මරණ පරීක්ෂණයේ සාක්ෂියෙන් මතුවන උභතෝකෝටික ය...

පසුගිය දා මිය ගිය කපිල චන්ද්‍රසේනගේ මරණ පරීක්ෂණයේ දී සාක්ෂි ලබා දුන් එක් අයෙකු වන්නේ නීතිඥ ප්‍රියන්ත උපාලි අමරසිංහය.
නීතිඥ ප්‍රියන්ත උපාලි අමරසිංහ, මිය ගිය කපිල චන්ද්‍රසේනව හමුවීමට අරවින්ද ද සිල්වා ගේ නිිිිවසට යන්නේ, ඔහුගේ ඡ්‍යෙෂ්ඨයා වන ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න ගේ උපදෙස් මතය .
නීතිපති කාර්යාලයේ ද සේවය කර ඇති නීතිඥ රියන්සි අර්සකුලරත්න, කාලයක් අල්ලස් හෝ දූෂණ කොමිෂමේ අධ්‍යක්ෂ ජනරාල් වරයා වශයෙන්ද සේවය කෙරුවේ ය.
පහත සඳහන් වන්නේ, කපිල චන්ද්‍රසේනගේ අභිරහස් මරණයට අදාළව හතරවන සාක්ෂිකරු වන මෙම නීතීඥ ප්‍රියන්ත උපාලි අමරසිංහ විසින් අධිකරණයට ලබා දී ඇති සාක්ෂිය ය.
” ස්වාමිනී, මට මැයි 8 වන දින අරවින්ද ද සිල්වාගේ නිවසට උදේ 7 .15 ට වගේ යන්න කියලා ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න මහතා මැයි 07වන දින රාත්‍රියේ 9.30 ට පමණ දුරකථනයෙන් කතා කරලා කිව්වා. එම නීතිඥ මහතා මට කතා කරලා ඇහුවා හෙට මොන උසාවියේදී ඉන්නේ කියලා. මං කිව්වා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ අංක දෙකේ සහ දිසා අධිකරණයේ ඉන්නවා කියලා. ඊට පස්සේ කිව්වා කපිලගේ මෝෂන් එකක් ගොනු කරලා හෙට අධිකරණයට දාන්න තියෙනවා. ඔහුගේ චේම්බර් එකෙන් මෝෂමක් හදලා මට ඒවයි කියලා ජනාධිපති නීතිඥවරයා මට කිව්වා. ඊට පස්සේ අරවින්ද ද සිල්වා මහතා මට කතා කරයි කියලත් කිව්වා. "
"ඒ අනුව මෝෂන් එකත් එක්ක මහේස්ත්‍රාත් අධිකරණයට කපිලව ඉදිරිපත් කරන්න කියලා මට කිව්වා. මෝසම දාලා ජනාධිපති නීතිඥවරයා කීප් ඩවුන් කරන්න කියලත් කිව්වා. එහෙම උපදෙස් දීපූ ජනාධිපති නිතීඥතුමා මට කිව්වා, කපිල රිමාන්ඩ් වෙයි කියලා ටිකක් බයෙන් ඉන්නේ කියලා.
අරවින්ද කතා කළාට පස්සේ ගිහින් කපිලව හම්බවෙලා ඒ කරුණු පහදලා දෙන්න කියලා මගේ සර් මට කිව්වා. මම සමාජ මාධ්‍ය මගින් දැක්කා අල්ලස් කොමිසම විසින් නැවතත් ඔහුට විරුද්ධව කරුණු දක්වලා තියෙනවා කියලා."
" 07 වැනිදා රාත්‍රියේ 11 .00 න් පසුව මට අරවින්ද කතා කරලා කිව්වා, රියන්සි මහත්තයා මට නම්බරේ දුන්නා කපිලගේ මෝෂන් එක සම්බන්ධයෙන් කතාකරගන්න කියලා. ඒ වෙලාවේ මම කිව්වා ඔව් සර් මට කිව්වා විස්තරේ කියලා. ඒ අවස්ථාවේදී අරවින්ද කිව්වා කපිල 31 ද, 21 ද, කියලා සෙක්ෂන් එකක් ගැන කිය කියා බයේ ඉන්නවා. මම දන්නෑ මොකක්ද ඒ සෙක්ෂන් එක කියලා."
"ඒ වන විටත් ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා මට ලබා දී තිබූ උපදෙස් අනුව මම ඇහුවා කපිල කොහෙද ඉන්නේ කියලා අරවින්දගෙන්. අරවින්ද කිව්වා මගේ නිවසේ ඉන්නේ කියලා. ඊට පස්සේ මං කිව්වා මගේ පුතාව උදේ ඉස්කෝලෙට දාලා 7 .15 ට විතර මට අරවින්දගේ නිවෙසට එන්න පුළුවන් කියලා.
ඊට පස්සේ මම කියපු වෙලාවටම අරවින්දගේ ගෙදරට ගියා."
" මම ගේට්ටුව ළඟට යද්දි හතයි පහළොවට විතර ඇති. මම අරවින්දට කෝල් කරා. මම ගියේ තනියම. අරවින්ද කෝල් එකට ආන්සර් කරලා කිව්වා ," මම දැන් තමයි නැගිට්ටේ" කියලා. ගෙදර සේවකයෙක් ඇවිල්ලා මට වාඩිවෙන්නන කිව්වා. මට තේ එකක් හදලා දුන්නා. අරවින්ද උඩ ඉඳලම පහළට එන ගමන් කිව්වා කපිලට කෝල් ගත්තා ආන්සර් වෙන්නේ නැහැ කියලා. එතකොට වෙලාව උදේ 7 .20යි. මං කිව්වා දොරට තට්ටු කරලා බලන්න කියලා. මට සද්දෙ ඇහුණා අරවින්ද ගිහිල්ල දොරට තට්ටු කරනවා. අරවින්ද ආයෙත් පහළට ඇවිත් කිව්වා දොර අරින්නේ නැහැනේ කියලා."
" මම ඒ වෙලාවේ කිව්වා ගෙදර වැඩ කරන අයගෙන් අහලා බලන්න කපිල එළියට ගිහිල්ල ද දන්නෑ කියන්නේ නැතුව කියලා. ඊටපස්සේ මායි අරවින්දගේ බිරිඳයි, අරවින්දයි පළමු මහලට ගියා. අරවින්ද අවශ්‍යතාවයකට වොෂ්රූම් එකට ගියා.
මම අරවින්දගේ බිරිඳගෙන් ඇහුවා ගෙදර මාස්ටර් කී එකක් තියෙනවද කියලා. ඊට පස්සේ ඇය මට මාස්ටර් කී එක ගෙනත් දුන්නා. ඒකෙන් දොර ඇරියා. දොර අරිනකොට මම දුටුවා පළමුවම ඇඳේ ඇතිරිල්ල යම් යම් තැන්වල හැකිලිලා පොඩිවෙලා වගේ තිබ්බා. ඇදේ යම්කිසි ඇඳුමක කොටසක් තියෙනවා දැක්කා. ඊට පස්සේ වම් පැත්තෙ බැලුවම දොරක් තිබ්බා දොරේ උඩ ටයිපටියක් වගේ තද කොළපාට දෙයක් තිබ්බා. පුටුවක් තිබ්බා නිල් පාට.
පුටුව උඩ තට්ටේ සහිත ඔලුවක් තියෙනවා දැක්කා. ප්‍රථමයෙන්ම මම මේක දැක්ක නිසා ටිකක් බයට පත්වුණා. අරවින්ද ගේ නෝනා දොර ළඟ හිටියේ. මම අතින් සංඥාවක් කරගෙන කාමරෙන් පිටතට ආවා. ඔළුවේ තට්ටේ කොටස පමණයි මම දැක්කේ. බෙල්ලේ උඩ පටියක් තියෙනවා වගේ මට නිරීක්‍ෂණය වුණා. අරවින්ද ද සිල්වා ඒ වෙලාවේ ආවා. මං කිව්වා මැරිලා වගේ. දන්න ඩොක්ටර් කෙනෙක්ට ඉක්මනින් කතා කරන්න කියලා."
" මං දුටුවා අරවින්දත් එකපාරම බියට පත්වුණා. එයා කෝල් කරද්දි මම දැක්කා එයා බය වෙලා ඉන්නවා. ඔහු වෛද්‍යවරුන්ට දුරකථන ඇමතුම් ගත්තා. ඒ අවස්ථාවේ මට මතක් වුණා ළඟම තියෙන පුද්ගලික රෝහලට කතා කරන්න කියලා. ඒ අවස්ථාවේ ඔළුවට ආවෙ පණ තිබ්බොත් කපිලව බේරගන්න පුළුවන් කියන ක්‍රමය විතරයි. පස්සේ ඇම්බියුලන්ස් එකක් සහ වෛද්‍යවරයත් සමඟ තවත් කාර්ය මණ්ඩලය පැමිණියා. තුන්දෙනෙක් ඇතුළට ගියා. මට මතක විදිහට නාඩි බලනවා වගේ මම දැක්කා. පස්සේ ඩොක්ටර් බලලා කිව්වා කපිල ඩෙත් කියලා....."
(උපුටනය අවසන්)
අපි මේ මරණ පරීක්ෂණයේ ඇද කුද හොයන්නට තරමේ ෂර්ලොක් හෝම්ල්ස් ලා නොවේ. එහෙත් කපිල චන්ද්‍රසේන දොර ලොක් කර ගෙන මිය යාම ගැන ප්‍රථමයෙන් දුටු මේ නීතිඥ මහතාගේ සාක්ෂියෙන් අපට අපහැදිලි වන තැන් කිහිපයක්ම තිබේ.
මේ අපහැදිලිකම සැකය ලෙස අරුත් ගැන් වූවාට වරදක් නැත. නීතිඥ මහතා පවසන ආකාරයට ඔහු යන ගමන් අරවින්ද ද සිල්වාට ඇමතුමක් ගෙන තිබේ. නීතිඥ වරයා එම නිවසට යාමෙන් පසුව උඩුමහලේ සිට එන අරවින්ද ද සිල්වා පවසන්නේ තමන් කපිල චන්ද්‍රසේනට ඇමතුමක් ගත් නමුත් ඔහු එම ඇමතුමට පිළිතුරු නුදුන් බවය. නීතිඥ වරයා අරවින්ද ද සිල්වා ගෙන් ඉල්ලන්නේ දොරට තට්ටු කර බලන ලෙසය.
තම නිවසේ කාමරයක සිටින්නකු හමුවීමට අමුත්තකු එන බව ගෙහිමියාට පැවසූ විට ඔහු ඒ කාමරය අසලට නොගොස් ඒ පණිවිඩය දුරකථන ඇමතුමකින් ලබා දීමට වෑයම් කිරීම ප්‍රශ්ණ සහගතය. කපිල චන්ද්‍රසේන මුහුණ පා සිටින බරපතල ප්‍රශ්ණය ගැන අරවින්ද ද සිල්වා දැනුවත්ය. ඒ අවස්ථාවෙි එහි පැමිණෙන බව දැනුම් දී ඇත්තේද නීතිඥවරයෙකි. එහෙත් අරවින්ද ද සිල්වා එම නීතිඥවරයා ගේ පැමිණීම එතරම් බැරෑරුම් ලෙස ගණන් ගෙන නැති බව පැහැදිලිය. ඒ බව වඩාත් තහවුරු වන්නේ කපිල චන්ද්‍රසේන සිටින කාමරයට තට්ටු කර ඔහු සිටීදැයි බලන ලෙස ඉල්ලා ඇත්තේ නීතිඥවරයා වීම ය.
ඉන් අනතුරුව උඩුමහලට ගිය අරවින්ද ද සිල්වා දොරකට තට්ටු කරන හඬ ඇසුන බව නීතිඥවරයා පවසයි. පසුව නැවත පහලට පැමිණෙන අරවින්ද ද සිල්වා නතිඥවරයාට පවසන්නේ කපිල චන්ද්‍රසේන දොර නාරින බවය. මේ සිද්ධිය හරියට අමල් බිසෝ කතන්දරය වාගේය. තමන්ගේ නිවසේ කාමරයක සිටි තැනැත්තකු දොර අරින්නේ නැති විට කලබල විය යුත්තේ ගෙහිමියාය. ඒත් නීතිඥවරයාගේ සාක්ෂියෙන් තහවුරු වන්නේ අරවින්ද ද සිල්වාට එවැනි හදිසියක් හෝ ඕනෑ කමක් නොතිබුන බවය.
ඉන් පසු අරවින්ද ද සිල්වා හා ඔහුගේ බිරිඳ සමග නීතිඥවරයාද උඩුමහලට යන්නේ කපිල චන්ද්‍රසේනගේ කාමරය අසලටය. ඒ අවස්ථාවේ අරවින්ද ද සිල්වා ඒ ස්ථානයෙන් ඉවතට යන්නේ වොෂ් රූම් යාමේ අවශ්‍යතාවක් ඇති බව පවසමිනි. කපිල චන්ද්‍රසේනගේ නවාතැන් ගෙන සිටි කාමරයේ දොර අරින්නටත් පෙර අරවින්ද ද සිල්වාට මුත්‍රා හෝ රෙන්න බර වීම සිද්ධ වූයේ හිතේ බයට ද යන්න අපි නොදනිමු. එහෙත් එය එසේ වී තිබේ.
සිය නිවසේ රාත්‍රියේ නවාතැන් ගත්තෙකු කාමරයේ නොවීම ගැන අරවින්ද ද සිල්වා එතරම් උනන්දුවක් දක්වා නැති බව මේ වොෂ් රූම් සිද්ධියෙන් තව දුරටත් තහවුරු වේ. තම බිරිඳ නන්නාඳුන නීතිඥවරයකු අසල තබා ඔහු එම ස්ථානයෙන් ඉවත්ව යාම අපට නම් ප්‍රශ්ණ ඇතිවෙන සිද්ධීන්ය. එහිදී කාමරයේ මාස්ටර් කී එක ගෙන්වා ගෙන කාමරයේ දොර ඇර ප්‍රථමයෙන් ඇතුළට යන්නේද නීතිඥවරයාය. අරවින්ද ද සිල්වාගේ බිරිඳ දොර අසලට වී සිටින්නීය. සිය නිවසේ කාමරය ඇතුළට ප්‍රථමයෙන් ඇතුළු වීමට අරවින්ද ද සිල්වාගේ බිරිඳ පැකිළුනේ මක් නිසාද යන්න ගැනත් අපට ගැටළුවක් මතුවේ.
අපගේ නිවසක මෙවැනි සිඳුවීමක් ඇති වූයේ නම්, අප හැසිරෙන ආකාරය හා මේ ජවනිකාව ගලපා ගත හොත් එහි ඉතා සැක සහිත හැසිරීම් ගනනාවක් පවතී. එහිදී අරවින්ද ද සිල්වා විසින් කපිල චන්ද්‍රසේන ඝාතනය කරන ලදැයි අපි චෝදනා නොකරමු. එහෙත් නීතිඥවරයා ඒමට පෙර කපිල චන්ද්‍රසේන මිය ගොස් සිටින බව අරවින්ද ද සිල්වා හා ඔහුගේ බිරිඳ දැන සිටි බව නම් බැහැර කරන්නට බැරි තරම් ය.
දක්ෂිණ ලියනාරච්චි ✍️