Back to home
Alerte infoPolitical

‘වැඩබැරි’ කුමානායක වෙනුවට 'දූෂිත' චන්ද්‍රකීර්ති ජනාධිපති ලේකම් තනතුරට?

‘වැඩබැරි’ කුමානායක වෙනුවට 'දූෂිත' චන්ද්‍රකීර්ති ජනාධිපති ලේකම් තනතුරට?

ජාතික ජන බලවේග ආණ්ඩුවේ රාජ්‍ය යාන්ත්‍රණයේ හදවත බඳු, මෙරට පරිපාලන සේවයේ ඉහළම තනතුර වන ජනාධිපති ලේකම් ධුරය සම්බන්ධයෙන් මේ වන විට දේශපාලන කරළිය උණුසුම් කරවන තීරණාත්මක තොරතුරු රැසක් වාර්තා වේ. වත්මන් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාට එම ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස දැනුම් දී ඇති බවත්, ඒ වෙනුවට වත්මන් ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා පත් කිරීමට සූදානමක් පවතින බවත් දේශපාලන ආරංචි මාර්ග තහවුරු කරයි.


ඒ අනුව, ජනාධිපති ලේකම් ධුරයෙන් ඉවත් වීමට නියමිත ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා ඇමරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස පත් කිරීම සඳහා අවශ්‍ය මූලික කටයුතු මේ වන විටත් ආරම්භ වී ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.


ඒ අනුව, දැනට ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස කටයුතු කරන මහින්ද සමරසිංහ මහතාගේ ධුර කාලයෙන් අනතුරුව, එම තනතුර සඳහා කුමානායක මහතා පත් කිරීමට සූදානමක් පවතින බවත් වැඩිදුරටත් වාර්තා වේ.



කුමානායකගේ ‘වැඩ බැරි’ කම වැසූ අතිරේක ලේකම්වරුගේ ‘කැපවීම’....



වත්මන් ජනාධිපති ලේකම් නන්දික සනත් කුමානායක මහතා පත් කළ මුල් අවධියේදීම ඔහුට මෙම ධුරය දැරීමට මනා අවබෝධයක් හෝ දැක්මක් නොමැති බව අප පෙන්වා දුන්නෙමු. අප සතු තොරතුරු අනුව, අදටත් ජනාධිපති ලේකම් කාර්යාලයේ සැබෑ රාජකාරි සහ පරිපාලන වගකීම් කරට ගෙන ක්‍රියා කරන්නේ එහි සේවය කරන අතිරේක ලේකම් ප්‍රසන්න චන්දිත් මහතා සහ චන්දිමා වික්‍රමසිංහ යන මහත්මීන්ය.


මහින්ද රාජපක්ෂ ජනාධිපති ධූරය දැරූ අවදියේ පවා හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාගේ ලේකම් කාර්යාංශයේ සිටම අතිරේක ලේකම් චන්දිමා වික්‍රමසිංහ මහත්මිය සහ අතිරේක ලේකම් ප්‍රසන්න චන්දිත් යන දෙදෙනා ඉතාමත් අවංකව සහ කැපවීමෙන් සේවය කළ දක්ෂ රාජ්‍ය නිලධාරීන් බව ප්‍රසිද්ධ කරුණකි. කුමානායක මහතාගේ ‘නිද්‍රාශීලී’ පරිපාලනය හේතුවෙන් මතු වූ අර්බුද කළමනාකරණය වූයේ මෙවැනි දක්ෂ නිලධාරීන් නිසාය.



‘නිමල් සිරිපාලගේ සෙවනැල්ල’ සහ ප්‍රභාත් චන්ද්‍රකීර්තිගේ දේශපාලන අතීතය..



කුමාරනායක මහතා පාලනයෙන් අසමත් වුවද, ඔහු හොරෙක් හෝ වංචාකරුවෙක් නොවේ. නමුත්, ඔහු වෙනුවට පත් කිරීමට සැරසෙන ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතාගේ රාජ්‍ය සේවා ඉතිහාසය දෙස බැලීමේදී ඔහු වත්මන් ජාතික ජන බලවේගයේ ‘සිස්ටම් චේන්ජ්’ ප්‍රතිපත්තියට සම්පූර්ණයෙන්ම පටහැනි පුද්ගලයෙකු බව පැහැදිලි වේ.


ප්‍රභාත් චන්ද්‍රකීර්ති යනු මෙරට දූෂිත දේශපාලන ප්‍රවාහයේ සිටින ප්‍රධානතම දේශපාලනඥයෙකු වන නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ සමීපතම ‘ගෝලයෙකි’. දේශපාලන ක්ෂේත්‍රයේ ප්‍රසිද්ධ රහසක් වන්නේ ඔහු නිමල් සිරිපාලගේ සෙවනැල්ල මෙන් කටයුතු කළ අයෙකු බවයි. එය බොහෝ දෙනෙකු අර්ථ දැක්වුයේ නිමල් සිරිපාල මහතාගේ අමුඩය චන්ද්‍රකීර්ති බවයි.


01.නිමල් සිරිපාල සභානායකවරයාව සිටියදී ප්‍රභාත් චන්ද්‍රකීර්තිව සභානායක සහකාර ලේකම් ලෙස පත් කරගත්තේය. පසුව නිමල් සිරිපාල සිල්වා ගේ අනුහසින් සභානායක ජේෂ්ඨ සහකාර ලේකම් තනතුර ට පත් කෙරිණි.


02.නිමල් සිරිපාල කම්කරු ඇමැතිවරයා ලෙස කටයුතු කරන විට චන්ද්‍රකීර්ති කම්කරු කොමසාරිස්වරයා විය.


03.2015 දී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති යටතේ පැවති  වෙරළ සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල් (DG) ලෙස කටයුතු කළේද මොහුය.


04. අවසානයේ රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව සමයේ ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ පිටුපස ගොස් පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයා තනතුර ලබා ගන්නා ලදී.


මෙවැනි පසුබිමක් ඇති, පරණ දූෂිත දේශපාලනඥයන්ගේ ඕනෑ එපාකම් පිරිමැසූ නිලධාරියෙකු ජේ.වී.පී/මාලිමා ආණ්ඩුවක ඉහළම පුටුවකට ගෙන එන්නේ කෙසේද?



කෝටි ගණනක ‘ගල්කිස්ස වැලි පිරවීමේ වංචාව’ සහ නොවිසඳුණු චෝදනා....



ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතාට එරෙහිව ඇති චෝදනා හුදෙක් දේශපාලන පක්ෂපාතීත්වයට පමණක් සීමා නොවේ. ඔහු වෙරළ සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල්වරයාව සිටි සමයේ සිදු වූ, මහජන මුදල් රුපියල් කෝටි ගණනක් මුහුදට බිලි කළ "ගල්කිස්ස මුහුදු වෙරළට වැලි පිරවීමේ මහා පරිමාණ වංචාව" සම්බන්ධයෙන් සෘජුවම ඔහුගේ නම ගෑවී ඇත. කිසිදු විධිමත් පිරික්සීමකින් තොරව සිදුකළ එම ව්‍යාපෘතියෙන් රටට සිදු වූ මූල්‍ය හානිය සුළුපටු නොවේ. එයට අමතරව  වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ තනතුරේ ආනුභාවයෙන් සෑම සෙනසුරාදා හා ඉරිදා දිනයකම වෙරළ ආසන්න හෝටල් සොයා ගොස් සප්පායම් වීම පුරුද්දක් කොට ගෙන තිබූ බවත් අපට වාර්තා වී තිබේ. එයට හොඳම උදාහරණය සෑම සෙනසුරාදා හා ඉරිදා දිනයකම පුද්ගලික ආතල් ගැනීමේ රාජකාරී සදහා පැමිණීම ප්‍රතික්ෂේප කල රියදුරාහට ගහන්නට පැනීමයි.


දේශපාලන බලපෑම් මත මෙවැනි මහා පරිමාණ දූෂණ චෝදනා එල්ල වූ පුද්ගලයෙකු රටේ ඉහළම පරිපාලන තනතුරට පත් කිරීමට පෙර, ඒ පිළිබඳව අපක්ෂපාතී විමර්ශනයක් සිදු කර ඔහුව නිදොස් කොට සිටීම අනිවාර්යය වේ. එසේ නොමැතිව පත් කිරීම් සිදු කිරීම ‘හොරු ඇල්ලීමට’ බලයට පත් වූ ආණ්ඩුවේ ප්‍රතිපත්ති කෙලෙසීමකි.


අනුර ජනාධිපතිතුමනි, ප්‍රභාත් චන්ද්‍රකීර්ති දෙනවා වෙනුවට නිමල් සිරිපාලටම ජනාධිපතිකම දීම මීට වඩා හොඳ නැද්ද?


අවසාන වශයෙන් අප වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් තදින්ම ප්‍රශ්න කර සිටින්නේ, මුළු මහත් රාජ්‍ය සේවය තුළම ජනාධිපති ලේකම් ධුරය වැනි ගෞරවනීය, පිරිසිදු තනතුරකට පත් කිරීමට චෝදනාවලින් තොර වෙනත් කිසිදු සුදුසු නිලධාරියෙකු ඇත්ම නැද්ද යන්නයි? 


ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා ජනතා විමුක්ති පෙරමුණ සමඟ කිසියම් කාලයක සම්බන්ධතාවයක් පැවැත්වූ බවට දැන් දැන් කරළියේ කතාබහක් පැවතියද, එය සත්‍යයක් ලෙස උපකල්පනය කළහොත් පවා, ඔහුගේ පසුකාලීන දේශපාලන හා පරිපාලන හැසිරීම ජනතා විමුක්ති පෙරමුණේ සාම්ප්‍රදායික ප්‍රතිපත්ති සමඟ සැසඳීම අත්‍යවශ්‍ය වේ.


ජනතා විමුක්ති පෙරමුණ ඉතිහාසය පුරාම තමන්ව හඳුන්වා දුන්නේ දූෂණයට, වංචාවට සහ දේශපාලන ගැතිභාවයට එරෙහි ව්‍යාපාරයක් ලෙසය. එවැනි පක්ෂයක නාමය භාවිතා කරන පුද්ගලයෙකු, දූෂණ චෝදනා එල්ල වූ දේශපාලනඥයන්ගේ සමීපතමයෙකු ලෙස කටයුතු කිරීම, බලයට අනුව දේශපාලන සෙවනැලි අතර ගමන් කිරීම හෝ රාජ්‍ය සම්පත් සම්බන්ධ වංචා චෝදනාවලට නිරන්තරයෙන් නම ගැවසීම, එම ව්‍යාපාරයේ ප්‍රතිපත්තිමය මූලධර්මයන්ට පටහැනි ක්‍රියාවක් ලෙසම සැලකිය යුතුය.


එබැවින්, ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතාගේ දේශපාලන ගමන්මඟ සහ වත්මන් චෝදනා, “මාක්ස්වාදය” හෝ “විප්ලවවාදී දේශපාලනය” යන නාමයන්ට මුවා වී පසුව දේශපාලන ගනුදෙනුකරණයට එක් වූ විමල් වීරවංශ වැනි චරිත සමඟ සමාන තරාදියක තබා විමසා බැලීම වරදක් නොවන බවද පෙන්වා දිය යුතුය.


කුමානායක මහතාගේ දැක්මක් නොමැති පාලනය නරක බව ඇත්තය. නමුත් ඔහුට වඩා සිය ගුණයකින් නරක, දූෂණ චෝදනා සහ දේශපාලන ගැතිභාවය සහිත ප්‍රභාත් චන්ද්‍රකීර්ති වැනි අයෙකු එම පුටුවේ වාඩි කරවීම ඊටත් වඩා මහා විනාශයකි.


ප්‍රභාත් චන්ද්‍රකීර්තිව ජනාධිපති ලේකම් කරන්නේ නම්, ඊට වඩා හොඳ නිමල් සිරිපාල ද සිල්වා මහතාවම ජනාධිපති ධුරයට පත් කිරීම බව අප ජනාධිපතිවරයාට පෙන්වා දෙමු. ජනතාව මාලිමාවට බලය දුන්නේ පරණ දූෂිත දේශපාලන සෙවනැලිවලින් රට පාලනය කිරීමට නොවන බව ජනාධිපතිවරයා වටහා ගත යුතුය!



ජනාධිපතිතුමා ඔයාවත් සල්ලි වලට විකුනන්න බැරි නෑ......  



අවසාන වශයෙන් අප පෙන්වා දෙන්නේ, දූෂිත දේශපාලන සෙවනැලි යටතේ වසර ගණනාවක් “ගේම්” ගසා බලය සහ තනතුරු අතර සැරිසැරූ පුද්ගලයන් නැවතත් රාජ්‍යයේ ඉහළම තනතුරු වෙත ගෙන ඒම, ජනතාව බලාපොරොත්තු වූ “සිස්ටම් චේන්ජ්” එකේම අවසානය විය හැකි බවයි.


නිමල් සිරිපාල ද සිල්වා වැනි දූෂිත දේශපාලනඥයන්ගේ සෙවනේ ක්‍රියා කළ, බලයට අනුව පැත්ත මාරු කරමින් රාජ්‍ය සේවය දේශපාලන ගනුදෙනුකරණයකට ලක් කළ පුද්ගලයන් ඉහළම පරිපාලන තනතුරු වෙත පත් වුවහොත්, අවසානයේ ශ්‍රී ලංකාව පමණක් නොව, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වුවද කිසියම් දේශපාලන ගනුදෙනුවකට “විකුණා දැමීමට” තරම් බලපෑම් ජාල ක්‍රියාත්මක විය හැකි බව අප අනතුරු අඟවමු.


එබැවින්, රටේ අනාගතය වෙනුවෙන්, ජනතාව ලබාදුන් ජනවරම ආරක්ෂා කර ගැනීම සඳහා, මෙවැනි සැක සහිත පත්කිරීම් පිළිබඳ ජනාධිපතිවරයා සහ ආණ්ඩුව දැඩි ප්‍රවේසමෙන් කටයුතු කළ යුතු බව අවධාරණය කරමින් මෙම සටහන තබමු.


සම්පත් දිල්ලිමුණි ✍️