තුසිත හල්ඔළුවලා බේරා ගන්න ආණ්ඩුවට ප්ලග් වී සිටින නසරානිලා

අපි පසුගිය ලිපියෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ කාර්ය මණ්ඩලයේ මහජන සම්බන්ධීකරණ ලේකම් තුසිත හල්ඔළුව සම්බන්ධයෙන් අනාවරණයක් කෙරුවෙමු. ඒ ඔහු ඩුබායි වෙත ගොස් එහි සැඟව සිටින මෙරට අපරාධ ලැයිස්තු ගත පාතාල අපරාධ කරුවන් හමුවීම ගැනය.
තුසිත හල්ඔළුව ඩුබායි සංචාරය කෙරුවේ විනෝදයට නොවන බව නම් අපට ඉර හඳ සේ විශ්වාසය. ඒ අප ඔහුගේ පැටිකිරිය හොඳින් දන්නා නිසා ය.
බිලියනපතියෙක් වූ ඇබිත්තයා...
බද්දේගම ගනේගම පන්සලේ ඇබිත්තයා එවකට සිටි ඇමති අමරසිරි දොඩංගොඩ ගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ කාර්යාල කාර්ය සහායකයා ලෙස සම්බන්ධ කරවන්නේ ඒ පන්සලේ නායක හිමියන්ය. මේ ඇබිත්ත කොළුවා පසුව හිටපු ජනපති චන්ද්‍රිකා බණ්ඩාරනායක ගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ කාර්යාල කාර්ය සහායකයා බවට පත් වන්නේය. මේ කාර්යාල කාර්ය සහායකයා වෙනින් කවුරුවත් නොවෙි. අප මේ ලියන හෑල්ලට සම්බන්ධ ඔය තුසිත හල්ඔළුව ය.
පසුකාලීනව තුසිත හල්ඔළුව බිලියන පතියකු බවට පත් වන්නේ ඒ දේශපාලනය තුළ කළ දූෂිත ගනුදෙණු වලිනි. එහෙත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ සමීප කවයට ඇතුළු වීමට ඔහුට අවස්ථාව හිමි වූයේ නැත. ඒ එම සමීප කවයේ බලධරයා වූ සජින් ද වාස් ගුනවර්ධනට තුසිත හල්ඔළුව ගැන පැහැදීමක් නැති නිසාය. ඒ වන විටත් තුසිත හල්ඔළුව චන්ද්‍රිකා බන්ඩාරනායක පාර්ශවයේ සාමාජිකයකු ලෙස හඳුනා ගෙන සිටීම එයට හේතු වූ බව පැහැදිලිය.
ආණ්ඩු කඩා දමන කුමන්ත්‍රණකාරයා...
මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව බිඳ දමා යහපාලනය ගෙන ඒමේ මුල් පෙලේ කුමන්ත්‍රණ කරුවන් අතර තුසිත හල්ඔළුව සිටියේය. පසුව පොදු ජන පෙරමුණු ආණ්ඩුව බිඳ වැට්ටවීම සඳහා ද මොහු මුල් පෙල දායකත්වයක් දැරූ බවට
අනාවරණය වී තිබේ. ඒ ගෝල් ෆේස් අරගලයට මුල්‍ය සම්පත් මුදා හරිමිනි.
මේ අරගලය හරහා රනිල් වික්‍රමසිංහ ජනපතිධුරයට පත් කරවීම තුසිත හල්ඔළුව ඇතුළු කල්ලියේ සැලසුම බවට පත් වී තිබුණි. අවසානයේදී ඒ සැළසුම සාර්ථක වූයේ පොදු ජන පෙරමුණෙන් ජනාධිපති අපේක්ෂකයා ලෙස පාර්ලිමේන්තුවේදී තරඟ කළ පාපාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම පරාජය කරමිනි.
ඒ වටපිටාව ගැන සැබෑ දේශපාලන කියවීමක් ඇති ඕනෑම අයෙකුට වටහා ගත හැකි දෙයක් තිබේ. එනම්, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මෙරට ජනපතිවරයා බවට පත් කරවීමට පොදු ජන පෙරමුණ කටයුතු කෙරුවේ නම්, මේ රටේ මේ තරමේ ඉක්මනට ජාතික ජන බලවේග ආණ්ඩුවක් බලයට පත් නොවන බව ය.
ඩලස්ව පරදා පරිප්පු කෑ රාජපක්ෂලා...
රාජපක්ෂලා තම කඳවුරේ අලහප්පෙරුමට වඩා වික්‍රමසිංහ කෙරෙහි විශ්වාසය තබා තම දේශපාලනයේ මරණ සහතිකය ඉතා ඉක්මනින්ම ලියවා ගත්තේය. ඩලස් අලහප්පෙරුම ජනාධිපති ධුරයට පත් වූයේ නම් රාජපක්ෂ පවුල නැතුව හෝ පොදු ජන පෙරමුණට මෙරට දේශපාලනය තව දුරටත් තහවුරු කර ගන්නට ඉඩ කඩ සැළසීමට තිබුණේය.
ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවට එරෙහිව මෙරට දේශපාලන වටපිටාව උණුසුම් වෙමින් පැවතිය දී මේ ලියුම්කරු ඩලස් අලහප්පෙරුමට මැසේජයක් යවමින් ඉල්ලා සිටින ලද්දේ පැවැති ආණ්ඩුවෙන් ඉල්ලා අස්වන ලෙසටය. එහෙත් එහිදී ඔහු මේ ලියුම්කරුට එවන ලද මැසේජයේ සඳහන් වූයේ "උඹ හදන්නේ මම මිනී පෙට්ටියක යවන්නද" කියාය. ඩලස් අලහප්පෙරුම විසින් එවන ලද ඒ මැසේජයෙන් රාජපක්ෂලා ගේ අපරාධකාරී සාහසිකත්වය තවදුරටත් තහවුරු විය.
ඩලස් අලහප්පෙරුම වැන්නකු එතරම් භීතියට පත්ව සිටියේ නම් පොදු ජන පෙරමුණේ අන් අය පිළිබඳව කතා කිරීමද කිසිම වැදගැම්මක් නැත. ඒ සියල්ලන්ම සිටියේ භීතියෙන් බව පැහැදිලිය.
හල්ඔළුව කල්ලියට වැරදුණු තැන....
කෙසේ වෙතත් මේ දේශපාලන පසුබිම තුළ තුසිත හල්ඔළුව කල්ලිය සිය සැළසුම් ගොඩ දා ගත් බව පැහැදිලිය. එහෙත් රනිල් වික්‍රමසිංහ ජනපතිවරණයෙන් පැරදී අනුර කුමාර සහෝදරයා ජනපති ධුරයට පත් වෙනු ඇතුයි තුසිත හල්ඔළුව කල්ලිය කිසි දිනක හීනෙකින්වත් ගණන් හදා නොතිබුණ සහතික ය.
තුසිත හල්ඔළුවලා ගේ විකල්ප තේරීම වූයේ සජිත් ප්‍රේමදාසය. ඒ මන්ද යත් ඔවුන් ගේ දූෂිත ඇවැතුම් පැවතුම් වලට සජිත් ප්‍රේමදාස ගේ දේශපාලනය තුළ අවස්ථාවක් පැවතුන නිසාය. ඒ නිසාම සජිත් ප්‍රේමදාස මෙරට අටවන ජනාධිපති ධුරයට පත් වනු ඇතැයි මේ කල්ලියේ ගණන් හැදීම විය.
එහෙත් සියළු හීන උඩු යටි කුරු වී මෙරට දේශපාලනයේ බල ආධිපත්‍යය ජාතික ජන බලවේගය අතට පත් වීම තුසිත හල්ඔළුවට දරා ගත නොහැකි කාරණයක් බවට පත් විය.
දේශපාලනිකව ජාතික ජන බලවේගය නැවත පරාජයට පත් කරවීම ලේසි පහසු වැඩක් නොවන බව ඔහුට අවබෝධයක් තිබුණි. ආණ්ඩුවේ මුදුන් මුල වන අනුර කුමාර සහෝදරයා දේශපාලනයෙන් අයින් කිරීමෙන් මිස තමන්ට අවස්ථාව ලබා ගැනීමට වෙනත් විකල්පයක් නැති බවටද ඔහු තේරුම් ගෙන සිටි බව නිසැකය.
ආණ්ඩුවේ ඉන්න හල්ඔළුවලා ගේ රූකඩ...
ජාතික ජන බලවේග ආණ්ඩුවේ දුර්වලම නිලය ඇත්තේ විශ්‍රමික හමුදා පොලිස් සාමූහිකය තුළය. මේ තුළ වූ ඇතැම් නියෝජනයන් තුසිත හල්ඔළුව වැන්නන්ගේ රූකඩයන්ය. ඔවුන් ආණ්ඩුවේ මර්මස්ථානවල ස්ථානගත කිරීම තුසිත හල්ඔළුව වැන්නන්ගේ පමණක් නොව රාජපක්ෂ වරුන්ගේද කුමන්ත්‍රණකාරී සැලසුම විය.
මෙම සැළසුම යම් තාක් දුරකට සාර්ථක වී තිබෙන බවද අපේ අදහසයි. මාලිමාවට එසේ පංගාර්තු කරන ලද රාජපක්ෂ ජානගත සම්බන්ධතා තවමත් පරණ පුරුදු කෙලියේ නිරත වෙමින් සිටින්නේ ආණ්ඩුවේ හොම්බ බිම අන්නවමිනි.
පොලිස් ඇමතිවරයාගේ උපදේශකයා තාජුඩීන් ඝාතනයේ සාක්ෂි වසන් කළ උන්දෑය. මේ උන්දෑ පොලිස් සේවාවේ සිටියදී සිදු කරන ලද පාහරකම් ගණන් හැදුවේ නම් ජාතික ජන බලවේග ආණ්ඩුවේ පිලිකන්නටවත් වැද්දා ගත යුතු සතෙක් නොවේ. එහෙත් මෙවුන්දැලා ගැන ජාතික ජන බලවේග ආණ්ඩුව දැන් ඉන්නේ උගුඩුවා ඇටි කෙහෙල් කෑ උගුඩුවා වගේය. මේ එක නසරානියෙක් ගැන උදාහරණයකි. ජාතික ජන බලවේග ආණ්ඩුවට ප්ල්ග් වී සිටින තව එවැනි නසරානින් බොහෝ ය.
මේ නසරානින් නිසා තුසිත හල්ඔළුව වැනි ගේම් කාරයන් අත, ආණ්ඩුව සමග සෙල්ලම් කරන්නට යහමින් තුරුම්පු ඇත. තුසිත හල්ඔළුවගේ අඹ යාළුවා මේජර් නිශ්ශංක සේනාධිපතිය. සේනාධිපතිගේ අත වැසියා මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් උන්දෑය.
හල්ඔළුව රකින ආණ්ඩුවේ "ප්ලග්"....
තුසිත හල්ඔළුව රට පෙරළන්නට කුමන්ත්‍රණය කළ බවට සාක්ෂි ඇතුව පොලීසියට තොරතුරු ලැබුණ ද ඔහුගේ මයිලකටවත් හානියක් නොවන්නේ මේ සම්බන්ධතා ජාලය නිසාය. ජාතික ජන බලවේග ආණ්ඩුවට හයියෙන්ම ප්ල්ග් වී සිටින හමුදා පොලිස් විශ්‍රාමික සමූහයේ ඇතැම් කුණු ට්‍රැක්ටර් වලට තවමත් කුණු පටවන්නේ වික්‍රමසිංහ කඳවුරේ තුසිත හල්ඔළුව වැන්නන් හා රාජපක්ෂ බංගලාවෙනි.
මේ කුණු ට්‍රැක්ටර් බාන්නේ ආණ්ඩුව ඇතුළේය. දැන් ආණ්ඩුවට සිද්ධ වී තියෙන්නේ රට පාලනය කරනවාට වඩා ඒ කුණු කසල ගැන හොයා පුරවැසියන්ට වග උත්තර බඳින්ටය. කෙල මෝලකින් ආණ්ඩුවේ "ඇට දෙකට" ඇණ මේ ඇත්ත කිව්වත්, ආණ්ඩුව ඒ ඇත්ත තේරුම් නොගැනීම ජාතික ජන බලවේග ආණ්ඩුවට තවමත් ලව් කරන හිතවතුන්ගේ උපන් ගෙයි කරුමය ය.
සැබෑවටම දැන් ආණ්ඩුව වෛර බැඳ ගෙන සිටින්නේ මොන දහම් ගැටයක් දමා හෝ මේ ආණ්ඩුව රැක ගත යුතුය යන අදහසේ සිටින තමන්ගේම රැහේ එවුන් සමගය. අපට කියන්නට ඇත්තේ "අනේ පව් හලෝ" කියා පමණය.
දක්ෂිණ ලියනාරච්චි ✍️