Back to home
Alerte infoArt and Culture

හර්බට් එම්. සෙනෙවිරත්න සම්මාන උළෙලක්...

හර්බට් එම්. සෙනෙවිරත්න සම්මාන උළෙලක්...

සිංහල සිනමාව සහ සංගීතය අද පවතින ප්‍රබල සහ ගෞරවනීය ස්ථානයට ඔසවා තැබීමට මුල් යුගයේ දායක වූ දැවැන්තයන් අතර, හර්බට් එම්. සෙනෙවිරත්න මහතාගේ නාමය සදා නොමැකෙන එකක් බව අපි ගෞරවයෙන් සිහිපත් කරමු.


1940 දශකයේ සිට ආරම්භ වූ ඔහුගේ කලා ගමන, ගීත රචකයෙකු, නළුවෙකු, නිෂ්පාදකයෙකු හා අධ්‍යක්ෂවරයෙකු ලෙස විවිධ අංශ හරහා විහිදුණ අතර, සිංහල චිත්‍රපට සංගීතයට වටිනා පදනමක් සැපයීමට ඔහු විශාල ලෙස දායක විය.


ඒ සමයේ බහුලව පැවති ඉන්දියානු ආභාෂයට ආසන්න වූ සංගීත රටාවෙන් මිදී, සිංහල සංස්කෘතියට හා ජනතා හැඟීම්වලට ගැළපෙන දේශීය ගීත රචනා සහ සංගීත හැඩයක් ගොඩනැගීමට හර්බට් එම්. සෙනෙවිරත්න මහතා පුරෝගාමී විය.


සිංහල සිනමාවේ මුල්ම යුගයේ සිනමා රැජින වූ රුක්මණී දේවිය ගැයූ  'මැවිලා පෙනේවි රූපේ', 'දුෂ්මන්තා අහෝ කිමදෝ', 'අද හඬනවා හිමියනි යසෝදරා' සහ 'රූපය සාපය වේ හදේ' වැනි අතිශය ජනප්‍රිය ගීත රාශියකම හිමිකරුවා වන්නේ හර්බට් ඇම්. සෙනෙවිරත්නයන්ය.


ඔහු අතින් ලියැවුණු සුමියුරු යුගල ගීත රාශියක් තිබේ. 


 * සිසිර - ඉන්ද්‍රාණි ගායනා කළ 'ඈත අහසේ නැගී දිනිඳු පායා', 'පිදුරු සෙවි කළ පැල්පතේ' වැනි ගීත.


 * ලතා - ධර්මදාස වල්පොල ගායනා කළ 'මේ සෞම්‍ය රාත්‍රිය ගෙවිලා යතී', 'සැමදාම ඔබ මගේ කියා', 'සොම්නස් වුණා හදේ අමරණීය ආදරේ'... වැනි ගීත,


 * ජෝතිපාල සහ සුජාතා අත්තනායක ගැයූ අදටත් ජනප්‍රිය "චන්ද්‍රාමේ රෑ පායා ආවා" ගීතය.


 * එච්.ආර්.  ජෝතිපාලයන්ගේ මියුරු හඬින් ගැයෙන "වනමලට ආසාවේ" ගීතය.

 

* රසිකයන්ගේ සදා මතකයේ රැඳුණු ජික්කි ගායනා කළ "මට ආලෝකෙ ගෙන දේවි සංසාරයේ" ගීතය.


 * බෙග් මාස්ටර් සහ රුක්මණී දේවී ගැයූ "අන්න සුදෝ අර පාට වලා" සහ බෙග් මාස්ටර් ගැයූ "දෙවියනි ඔබ මැවූ ලොව පුදුමයි"..


ඒ යුගයේ දැවැන්තයන් වෙනුවෙන් ඔහු ලියූ ගීත අදටත් රසික හදවත් තුළ ජීවත් වේ. ඔහුගේ ගීතවල ඇති සරල බව සහ ගැඹුරු හැඟීම් ප්‍රකාශනය ඉතා විශිෂ්ටය.


මෙම ගීත සරල පද, මධුර තනු සහ ගැඹුරු හැඟීම් එක් කරමින්, එදා සිට අද දක්වා ජනතාව අතර සදාතනික සංගීත රසයක් ලෙස පවතී.


හර්බට් එම්. සෙනෙවිරත්නයන්ගේ පද රචනා රුක්මණී දේවී, මොහිදීන් බේග්, ධර්මදාස වල්පොල ආදී අති විශිෂ්ට ගායකයන්ගේ හඬින් ජීවමාන වී, සිංහල ගීතයේ රසවත් භාවය තවමත් නොනැසී පවතී.


මෙවැනි විශිෂ්ට කලාකරුවෙකුගේ අගනා කලා මෙහෙවර අගය කරමින්, Singing Star පදනම විසින් සංවිධානය කරන, හර්බට් එම්. සෙනෙවිරත්න අනුස්මරණ සම්මාන උළෙල 2026 මැයි මස 02 වන දින හවස 3.00 ට
කොළඹ මරදාන ටවර් හෝල් රංගශාලාවේදී පැවැත්වීමට නියමිත ය.


ටවර් හෝල් පදනම හා Singing Star පදනම  එක්ව මෙම උළෙල පැවැත්වෙන්නේ, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා ගේ ප්‍රධානත්වයෙනි. 


සිංහල සිනමාවට හා සංගීතයට අමිල සේවයක් කළ කලාකරුවන්ගේ දායකත්වය ගෞරවයෙන් අගය කරමින්, එම උරුමය නව පරපුරට හඳුන්වා දීම මෙම උළෙලේ අරමුණ බව,  Singing star  පදනමේ වර්තමාන සභාපති ලෙස කටයුතු කරන හර්බට් එම්. සෙනෙවිරත්න මහතා ගේ ඥාති මිණි පිරිය වන ලංකා ද සිල්වා පවසයි. 


හර්බට් ඇම් සෙනෙවිරත්න සම්මාන උළෙලේ ඒ මිහිරි අත්දැකීම විඳ ගැනීමට, හර්බට් ඇම්.සෙනවිරත්න පවුලේ සැම වෙනුවෙන් ඔබ සැමට ආරාධනා කරන බව Singing star  පදනම පවසයි.