Back to home
Alerte infoSocial

හිතූ මතේ ගසා කන පෞද්ගලික වෛද්‍ය සේවා මාෆියාව මැඩලනු..!

හිතූ මතේ ගසා කන පෞද්ගලික වෛද්‍ය සේවා මාෆියාව මැඩලනු..!

සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු වන පීටර්

ජෙරොම් තිසරණ පෙරේරා සිය ෆේස් බුක් ගිනුමේ සටහන් කර ඇති තොරතුර 

මෙරට සෞඛ්‍ය අමාත්‍යවරයාගේ හා අනෙකුත් වගකිව යුතු සෞඛ්‍ය බලධරයන්ගේ බරපතල අවධානයට ගත යුතු කරුණකි.


පීටර් ජෙරොම් සිය ෆේස් බුක් ගිණුමේ පළ කර තිබූ සටහන මෙසේය.


"...මට Urine micro albumin පරීක්ශණයක් කිරීමට වෛද්‍යවරියක් නිර්දේශ කෙරුවා. ඉතිං මම ෆාස්ටින් ඉඳල පෙරේද උදේ කිරිබත්ගොඩ මෙඩිකල් සෙන්ටර් එකකින් වැඩේ කරගත්තා. වෛද්‍යතුමිය මට දින දෙකකට තුනකට කලින් මට වට්ස්ඇප්  පණිවිඩයක් එවා තිබුණත් මම හරියට එය බැලුවෙ පරීක්ෂණය කරන්න ගියාමයි."


*එතකොට තමයි මට මීටර් උනේ බොලේ මම යූරින් ටෙස්ට් එකක් කොරන්නත් ෆාස්ට්ං ඉඳල නේහ් කියලා. ඒත් ඉතිං මම ඕව එතන හිටිය ඉටිකිරිස් නංගිට කියන්න ගියේ නෑ. කොටින්ම අක්කටවත් කිව්වෙ නෑ. එයයි, වෛද්‍යතුමියයි දැනගන්නෙ මේ පෝස්ට් එක දැක්කම තමයි. මේව වෙන්නෙ මිනිස්සු පරිණත උනාම නේහ් කියල දැනෙද්දි හිතට හරිම සතුටුයි මගෙ රත්තරං යාලුවනේ."


"බට් සීන් එක ඒක නෙමෙයි. පෙරේදා එම පරීක්ෂණ යට මගෙන් රුපියල් 1300.00ක් එයාල අය කෙරුවා. අද උදේ මම නුවර පාරෙ පොඩි වෝක් එකක් දාගෙන යද්දි ආසිරි මෙඩිකල් සෙන්ටර් එක දැකල ජොලියට වගේ ඒකට රිංගල අර වෛද්‍ය පරීක්ෂණය පෙන්වලා ඇහුවා කොහොමද මේක කරන්නෙ කියලා. ඒ උත්තමාවිය මොනිටර් එක බලල කිව්ව ෆාස්ටින් අවශ්‍ය නෑ. උදේ එන්න ගාස්තුව රුපියල් 3500,00යි කියලා. මාව කරකෝල අතෑරිය වගේ උනා."


"මේ කාලකන්නි අහිංසක මිණිස්සුන්ව කොහොම ගසාකනව ඇත්ද. පොඩි මිනිහෙක් හදිස්සියකට ඕකුන්ගෙ රෝහලකට යන්න උනොත් විනාසයි නේහ්. ඇත්තටම මේව නියාමනය කරන්න කවුරුත් නැද්ද. මම පරීක්ෂණ කරපු ස්ථානයේ නම් අදාල ගාස්තු ප්‍රදර්ශනය කරල තිබුණා. හැබැයි ආසිරි සෙන්ටර් එකේ තිබුණෙ නෑ. රජයේ රෝහල් පද්ධතිය රැක ගැනීමට පෙල ගැහෙමු හිතෝතුනීහ්.....මේ එක් සරල උදාහරණයක් පමණයි. ස්තූතියි! "


මේ අනාවරණය කිරීම මෙරට සෞඛ්‍ය සේවාවේ පවතින එක්තරා ඛේදජනක පැති කඩක් අනාවරණය කරන්නකි.

එහෙත් අතේ  මිටේ මුදල් දැවටෙන, වත් පොහොසත් කම් ඇති පුරවැසියන්ට මේ ප්‍රශ්ණය වැදගැම්මක් නැති කාරණයකි.


සැබැවින්ම පීටර් ජෙරොම් තිසරණ පෙරේරා ලද අත් දැකීමෙන් විඳවීම හා දැනෙන්නේ අතේ සතේ නැති පන්තියේ රෝගී පුරවැසියන්ටය. එහෙත් ඒ අසරණ රෝගී පුරවැසියන්ට පෞද්ගලික වෛද්‍ය සේවාවන් තුළින් තමන් මරා ගෙන කනවාය කියන අදහසක් නැත. ඔවුන් ඒ ගැන සොයන්ට යන්නේද නැත. 


චැනලින්  දොස්තර වරයා විසින් ලබා ගත යුතු බවට නිර්දේශ කරන වෛද්‍ය පරීක්ෂණ වාර්තා ණය තුරස් වී හෝ පෞද්ගලික වෛද්‍ය රසායනාගාර තුළින් ලබා ගැනීමට රෝගී පුරවැසියන් පෙළඹී සිටී. සිය රෝගී තත්වයට ප්‍රතිකාර ගැනීම

සඳහා යොමු වුන මානසිකත්වයෙන් සිටින කිසිවෙකුත් වෛද්‍ය පරීක්ෂණ වාර්තා සඳහා අය කර ගන්නා මිල ගණන් පිළිබඳව ප්‍රශ්ණ කරන්න යන්නේද නැත. 


මේ නින්දිත ගසා කෑම සම්බන්ධයෙන් අනාවරණය කෙරෙන අපූරු නඩු තීන්දුවක් පසු ගියදා කොළඹ මහාධිකරණයෙන් ලබා දෙන ලදී.


කොළඹ ප්‍රධාන ⁣පෞද්ගලික රෝහලක් වන ආසිරි රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබූ රෝගියෙකුට වැඩි මිලට ඖෂධ අලෙවි කළ බවට චෝදනා කරමින් එම රෝගියා විසින් ඒ රෝහළට හා එහි අධ්‍යක්ෂ වරුන්ට එරෙහිව  මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා තිබුණි. එම නඩුව විනිශ්චය කළ මාලිගාකන්ද වැඩ බලන මහේස්ත්‍රාත් හිමාලි ඒකනායක විසින් වග උත්තරකාර පාර්ශවය⁣ට රුපියල් 25000 ක දඩයක් නියම කෙරිණි. එහෙත් පසුව එම තීන්දුව දෝෂ සහගත තීන්දුවක් බවට මාලිගාකන්ද හිටපු ප්‍රධාන මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම තීන්දු කළාය.


අනතුරුව ප්‍රධාන මහේස්ත්‍රාත්වරියගේ එම තීන්දුව වැරදි බව ප්‍රකාශ කරමින් අදාල තීන්දුව ප්‍රතිශෝධනය කරන ලෙස ඉල්ලා ආසිරි රෝහල හා එහි අධ්‍යක්ෂ වරුන් කොළඹ ප්‍රධාන මහාධිකරණයේ නඩු පවරනු ලැබීය. එහිදී එම නඩුව විභාග කළ කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු මංජුල කරුණාරත්න  කොළඹ මාලිගාකන්ද ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය ලබා දී ඇති තීන්දුව නිවැරිදි බවට ප්‍රකාශ කරමින් ආසිරි රෝහල හා එහි අධ්‍යක්ෂවරුන් ඉදිරිපත්කර තිබූ පෙත්සම නිශ්ප්‍රභා කරන ලදී. 


මහාධිකරණ විනිසුරුවරයා සිය තීන්දුවේ සඳහන් කර ඇත්තේ, මාලිගාකන්ද වැඩ බලන මහේස්ත්‍රාත්වරිය මීට පෙර තීන්දුව ලබා දී ඇත්තේ අපරාධ නඩු විධාන සංග්‍රහයේ ප්‍රතිපාදනයන් පිළිබඳ නිසි අවබෝධයක් නොමැතිව හා එම නියෝගය දෙන අවස්ථාවේදී අදාල ප්‍රතිපාදනයන් ඇගේ මතකයන්  ගිලිහී ගොස් ඇති බවය. එවැනි පදනමක් තුළ වැඩ බලන මහේස්ත්‍රාත්වරිය දුන් තීන්දුව ප්‍රමාද දෝෂයකින් දුන් තීන්දුවක් බවට සැළකීම හැර වෙන විකල්පයක් නැති බවය.


වැඩි මිලට ඖෂධ විකුණූ බවට චෝදනා ලද ආසිරි රෝහළ හා අධ්‍යක්ෂ මණ්ඩලය මාලිගාකන්ද  මහෙස්ත්‍රාත් අධිකරණයේ වැඩ බලන මහේස්ත්‍රාත්වරිය දුන් දඩ මුදල වැරදි බවට විනිශ්චය කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරියට එරෙහිව මහාධිකරණයට ගියේ, දඩ මුදලින් වැඩේ ගොඩ දාගන්නට සිතා විය යුතුය.


එහෙත් මහාධිකරණය ආසිරි රෝහල පාර්ශවයේ පෙත්සම නිශ්ප්‍රභා කිරීම තුළ මතුවන මේ නඩු නිමිත්ත ගැන විමසන විට මෙරට ඖෂධ අලෙවිකරන "කලු කඩ මාෆියාව" ගැන අදහසක් ගත හැකිය. ඉන් අවධාරණය කෙරෙන්නේ මෙරට රෝගී පුරවැසියන්ට ⁣පෞද්ගලික වෛද්‍ය සේවාවන් තුළින් හිතූ මතේ ඖෂධ අලෙවි කරන බවය.


ආසිරි රෝහල වැනි දැවැන්ත ව්‍යාපාරික ආයතනයකට එරෙහිව අධිකරණයට යා හැක්කේ අත මිට මුදල් ගැවසෙන හා සමාජයීය අවබෝධයක් තිබෙන පුරවැසියෙකුට පමණය. ගමේ සිරිපාලලා මෙවැනි අභියෝගයකට උපන්තකේට ලෑස්ති නැත. ඒ අසරණ මිනිසුන් උපන් ගෙයි කරුමයට හිස නමමින් කණ කර බඩු, හරකා බාන, ගේ දොර ඉඩකඩම් හෝ විකුනා රෝගී ජීවිතය සුවපත් කර ගැනීමට වෙර දරන්නන් වේ. මේ කරුමය පෞද්ගලික වෛද්‍ය සේවාවේ කල්ල මරේ වී තිබේ.


චැනල් සේවාවේ නිරත වෛද්‍ය වරුන් ගැන අපට ඉරිසියාවක් නැත. එහෙත් ඔවුන් අහිංසක රෝගීන් ගෙන් අය කර ගන්නා ගාස්තු ගැන අපට ප්‍රශ්ණයක් තිබෙි. ඇතැම් වෛද්‍ය වරුන් මේ ගේම ගහන්නේ ⁣⁣ඖෂධ සමාගම් සමග එක පතේ කමිනි. තමන් සමීපයට ප්‍රතිකාර ගැනීමට එන රෝගියා තමන් ඉපදුන රටේම පුරවැසියකු බව මේ වෛද්‍යවරුන්ට හැඟීමක් නැත. මනුස්ස කමක් නැත. ඇතැම් අවස්ථාවලදී තමන් සමීපයට එන රෝගීන් විෂයෙහි අහවල් අහවල් පරීක්ෂණ කරන්න යැයි ඇතැම් විශේශඥයන් සිදු කරන වෛද්‍ය නිර්දේශයන් තුළ කැත ජාවාරමක් සිදු වන බවට සැක මතුවන සිද්ධි හා අත්දැකීම් මෙරට පුරවැසියන් තුළ අනන්ත අප්‍රමාණව තිබේ.


ඒ අතරේ පෞද්ගලික වෛද්‍ය සේවාව තුළ ඖෂධ හිතූ හිතූ මිල ගණන් වලට අලෙවි වෙද්දී වෛද්‍ය පරීක්ෂණ සඳහා අය කෙරෙන මිල ගණන්ද එලෙසමය. ඒ මිල ගණන් දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයට වෙනස්ය. රෝගීන් මරා ගෙන කෑම පෞද්ගලික වෛද්‍ය සේවාවේ ඇබ්බැහි පුරුද්ද වී තිබේ. පීටර් ජෙරොම් තිසරණ පෙරේරා අනාවරණය කර ඇත්තේ ඒ අශීලාචාර ගසා කෑම පිළිබඳවය. 


ජාජබ ආණ්ඩුව හා සෞඛ්‍ය අමාත්‍යවරයා ⁣මෙරට සෞඛ්‍ය සේවාව යහපත් කිරීම සඳහා වූ මහා පරිමාණ සැලසුම් ගැන කතා බහ කරන බව අසන්නට ලැබේ. මේ සැළසුම් මහ පොළවේ ක්‍රියාත්මක වන්නේ නම් හොඳය. ඒත් වැඩේ තියෙන්නේ ඒ සැළසුම් පත්තු වන වන්නේ අද හෙට නොවන නිසාය. ආණ්ඩුව පාර්ශවය  වඩාත් අවධානය යොමු කළ යුතු වන්නේ පෞද්ගලික වෛද්‍ය සේවාවන් තුළින් අසරණ පුරවැසියන් හිතූ මතේ ගසා කෑම ගැනය. මේ මාෆියාව නතර කිරීමටය.




දක්ෂිණ ලියනාරච්චි ✍️