Back to home
Alerte infoArt and Culture

ඛලීල් ජිබ්රාන් ලඟ අසරණ වූ අපි....

ඛලීල් ජිබ්රාන් ලඟ අසරණ වූ අපි....

ඛලීල් ජිබ්රාන් (Khalil Gibran) කියන්නේ මහ පුදුම අදහස් තිබුණ මනුස්සයෙක්.


ඔහු ආදරය දැක්කේ, ආදරය සුන්දර වුණත්, ඒක මනුෂ්‍යයා වෙනස් කරන වේදනාවක් ගෙන දෙයක් විදිහට. ඒ වගේම ඔහු වේදනාව දැක්කේ, මනුෂ්‍යයාගේ අභ්‍යන්තරය විවෘත කරමින්, වර්ධනයක් ගෙන එන දෙයක් විදිහට. 


ඇත්තටම සැබෑ නිදහස ලැබෙන්නේ බාහිර බැඳීම්වලින් පමණක් නොවෙයි, තමන්ගේ ඇතුළත තිබෙන බියවලින් නිදහස් වීමෙන් කියලා තමයි ජිබ්රාන් කිව්වේ.


අනෙක් අතට දරුවන් ගැන ඔහු ගේ ප්‍රසිද්ධ අදහස වුණේ, “ඔබේ දරුවන් ඔබේ දරුවන් නොවේ.” කියන අදහස. මේකේ අර්ථය වුණේ දරුවන් තමන්ගේම ජීවිතයක් ඇති ස්වාධීන මනුෂ්‍යයන් බවයි.


ඛලීල් ජිබ්රාන් ගේ මේ දැක්ම, ඔහු විසින් නිර්මාණය කළ සාහිත්‍යමය කෘති ඇතුළේ ඉතා හොඳින් පේන්න තිබුණා. ඔහුගේ වඩාත් ප්‍රසිද්ධ කෘතිය ලෙස සැලකෙන "The Prophet" කියන කෘතියේ මේ දර්ශනය සුවිශේෂී ලෙස ගැබ් වෙලා තියෙනවා.


"The Prophet" කියන මේ කෘතිය “දෙව්දුරු අරටු” කියන නමින් සිංහලයට පරිවර්තනය වුණා. මේ පොත මම කියෙව්වේ පාසල් යන කාලේ. මම ඒ පොත මගේ මැදිවියේ එළිපත්ත කිට්ටුවට එනකම්ම හුඟක් පරිස්සමට රැකගෙන ආවා. දවසක් ඒ පොත දැකලා කියවන්න කියලා කෑදරකමින් ඔද්දල් වෙච්චි එකෙක් මගෙන් ඒක ඉල්ලගෙන ගියා. ගියා ගියාමයි තාමත්  ඌ පොත අරන් ආපහු ආවේ නෑ.


“දෙව්දුරු අරටු”  කියලා කියන්නේ, ඛලීල් ජිබ්රාන් ගේ ආත්මීය, දාර්ශනික, සහ කාව්‍යමය රචනා එකතුවක සිංහල පරිවර්තනය.


ඛලීල් ජිබ්රාන් ගේ ලේඛනවල ප්‍රධාන ලක්ෂණ වුණේ, ආදරය, මනුෂ්‍ය ජීවිතයේ වේදනාව, ආත්මිකත්වය, නිදහස සහ දෙවියන් හා මනුෂ්‍යයා අතර සම්බන්ධය ගැන කතා කිරීම.


ඔහු ලියපු "The Prophet"  නැතිනම් “දෙව්දුරු අරටු” වල මූලික ස්වභාවය දාර්ශනික හා කාව්‍යමයයි. ඒවා සාමාන්‍ය නවකතාවක් වගේ කතාවක් නෙවෙයි. ජීවිතය ගැන ගැඹුරු සිතුවිලි වල එකතුවක්.


මේ කෘතියේ කතා සාරාංශය කෙටියෙන් කිව්වොත්, මේ කෘතියේ මධ්‍යයේ ඉන්නේ “අල්මුස්තාෆා” නම් දාර්ශනික චරිතයක්. ඔහු වසර ගණනාවක් ජීවත් වුණු නගරය අතහැර යාමට පෙර, ජනතාව ඔහුගෙන් ජීවිතය ගැන ප්‍රශ්න අහනවා.


ඔහු කතා කරන්නේ, ආදරය ගැන, විවාහය ගැන, දරුවන් ගැන, නිදහස ගැන, වේදනාව සහ සතුට ගැන, වැඩ සහ ආගම ගැන සහ ජීවිතය සහ මරණය ගැන.


ඛලීල් ජිබ්රාන් ගේ ලේඛන ශෛලිය තුළ තියෙන්නේ කාව්‍යමය භාෂාවක්. ඒවගේම තියෙන්නේ ආගමික හා ආත්මීය රූපක.

සරල වචන වල තියෙන්නේ ගැඹුරු අදහස්.

ඒ නිසා ඛලීල් ජිබ්රාන් ගේ කෘති බොහෝ දෙනා “සාහිත්‍ය” වගේම “ධ්‍යානාත්මක” චින්තනය සහිත පොත් ලෙසත් කියවෙනවා.


ඛලීල් ජිබ්රාන් උපන්නේ 1883 දි ලෙබනනයේ Bsharri නම් කඳුකර ගම්මානයේ දුප්පත් පවුලක. පියා අස්ථාවර ජීවිතයක් ගත කළ සහ මත්පැන් පානයට ඇබ්බැහි වූවෙක්. 

මව තමන්ගේ දරුවන් එක්ක පසුව Boston වෙත සංක්‍රමණය වෙලා තියෙනවා. මේ අත්දැකීම්, එනම් දුප්පත්කම, සංක්‍රමණ ජීවිතය, සහ පවුල් වේදනාව නිසා ඇති වූ තනිකම, මනුෂ්‍ය දුක, ආදරය සහ ආත්මික සැනසීම යන කියන මේ සියල්ල ජිබ්රාන් ගේ කෘතිවලට බලපාලා තියෙනවා. 


ඛලීල් ජිබ්රාන් කියන්නේ කවියෙක්, චිත්‍ර ශිල්පියෙක්, සහ දාර්ශනික ලේඛකයෙක්. ඔහුගේ ජීවිත අත්දැකීම් ඔහුගේ කෘතිවල ගැඹුරටම මුල් බැස තියෙනවා.


ඛලීල් ජිබ්රාන්, අරාබි සාහිත්‍යය, බයිබලය, සහ නැගෙනහිර දර්ශනය අධ්‍යයනය කළ කෙනෙක්. බටහිර සාහිත්‍යය සහ රොමාන්තික කාව්‍යයත් ඔහුට බලපාලා තියෙනවා. ඒ නිසා ඔහුගේ කෘතිවල නැගෙනහිර ආත්මිකත්වය, බටහිර පුද්ගල නිදහස, සහ විශ්වීය මනුෂ්‍යත්වය එකට මිශ්‍ර වෙලා තියෙනවා.


උදාහරණයක් ලෙස "The Prophet" තුළ ආගමකට සීමා නොවූ “විශ්වීය ආත්මිකත්වයක්” පෙනෙනවා. ඛලීල් ජිබ්රාන් ගේ ජීවිතයේ වැදගත් කාන්තාවන් කිහිප දෙනෙක් හිටියා. විශේෂයෙන්, Mary Haskell නම් ගුරුවරිය සහ අනුග්‍රාහිකාව, ඇය ඔහුගේ ජීවිතයට විශාල බලපෑමක් කළා.

ඇය ඔහුගේ ඉංග්‍රීසි ලේඛන සංස්කරණය කළා. මූල්‍ය සහාය දුන්නා. ඒ වගේම ඇය ඔහුගේ කලා ජීවිතය දිරිමත් කළා.


එම බලපෑම නිසා ආදරය ඔහුට ආත්මික එකතුවක්, වේදනාවක්, සහ නිදහසක් ලෙස පෙනුණා. ඒ නිසා ඔහුගේ කෘතිවල ආදරය සතුට පමණක් නොවෙයි, කැපවීම හා වේදනාවත් පෙනුනා.


ඔහු චිත්‍ර ශිල්පියෙක් විදිහට ඔහුගේ චිත්‍ර බොහෝවිට , දේවදූතයන්, අර්ධ-මානව රූප, සහ ආත්මික සංකේත ලෙස නිර්මාණය වුණා. ඔහු සම්ප්‍රදායික ආගමික ආධිපත්‍යය සහ සමාජ කපටිකම විවේචනය කළා.

The Madman සහ Spirits Rebellious වැනි කෘතිවල දී නිදහස, පුද්ගල සත්‍යය,

සහ සමාජ විරෝධී ආත්මය පෙන්නුම් කළා.


ඔහු ආගම විරෝධී ලේඛකයෙක් නොවුණත්, “ආගම” මනුෂ්‍ය ආත්මය නිදහස් කරන දෙයක් විය යුතු බවත්, එය බලය, බිය, හෝ කපටිකම සඳහා භාවිතා කරන විට එය විනාශකාරී වන බවත්  නිරන්තරයෙන් ලිව්වා. ඔහුගේ කෘතිවල මේ අදහස පැහැදිලිව පෙනෙන ආකාර කිහිපයක් තිබුණා. ඒවා අතරින් ආගමික නායකයන්ගේ කපටිකම විවේචනය කිරීම කැපී පෙනුණා.


සමහර පූජකයන් සහ බලධාරීන්, “දෙවියන්ගේ නාමයෙන්” දුප්පත් මිනිසුන් පාලනය කරන ආකාරය ඔහු ඔහුගේ කෘති වලින් පෙන්නුම් කළා. ඔහුගේ අදහස වුණේ,

ආගම මිනිසා නිදහස් කළ යුතුයි; බියගන්වා වහල් කළ යුතු නැත යන්නයි.


"The Prophet" තුළ ජිබ්රාන් කියන දේ තමයි,

දෙවියන් හමුවෙන්න අනිවාර්යයෙන් ආගමික ආයතනයක් අවශ්‍ය නැහැ කියන කාරණය.

මනුෂ්‍ය හදවත, ආදරය, කරුණාව, සහ සත්‍යය තුළත් ආත්මිකත්වය තියෙන බව ඔහු පෙන්වා දෙනවා. ඔහුගේ දෘෂ්ටිය වුණේ,

ආගම  ජීවිතය සමඟ එකතු වූ දෙයක් බවත්,

ආගමික ආධිපත්‍යය යනු මිනිසුන් පාලනය කිරීමේ යන්ත්‍රයක් බවට පත්විය හැකි දෙයක් බවත් ය කියන අදහස. ඒ නිසා ඔහු “ජීවිතයෙන් වෙන් වූ ආගම” විවේචනය කළා.


සමාජය “සදාචාරය” ගැන කතා කරන

නමුත් දුප්පතුන්, කාන්තාවන්, සහ දුර්වලයන්ට අසාධාරණ ලෙස ක්‍රියා කරනවා හැසිරෙනවා කියා ඔහු දැඩිව විවේචනයක් එල්ල කළා. අන්ධ ලෙස අනුගමනය නොකර, තමන්ගේම හෘදසාක්ෂියෙන් සත්‍යය සොයන්න කියලා ඔහු මනුෂ්‍යයන්ට ආරාධනා කළා.


ඔහු විශ්වාස කළේ, සැබෑ ආත්මිකත්වය ඇති තැන කරුණාව, නිදහස, ආදරය, සහ සත්‍යය තිබිය යුතු බවයි. ඒ නිසා ඔහුගේ කෘති කියවද්දී පෙනෙන්නේ “ජීවිතයේ වේදනාව තුළින් අර්ථයක් සහ ආලෝකයක් සොයන මනුෂ්‍යයෙකුගේ හඬ”ක්.  මේ වන විටත් අප ඉදිරියේ දිගහැරෙමින් පවතින අතිශය වේදනාකාරී සිදුවීම් දෙස බලන විට, අදටත් ශ්‍රී ලාංකික සමාජයට අවශ්‍ය වී ඇත්තේ 1931 දී New York City හි මියගිය ඛලීල් ජිබ්රාන්  වැනි මිනිසුන් ගේ හඬවල් බව තේරුම් ගැනීම අපහසු නැහැ.



සුනිල් ගාමිණී ජයලත්ගේ ✍️ 

(Jayalatge Sunil GAMINI ගේ මුහුණු පොතෙන් උපුටා ගන්නා ලදී.)