Back to home
Alerte infoCourt

වයස අවුරුදු 25 යි. රජයේ සේවකයෙක්. ලක්ෂ 730 ක දේපළ මිලට අරන්......

වයස අවුරුදු 25 යි. රජයේ සේවකයෙක්. ලක්ෂ 730 ක දේපළ මිලට අරන්......

මෙරට අධිකරණ ඉතිහාසයේ මහත් කතා බහට  ලක් වූ "ඩේසි ආච්චිගේ මැණික් මල්ලේ නඩුව" පසුගියදා කොළඹ මහාධිකරණයේදී විභාගයට ගන්නා ලදී.


හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත්‍රයෙක් වන යෝෂිත රාජපක්ෂ විසින් රුපියල් මිලියන 73කට ආසන්න වත්කම් හා දේපොළ අයථා ලෙස අත්පත් කර ගැනීමේ නඩුවේ විත්තිකාර පාර්ශවයට එල්ල වී තිබූ කුමන්ත්‍රණය නැමති චෝදනාව සම්බන්ධයෙන් ඉදිරිපත් කර තිබූ මූලික විරෝධතාව පදනමි විරහිත බව ප්‍රකාශ කළ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග, එම චෝදනාව පවත්වාගෙන යාමට නීතිමය බාධාවක් නැති බවද එහිදී ප්‍රකාශ කෙරුවේය.


අපරාධ නඩු විධාන සංග්‍රහයේ 113 (අ)වගන්තිය ප්‍රකාරව කුමන්ත්‍රණය කිරීමේ චෝදනාවක් පවත්වාගෙන යාම සඳහා විත්තිකරුවන් දෙදෙනෙකු හෝ ඊට වැඩි සංඛ්‍යාවක් පවත්වාගෙන සිටිය යුතු බවට විත්තියේ නීතිඥවරුන්ගේ තර්කය වී තිබුණි. 


මෙම නඩුව ආරම්භයේදී හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ගේ නැන්දනිය වූ ඩේසි ෆොරස්ට්ට හා පුත්‍රයෙක් වන යෝෂිත රාජපක්ෂ විත්තිකරුවන් ලෙස චෝදනා ලබා තිබුණ ද පසුව ඩේසි ෆොරස්ට් නැමැත්තිය අපරාධ නඩු විධාන සංග්‍රහයේ 194 වගන්තිය යටතේ නිදහස් කෙරුණි. විත්ති පාර්ශවයේ නීතිඥවරුන් මූලික විරෝධතාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලද්දේ එම නිදහස් කිරීම පදනම් කර ගෙනය.


පූර්ව විනිශ්චිත නඩු විභාගවල තීන්දු සළකා බැලීමේදී විත්තිය ඉදිරිපත් කරන මූලික විරෝධතාව පිළිගත නොහැකි බව මෙහිදී මහාධිකරණ විනිසුරුවරයා සඳහන් කළ අතර, විත්තිකරුවන් දෙදෙනෙකුට කුමන්ත්‍රණය කිරීමේ චෝදනාව එල්ල වී ඇති අවස්ථාවක, එක් චුදිතයකු මිය ගිය හොත් මිය ගිය එම චුදිතයා සමග චෝදනා ලබා සිටින අනෙක් චුදිතයාට එරෙහිව නඩුව පවත්වාගෙන යාමට කිසිදු බාධාවක් නොමැති බවටද ප්‍රකාශ කෙරුවෙිය. 


මේ අනුව කුමන්ත්‍රණ චෝදනාවක් පවත්වා ගෙන යාමට චුදිතයන් දෙදෙනාම අධිකරණ⁣ය හමුවෙි පෙනී සිටීම අනවශ්‍ය බවත්, මෙහිදී චූදිත ඩේසි ෆොරස්ට් නිදහස් කරන ලද්දේ ඇයට නඩු විභාගයකට පෙනී සිටින තරමේ මානසික සෞඛ්‍ය තත්වයක් නැතැයි ඉදිරිපත් කරන ලද වෛද්‍ය වාර්තා පදනම් කර ගෙන බවත් වැඩිදුරටත් සඳහන් කළ මහාධිකරණ විනිසුරුවරයා ඇය නිදහස් කර ඇත්තේ සාක්ෂි නොමැති වීම නිසා නොවන බවද පැවසීය. 


එසේම එම නිදහස් කිරීීම නිදොස් කොට නිදහස් කිරීමක් නොවන බවද මහාධිකරණ විනිසුරු වරයා විසින් තවදුරටත්  අවධාරණය කරන ලදී. අනතුරුව විත්තිකරුට එරෙහිව තිබෙන චෝදනා විවෘත අධිකරණයේදී කියවීමටද මහාධිකරණ විනිසුරුවරයා විසින් නියෝග කෙරිණි. එහිදී එම චෝදනාවන්ට තමන් නිවැරිදිකරු බව යෝෂිත රාජපක්ෂ පැවසීය.


නඩුවේ ආරම්භක දේශනය කෙරුවෙි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාරය. ඔහු එහිදී මෙසේ ⁣පැවසුවේය.


"චූදිත යෝෂිත රාජපක්ෂ හා ඩේසි ෆොරස්ට් ගේ ආර්ථික ශක්තිය හා දේපළ මිලදී ගැනීම් අතර විශාල පරස්පරයක් පවතිනවා. 1983 වර්ෂයේ උපත ලබා ඇති චූදිත යෝෂිත රාජපක්ෂ මෙම නඩුවට අදාල ඉඩම් පහ මිලදී ගන්නා විට වයස අවුරුදු 25 ක තැනැත්තෙක්. ඒ වන විට ශ්‍රී ලංකා නාවික හමුදාවට බැඳී සිටි මොහු තමන්ට මාසිකව හිමිවූ වැටුප වශයෙන් ලක්ෂ 75 ක මුදලක් ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ තැන්පත් කර තිබෙනවා. එම වැටුප් මුදල් මොහු මෙතෙක් අර ගෙනත් නෑ. චූදිත පාර්ශවය රගර් ක්‍රීඩකයකු වශයෙන් හා කොටස් වෙළඳ පොළ ගනුදෙනු වලින් උපයාගෙන ඇති ආදායම ඉදිරි නඩු විභාගයේදී සාක්ෂි වලින් හෙළි කරනවා." 


"රජයේ සේවකයකු ලෙස කටයුතු කරමින් ලක්ෂ 730 ක දේපළ මිලට ගැනීමට තරමේ ආර්ථික හැකියාවක් හෝ ශක්තියක් චූදිතයාට තිබිය නොහැකියි. එමෙන්ම 1928 වර්ෂයේදී ඇල්ල ප්‍රදේශයේ උපත ලද ඩේසි ෆොරස්ට් එම ප්‍රදේශයේ රෝහලක මුළුතැන් ගෙයක සේවිකාවක ලෙස සේවය කර පසුව 1976 වසරේ සිට 1983 දක්වා වූ කාලයේ ශාන්ත තෝමස් විද්‍යාලයේ නේවාසිකාගාර පාලිකාව ලෙස රැකියාව කර තිබෙනවා. මේ කාලය තුළ ඇය වැටුප් වශයෙන් ලබා ගෙන තියෙන්නේ රුපියල් 7300 සිට රුපියල් 2300ක් දක්වා වූ මුදලක් පමණයි."


"1986 වසරින් පසුව ඇය කිසිදු රැකියාවක් කර නැහැ. සේවක අර්ථසාධක අරමුදලින් ඇයට රුපියල් 3300 ක මුදලක් හිමි වී තිබෙනවා. මෙවැනි වත්කමක් තිබූ තැනැත්තියකට ලක්ෂ 735 ක වැය කර දේපළ මිලදී ගැනීමට හැකියාවක් තිබිය නොහැකියි. "


"වර්ෂ 2012 ඔක්තෝම්බර් හා 2013 අගෝසතු කාලය තුළදී ඇය රාජගිරිය හා බම්බලපිටිය ප්‍රදේශ තුළ ලක්ෂ 735 ක වටිනා කමින් යුතු දේපළ අයථා ලෙස මිලට ගෙන තයෙනවා. මේ අනුව රත්මලාන සිරිමල් උයනේ රුපියල් මිලියන 35.99ක් වටිනා පර්චස් 31.05ක ඉඩම, දෙහිවල කවුඩාන බටහිර ප්‍රදේශයේ මිලියන 4.5 ක් ,මිලියන 22.5 ක් සහ මිලියන 3.5 ක් වටිනා ඉඩමි කට්ටි, දෙහිවල මිහිඳු මාවතේ රුපියල් මිලියන 4.5 ක් වටිනා පර්චස් 05 ක ඉඩම ආදිය වෙනවා.මේ ඉඩම් කට්ටි හතරක්ම ශිරන්ති රාජපක්ෂගේ නිවස ආසන්නයේ පිහිටා තිබීමත් විශේෂත්වයක්."


නඩුවෙි ආරම්භක දේශනයෙන් පසුව ඩේසි ෆොරස්ට් ගේ දේපළ කළමනාකාරිණිය ලෙස කටයුතු කළ මධුකා වීරසිංහ සාක්ෂි දෙමින් කියා සිටියේ, තමන් දේපළ කළමනාකාරිණිය වුවද ඇයට හිමි දේපළ ගැන නොදන්නා බවය. 


මෙහිදී පැමිණිලි පාර්ශවයෙන් ඩේසි ෆොරස්ට් හට ලැබුණ මැණික් මල්ල පිළිබඳව ප්‍රශ්ණ කළ අතර, ඇය පැවසුවේ එවැනි දෙයක් ගැනද තමන් නොදන්නා බවය.

මෙම නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය මැයි මස 22 වනදා දක්වා කල් තැබිණි.


දක්ෂිණ ලියනාරච්චි ✍️