපි බැලුවේ පෙර කෙරුවාව මිස උපාධි සහතික නොවේ....


මෙරට ජරාජීර්ණව පැවැති දේශපාලන අධිකාරිය අවසන් කළ යුතු බවත් ඒ අධිකාරී බලය මෙතෙක් මෙි රටේ පැවැති තට්ටු මාරු දේශපාලනයට අවසන් තිත තබමින් ඔබතුමන් ගේ පාර්ශවය වෙත ලබා දිය යුතුය යන්නත්  අප තීරණය කෙරුවේ ඔබතුමන්⁣ලා ගේ චරිත සහතික හා පෙර කෙරුවාව ගැන විශ්වාසය තබමිනි. 


එහිදී ජාතික ජන බලවේගය, සමාජයට ඉදිරිපත් කළ "එක මිටට ප්‍රතිපත්ති ප්‍රකාශනය" පිළිබඳ දැඩි විශ්වාසයක් තැබුවෙමු. අරයාගේ මෙයාගේ එයාගේ උපාධි සහතික මෙහිදී අපට අදාල නොවීය. ඔබතුමන්ලා රටට ඉදිරිපත් කරන ලද ඒ ප්‍රතිපත්ති ප්‍රකාශනය අපට හොඳටම සෑහුනේය.


දැන් ඔබතුමා සඳහන් කර ඇති ආයතන ව්‍යුහය කෙතරම් ජරා ජීර්ණව පැවතියේද යන්න ගැන ඔබතුමාට අප අමුතුවෙන් පැහැදිලි කළ යුතු නැත. ඒ ගැන ඔබතුමාට අමතක වී තිබේ නම්  පාර්ලිමේන්තුවේ  පරණ හැන්සාඩ් වල පිටුවෙන් පිටුව නැවත පෙරළා ජනපති අනුර දිසානායක මැතිතුමන් හා ඔබ පාර්ශවයේ අනෙකුත් මන්ත්‍රීවරු සිදු කරන ලද "සිංහබාහු දේශන" කියවන ලෙස ඉල්ලමි. 


පුරවැසියෝ ඉල්ලන්නේ බාර් ලැයිසන් නොවෙයි....


එනු සටනට ගණු කඩුව මෙන් ඔබතුමන්ලා පැවැති ආණ්ඩු වලට ඒ දිනවල අභියෝග කෙරුවේය. දැන් ඔබතුමන්ලාට පුරවැසියන් විසින් ඒ කඩුවේ හිමිකාරිත්වය  පවරන ලද්දේ තුනෙන් දෙකක බලයක් සහිතවය. එහෙත් මේ වන විට පුරවැසියන්  වටහා ගනිමින් සිටි⁣න්නේ ඔබතුමන්ලාට කඩු සටන් තියා අතට ගත් කඩුව ⁣කොපුවේ හරිය⁣ට ඔබා ගන්නටවත් නොදන්නා බවය. ඒත් ඔය කඩුව හරි තැනට එල්ල කර  සටනට එළඹෙන්නට ඔබතුමන්ලා තවමත් ප්‍රමාද නැති බවත් සිහිපත් කරමු.


ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ලියවී තිබුණේ දූෂණයෙන් තොර අකාර්යක්ෂමතාවෙන් තොර නීතියේ ආධිපත්‍යය ගොඩ නැගීමටත්, ඒ  සඳහා නව රාජ්‍යයක් ගොඩ නැගිය යුතුය යන දේශපාලන ගර්භාෂය තුලය. 


ඔබතුමා ඇතුළු කණ්ඩායමට පුරවැසියන් බලය  හිමි කර දුන්නේද ඒ කලලයට හුස්ම දීම සඳහාය. පුරවැසියන් කිසිවෙකුත් ඔබතුමන්ලා ගේ  කණ්ඩායමෙන් බාර් ලයිෂන්, ජාතික පාසැලකට ළමයා දමා ගැනීම, රජයේ බැංකුවක රැකියාවක් ආදී අවස්ථාවන්  ලබා දෙන ලෙසට යෝජනා කෙරෙන "ගණුදෙනු කතිරයක්" ඡන්ද පත්‍රිකාවේ ගැසුවේද නැත. 


කුණු වී බිඳ වැටෙමින් තිබෙන දේශපාලන ක්‍රමය ඔබතුමන්ලා වෙනස් කරනු ඇතැයි පුරවැසියන්ගේ සිතීම විය. එහෙත් දැන් අපට වැටහී  ඇත්තේ ඔබතුමා ඇතුළු කණ්ඩායම  ආණ්ඩු ක්‍රමයේ ගැඹුරු වෙනසක් ඇති කරනවාට වඩා පැරණි කුණු වූ ක්‍රමයේ ගොදුරක් වී ඇති බවය.


චංඩ් කතා පසෙක ලා සැකය නිමා කරන්න..


අපි ඔබතුමා ඇතුළු කණ්ඩායමෙන් ප්‍රශ්ණ කරන්නේ අපට ඒ ගැන ඇති වී තිබෙන සැකයයි. ඒ සැකය නිරාකරණය කිරීමද ආණ්ඩුව සතුව පවතින අනිවාර්ය වගකීමක් හා යුතුකමකි. 


පුරවැසියන් ඔවුන් වෙත දැනෙන හා රිදවන පොදු කාරණා ගැන ප්‍රශ්ණ කරන විට ආණ්ඩුව "ගොළුවන් කසාය බිව්" තාලයෙන් නිහඬව සිටීම අපගේ සිත් තැවුලට හේතු වී තිබේ. ආණ්ඩුවේ බොහෝ ඇමතිවරුන් දුරකථනයට පිළිතුරු දෙන්නේ නැත. රජයේ කාර්යාලවල ඉහළ පුටු වල ඉන්නා නිලමක්කාරයන්ද එහෙමය. 


නයිජීරියාවෙන් මතු වූ  උදාහරණය...


පැවති ජරාජීර්ණ දේශපාලනය මකා දමා, ජනතාවගේ මූලික අයිතිවාසිකමි තහවුරු කිරීමේ පොරොන්දුව පිට බලයට පත් වූ ජාතික ජන බලවේග ආණ්ඩුවේ හැසිරීම ගැන දැන් අපට ඇති වී තියෙන සැකය 2018 වර්ෂයේ නයිජීරියාවේ පැවති ආණ්ඩුව හා ගැලපේ.


එවකට නයිජීරියාවේ ජනපතිවරයා වූයේ මොහොමදු බුහාරිය. ඔහු බලයට එන්නේ ඊට පෙර නයිජීරියාවේ ජනපතිවරයා වූ ගුඩ් ලැක් ජොනතන් ගේ කාලයේදී සිද්ධ වූ හොර මැරකම් දූෂණය තුරන් කරන බවට දහ අතේ දිවුරමිනි. එහෙත් බලය⁣ට පැමිණ වැඩි දවසක් යන්නට පෙර මොහොමදු බුහාරි  හිටපු ජනපති ජොනතන් ගේ අඩිපාරේ යන අයෙක් බවට පෙනෙන්නට තිබූණි. 


හදිසියේම රෝගාතුර වූ ජනපති මොහමදු බුහාරිට ටික දවසක් විදේශගතව ප්‍රතිකාර ගන්නට පවා සිදු විය. සුවය ලබා පැමිණි ඔහුට බරපතල දූෂණ චෝදනා එල්ල ⁣වීම ඔහුගේ පාක්ෂිකයන් පවා විමතියට පත් වූ කාරණයක් විය. බලයේ සිටින්නේ තමන් පත් කළ තැනැත්තා නොවන බවටද ඇතමුන් සැක පහළ කළහ. තවත් සමහරුන් ගේ මතය වූයේ බලයට පත් කරන ලද බුහාරි ගේ හැඩ රුව ඇති වෙනත් තැනැත්තකු ජනපති වී ඇති බවය. මේ ප්‍රචාර කෙතරමි ප්‍රබල වූයේද යත් ජනපති බුහාරිට ජනතාව අමතා තමන් නියම බුහාරි බව පවසන්නට පවා සිදු විය. 


තව ටික දවසකින් ගරු ජනපති අනුර කුමාර දිසානායක මැතිතුමාටත් ඒ දිනවල නයිජීරියාවේ ජනාධිපති බුහාරිට මෙන් ජාතිය අමතන්නට සිදුවන තරමට පුරවැසියන් සැක කරන්නට පටන් ගනී දැයි සිතෙන මට්ටමේ තරමට වැඩ මේ ආණ්ඩුව කරමින් තිබේ.


අපි නම් නැගිටලා... ඔයාලගේ ඇස්වල තාම කබ පිරිලා ..


ජනතා විමක්ති පෙරමුණේ ප්‍රධාන ලේකමි ටිල්වින් සිල්වා සහෝදරයා ඒ දිනවල මැතිවරණ රැස්වීම් වල පැවැත්වූ කතාව අවසන් කෙරුවේ "නැගිටපල්ලා නැගිටපල්ලා නුඹලගේ වාරය ඇවිල්ලා" යැයි කියවෙන කවියෙනි. අපි නැගිට මූණ කට සෝදා ගෙන තිබේ. ඒත් ආණ්ඩුව තවමත් ඉන්නේ කුණු කෙල පෙරමිනි. ඇස් වල කබය. නිදි මත ගතිය එහෙමම ය.


එහිදී අපට සිහිපත් වන්නේ ලෙනින් සහෝදරයාගේ මේ කියමනය.


"ඉතිහාසයේ නව නැම්මක් ඇති වූ විට ප්‍රගතිශීලී පක්ෂ පවා කලක් යන තෙක් නව තත්වය අනුව හැඩ ගැසීමට නොහැකිව සිටි අවස්ථා බොහෝය. එවැනි අවස්ථාවල එම පක්ෂ කලින් නිවැරිදි වු එහෙත් දැන් අර්ථවත් භාවය සමිපූර්ණයෙන්ම ගිලිහුණු එනම් ඉතිහාසයේ නව නැම්ම ක්ෂණික වූ තරමට ක්ෂණික ලෙස අර්ථය ගිලිහුණ සටන් පාඨ ප්‍රතිරාව කිරීමෙහි යෙදෙනු ඇත." (ලෙනින් /තෝරා ගත් කෘති 5 වෙළුම 180 පිටුව)


ජාතික ජන බලවේග ආණ්ඩුව දැන් සිටින්නේද "නව තත්වයට" හැඩ ගැසීමට නොහැකි ගන්ධබ්බ විකලයකින් බව අපට සිතේ. බොහෝ පුරවැසියන් දේශපාලනය තේරුම් ගන්නේ මේ මොහොතේදී තමන්ගේ ජීවිතයට දැනෙන දේ ස්පර්ශ කරමිනි. ඔබතුමා ඇතුළු කණ්ඩායම ඒ සිතීම අධෝවාතයක් තරමේ වත් ගණන් නොගන්නා බව පැහැදිලිය. ආණ්ඩුව පරාජයට පත් කරන්නට ප්‍රබල ප්‍රතිවාදියකු මේ භූමියේ නැතැයි යන්න ඔබතුමා සිතනවා වෙන්ටද පුළුවන. ඒත් පැණි වරකාටවත් හෙණ වදින බව අප අසා ඇත්තෙමු. 


ඒ කෙසේ වෙතත් ඔබතුමා ලියා ඇති "චංඩි අවවාදයෙන් ' අපට තේරුම් යන්නේ අප "වඳින්න ගිය දේවාලය අපේ ඉහට කඩා වැටී ඇති" බවය.


දක්ෂිණ ලියනාරච්චි ✍️