ජාතික අධ්‍යාපන ආයතනයේ ලොක්කාට වසර හයක බරපතල සිර දඬුවමක්...

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත ජාතික අධ්‍යාපන ආයතනයේ හිටපු අධ්‍යක්ෂවරයකු වූ අයි. ජී. එස්. ප්‍රේමතිලකට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වසර හයක බරපතල වැඩ සහිත සිරදඬුවමක් නියම කරන ලද බව වාර්තා වෙි.
මෙම සිර දඬුවමට අමතරව ඔහු හට රුපියල් මිලියන තුනක දඩයක් ද නියම කර ඇති අතර එම දඩය නොගෙවන්නේ නම් ඒ සඳහා තවත් වසරක සිරදඩුවමක් ක්‍රියාත්මක කෙරේ.
එම තීන්දුව දෙන ලද්දේ අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන ප්‍රමුඛ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසිනි.
2024 වසරේ පැවැති 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් නියෝගයක් ක්‍රියාත්මක නොකිරීම තුළින් අධිකරණයට සිදු කරන ලද අපහාසයට ජාතික අධ්‍යාපන ආයතනයේ හිටපු අධ්‍යක්ෂවරයාට මෙසේ දඩුවම් නියම කෙරිණි.
අදාළ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න තුනක් කලින් පිටවීම හේතුවෙන් විභාගයට පෙනී සිටි සියලුම සිසුන්ට එම ප්‍රශ්න තුන සඳහා නිදහස් ලකුණු ලබාදීමට තීරණය කර තිබූ අතර, ඒ තීරණය අභියෝගයට ලක්කරමින් එම විභාගයට පෙනී සිටි සිසුන්ගේ දෙමාපියන් පිරිසක් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබුුුණි.
එම මූලික අයිතිවාසිකම් පෙත්සම විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණය, 2024 දෙසැම්බර් 31 වැනි දා සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළේ, ප්‍රශ්න පත්‍රය පිටවීම තුළින් විභාගයට පෙනී සිටි සිසුන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බවයි.
එහි දී මෙම බරපතළ විභාග අක්‍රමිකතාවයට වගකිවයුතු ප්‍රධාන පාර්ශ්වයක් ලෙස හඳුනාගත් ජාතික අධ්‍යාපන ආයතනයේ හිටපු අධ්‍යක්ෂ අයි.ජී.එස්. ප්‍රේමතිලකට රුපියල් මිලියන 3ක වන්දි මුදලක් සිය පෞද්ගලික මුදලින් රජයට ගෙවන ලෙස අධිකරණය විසින් නියෝග කළ අතර, එම මුදල නියමිත කාලසීමාවක් තුළ ගෙවා නිම කළ යුතු බවට ද නියෝග කෙරිණි
කෙසේ වෙතත්, අධිකරණය නියම කළ එම වන්දි මුදල ගෙවීම පැහැර හැරීම සහ අධිකරණ නියෝගය නොසලකා හැරීම සම්බන්ධයෙන් වග උත්තරකරුට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස කිරීම යටතේ චෝදනා ගොනු කරන ලදී.
දක්ෂිණ ලියනාරච්චි ✍️