Back to home
Alerte infoPolitical

"අන්ධ භූත කොම්රේඩිලා" සහ හර්ෂ ද සිල්වලා...

"අන්ධ භූත කොම්රේඩිලා" සහ හර්ෂ ද සිල්වලා...

සමගි ජන ⁣බලවේගයේ මන්ත්‍රී හර්ෂ ද සිල්වා ජාජබ ආණ්ඩුවට එක් වන බවත් ආණ්ඩුව ඔහුට මුදල් අමාත්‍ය ධුරය දීමට සැළසුම් කර ඇති බවත් මේ දින වල සමාජ මාධ්‍යයේ ලියවෙන ප්‍රවෘත්තියකි.


එහෙත් තමන්ට ආණ්ඩුවට එක්වීමේ අදහසක් නොමැති බවත්, ඒ පිළිබඳව කිසිදු සාකච්ඡාවක් සිදුකර නැති බවත් ඔහු පවසයි. හර්ෂ ද සිල්වා ඒ බව සඳහන් කර ඇත්තේ සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමිනි. සමගි ජන බලවේගය තුළ ප්‍රශ්ණ ඇති කිරීමේ අපේක්ෂාවෙන් බොහෝ පිරිස් මෙවැනි ප්‍රචාරයන් සිදුකරන බවද ඔහු එහි සඳහන් කර තිබේ.


ඔහු මෙසේද පවසයි. "මගේ පවුලේ කිසිවෙක් දේශපාලනයට සම්බන්ධ නෑ. තරුණ වයසේදී රට ගැන කැක්කුමක් ඇතිවුණා. මගේ රටත් දවසක ලෝකයේ දියුණු රටක් විය යුතුයි කියන හැඟීම තමයි මාව දේශපාලනයට තල්ලු කළේ. ලෝකයට විවෘත නොවුන වකුටු අදහස් වලින් මේ රට හදන්න බැහැ. ඒක අනාගතයේදී තව තවත් පැහැදිලි වේවි."


"කෙසේ වෙතත්, ආණ්ඩුවේ හොඳ දේට හොඳයි කියන දේශපාලන සංස්කෘතියක් ඉදිරියට ගෙන යමින්, ආර්ථික සමෘද්ධියෙන් යුතු දියුණු ශ්‍රී ලංකාවක් ගොඩනැගීම වෙනුවෙන් වත්මන් ආණ්ඩුවට එරෙහි සටන තවදුරටත් ශක්තිමත් කරනවා. අවශ්‍ය මොහොතක දී රට වෙනුවෙන් ඕනෑම භාරදූර අභියෝගයක් භාර ගැනීමට මම සූදානම්..."



හිතේ තියෙන සැලසුම අපි නොදනී....



මේ ලියවිල්ලේ අවසානයේ සඳහන්ව ඇත්තේ රට වෙනුවෙන් ඕනෑම අභියෝගයක් භාර ගැනීමට තමන් සූදානම් බවය. තමන් ආණ්ඩුවට එක් නොවන බව පවසන හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා "රට වෙනුවෙන් ඕනෑම භාර දූර අභියෝගයක් භාර ගැනීමට සූදානමි" යැයි පවසා ඇත්තේ කවර සැළසුමක් හිතේ ති⁣යා ගෙන දැයි අපට හිතන්නට නො හැකිය. 


අපේ සිතට ඒ ගැන එන අදහස, විවිධ අර්ථයෙන් සඳහන් කළ හැකිය. එහිදී හර්ෂ ද සිල්වා රට වෙනුවෙන් මේ අභියෝග⁣ය බාර ගන්නට හිතා ගෙන ඉන්නා බව පවසා ඇත්තේ ජාජබ ආණ්ඩුව හෙට අනිද්දා වෙන විට කම්මුතු වේ යැයි ගණන් හදාගෙන ඉන්නා නිසා වෙන්ට ඇති යැයි සිතන්නට පුළුවන. එසේත් නැති නම් මුදල් ඇමති කම ගැනීමට උඩු කරණමක් ගැසීමට අමුඩය ගසමින් සිටිමින් සිටින නිසා යැයිද සිතිය හැකිය. ඒ තීරණය ගැන දන්නේ ඔහුය.



ඇසූ පිරූ තැන් ඇති කංකානම්ලාගේ අඩුව..



හර්ෂ ද සිල්වා වැනි දේශපාලනයේ ඇසූ පිරූ තැන් ඇති කංකානම්ලා ජාජබ ආණ්ඩුවට එක් වීම ඉතා හොඳය. ජාජබ ආණ්ඩුවේ සමහර මෝල් වහන්සේලා කරන කියන ඒවා හා අනා ගන්නා හැටි දැක්කාම හර්ෂ ද සිල්වා ආණ්ඩුව ඇතුලේ පුරෝහිතයකු වීම පුරවැසියන්ට කරන යහපතකි. 


ජාජබ ආණ්ඩුවට, විපක්ෂය චෝදනා කරන්නේ බොරු කාරයන් කියාය. ආණ්ඩුවේ උන් පොදු දේපොල ගසා කන හොරු නොවන බව පුරවැසියන් දනී. විපක්ෂයේ ඉන්නේ හොරකමට කප් ගැසූ පෝරිසාදයන්ය. මේ වන විටත් ජාජබ ආණ්ඩුවේ නියෝජිතයන් නම් පන්සිල් පද පහෙන් දෙවැනි සිල් පදය 

බිඳ ගෙන නැති බවට විශ්වාසයක් බහුතර සමාජය තුළ තවමත් පවතී. 


ඒත් විපක්ෂයේ බොහෝ අයවළුන් පන්සිල් පද පහම කඩා දමා ඇති වාහේලාය. මේ නිසාම විපක්ෂය නියෝජනය කරන හර්ෂ ද සිල්වා වැන්නන්⁣⁣ මෙරට දේශපාලනයේ යම් තරමකට හෝ වැදගත් උපාසකයන් ලෙස සැළකිය හැකිය. 


අයිආර්සී කාරයන් සමග කරට අත දාගෙන ජාජබ ආණ්ඩුව කම්මුතු වෙන තුරු හීන දකිමින් ඉන්නවා ද ? එසේ නැති නම් ආණ්ඩුව සමග එකතු වී රටට යහපතක් කරනවා ද? නැද්ද?  යන තීරණය ඇත්තේ හර්ෂද සිල්වා අතය.



දේශපාලන සංක්‍රාන්තික සමයක්.......



මේ රටේ වර්තමානයේ රාජ්‍ය යාන්ත්‍රණය තුළ පවතින්නේ දේශපාලන සංක්‍රාන්තික සමයකි. බොහෝ පුරවැසියන් හා රාජ්‍ය නිළධාරීන් තවමත් ජාජබ ආණ්ඩුවේ කෙරුවාව වටහා ගැනීමට අසමත් වී සිටී. දීර්ඝ කාලයක් මෙරට දේශපාලන බල අධිකාරිත්වයේ ගොදුරු බවට පත් වී සිටි රාජ්‍ය නිළධාරීන් හා පුරවැසියන් නීති පද්ධතිය තුළට දැක්කීම ලේසි පාසු කාරණයක් නොවේ.


ජාජබ ආණ්ඩුව බලයට පත් වීමට පෙර රාජ්‍ය නිළධාරීන් කෑවේද, බීවේද, අධෝ වාතයක් යැව්වේද, රුන්නේද, බලයේ සිටි දේශපාලනයේ ඉහළ රජ මැස්සා ගේ සිට පහල සිටි කෝඳුරුවාගේ අණසකට පවා යටත්වය. 


ගමේ පොලීසියට නියෝග දුන්නේ ආණ්ඩුවට සම්බන්ධ ප්‍රාදේශීය සභාවේ මෙම්බර්ය. ඕඅයිසීලා නිකම් නිකම් වල් එඬරු ගස් විය. ප්‍රාදේශීය ලේකම්ලා ආණ්ඩු බලයේ සිටි මන්ත්‍රීලාගේ වහළුන්ය. ජාජබ ආණ්ඩුව බලයට පත් වීමෙන් පසුව ඒ දේශපාලන අධිකාරී බලය සීරෝ කෙරුවේය. 

එහෙත් මේ දේශපාලනික පරිවර්ථනය රාජ්‍ය නිළධාරීන්ට හා පුරවැසියන්ට තවමත් බරට දැනී නැත. එය සංක්‍රාන්තික අවස්ථාවකි. මේ වටපිටාව කළමනාකරණය කර ගැනීම ජාජබ ආණ්ඩුව සතු අනිවාර්ය වගකීමකි.

මෙහිදී අපේ ජන වහරේ පැවසෙන අපූරු කතාවක් සිහිපත් වේ.



​වංගෙඩියට තැළූ ගැහැණිය: වෙනස්ම කියවීමක්.....



​එක්තරා කාලයක, හැමදාම ගුටි කන බිරිඳක් සහ ඇයට පහර දෙන සැමියෙක් වාසය කළහ. නමුත් මෙහි තිබූ විශේෂත්වය වූයේ, දිනක් හෝ සැමියාගෙන් පහරක් නොවැදුණහොත්, තමාට ඔහුගෙන් ලැබිය යුතු "අවධානය" හෝ "ආදරය" අඩු වී ඇතැයි බිරිඳ සිතීමය.


​දින කිහිපයක් යනතුරු සැමියා ඇයට පහර දුන්නේ නැත. බිරිඳට මෙය මහත් ගැටලුවක් විය. "අනේ මගේ මිනිහට දැන් මාව එපා වෙලාද? මම කරන වැරැද්දක්වත් පේන්නේ නැද්ද?" ඇය කනස්සල්ලෙන් කල්පනා කළාය.

​ඇය සියුම් උපක්‍රමයක් කල්පනා කරමින් ගෙමිදුලේ තිබූ වංගෙඩිය අසලට ගියාය. මෝල්ගස අතට ගත් ඇය, වංගෙඩියට රිදෙන්නට පහර දෙන්නට පටන් ගත්තේ සැමියාට ඇසෙන පරිදි මහ හඬින් විලාප තබමිනි.


"බුදු අම්මෝ... මට ගහන්න එපා! අදට මට ගැහුවා ඇති... තව එක පාරක්වත් ගහන්න එපා!" ​ඇයගේ විලාපයත්, වංගෙඩියට වදින 'ඩොග් ඩොග්' ශබ්දයත් ඇසී අහල පහල මිනිසුන් පමණක් නොව, ගේ ඇතුළේ නිදා සිටි සැමියාද කලබල වී දිව ආවේය. සැමියා දුටුවේ බිරිඳ තනියම වංගෙඩියට තළමින් මරහඬ දෙන අයුරුයි.


"ඇයි මේ පිස්සියෙක් වගේ කෑගහන්නේ? කවුද තමුසෙට ගැහුවේ?" සැමියා පුදුමයෙන් ඇසීය. ​එවිට බිරිඳ ඉතා ආඩම්බරයෙන්, සැමියා දෙසට ඇස් කොනින් බලමින් මෙසේ කීවාය.


"බලන්නකෝ... ඔයා දවස් දෙක තුනකින් මට ගැහුවේ නැහැනේ. ඉතින් මට හිතුණා ගමේ මිනිස්සු හිතයි කියලා ඔයාට මාව දැන් පේන්න බැහැ කියලා. ඒකයි මම මේ වංගෙඩියට තළලා මට ගැහුවා වගේ ශබ්ද කළේ. දැන් ඉතින් ගමේ හැමෝම හිතයි ඔයා තාමත් මට කලින් වගේම සලකනවා  කියලා!"


පීඩාවට පත්වීම පවා තමන්ගේ අයිතියක් හෝ වරප්‍රසාදයක් ලෙස දකින මට්ටමට මනස හුරු වී ඇති ආකාරය මේ ජන කතාවෙන් අවධාරණය කෙරේ.⁣ මෙ⁣රට බොහෝ රාජ්‍ය නිළධාරීන් හා පුරවැසියන් ආණ්ඩුව ගැන හිතන්නේ ඔන්න ඔහොමය.


ඒ සිතීම තුළ රාජ්‍ය නිළධාරීන් ගස් බඳින මර්වින් සිල්වා නැතීවීම විශාල අඩුවකි. මහ කොමසාරිස්ලාගේ හොම්බට දෙකක් අනින සජින් වාස් නැතිවීම පාඩුවකි. පාර්ලිමේන්තුවේදී විපක්ෂයට මිරිස් කුඩු ගසන ප්‍රසන්න රණවීර වැන්නෙක් ජාජබ ආණ්ඩුව නියෝජනය නොකිරීම විශාල හිස් තැනකි.



සමාජයේ තවමත් පවතින ගැති මනස..



මේ ආකාරයට ඔය ලැයිස්තුව දිගටම ලිවිය හැකිය. මේ තක්කඩියන්ට එරෙහිව දමා ඇති නඩු පවා බොරු නඩු යැයි සිතන සමාජයක, ගැති මනස හදන්නට ජාජබ ආණ්ඩුව තව බොහෝ අභ්‍යාස කළ යුතුය. ඒ කැපවීම දුෂ්කරය. එහිදී හර්ෂ ද සිල්වා වැන්නන් තමන්ගේ ⁣පිලට එක් කර ගැනීම පට්ට වාසියකි.


මහින්ද රාජපක්ෂද රට බේරා ගැනීමට විපක්ෂයේ උන් තමන්ගේ ගොඩට දාගත්තේය. මෙහිදී රාජපක්ෂගේ ඔඩොක්කුවට පැන්න එවුන් විවිධාකාරයෙන් අධිකරණ චෝදනා එල්ල වූ දූෂිතයන්ය. ගැලවිල්ල ඇත්තේ පැනිල්ල තුළ බව ඔවුන්ට ඒ අවස්ථා⁣වෙි තේරුම් ගොස් තිබුණේය. 


එසේ පනින්නේ නැතිව සිටියේ නම් මහින්ද රාජපක්ෂ තමන්ව වැලිකඩ දක්කන බවත්  ඔවුන් වටහා ගෙන තිබුණි. ජොන්ස්ටන් ප්‍රනාන්දු ඉන් එක් අයෙකි. ඔහුට එරෙහිව ඒ වන විටත් එල්ල වී තිබුණ චෝදනාව වූයේ චන්ද්‍රිකා බණ්ඩාරනායකට එල්ල කළ එල්ටීටී බෝම්බ ප්‍රහාරයට පැමිණි ත්‍රස්තවාදීන්ට අත් උදව් සැපයීමය. 


ඇතැම් අය මව්බිම ආරක්ෂා කර ගන්නට මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුවට ආවේ ණය තුරස් වලින් බේරීමටය. මනූෂ නානායක්කාර ගත්තේ ලක්ෂ හැටකටය. ඔහු සජින් වාස් හමුවී "තමන් හතර අතේ ණය වී ඇති බවත් බෙල්ලේ වැල දාගන්නට සිතී ඇති බවත්" පවසා තිබුණි. සජින් වාස් ලක්ෂ හැටක චෙක් පතක් ලියා ඔහුට දී ඔහු මව්බිම ආරක්ෂා කර ගැනීමට ආදරය කරන දේශප්‍රේමියකු බවට බෞතීස්ම කෙරුවේය. ඒ යුගයේ වැඩ වුනේ ඔන්න ඔහොමය.



විපක්ෂයේ පිරිසිදු මහත්වරුන්ට ඉඩ හසර...


හර්ෂ ද සිල්වා ජාජබයට ගැනීම කෝචෝක් කළ යුතු සැළසුමක් නොවේ. ඔහු පමණක් නොවෙි මේ රටේ විපක්ෂ දේශපාලනය තුළ ක්‍රියාකාරීව සිටින පිරිසිදු මහත්වරුන් තවත් සිටී. ජාජබයේ සිටින "අන්ධ භූත කොම්රේඩිලා" සාමයෙන් සාමදා⁣නයෙන් පැත්තකට කර අන්න ඒ මහත්වරුන් පවා ආණ්ඩුවට ගන්නේ නම් යහපත්ය. මේ රටේ බොහෝ පුරවැසියන්ට දැන් අවශ්‍ය වී ඇත්තේ සැබෑවටම රට ගොඩ දා ගැනීමේ උවමනාව මිස ඔටුන්න පැළඳවීමට මල් කුමාරයකු නොවේ.



දක්ෂිණ ලියනාරච්චි ✍️