උපාසිකාවන් බවට පත් වූ "කොම්රේඩ් බවලන්තියෝ.....

"...අපේ මිනිස්සු ආගම වෙනුවෙන් ඕනම දෙයක් කරන්න සූදානම්. ජීවිතය පූජා කරන්න වුනත් සූදානම්ය. හැබැයි ආගමේ තියෙන කිසිවක් කරන්න සූදානම් නැහැ.."
එහෙම ලියා තිබුණේ ඊ.ඩබ්.අධිකාරම් උන්නැහේය. උන්නැහේ මේ අදහස ලියා වසර හැට හැත්තෑවක් ගෙවී ඇතත් ඒ කියමනේ සත්‍යය අදටත් වලංගුය.
පහුගිය දවස්වල අටමස්ථානාධිපතිට එරෙහිව බාල වයස්කාර දැරියක අපයෝජනයට ලක් කරන ලදැයි කළ චෝදනාව මෙරට බෞද්ධ සමාජය දැඩි කම්පනයට ලක් කරන සිද්ධියක් විය. උන්වහන්සේට එරෙහිව කළ චෝදනාව බරපතලය. මේ බරපතල චෝදනාව තවත් කුරෝළු කෙරුවේ පොලීසිය ය.
මෙරට අපරාධ නඩු විධාන සංග්‍රහයේ පූජකයන් විෂයෙහි බාලවස්කාර දරුවන් අපහරණය කරන්නට බලය දී ඇති
වගන්තියක් ඇත්තේ නැත. අනෙකුත් අපරාධ සම්බන්ධයෙන්ද එසේමය.සෑම පූජකයෙක්ම අපරාධ නීතිය ඉදිරියේ පුරවැසියෙකි.
අටමස්ථානාධිපති යනු මෙරට සමාජය තුළ ප්‍රභූ අධිකාරිමය බලයක් සහිතව ආගමික සංස්ථාව හසුරවන ආධිපත්‍යයක් සහිත නායක හිමි නමකි. බොහෝ පුරවැසියන් ගේ ආගමික සිතීමට යටත්ව මෙරට ව්‍යවස්ථාවටත් ඉහළින් බෞද්ධ බල අධිකාරිය පැවතිය යුතු බව අවධාරණය කෙරේ.
ආගමට ව්‍යස්ථාපිත බලයක් දුන් සමසමාජකාරයා...
එහෙත් මේ ආගමික අධිකාරී බලය ව්‍යස්ථාපිත බලයක් බවට පත් කරන්නේ ආගමක් අදහන්නේ නැතැයි මෙරට දේශපාලනය තුළ චෝදනා කෙරුණු සමසමාජකාරයෙකි. ඒ 1970 සමගි පෙරමුණු ආණ්ඩුවෙන් මෙරට සම්මත කරන ජනරජ ව්‍යවස්ථාව ගෙන ආ ලංකා සම සමාජ පක්ෂය නියෝජනය කරමින් ආණ්ඩුව නියෝජනය කළ අමාත්‍ය කොල්වින් ආර් සිල්වාය.
සමසමාජ කාරයෙකු වූ කොල්වින් ආර් ද සිල්වා ජනරජ ව්‍යවස්ථාවට මේ ව්‍යවස්ථාපිත බලය ඇතුළත් කරන ලද්දේ සිරමාවෝ බණ්ඩාරණායක අගමැතිණියගේ බලපෑමට බව පැවසේ. මෙහිදී කොල්වින් ආර් ද සිල්වා අමාත්‍ය මණ්ඩල සාමූහිකත්වයට එකඟව කටයුතු කර ඇත.
පසුකලකදී කොල්වින් ආර් ද සිල්වාගේ දේශපාලන ප්‍රතිවාදීන් සමසමාජකාරයන් දැන් පන්සල් යන්නේ දැයි උපහාසාත්මකව ප්‍රශ්ණ කළ විට ඔහු සුපුරුදු වාග් විලාශයෙන් පිළිතුරු දී ඇත්තේ මෙහිදී තමන් ඉටු කරන ලද්දේ සිය පෞද්ගලික දේශපාලන මතයට ඉඩ දීම නොව බහුතර සමාජයේ සංස්කෘතික අගය කිරීම් වල අවශ්‍යතාව බවය.
බුදු දහම ආරක්ෂා කිරීම හා ප්‍රමුඛස්ථානය ලබා දිය යුතු බවට ව්‍යවස්ථාවට ඇතුළත් කළ කොල්වින් ආර් ද සිල්වා අනෙකුත් ආගම් වලටද ඒ හිමිකම පැවතිය යුතු ය යන්නද ඒ වගන්තියේම සඳහන් කෙරුවේය.
සමසමාජකාරයා පරදින්න ඩී. එස්. ට උපකාර කළ සංඝ නායකයා.....
නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම අගමැතිවරයා වූයේ ඩී.ඇස්.සේනානායකය. ඔහු රාජ්‍ය සභාවට තරග කෙරුවේ මීරිගම ආසනයෙනි. ඔහුගේ ප්‍රතිවාදී අපේක්ෂකයා වූයේ සමසමාජ පක්ෂයේ සමරක්කොඩිය. සමරක්කොඩි අයත් කුලයට සම්බන්ධ පවුල් මීරිගම ආසනයේ වැඩිපුර ජීවත්වීම ඩී.ඇස්.සේනානායකට අවාසි සහගත කරුණක් විය. මේ නිසාම ඔහු එවකට ඉතා ප්‍රසිද්ධ සංඝ නායකයකු වූ හේන්පිට ගෙදර ඤාණසීහ හිමියන්ගෙන් උපකාර ඉල්ලා සිටියේ තමන්ගේ ගොඩ ඉහළ දා ගැනීමටය.
ඒ උපකාරය ගණුදෙනුවක් තරමට ගිවිස්සා ගැනීමක්ද වූයේ ඩී.එස්.ඡන්දය දිනා මෙරට අගමැති වුව හොත් කැළණියේ විද්‍යාලංකාර පිරිවෙනෙහි අභිවෘද්ධිය සඳහා මැදිහත් විය යුතු බවට හේන්පිටගෙදර ඤාණසීහ හිමියන්ගේ පාර්ශවයෙන් කළ ඉල්ලීම ඩී.ඇස් එකඟ වූ බැවිනි.
කෙසේ හෝ ඩී.ඇස්. පැවති මැතිවරණයෙන් ජයග්‍රහණය කර මෙරට ප්‍රථම අග්‍රාමාත්‍යවරයා ලෙසද වැඩ බාර ගත්තේය.ඔහු මාතලේ අළුවිහාරයේ පැවැති උත්සවයකට සහභාගි වෙමින් කළ ආන්දෝලනාත්මක කතාව ඡන්දයට පෙර හේන්පිටගෙදර ඤාණසීහ හිමියන්ට දුන් පොරොන්දුව කඩ කරන්නක් විය.
"....මෙතන තරුණ සංඝයාවහන්සේලා රැසක් එක් රැස් වෙලා ඉන්න හන්දා උන්වහන්සේලාට දැනමුතුකමක් දෙන්නට මම කැමතියි. ඒ මොකද කියනවා නම් දැන් ටික කාලෙක හිටං උන්වහන්සේලාට අයිති නැති වැඩකට අත ගහලා තියෙනවා. ඒ මොකද්ද කියනවා නම් දේශපාලන වැඩ වලට ඇගිලි ගැසීම. ඒ භික්ෂූන් වහන්සේලා කවුන්සලේට ගිහිල්ලා හිටං ගැලරිවල වාඩි වෙලා හිටං එතැන මන්ත්‍රී ගොල්ල කරන කතා අහගෙන ඉන්නවා විතරක් නොවෙයි සමසමාජ පක්ෂයේ රැස්වීම් වලට ගිහිල්ලා හිටං කෝටියක් සංවර සීලෙ අමතක කරල හිටං දරුණු විදියට කතා පවත්වනවා."
දේශපාලකයන් පසු පස ගාටපු සංඝ ඉතිහාසය.....
"එච්චරක් විතරක් නොවෙයි. හාමුදුරුවරු මන්ත්‍රී ගොල්ල හමුවෙන්න යනවා. වෙනත් දේශපාලන ලොක්කො හම්බවෙන්න යනවා. ඒක බොහොම වැරදි වැඩක්. ගිහියෙක් කොයි තරම් ලොක්කෙක් වුනත් හාමුදුරුවරු ඒ ගිහිය ලඟට යන එක වැරදියි. ඒකෙන් වෙන්නෙ ශාසනය විනාශ වෙන එක. ඒ හන්ද මම හාමුදුරුවරන්ගෙන් ඉල්ලා සිටින්නෙ දේශපාලන වැඩ කවුන්සලේට ගිහිල්ල ඉන්න අපට බාර දීල හාමුදුරුවරු පන්සල් වලට වෙලා වැඩක් බලා ගෙන ඉන්න කියලයි..."
ඒ අතරේම ඩී.ඇස්.සේනානායක අගමැතිවරයා බවට පත්වී කාලයක් ගත වුණ ද මැතිවරණයට පෙර ඤාණසීහ හිමියන්ට දී තිබූ පොරොන්දුව ද ඉටු නොකෙරුවේය. දිනක් ඤාණසීහ හිමියන් අරලියගහ මන්දිරයට වැඩියේ අගමැතිවරයාට ඒ පොරොන්දුව සිහිපත් කරන්ටය. එදින ඤාණසීහ හිමියන් අතර ඇතිවූ කතා බහ පැරණි පොත පතෙහි මෙසේ සටහන්ව ඇත.
ඤාණසීහ හිමි; "මං බලාගෙන ඉඳල බැරි තැන ඔබතුමාව හම්බවෙන්න ආවෙ.මට
පොරොන්දු වුණු වැඩේ ගැන කතා කරන්න."
අගමැති ඩී.ඇස්.; "මොන වැඩේද හාමුදුරුවනේ ?"
ඤාණසීහ හිමි; "ඇයි මතක නැද්ද ඡන්දෙන් දිනල අගමැති වුණාට පස්සෙ පාතකඩ භික්ෂු විද්‍යාලය ආණ්ඩුවෙ වියදමින් හදල දෙන්න වෙච්චි පොරොන්දුව."
අගමැති ඩී.ඇස්.; "මේකනේ අපේ හාමුදුරුවනේ ඔය වැඩේ හිටං බුද්ධාගමේ වැඩක්. අපි දැන් පිහිටුවල තියෙන ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවට ආගමක් නෑ.
සංඝයාවහන්සේලා ගේ ඉගෙනීමට වියදම් කරන්න ගියොත් පාදිලි වහන්සේලාගෙ
ඉගැන්වීම්වලටත් වියදම් කොරන්න ඕන. ඒ හන්ද ආණ්ඩුව පස්සෙ යන්නෙ නැතුව ඒ වැඩේ කර ගන්න බලන්න හාමුදුරුවනේ. දැන් බලන්න අපේ හාමුදුරුවනේ බුද්ධං සරණං ගච්ඡාමි කියනවා මිසක් ආණ්ඩුව සරණං ගච්ඡාමි කියල එකක් නෑනේ."
ශ්‍රී ල නි ප බිහිවීම පිටුපස ඇති චීවරය...
එසේ පිළිතුරු දුන් අගමැති ඩී.ඇස් මහ හයියෙන් සිනාසී ඇත්තේ ඔලොක්කුවටය.
කෙසේ වෙතත් දෙදෙනා අතර එදින සිට ඇතිවූ විරසකය අත්තනගල්ල බණ්ඩාරනායක වලව්වෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බිහිවීමේ පදනමද වී ඇති බව ඵෙතිහාසික දේශපාලන පෙට්ටගම අවුස්සන විට සිතා ගන්නට පුළුවන.
අප මේ හෑල්ල ලිව්වේ මෙරට පවතින සංඝ බලාධිපත්‍යයයේ පදනම ගැන යම් තරමකට හෝ අදහසක් මතු කරන්ටය.
බුද්ධාගම ආරක්ෂා කර ගැනීම ව්‍යවස්ථාපිත අධිකාරී විධානයක් වීමට පෙර සංඝයා වහන්සේලා මෙරට රජවරුන්ට උපදෙස් අනුශාසනා දී ඇති බවද සිහිපත් කළ යුතුය. එහිදී කියවෙන ඵෙතිහාසික කරුණු අතර ඇතැම් රජවරුන් භික්ෂූන් සිවුරු හරවා හීරළුවන් බවට පත් කර බුද්ධ ශාසනයෙන් පන්නා දැමූ අවස්ථා ගැනද වාර්තා වී ඇත.
කෙසේ වෙතත් මේ වන විට ඇතැම් භික්ෂූන් රාජ්‍ය බලය හැසිරවීම තමන් සතු පොල්මක්කාර සින්නක්කර හිමි කමක් ලෙස සිතන බවට නිදර්ශන බොහෝය.
ඒ බොහෝ භික්ෂූන් පරිභෝජනවාදී සමාජයේ සුඛෝපභෝගිත්වයේ උපරිමය විඳින්නන් බවට රූපාන්තරණය වී සිටින
උන්නාන්සේලාය. ඒ අතරේම එම භික්ෂූන්ට ඇති සුපිරිත්වය තුළ ආරූඪව පවතින බල සම්පන්න බව නිසාම මෙරට දේශපාලන පක්ෂ නායකයන්ගේ සමීප උපදේශකයන් ලෙසින්ද කටයුතු කිරීමේ අවස්ථාවද සැළසී ඇත.
බෞද්ධ දර්ශනය බඩ වියත රැක ගන්නා ආදායම් මාර්ගයක් කර ගත් හැටි.....
මේ හැම කාරණයකින්ම අවධාරණය කෙරෙන්නේ බෞද්ධ දර්ශනය බඩ වියත රැක ගන්නා ආදායම් මාර්ගයක් කර ගැනීමට ඇතැම් භික්ෂූන් පෙළඹී ඇති බවය.
වත්මන් අටමස්ථානාධිපතිට එරෙහිව දැරියක අපයෝජන කිරීම පිළිබඳව චෝදනාව ඒමට පෙර, මීට පෙර සිටි අටමස්ථානාධිපති අපවත් වූ විට ඒ හිමිට අයත්ව තිබූ රුපියල් කෝටි ගණනක දේපොළ වල හිමිකාරිත්වය නීතියෙන්ම හිමි වූයේ තරුණියකට බව මාධ්‍ය වාර්තා කර තිබුණි. මෙි කාන්තාව, අපවත් වූ අටමස්ථානාධිපති ගේ අනියම් බිරිඳ ලෙස සිටි කාන්තාවකගේ දියණිය බව පැවැසේ.
මේ තොරතුරු මාධ්‍ය මගින් අනාවරණය කෙරුනද බෞද්ධ සමාජය ඒ ගැන "අනේ අපොයි" කියන තරමටවත් ගණන් ගත්තේ නැත. මේ තරම් කෝටි ගණනක දේපොළ ඒ හිමි නම සතුව තිබුණේ බෞද්ධ දායකයන් පින් තකා සසුනට පූජා කළ මුදලින් බව සමස්ත බෞද්ධ සමාජයම දැනුවත්ය. එහෙත් කිසිවෙකුත් ඒ ගැන කම්පා වීමක් දකින්නට තිබුණේද නැත.
බොහෝ දෙනෙකුගේ අදහස වී ඇත්තේ සිය ආගමික ගෞරවය පවතින්නේ "බෞද්ධ චීවරයට" මිස ඒ තුළ සිටින පුද්ගලයා කෙරෙහි නොවන බවය. සැබැවින්ම බොහෝ භික්ෂූන් සිය දූෂිත පැවැත්ම යාවත්කාලීනව පවත්වා ගෙන යන්නේ බෞද්ධ සමාජයෙන් ඔවුන් වෙත පවරා ඇති මෙන්න මේ "චීවර බංකර මුක්තිය" බව අමුතුවෙන් සඳහන් කළ යුතු කාරණයක්ද නොවේ.
ශාසනේ පවතින හේතුව කියා දුන් හැටි.....
එහිදී මේ ලියුම්කරු ලද අත්දැකීමක් ද සඳහන් කිරීම වටී. සාමනේර නමක අපහරණය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලද සංඝ නායක හිමි නමකට එරෙහිව රාජකාරි කරන්නට ඒ ප්‍රදේශයේ පොලිස් ලොක්කා බියට පත් විය. ඔහු කතෝලිකයෙක් වීම ඒ බියට හේතුවයි. ඔහු ඒ සම්බන්ධයෙන් ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම්වරයාගෙන් උපදෙස් පැතුවේය. ප්‍රාදේශීය ලේකම්වරයා ගේ යෝජනාව වූයේ චුදිත නායක හිමි නම තම කාර්යාලයට කැඳවා චෝදනාවේ බරපතල කම දැනුවත් කරමු යන්නය.
මේ අවස්ථාවට සහභාගිවීමට ලියුම්කරුටද හිමි වූයේ දේශපාලන බල අධිකාරිය නියෝජනය කිරීමට ය. අදාළ දැනුවත් කිරීමෙන් පසුව නායක හිමි සිය කාර්යාලයට කැඳවා උන්වහන්සේට ඇති චෝදනාව ගැන ප්‍රදේශීය ලේකම්වරයා විසින් ගරු සරු ඇතුව දැනුවත් කිරීම ඇරඹුවා පමණි. නායක හිමි යක්ෂාවේශව වාඩි වී සිටි අසුනෙන් නැගී සිටියේය.
" ඕයි ඔය කෙරුවාව හන්ද තමයි ඕයි මේ බුද්ධ ශාසනේ පවතින්නෙ. තමුසෙලාට ඕන මගුලක් කරගන්නවා " යැයි කේන්තියෙන් පැවසූ නායක හිමි පිටව ගියේය. අප තිදෙනාට ඉතිරි වූයේ "අනේ අපොයි" කියා හීල්ලීම පමණය. ඒ ප්‍රාදේශීය ලේකම් වරයා අදටත් ඉහළ තනතුරක රාජ්‍ය සේවයේ සිටී. පොලිස් ලොක්කා නමි පැන්ෂන්ය.
මේ ලියුම්කරුගේ කාර්යාලයේ සුළු සේවකයකු ලෙස හීරළුවකු සිටියේය. ඔහු චීවරය අත් හැර තිබුණේ විවාහ වන්ටය.
සිවුරු හරින්නට පෙර තම නායක හිමියන් හමුවූ ඔහු සිය අවශ්‍යතාව නායක හිමියන්ට පවසා තිබේ. එහිදී නායක හිමියන් ඔහුට පවසා ඇති දේ හරිම රසවත්ය. ඒ මෙවැන්නක් ය. "මේ උන්නාන්සේ සිවුරෙ හිටියොත් මුළු ගමම ඉඳීවි. ගියොත් එකයි" යනුවෙන්ය. මේවා අතේ රෝල් හෑලි නොවේ, හැබෑ කතා ය.
චෝදනාව ගැන නොදන්නා "NPP බබ්බු"...
අටමස්ථානාධිපතිට එරෙහිව ඇති දැරියක අපයෝජනය පිළිබඳව චෝදනාව සම්බන්ධයෙන් ජාතික ජන බලවේග ආණ්ඩුව ඉන්නේ කිසිත් නොදන්නා ගාණටය. පොලීසිය පවා ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වූයේ සමාජය තුළින් ආ දැඩි විරෝධය නිසාය.
පොලීසිය මේ සිද්ධිය තඹ දොයිතුවකට ගණන් ගත් බවක් පෙනෙන්ට තිබුණි.
පක්ෂ විපක්ෂ දේශපාලඥයන් හැම එකෙකුම කටක් ඇර අටමස්ථානාධිපතිට එරෙහිව විරෝධය පළ කරේද නැත.
ඒ අතරේ පොදු ජන පෙරමුණු පාර්ශවය නියෝජනය කරන දිලුම් අමුනුගම සිද්ධියෙන් වින්දිත දැරිය ගැන අශීලාචාර ප්‍රකාශයක් කෙරුවේය. ඒ අටමස්ථානාධිපති නිවැරිදි බවට හඟවමිනි. ඔහු එහිදී පැවසුවෙි ගණිකාවකගේ පැමිණිල්ලකට අටමස්ථානාධිපති අත් අඩංගුවට ගෙන ඇති බවය. මේ ප්‍රකාශය ඉතා අමානුෂික පාහර පුකාශයකි. දිලුම් අමුණුගමලාගේ දේශපාලන භාවිතය ගැන සිතන විට මේ ප්‍රකාශය ගැන පුදුම වන්නට දෙයක්ද නැත. මේ තක්කඩියන්ගේ කෙරුවාවද එහෙමය.
එපා වාහෙට හොදි බෙදන ඇමැතිනී.....
කෙසේ වෙතත් අපට විමතියක් ඇති වන්නේ දිලුම් අමුනුගම කළ ඒ අමානුෂික ප්‍රකාශයට එරෙහිව පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ විපක්ෂ ඔළු ගෙඩි වල ඇති බෝක්කු කටවල් එකක්වත් ඇරුනේ නැති එක ගැනය. අවසානයේදී බල්ලන් නාවන්න ගෙන යන ගානට ළමා ආරක්ෂක කටයුතු පිළිබඳ ඇමතිනිය මේ ගැන පොලිස්පතිවරයාට පැමිණිලි කරන ලද්දේ එපා වාහෙට හොදි බෙදන්නා වාගේය.
හැබෑවටම මේ හැම දෙනාම චීවරයේ බල ආධිපත්‍යයට බියට පත්ව සිටී. ළමා ආරක්ෂක අධිකාරියේ නීතිඥ වරිය සිය මුහුණු පොතේ ලියා තිබුණේ "නීතියට ඉහළින් ආගම යුක්තියට ඉහළින් මුදල්" බවය.
ළමා ආරක්ෂණ අධිකාරියේ නීතිඥවරියගේ මේ පෝස්ටුව නොතකා හරින්නට අපට නොහැකිය. ඇය මේ රටේ ළමයින් ගේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටින රාජ්‍ය ආයතනයේ වගකිව යුතු නිළධාරිණියකි. එහෙත් ඇය මේ ප්‍රකාශ කරන්නේ අටමස්ථානාධිපති විසින් දැරියක අපහරණය කිරීම සම්බන්ධයෙන් පවතින චෝදනාවට නීතිය ක්‍රියාත්මක කිරීමට නොහැකි වටපිටාවක් පවතින බවට වූ අනාවරණය කිරීමකි. එහිදී ඇය ඒ සම්බන්ධයෙන් දැඩි කම්පාවට පත්ව සිටින බව වටහා ගත හැකිය.
අමතක වූ වී. අයි. ලෙනින්.....
හොඳම දේ ළමයින්ටයි පැවසුවේ වී අයි ලෙනින් සහෝදරයාය. දැන් මෙරට ආණ්ඩුව නියෝජනය කරන්නේ ලෙනින් සහෝදරයාගේ ජාන ගත දර්ශනය හිස, කඳ, ගාත්‍රා වල ද , ස්නායු, නාඩි, ශිරා වලද අඩුවක් නැතුව බරටම රඳවා ගෙන සිටින කොම්රේඩ්ලා තොගයකිනි. කොමේරේඩ් සරෝජා පෝල් රාජ් ඇතුළු ස්ත්‍රීන් 19 දෙනෙක් ද ඒ තොගයට අයත්ය. නුමුත් මේ කොම්රේඩ් බවලන්තියන් 19 දෙනා දැන් බෞද්ධ උපාසිකාවන් බවට රූපාන්තරණය වී, වී.අයි ලෙනින් අමතක කර දමා ඇති බව සහතිකය.
සාදූ සාදූ සාදූ සාදූ සාදූ....!
දක්ෂිණ ලියනාරච්චි ✍️